එතැන තියෙනවා වචනවලින් විතරක් අල්ලගන්න බැරි මහ කතන්දරයක් | සිළුමිණ

එතැන තියෙනවා වචනවලින් විතරක් අල්ලගන්න බැරි මහ කතන්දරයක්

ඔබේ සාහිත්‍ය ජීවිතය ආරම්භ වුණේ කොහොමද ?

මම මගේ ලේඛන ජීවිතය පටන් ගත්තේ 1976 දීයි. මගේ මුල්ම කතාව ඒක ප්‍රබන්ධයක්. “මාත් එක්ක මිය යන මම” ඒ තමයි ඒ කතාව.

ඊට පස්සේ මම නවකතා කිහිපයක්ම ලියා පළ කරන්න කටයුතු කළා. “ජිවිතයක හරි අඩක් ගෙවූ පසු, ඔබේ ආදරය ගීතයක් නම්, චාරුලතා හා නිශ්ශංක, ස්වයංවරය, භාව ගීතය, මා ද ඔබම වී” ආදි වශයෙන් ලියවුණු එම නවකතාවලට අමතරව දේශපාලන සාහිත්‍ය කෘති දෙකක් ද ලියා තිබෙනවා. ඒ වගේම මගේ සාහිත්‍ය ජීවිතය තුළදී ශාස්ත්‍රීය කෘති කිහිපයක්මත් ලියවී තිබෙනවා. “නවමු ශාස්ත්‍රීය සංග්‍රහය, අටුවා හැඩයෙන් ලියූ සාහිත්‍යම විවරණය, සබරගමු සාහිත්‍යයමය දර්ශනය සහ මතවාදය” ආදි වශයෙන් ඒවා හැඳින්විය හැකියි.

ඔබේ අලුත්ම නවකතාව වන ප්‍රේමාක්ෂර ගැන කතා කරමු. එය එසේ ලිවීමට  විශේෂ පසුබිමක් තිබුණාද?

ඔව්, මෙතැන තියෙනවා කිසියම් ආකාරයක ඉතිහාස කතාවක්. වස්තුබීජ කියන දේවල් නිකම්ම පහළ වෙන්නේ නැහැනේ. ඒ සඳහා මූලාරම්භයක් තියෙනවා.

මේ සම්බන්ධයෙන් මගේ විඥානය මුලින්ම තුවාල කළේ රත්නපුර උසාවියේ නීතිඥ වෘත්තියේ යෙදෙන මගේ මිත්‍රයෙක්. ඔහු මට කී දෙයක් තමයි දික්කසාද වුණා, දික්කසාද කළා කියලා අපි හරි සරල විදිහට කියනවා.

ඒත් දික්කසාද නඩු දිනයක උසාවියට ඇවිත් බංකුවක වාඩිවෙලා බලා ඉන්න. එතැන තියෙනවා වචනවලින් විතරක් අල්ලගන්න බැරි මහා කතන්දරයක්. ඔහු කී ඒ කතාව නිසා උපන් කුතුහලයෙන් මම දික්කසාද නඩු අහන දිනයක මම උසාවියට ගියා. අන්න එදා ඒ ඛේදවාචකය මම මගේ ඇස් දෙකෙන්ම දැක්කා. ඒ ගැන මම මහත්සේ කම්පා වුණා.

ඇය රූමත් ළඳක්. එදා තමයි ඇය දික්කසාද වූ දිනය. ඇගේ මුහුණ මුළුමනින්ම කඳුළින් තෙමී තිබුණා. දික්කසාදයෙන් පසු සිය සැමියාගේ මුහුණ දෙස ක්ෂණික බැල්මක් හෙළා උසාවි බිමෙන් පිටව යන ඇය දෙස මම බලාගෙන සිටියා. ඒත් සමඟම දික්කසාද වූ ඇගේ සැමියා ද උසාවියෙන් එළියට ඇවිත් නොපෙනී යන ඇය දෙස නොසෙල් වී බලා ගෙන සිටින හැටිත් මම දුටුවා.

ඔහු හඬන බවක් මට දැනුණා. එතැනදී වරද කාගේ වුණත් හද සසල කරන ප්‍රේමයක් එහි ඇති බවක් ද මට දැනුණා. වෙන කිසිවකුට එය එසේ දැනුණා යැයි මා සිතන්නේ නෑ. මිනිස් ජීවිතය මෙසේ විය යුතු නෑ. මම හිතුවා මේ දේ වළක්වගන්න ඔවුන්ට නොහැකි වුණේ ඇයි කියලා. ඛලීල් ජිබ්රාන් කවියා මෙසේ කියා තිබෙනවා. “මිනිසෙක් තුළ දෙදෙනෙක් ජීවත් වෙනවා. ඉන් එක් අයෙක් අඳුර තුළ අවදියෙන් සිටිනවා. අනිකා ආලෝකය තුළ නිදාගෙන සිටිනවා.”

ඔබ පවසන අන්දමට ඒ සිද්ධිය ඔබේ අලුත් නවකතාවට පාදක වී තිබෙනවාද?

නැහැ. ඒ සිද්ධිය මගේ ප්‍රේමාක්ෂර නවකතාවට ඇතුළත් වෙලා නැහැ. ප්‍රේමාක්ෂර කියන්නේ වෙනස්ම පරිකල්පනයකින් උපන් කතා සාරයක්. ආලෝකය තුළ නිදා නොගෙන අවදියෙන් සිටිය යුත්තේ කෙසේද යන්න කියා දෙන්නයි මෙහිදි මට ඕන වුණේ.

මම ඒක මෙහෙම කියන්නම්. කුමන හේතුවක් නිසා හෝ මනස හිරිවැටී විඩාබර වන මොහොතක පවා ප්‍රේමය හඬ නඟා කතා නොකරයි. ප්‍රේමය පවතින්නේ නිහඬතාව ආත්ම කොට ගෙනයි. විශ්වාසය ප්‍රේමයේ සමස්තයයි. එහි හැඩය වටහා ගත හැක්කේ ගැඹුරු අධ්‍යාත්මයක් ඇත්තවුන්ට පමණි.

ප්‍රේමාක්ෂර නවකතාව ගොඩ නැඟුණේ මේ විදිහටයි. මුලින්ම පරිකල්පනය කොට පසුව ලියවුණාදැයි මම දන්නේ නැහැ. කොහොමවුණත් උපන් පරිකල්පනය අනුව එය ලියවෙන්න ඇරලා මම මහත් ආස්වාදයක් ලැබුවා.

මේ ජිවිතය නම් අවකාශය තුළ අප ඇලුම්වත් වන්නේ ප්‍රේමය හා සෞන්දර්යයට යි. සෞන්දර්යය වෙනස් වෙමින් වුණත් තවමත් නොකෙලෙසී පවතින නමුත් ප්‍රේමය නම් කෙලෙසී ඇති බවක් පෙනෙනවා. එය සුසිනිඳු කොට පිරිසුදු කිරීමට මා ප්‍රේමාක්ෂර ලියූ බව කියන්න කැමතියි.

ඔය කියන අසීමිත ප්‍රේමයට අද සමාජය තුළ ඉඩක් තිබෙනවාද? එය මනංකල්පිත අර්ථ නිරූපණයක් විය නොහැකි ද?

ඔබේ ප්‍රශ්නය සාධාරණයි. යුක්තිසහගත යි. ඒත් මම අර කලින් කිව්වා වගේ මිනිසුන්ට පුළුවන් නම් පිටතින් උදවු ඉල්ලන්නේ නැතිව තමන්වම අවබෝධ කරගන්න.... තමන්ගේ හදවත පතුලේ ගැඹුරු අධ්‍යාත්මය නම් තරලය තුළ හැඟීමක් ලෙසින් රැදිලා තියෙන්නේ ප්‍රේමය කියලා තමන්ටම අවබෝධ කරගන්න මිනිසුන්ට පුළුවන්නම් ඒ තමයි අවශ්‍ය වන්නේ. ඒත් ප්‍රශ්නය වෙලා තියෙන්නේ හුඟ දෙනෙක් දන්නේ නැහැ ඇත්තටම තමන්ට අධ්‍යාත්මයක් තියෙනවද කියලවත්. මගේ මේ උත්සාහය තුළ පවතින්නේ ප්‍රේමය නම් ඒ අධ්‍යාත්මික ශික්ෂණය වචනවලට හසු කරගැනීමක්. එසේ එය කළ හැකිද කියලා බලන්නත් මෙතැනදී මම උත්සාහ කළා. ඒ නිසා මම කියනවා මේ නවකතාව මනෝභාවයන් විසින් පීරි ගා මුවහත් කළ හැඟීම්වල ස්වයං ප්‍රකාශනයක් කියලා. එහෙමයි මම විශ්වාස කරන්නේ.

මේ නවකතාව නව සමාජයට කාවද්දන්න පුළුවන් ආකාරයේ ප්‍රකාශනයක්ය කියලා ඔබ හිතනවාද?

මෙහෙමයි මගේ පිළිගැනීමට අනුව නවකතාවකින් කුමක් ප්‍රකාශයට පත් වුණත් නිර්මාණකරුවාගේ පළවෙනිම කොන්දේසිය වෙන්න ඕනේ ජීවන අත්දැකීම් ඒ විඳීම් සෞන්දර්යාත්මක භාෂාවක් ඇතුළේ ගොනු කිරීමයි. මම එය “කවි බස” නමින් හඳුන්වන්නේ නැහැ. ඒත් ඒ භාෂාව, නිර්මාණය හා සැබෑ සමාජය අතර අන්තර් සම්බන්ධතාවක් ගොඩඟන පාලමක් වෙන්න ඕන. 

ඒත් මා මෑත කාලයේ කියවූ බොහෝ නවකතාවල ඔය පාලම දැක්කේ නැහැ. වාර්තා ලියන බසින් කවදාවත් නවකතා ලියන්න බැහැ. එහෙම වුණොත් එය අසාර්ථක වෙනවා. ඔවුන් බස අත්හදා බලන්නවත් ගත් උත්සාහයක් පෙනෙන්නේ නැහැ. සිංහල බස කියන්නේ හරි සුඛනම්‍ය භාෂාවක් බව මතක තබා ගන්න ඕන.

මීට අවුරුදු හතළිහකට කලින් මා ලියු “ඔබේ ආදරය ගීතයක් නම්” නවකතාවේ ඇතැම් වැකි දුරකථනය හරහා කටපාඩමින් කියන පාඨකයන් අදත් මට හමුවෙනවා.

මගේ ඒ සුපුරුදු භාෂා ශෛලියම තමයි ප්‍රේමාක්ෂර නවකතාවටත් යොදා ගත්තේ. තමන්ගේ මනසටත් අධ්‍යාත්මයටත් අද­ෘශ්‍යමානව සිටිමින් තමා අවුළුවන්නේ කවුද, මේ පරිකල්පනය අවදි කරන්නේ කවුද අවබෝධයක් ඇති නවකතාකරුවකුට භාෂාවේ නිල අල්ලන්න පුළුවන්. මේ ජීවන අවකාශය තුළ තියෙන මානව හැඟීම්, මානව ධර්මතා කාන්දමකින් වගේ තමන්ගේ පරිකල්පනය තුළට ඇද නොගත්තොත් අන්න එතන ඉඳලා නිර්මාණයක ප්‍රාණය ගිලිහිලා යනවා. නවකතාවක් ලියනවාය කියන්නේ කාව්‍යමය අත්දැකීමක් කියල හිතන නවකතාකරුවකු අතින් එවැනි වැරදි සිදුවන්නේ නැහැ.

දැන් මගේ නවකතාව ගත්තොත් ප්‍රේමාක්ෂර අන්තර්ගතයෙනුත් හැඩයෙනුත්, හැඟීම් විෂයයිකවත් වෙනස් අවකාශයක් තුළ නිර්මාණය කරන්නට මට අවස්ථාවක් ලබා දුන් නිර්මාණයක්.

මම ඒ වෙනසට කැමති යි. එවැනි වෙනස්කමක් වෙනුවෙන් ප්‍රේමාක්ෂර නවකතාව ලියූ බවත් කියන්න කැමතියි.

Comments