කවි සිළුමිණ | සිළුමිණ

කවි සිළුමිණ

ගෙදර අම්මා මමයි!

අද හරිම මහ­න්සියි
ඕනෑ හොඳ තේ එකක්
කියන්නේ කාට­දැයි...
ගෙදර අම්මා මමයි...

"දර තෙතයි වගේ අද
ඇවි­ළෙන්නෙ හරි හොරට"
අහ­න්නට කෙනෙක් නෑ...
ගෙදර අම්මා මමයි...

ගේ ටිකක් හැඩි­වෙලා
අතු ගෑවා මං උදෙන්
කවුරු මට කිය­න්නද
ගෙදර අම්මා මමයි...

මට ඒක අමා­රුයි
කියන කොට කවුරු හරි
"ඒක පුළු­වනි ඒක"
මං කිය­නවා එහෙම
ගෙදර අම්මා මමයි....

තාරකා අබේ­සේ­කර


අලුත් පාසල

දුප්පත් දහ­දි­යෙන් සොයා­ගත්
කන­කර රත්ත­රන් ටික
බැංකු­වට උකස් කර
ගත්ත දුර­ක­ථනෙ අලුත් එක
ගස් උඩ ද ගල් උඩ
හදා­ගත් අලුත් පාසල

පෙළ­පොත ලිහ­න්නට
දුර­ක­ථනෙ දුන්නෙ
පොඩි­එ­කාට ඉගෙ­න­ග­න්නට
ගුරු දෙවි­ව­රුන්
මහ මගේ
දේවතා හඬ නෑසෙන්නේ
හදා­ගත් අලුත් පාසල

පොඩි උන්ගෙ පැතු­මන්
උද්ඝෝ­ෂණ සැඩ සුළ­ඟින්
බිම වැටේ­විද?

තිල­ක­රත්න ඕබ­ඩගේ


කිරි­ල්ලි­යයි මා

මල් ඵලින් බර ලප­ල්ලෙන් සුදු - මේඝ සිඹිනා වසන්තේ....
පත් පතිත වී මහී සන­සන - ඉපල් ශේෂ වූ සිසි­රයේ....
සැඩ සුළ මහ අකුණු ඇවි­දින් - රිද­වනා වස්සා­නයේ....
එකම තුරු හිස නිබද ගයනා - කිරි­ල්ලකි මා දසන්තේ....

එච්.කේ. සඳුනි නවෝදා


රන් සම­නලී ෆාතිමා අයිෂා

සිනහා මුතු ගෙන පුංචි මල් සිත
රෝස කුසු­මකි සුවඳ දෙන
දැව­ටෙනා මවු සුවඳ ළඟ
දුවේ ෆාතිමා,
දුවේ ෆාතිමා අයිෂා,
හඬ­වලා සිත් හඬ­වලා
තනි­වෙලා සිත් තනි­වෙලා
යන්න සිතුනෙ ද තනි­වෙලා
රෝස කුසු­මක් වෙලා,

පිපී හින­හෙන කුසුම මගෙ
රෝස කුසු­මන් මඟ දිගේ
ගමන දුර නෑ රෝස සුව­ඳට
ලොවම අයි­තිය රෝස කුසු­මට...

යදම් බිඳ දා මාර­යන්
රිද­වලා නෙත් හඬ­වලා
මඟක් ගෙන බල සවිය වී
පැන යතී උන් සීරු­වෙන්,
මාර­යින් රස භෝජනේ
නිල් කොළ ද ඉගි­ළෙනු පෙනේ
අහිමි කුසු­මකි නොඑන කිසි දින
තීන්දුව මඟ අනේ...! යුක්තියේ...

වෛර සිත් නැහැ හද සෙනෙහේ
රෝස කුසු­මය නුඹ මගේ
පිපී මතු දා හද විලේ
ගයන්නෙ ද ගී මිහි රසේ,
සම­නලී මගේ සම­නලී
කෝ අනේ මගේ සම­නලී...?

අවදි වීලා එන්න දෝතට
ඔයා මගේ රන් සම­නලී
දුවේ ෆාතිමා,
දුවේ ෆාතිමා අයිෂා...

නීතිඥ කීර්ති කපු­වත්ත


අතීත මතක පොත...

මොන තරම් සුන්ද­රද
වැහි පොදක් වැටෙන විට
එක කුඩේ යටින් අප
එක්ක­ගෙන ගිය මහිම

අතී­තයේ මතක පොත
නුඹ ගාව තියන වද
අරන් පෙර­ළන්න වත්
ඉඩ හසර නැති­වාද

පොඩි පැටවු රැක­ගන්න
ටියු­ෂ­නුත් ගෙනි යන්න
සති අන්ත නිවා­ඩුව
හොඳ­ටෝම මදි නේද
පුරුදු ගාමන්ට් එකට
කඹු­ර­නව මං තාම

කුසුමා ප්‍රේම­රත්න


දහම කුම­ටද?

දහම කුම­ටද?
දැවෙන හද­වත්
නිවා සනසා
ලන්න බැරි­නම්...

දහම කුම­ටද?
සසල වූ සිත්
නිසල කරවා
ලන්න බැරි­නම්...

දහම කුම­ටද?
එළිය නොද­කින
අන්ධ නෙත්
පාදන්න බැරි­නම්..
.
දහම කුම­ටද?
මිනිස් වග
එක කැළක් ලෙස
එක් කරනු බැරි­නම්...

එච්.එම්. ආර් ශාන්ත කුමාර
 


මුනු­පුරා සිහි වී

උරු­මය විලස පෑ සෙන­හස තුරුලු වෙලා
සිහි­වී­මෙන් හද කකි­යයි සසල වෙලා
තෙරක් නොපෙ­නෙනා මංපත් විවර වෙලා
ඔබෙ රුව දකිනු රිසි­යෙන් මම හිඳිමි බලා

සීයේ කියා සිඹ සිඹ මාගේ මුහුණ
සුර­තල් පපා ඔබ මාවෙත සෙනෙ හසින
රස­කර සුමට බස් තෙපලූ හැටි නිතින
ඉවසා සිටින්නේ කෙලෙ­සද පුතු "හිරුන"

පාසල් වැඩ නිසා මා සැර­කළ දිනක
ආච්චීට දොඩ­මලු වෙයි ගොස් අහක
මට නොපෙ­නෙන්න මා දෙස බලනා විටෙක
සින­හව දුටු­ව­හොත් ආපසු එයි හනික

සම්බුදු තෙම­ඟු­ලෙන් ලොව පිබි­දෙන වාරේ
ඔබ වෙන්කර දැන­ටත් දෙව­ස­රක් පිරේ
ඔබ­ගෙන් තොරව කල් ගෙවනා සෑම වරේ
සතු­ටක් නොලැබ මම වැල­පෙමි දිවි කතරේ

සීයගෙ ආච්චිගෙ සෙන­හස ලැබ ගන්න
සුර­තල් පෑව හැටි සිහි­නෙන් පෙන් වන්න
නිදි­සුව ලබන සැණෙ­කින් අප සන සන්න
පැමි­ණෙනු විගස නිදි­ය­හ­නට නොපෙනෙන්න

රාජා හේමන්ත පින්න­වල


තණ්හාව

"දරුවො ඇයි ආයෙ­මත්
අඬන්නේ හුහු­ල­මින්
නැති­වුණේ රුපි­ය­ලයි
මා දුන්නනේ දෙකක්"

හිටි­ය­හැකි ද නාඬ­මින්
මගේ අර රුපි­ය­ලත්
නැති නොවී තිබුණ නම්
වේ නෙ රුපි­යල් තුනක්

සිරි­නි­මල් ලක්දු­සිංහ


අරගල

උද­යට පිපෙන මල් හව­සට පර­වෙ­නවා
ගඟ­දිය උතු­රලා විට­කදි විය­ළෙ­නවා
සුන්දර සියලු දේ මොහො­තින් වැන­සෙ­නවා
දැක දැක මේ අරුත ඉර­හඳ පාය­නවා

අස්තිර ලොවක ඉස්තිර දේ සොයන විට
මිනි­හට අම­ත­කය වට­කොට තියෙන වැට
කෑ මොර දිදී උන් යුක්තිය සොයන කොට
වෙන කවු­රු­වත් රට වට­කොට බඳිති වැට

සාමය නැති තැනට හතු­රන් රිංග­නවා
උන්ට ඇවැසි දේ කර­ගෙන වැජ­ඹෙ­නවා
අවු­රුදු තිහේ යුද්ධය යළි සිහි­වෙ­නවා
අර­ගල අස්සේ නර­ලොව හොල්මන් එනවා

ගාමිණී චන්ද්‍ර­සේන


සිතනු මැන

විය­රුව ගොසිනි මිහි­කත
සාප­රාධි මිනි­සුන් නිසා
සුළි සුළං භූමි­කම්පා
ජල ගැලීම් සුනාමි නෙක­විධ

වන­සයි මිහි­ත­ලය
සාප­රාධි මිනි­සුන් නිසා
හඬා වැටෙයි අය­දියි
රැක ගන්න මා
මතු පර­පුර වෙනු­වෙන්

කුරිරු මිනි­සුනේ
සිතනු මැන මොහො­තක්
නවතා කුරි­රු­කම්
රැක ගත යුතුය අපම
අපව සුර­කින මිහි­කත

ක්‍රිස්ටෝ­පර් රණ­සිංහ


සිහල කලාකරු­වා­ණෙනි!

අනු­රා­ධ­පුර, පොලො­න්න­රු­පුර යුග­ව­ලට අපෙ සිත් යොමා­ගෙන
හෙළ කලා­ක­රු­වන්ගේ විස්කම් තුළින් ඇත­නව පණ ලබා දෙන
මහා කළු­ගල් වලට ජීවය දුන් අරුත සැම­ටම කියා දෙන
කලා කරු­වා­ණනේ! ඔබ මිය ගියද නොමලා වගේ හැඟ­වෙන

නෙළා බුදු­රුව මහා කළු­ගල් තුළින් රළු බව ඉවතා පන්නා
කලා­වට, කැට­ය­මට දා බිදු වගු­රුවා නව අරුත දුන්නා
මගේ හෙළ­බිම එළිය කළ ඔබ කලාවේ ඇති අගය පෙන්නා
යළිත් මේ බිම උපත ලද මැන යුගෙන් යුග­යට කුසල ගෙන්නා

මහා දාගැබ් පුදුම දන­වන ලෙසට බන්දා අහස උසට
සාසනේ ඉති­හා­සයේ තුළ නම තබා රන්'කුරින් යසට
සතුට, සම්පත, පිනද, කුස­ලය මතින් ඊයේ අදද හෙටට
කලා කරු­වනි ඔබේ දස්කම් අගය කර­මින් ඇදෙමු පෙරට

ඒ.කේ.ඩබ්ලිව්. පෙරේරා


මහලු කවියා

ඇඳ විට්ට­මට වාරුව පන්හිඳ අතැතී
කඩ­දහි ගොනුවෙ කොළ ටික අහ­ලින් තිබෙතී
එළි­වැට නොම බිඳී හුරු­වට පෙර පැවතී
විය­පත් කවිඳු තව­මත් කවි පද බඳිතී

පෙර අත් දැකී­මක් මත­කෙට නඟා­ගෙන
ඉපැ­රණි උප­හැ­රන යහ­මින් යොදා­ගෙන
පපුවේ ගැස්ම තව දුර­ටත් රඳෝ­ගෙන
හර­බර ලෙසින් යයි කවි පද ලියා­ගෙන

ඉස්සර ලීව පෙම් කවි මත­කෙට එන්නේ
අහි­මිව ගිය පෙමයි සිත ළඟ ගැව­සෙන්නේ
අම­තක කර­න්නට හැදු­වත් බැරි වෙන්නේ
අකු­රක් දෙකක් තව ඒ ගැන ලියැ­වෙන්නේ

වට මේසයේ ඉඳ­ගෙන මිතු­රන් සමඟ
රහ බැලු විලා­සය රහ­මෙර ටික දිවග
විල­සින් සුමග විට­කදි ගිය­හැටි නොමග
එනවා හමා­ගෙන මත­කයෙ සැඩ සුළඟ

අඹු දරු­වන් සමඟ මුලදී ගත කෙරුව
ජීවිත මතකෙ කවි කෙරු­මට හර­බ­රව
හිතු­ණත් ඊට පන්හිඳ ඇත හුරු නැතුව
වෙව්ලයි කවක් සට­හන් කෙරු­මට බැරුව

නොම­හුරු ඇඟිලි හසු­රා­ගනු අප­හ­සුය
කඳු­ළින් බොඳව නෙතු යුග නොම පැහැ­දි­ලිය
එක් කවි­යක පදය මෙලෙ­සින් ලිය­වු­නිය
මර­ණය ඉතින් නුඹ හට ද අන් අව­ස­රය

ගාමිණි ලිවේරා


ඇමක් කියූ කථා­වක්

මා යොතින් ඇමිණී
මර­ණයේ දොර­කඩ හිඳ
කිය­න්නට දැඟ­ලු­වත්
මඟක් නැත

අන­තු­රක වග නොබලා වට­පිට
නොසිතා දුර­දිග නොසොයා කිසි­වක්
ඔබ ගිල දැම්මා මා
කෑදැ­රව

සමර හේරත්

Comments