ඔබට ඔබ කොයිතරම් විශ්වාසද? | සිළුමිණ

ඔබට ඔබ කොයිතරම් විශ්වාසද?

ට නම් බැහැ ඔතැනට යන්න. අනෙක ඔය වැඩේ කරන්න මට පුළුවන් ද කියල කවුද දන්නෙ?" ඇය අදිමදි කරමින් පැවසුවා ය.

"ඇයි ඒ?"

"මට වැඩිය දක්ෂයො කොච්චර ඇතිද?"

"ඉතින් ඔයත් දක්ෂ නේ"

"මං හිතන්නෙ නෑ" 

මේ පසුබිම අපට සමාජයේ බොහෝ තැන්වලදී දකින්නට ලැබේ. පාසලේදී, උසස් අධ්‍යාපන ආයතනවලදී, එදිනෙදා ජීවිතයේදී මෙබඳු පසුබෑමක් සහිත පුද්ගලයන් අපට දකින්නට ලැබේ.

බාගවිට අපට ද එසේ පසුබාන්නට සිතුණු අවස්ථා නැතිවා නොවේ. එක් අතකින් ඉදිරියට යන්නට - ඉදිරිපත් වීමට ඇති බිය ලෙසින් ද ඇතමෙකු මෙය දකින්නට ඉඩ ඇති නමුදු සැබවින්ම එමහි මූලික හේතුවක් වන්නේ පුද්ගලයන් සතු ආත්ම සම්මානය (self - esteem) ඉතා අඩු මට්ටමක පැවතීමය.

ආත්ම සම්මානය යනු කුමක් ද? සරලවම පවසතොත් ඒ අප ගැන අප සිතන ආකාරයයි. අප ගැන අපටම ඇති විශ්වාසයේ මට්ටමයි. අප අපව ම අගය කර ගන්නා අන්දමයි. එය ප්‍රධාන කාරණා කීපයකින් සවිමත්ව සැකසෙන්නකි. ඉන් එකක් වන්නේ ආත්ම විශ්වාසයයි. ආරක්ෂිත හැඟීමකින් පසුවීමත්, තමාගේ අනන්‍යතාව පැහැදිලි ලෙස හඳුනාගෙන සිටීමත්, තමන්ගේ දක්ෂතා - හැකියා හඳුනාගෙන සිටීමත් එහි අනෙකුත් අවශ්‍යතාය.

ආත්ම සම්මානය නො එසේව තබා තමා පිළිබඳ සිතන ආකාරය පහත මට්ටමකට වැටී ඇති බැව් හඳුනා ගන්නේ කෙසේ ද? තමා ගැනම අවතක්සේරුවකින් සිටින බව වටහා ගන්නේ කෙසේ ද?

යම් තැනැත්තෙක් ඉතා තීරණාත්මක අවස්ථාවකදි තමා පිළිබඳ ඍණාත්මක ආකාරයකින් කල්පනා කරන්නේ නම් එය අඩු ආත්ම සම්මාන තත්ත්වයකි. ඇතැම්විට තමාම විහිළුවකට ලක් කරමින් විවේචනය කර ගැනීම ඊටම අයිතිය. තමා සතු හැකියාවන් ඇස් පනාපිටම තිබියදී ඒවා අවතක්සේරු කර අවිශ්වාස කර නොසලකා හැරීම ද, ස්වයං දෝෂදර්ශනය ද එහි තවත් ලක්ෂණය. එබඳු මනසක් ඇති තැනැත්තකු නිතර කල්පනා කරන්නේ අනෙකා සැම විටම තමාට වඩා හොඳ බව ය.

අසාර්ථක වීම ගැන නිරන්තර බියකින් ද පසුවෙයි. එබැවින් ම ඔහු හෝ ඇය උත්සාහ කරන්නේ අභියෝග මගහැර යන්නටය. යම් සුළු විවේචනයක් හමුවේ වුව මහත් කලබලයටත් - කනස්සල්ලටත් - පසුබෑමටත් ලක් වෙයි. එබඳු තැනැත්තකු ආශ්‍රයෙන් නිරතුරුවම කැරකෙන වචන මාලාව වන්නේ ශෝකය - පීඩනය - සාංකාව - ලජ්ජාව - කෝපය හා නොවටිනා බව යන ඒවාය.

තමන්ගේ පාඩුවේ ජීවත් වීමක් ලෙස යමෙකු ඒ ගැන කල්පනා කරන්නට පුළුවන.

අඩු ආත්ම සම්මානයකින් පසු වන පුද්ගලයා කියන්නේ ද එයයි. එහෙත් එය ඒ හැටියෙන් සාමාන්‍ය තත්ත්වයක් ලෙස සිතා නොසලකා හැරීම හොඳ තත්ත්වයක් නොවේ.

දිගින් දිගටම මෙබඳු මානසික තත්ත්වයකින් පසුවීම කාංසාව ද, ඉන්පසු ආතතිය ද, තනිකමට හුරුවීම හරහා අවසන විෂාදය වැනි තත්ත්ව කරා යමකු ඇදගෙන යන්නට ද සමත් ය. එය මිත්‍රත්වය මෙන්ම සමීප සම්බන්ධතා, ආදරණීය සම්බන්ධතා සඳහා බලවත් බාධාවකි. වෘත්තියමය ජීවිතය මෙන්ම තම හැකියාවන් මෙන්ම අධ්‍යාපන කටයුතු ද අඩාළ කර දමන්නකි.

ඉතා ඉක්මනින් පීඩාවටත්, කනස්සල්ලට හා කනගාටුවට පත්වන්නටත් හුරුවන බැවින් ඒ තත්ත්වය වළක්වා ගන්නට මත්පැනට හෝ මත්ද්‍රව්‍යවලට හෝ යොමු වුවහොත් එය කබලෙන් ලිපට වැටීමකි.

මෙබඳු තත්ත්ව ඇති වීමට හේතු කාරණා මොනවාදැයි සොයා බැලීම කාලය අපතේ හැරීමක් නම් නොවේ. ඊට හේතුව වන්නේ මේ ආකාරයෙන් අඩු ආත්ම සම්මානයෙන් යුතු පුද්ගලන් බිහි වන්නට ඔවුන්ගේ ළමා කාලය තුළ ලබන අත්දැකීම් ප්‍රධාන වශයෙන් හේතු වන බැවිනි.

ඉන් එක් තීරණාත්මක සාධකයක් වන්නේ කුඩා කාලයේදී දැඩි විවේචනයට ලක්වීමය, සවන් දෙන්නෙකු නොසිටීමය. ශාරීරික, ලිංගික හෝ මානසික වශයෙන් පීඩාවට හෝ අඩන්තේට්ටම්වලට ලක්වූ දරුවකු හරහා බිහි වන්නේ අඩු ආත්ම සම්මානයෙන් යුතු වැඩිහිටියෙකි. ළමා කාලය තුළදී නිරන්තර නොසැලකිල්ලට, විහිළුවට හා රැවටිල්ලට ලක්වීම ද මෙසේ ආත්ම විශ්වාසයෙන් ආත්ම සම්මානයෙන් අඩු තැනැත්තෙක් නිර්මාණය වීමට හේතුවකි. ඊළඟ කාරණාව බෙහෙවින්ම වැදගත් එකකි. විශේෂයෙන්ම එය වැදගත් වන්නේ මවුපියන්ටය.

නිරන්තරවම තම දරුවා තුළින් පරිපූර්ණ බවක් අපේක්ෂා කිරීම හරහා දරුවා තුළ උපදින පීඩනය ද මීට හේතුවකි. විශේෂයෙන් ගුරුවරු, මවුපියන්, පවුලේ සාමාජිකයන් හෝ යහළුවන් යම් අසමත්වීමකදී ඔහුට හෝ ඇයට ප්‍රතිචාර දක්වන ආකාරය ආත්ම සම්මාන මට්ටම තීරණය වීමෙහි ලා තවත් ප්‍රබල සාධකයකි.

මෙබඳු තත්ත්වයක් වෙනස් කර ගත නො හැකිද? නිසැකවම ඒ ඊළඟට මතුවන ප්‍රශ්නයයි. නොහැකියැයි කියා දෙයක් නැතැයි කියන්නාක් මෙන් මීට ද පිළියම් ගණනාවක් දකින්නට පුළුවන. ඇතැම් ඒවා චර්යා රටාවේ සුළු සුළු වෙනස්කම්ය. අලුත් හුරු පුරුදු ජීවිතයට එක් කර ගැනීමය.

මෙබඳු මානසික තත්ත්වයකදී සිදුවන්නේ තමා පිළිබඳව ඇති විශ්වාසය බිඳ වැටීමයි. ඉන් ගොඩ එන්නට ඇති මඟ වන්නේ ද, ඒ විශ්වාසය ගොඩ නඟා ගැනීමය.

ලයිස්තු දෙකේ ක්‍රියාකාරකම ඊට ඇති ප්‍රායෝගික පුහුණුවලින් එකකි.

කළ යුත්තේ මෙවැනි ගැටලුවකින් පෙළෙන තැනැත්තා ලයිස්තු දෙකක් සැකසීමය. එකක් ඔහුගේ හැකියාවන් හා ශක්තීන් ලියන්නටය. අනෙක ඔහු සිය ජීවිතයේ මෙතෙක් පෙන්වා ඇති දක්ෂතා හා කඩඉම් ලියන්නටය.

එහෙත් මෙය සිදු කළ යුත්තේ දෙවැනි පාර්ශ්වයකගේ මැදිහත් වීමද සමඟය. ඊට හේතුව නම් අඩු ආත්ම සම්මානයෙන් යුතු තැනැත්තන් සිය ජීවිතයේ බොහෝ වැදගත් දේ නොවැදගත් ලෙස සලකා අහක දමන්නට පෙලඹෙන මිනිසුන් බැවිනි.

එහෙත් එය දෙවැනි පාර්ශ්වයක මැදිහත් වීමෙන් ලියූ පසු තමා කෙතරම් වටිනා පුද්ගලයකු දැයි ඔහුට හෝ ඇයට තේරුම් යනු ඇත.

සනීපාරක්ෂාව එනම් නෑම, හිස පීරීම, නියපොතු කැපීම වැනි දේ ගැන නිරන්තර අවධානය යොමු කිරීම මෙන්ම සිතට අල්ලන ඇඳුම් පැලඳුම් - විශේෂයෙන්ම පිරිසිදු ඇඳුම් ඇඳීම සිත සතුටින් හා සැහැල්ලුවෙන් පුරවන්නකි.

පිරිසිදු හා සිතට අල්ලන ඇඳුම් ඇඳීමේ විද්‍යාව අප කවුරුත් අත්දැක ඇතුවාට සැක නැත.

එය ආත්ම විශ්වාසය වඩවන්නකි. හොඳ සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ද, නිසි පරිදි ව්‍යායාම හා ප්‍රමාණවත් නින්ද ද එහිම අනෙකුත් කොටස්ය. මානසික ආතතිය මගහැරෙන, අඩුව යන අන්දමේ ක්‍රියාකාරකම්වල යෙදීම මෙන්ම මිතුරු ඇසුර ද මෙහිලා වැදගත්ය.

එහෙත් ඔබ කිට්ටු විය යුත්තේ ඔබ ගැන සිතන, ඔබ අගයන පුද්ගලයන් වෙතය. ඔබ ගැන අයහපත - අවතක්සේරුව ඇති කළ හැකියැයි හැඟෙන පුද්ගලයන් - ස්ථාන හා අවස්ථා හැකි තරම් මගහරින තරමට ආත්ම විශ්වාසය ගොඩනඟා ගන්නට පහසුය.

අඩු ආත්ම සම්මානයෙන් - ආත්ම විශ්වාසයෙන් ක්‍රමයෙන් මිදෙන්නට හැකි තවත් එක් උපක්‍රමයක් වන්නේ ප්‍රායෝගික වශයෙන් සපුරා ගත හැකි කඩඉම් කිහිපයක් තෝරාගෙන තමාම අභියෝග කිරීමය.

ඉලක්ක ගත දින වකවානුවක් තුළ ව්‍යායාමයේ යෙදීම - යම් නිර්මාණයක් නිම කිරීම හෝ ගේ දොර අස්පස් කිරීමක් වැනි දෙයක් වුව කාල සීමා අභියෝගයක් ඇතිව ආරම්භ කිරීම මෙහිදී සිදු කළ හැකිය.

තෘප්තිය හා හැඟීම ආත්ම සම්මානය ඉහළ නංවන්නට හේතු වෙයි. එමෙන්ම තම කාමරය, නිවෙස, වටපිටාව ආදිය පිරිසිදුවටත් පිළිවෙළටත් තබා ගැනීම මනස වඩා යහපත් අතකට හරවයි.

යහපත් පුද්ගල සබඳතා පවත්වාගෙන යන්නට උත්සාහ කිරීම ද මෙහි ලා වැදගත්ය. අසල්වැසියන් සමඟ, පුවත්පත් වෙළෙන්දා හෝ වෙළෙඳසැල් හිමියා සමඟ කතා බහේ යෙදීම හා ඔවුන් සමඟ ප්‍රසන්න ඇසුරක් පැවැත්වීම හුදෙකලාවම සිටිනවාට වඩා බෙහෙවින් වැදගත්ය.

මෙබඳු පීඩාකාරී සමයක ආත්ම විශ්වාසය නංවා ගැනීම ආත්ම - සම්මානය වැඩිදියුණු කර ගන්නට උත්සාහ දැරීම අතිශය වැදගත්ය. ඒ අන් කිසිවක් කරන්නට පෙර - සියල්ලට ඉහළින් - ආත්ම විශ්වාසය එනම්, තමා ගැන ඇති ධනාත්මක හැඟීම තිබිය යුතු බැවිනි.

චීන දාර්ශනික ලාඕ සු මෙසේ පවසා ඇත. "සෞඛ්‍ය යමෙකු සතු ඉහළම සන්තකයයි - හිමිකමයි; සංතුෂ්ටිය පරම ධනයයි; ආත්ම විශ්වාසය පරම මිත්‍රත්වයයි."

Comments