සුළි සුළඟ පැරදූ දිඹුලාගල හිමිගේ මනුෂ්‍යත්වය | සිළුමිණ

සුළි සුළඟ පැරදූ දිඹුලාගල හිමිගේ මනුෂ්‍යත්වය

හිටපු ඇමතිවරයකු වන ලලිත් ඇතුලත්මුදලි සමඟ

නැඟෙනහිර පළාත සුනු විසුනු කරමින් 1978 දී ඇතිවූ මහා සුළි සුළඟ සිදුවූ අවස්ථාවේදී දිඹුලාගල හිමි කළ සේවය ද එකී පළාත්වාසී ජනතාව දැනුදු හිතවත්ව සිහිපත් කරති. වේගයෙන් ආ සුළි සුළඟ ගෙවල් බිත්ති පෙරළා දමා මහ ගස් කොළන් උදුරා දමමින් ගෙවල්වල වහලවල් සැතපුම් ගණන් දුරට විසිකරවා ජන ජීවිතයට දේපළවලට මහත් අලාභ හානියක් සිදු කළේය. සුළි සුළඟ නතරවූ ගමන්ම මතුවූ ගංවතුරින් මුළු පළාතම යට විය.

ගම් බිම් ජලයෙන් යටවී තිබියදී අසරණ ජනයාට කර කියාගත හැකි කිසිවක් නොවීය. 

කවදත් තමන්ට දිඹුලාගල හිමි සලකන බව දත් අවට සිටි සියලු ජන කොටස් දිඹුලාගල බලා පැමිණියහ. පන්සල් වත්තත්, පාසලත් සෙවණ ලබමින් සිටි ජනතාවට සරණවූ හිමියෝ මහ වැස්සෙන් බේරීමට හිස පැදුරකින් වසාගෙන ගමන් ගත්හ. දියකඩිති හා තණ පඳුරු මැදින් දුෂ්කර ගමනක යෙදෙමින් දිඹුලාගල හිමි ජනතාවට පිහිට විය. හිමියන් විඳින දුක දුටු දුම්රිය සේවකයෙක් හිස ගත ආවරණය කරන්නට වැහි කබායක් දුන්නේය. පා ගමනින් පොළොන්නරුවට වැඩම කළ හිමියෝ උසස් නිලධාරින් හමුවී අසරණ ජනයාට පිහිට වන්නැයි ඉල්ලා සිටියහ.

දිනෙන් දින ගංවතුර වේගය නොසිතූ ලෙස ඉහළ යන්නට විය. යා හැකි ගොඩබිම් මාර්ග සියල්ලම වතුරට යට වීය. දිඹුලාගල දෙසට යාම බෙහෙවින් දුෂ්කර විය. එහෙත් රජයේ ආහාර ආධාර ගුවන් මඟින් එනතුරු බලා සිටියොත් අසරණ ජනතාව කුසගින්නේම මිය ඇදෙන බව හිමියෝ දැනගත්හ. රජයේ නිලධාරින් කොළඹ සිට ආහාර ලැබෙන තුරු බලා සිටියදී දිඹුලාගල සමුපකාරයේ තොග වශයෙන් ගබඩා කළ ලක්ෂ ගණනක් වටිනා ආහාර තොගයක් ඇතැයි හිමියෝ දැන ගත්හ. කෙසේ හෝ මේ ආහාර තොගය අසරණ ජනයාට බෙදා දෙන්නට ගතයුතු මඟ කුමක්දැයි හිමියෝ කල්පනා කළහ. ගොඩගැසී ඇති ආහාර තොගය තව මොහොතකින් ජලයෙන් යටවී විනාශ විය හැකිය. ජනතාව දහස් ගණනක් බඩ සයින් පීඩිතව සිටිතැයි හිමියෝ සිතූහ. මනම්පිටිය එගොඩපත්තු ගම් සභාවේ ප්‍රධාන ලිපිකරු ඩී.ඇල්. මහීපාල, මහජන පුස්තකාලයේ පුස්තකාලාධිපති පියතිස්ස පාදුක්කගේ, මනම්පිටිය මහජන සෞඛ්‍ය පරීක්ෂක ලාල් ද සිල්වා, මහවැලි ‘සී’ තරුණ ගොවිපල භාර නිලධාරි වීරසිංහ ධර්මසේන, ගිරිතලේ ගම් කාර්ය සභාවේ කාර්මික නිලධාරි හර්ෂ සමරනායක යන අය සමඟ එක්වී කළ සාකච්ඡාවේ ප්‍රතිඵලයක් ලෙස තව සංවිධානයක් ගොඩ නැඟිණි. මේ පිරිස සමුපකාර සමිතිය සතු තොග ගබඩාවේ තිබියදී මොහොතකින් විනාශ විය හැකි ආහාර තොග ඉල්ලා සිටියහ. පවත්නා නීති රීති අනුව මෙය බලවත් දුෂ්කර කටයුත්තක් විය. මුලින් කළ යුත්තේ කුසගින්න නිවීමය. නීති රීති බැලිය යුත්තේ ඉන් පසුවය. හිමියෝ ඉදිරිපත් වූහ.

“මේ බඩගින්නේ මැරිල යන එවුන්ට කන්න දෙන්න මෙතන විනාශ වෙලා යන හාල් - පිටි - සීනි - ලුණු ටිකට සල්ලි ගෙවන්න සමිතියට බැරි නම් මගේ අතින් දෙන්නම්. ඉක්මනින් මේ කෑම ටික බෙදල දෙන්න” යයි හිමියෝ කීහ. ට්‍රැක්ටරයක පැටවූ ආහාර තොගය මහ වැස්සේ තෙමී, කුසගින්නේ සිටි හිමියෝ අසරණ ජනතාවට බෙදා දුන්හ. අනුන්ගේ කුස පිරෙනු බලා සිටි හිමියෝ තම කුසගිනි වැහි දිය බොමින් සංසිඳවා ගත්හ. කුසගිනි නිවුණු ජනතාව හිමියන්ට පින් දුන්හ.

අදත් එගොඩවත්ත ප්‍රදේශයේ ජනතාව සුළි සුළං විපතේදී මේ හිමියන් දැරූ මහන්සිය හා උදාර ජීවිත පරිත්‍යාගයෙන් කළ සේවාව ගැන පුදුම ආදරයකින්, භක්තියකින්, ගෞරවයෙන් සිහි කරති.

අසරණයන්ගේ කුසගින්න නිවන්නට සමුපකාරයේ ගොඩ ගැසී තිබුණු ආහාර තොගය බෙදා දුන් හිමිට වූයේ මහා ගැටලුවකට මූණ දෙන්නට ය. සමුපකාර සමිතියේ ආහාර තොගය වෙනුවෙන් රුපියල් විසි දහසක් ගෙවිය යුතු යයි පාලකයෝ හිමියන්ට දැන්වූහ.

“මහත්තයෝ අපි මේ පිටි, සීනි අරන් කෑව නෙමෙයි. කන්න දෙයක් නැතිව බඩගින්නෙ මැරිල යන්න හදපු අහිංසකයන්ගෙ බඩ ගින්න නිව්වා. මේ වෙලාවෙ හැටියට ආණ්ඩුවට කරන්න බැරි දෙයක් අපි කළේ සුළි සුළං ආධාරය කියල සමහරු රජයේ දේ පොදි බැඳගන්න කොට අහිංසක මිනිසුන්ට ඒව බෙදල දුන්නෙ නැත්නම්, වැස්සට තෙමිල වතුරට යටවෙලා ඒවා විනාශ වෙනව. නැත්නම් බඩගින්නෙ ඉන්න මිනිස්සු ඇවිත් බලෙන් උදුර ගන්නව. මේක ආණ්ඩුවට කොච්චර අවනම්බුවක්ද? නිලධාරි මහත්තුරු කියනව නම් අපි සූදානම් මේ මහත්තුරු කට්ටියත් එක්ක හිර ගෙදරට යන්න. ඒක අපිටත් ලොකු නම්බුවක්. අහිංසක මිනිසුන්ගෙ බඩගින්න නිවන්න හිරේ ගියත් මොකද?”

හාමුදුරුවන්ගෙ කථාව ඇසූ දිසාපති තුමා ඇතුළු නිලධාරීහු කම්පා වූහ. සුළි සුළං ආධාර දීමේදී භේදයක් නැතිව සියලු දෙනාටම සමව ආහාර බෙදාදීමට ප්‍රවේශම් වූහ. ඇතැම්හු මේ අවස්ථාවේත් හිමියන් වෙත පැමිණ සිංහල - දෙමළ හා බෞද්ධ - මුස්ලිම් භේදයක් ගැන මොනවාද කථාවෙනු හාමුදුරුවන්ට මතකය.

එහෙත් විපතට පත්ව ඇත්තේ ජාතියක් ආගමක් අනුව නොවන බව තරයේ ප්‍රකාශ කළ හාමුදුරුවන් වහන්සේ සියලු දෙනාටම සම සමව සිටින සේ ආධාර උපකාර කළහ.

මහ රහතන් වහන්සේලා වාසය කළ භාවනානුයෝගීව වැඩ විසූ ගල්ලෙන් රැසකින් සමන්විත භූමි ප්‍රදේශයක්ව එදා පැවත අවුත් පසුකාලීනව බෞද්ධ ජනතාවගේ පුද පූජා සිදු කළ බුද්ධ ප්‍රතිමා කඩා බිඳ සුනු විසුනු කර තිබුණ නෙළුගල ප්‍රදේශය පත්ව ඇති ශෝක ජනක පරිසරය දුටු දිඹුලාගල හිමියෝ යළි එහි බෞද්ධ ප්‍රබෝධය ගොඩනංවන්නට සිතා ගත්හ. ඒ ප්‍රදේශය මේ වනවිට සිංහල පවුල් අටක් පමණ වූ සුළු වශයෙන් ජීවත් වුවද, අසල ගම්වල සිංහල පවුල් රැසක් ජීවත්වූහ. මෙම පිරිස කැඳවා කථිකාවතකට එළඹි හිමියෝ රැයක් මුළුල්ලේ පිරිත් දෙසුමක් පැවැත්වීමට කටයුතු යෙදූහ. කඳු හිස් මත්තේ සිදුවන මේ පින්කමකට අසල ගම්වල ජනතාව ද පැමිණියහ. නැඟෙනහිර පළාත ආශ්‍රිතව දිඹුලාගල හිමි ගෙන යන ජාතික ව්‍යාපාරය නතර කිරීමට විවිධ උපක්‍රම මේ වනවිට ක්‍රියාත්මක වෙමින් පැවතිණ. පූනානි හි සිංහල පවුල් පදිංචි තැන් වටකොට ගෙන යළි කල්ලතෝනීන් කීප දෙනකුට පැල්පත් ඉදිකොට දී, එම පැල්පත් ගිනිබත් කොට එසේ කළේ දිඹුලාගල හිමි විසින්ය යන අධිකරණයේ නඩුවක් පැවරීමට හිමිට විරුද්ධ බලවේගය කටයුතු සම්පාදනය කෙරිණ. ඉදිරිපත් කොට තිබූ චෝදනා බරපතළ වූයෙන් මඩකලපුව විනිශ්චයකාරවරයා දිඹුලාගල හිමි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි දින නියම කළේ ය. මේ ආරංචිය වූ හිමි සමඟ සමීප ඇසුරක් පැවැත්වූ කීප දෙනෙක් කලබල වුහ. උසාවි නියෝගයට පිටුපා කොතෙක් කල් සැඟව සිටියද එසේ කරන තාක් කල් ප්‍රසිද්ධියේ කිසිදු කටයුත්තකට හිමියන්ට මුල්විය නොහැකි නිසා මෙහි ඇති බැරෑරුම්කම තේරුම් ගෙන කළයුතු දේ ගැන උපදෙස් දෙන්නට හිමි බැහැ දකින්න පැමිණිය ද දිඹුලාගලින් මනම්පිටියට ගොස් එතනින් හිඟුරක්ගොඩ රහස් තැනකට හිමියෝ කැඳවාගෙන ගියහ.

දිඹුලාගල හිමියන් ඈත තබා හඳුනා ගන්නට නොහැකි වූයේ වෙනත් හාමුදුරුවරු මෙන් හිස රැවුල් බූ ගා දෑස පමණක් පෙනෙන සේ සරසා සිටි හෙයිනි. දුම්රියෙන් මඩකලපුවට පැමිණි හිමි දෙපස මුස්ලිම් ජාතිකයෝ මෙන් තොප්පි දාගත් තරුණයෝ දෙදෙනෙක් වූහ.

මඩකලපු දුම්රිය ස්ථානයේත්, බස් නැවතුම් පොළේත් වෙනදා නැති පොලිස් පිරිසක් වූයේ නඩු දිනයට නිසැකව හිමි පැමිණි විට අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කිරීමටය. එහෙත් පොලිස් නිලධාරීන්ගේ ප්‍රයත්නය අසාර්ථක විය. මුස්ලිම් කාන්තාවක් මෙන් පැමිණි දිඹුලාගල හිමි කෙළින්ම ගියේ හිතවත් උපාලි සිල්වාගේ නිවෙසට ය. උසාවි වැඩ අරඹන තෙක් එහි සිට කච්චේරිය පැත්තෙන් උසාවියට යා හැකි කෙටි පාරකින් උසාවි භූමියට ගියේ මෝටර් රථයක සැඟවී ගෙනය. විනිශ්චයකාරයා උසාවියට ඇතුළුවත්ම ඔහු පිටුපසින් පසුපස දොරටුවෙන් ඇතුළුවී අසුන් ගත්හ.

පැමිණිලිකරුවෝ විමතියට පත්වූහ. කිසි විටෙකත් මෙවැන්නක් සිදුවෙතැයි ඔවුන් නොසිතූ හෙයිනි. මාංචු පිටින් පැමිණෙන දිඹුලාගල හිමි දැක ගන්නට සිතා සිටියත් එවැන්නක් සිදු කිරීමට තරම් නුවණක් වැදි ගම්මානයක් මුල් කොට වාසය කරන දිඹුලාගල හිමියන් සතුව නැතැයි දේවනායගම් ඇතුළු පිරිස සිතන්නට ඇත. කීර්තිධර අධිනීතිඥයකු වූ තවරාජා දිඹුලාගල හිමි වෙනුවෙන් පෙනී සිටියේය.

එදා විනිශ්චය සඳහා නීතිඥයාගේ ඉදිරිපත්වීම තුළින් මුලින්ම විභාගයට ගැනුණේ දිඹුලාගල හිමි ගැන වූ පැමිණිල්ල ය. විත්තිකරුවන් දෙදෙනෙකි. පළමුවැන්නා දිඹුලාගල හිමියන්ය. දෙවැන්නා පුනානියේ ව්‍යාපාරික පෙරේරා මුදලාලිය. හරස් ප්‍රශ්න ඇසිණි.

“මේ හාමුදුරුවො තමුන්ගෙ ගෙවල් ගිනි තිබ්බද?” 

“නැහැ”

“එහෙනම් කවුද ගිනි තිබ්බෙ”

“කවුද කට්ටියක් ආව. ගිනි තියල පැනල දිව්ව”

“කවුද ඒ කට්ටිය”

“අපි දන්නෙ නෑ”

මේ මහත්තය දන්නවද?”

“ඔව් අපි දන්නවා”

“ඒ කොහොමද”

“අපි මේ මුදලාලි මහත්තයගෙ කඩෙන් තමයි බඩු ගන්නෙ”

“එදා ගෙවල් ගිනි තියන්න ආපු කට්ටිය එක්ක මේ මුදලාලි මහත්තයත් ආවද?”

“අපි දැක්කෙ නෑ”

සාක්ෂි කරුවන්ගේ හරස් ප්‍රශ්න ඇසීම නිමා විය.

විත්ති කරුවෝ නිදොස් කොට නිදහස් කළහ. කර කියා ගත කිසිවක් නො වූ දේවනායගම් ඇතුළු පිරිස දෙස අවඥා සහගතව බැලූ දිඹුලාගල හිමි පසුපස දොරින් උසාවියට ඇතුළු වුවද ඉදිරිපස දොරින් පිටව ගියහ.

@ @ @ @ @ @

යළි ඉපදෙන දේශයක පෙර ගමන් කරුවකු වූයේ දිඹුලාගල හාමුදුරුවන් වහන්සේය. කඩිනම් මහවැලි ව්‍යාපාරය ආරම්භ කළද අමාත්‍යවරයාව සිටි ගාමිණී දිසානායකට මඟ පෙන්වාදී අඩියෙන් අඩිය ගමන් ගනිමින් එකී උත්කෘෂ්ට මහා මෙහෙවර එළිපත්තට ගෙන ගිය හිමියෝ මාදුරුඔයට ඔහු රැගෙන ගියේ අතිදක්ෂ ඉංජිනේරු ශිල්පියකු පරිද්දෙනි.

“බලන්න මහත්තයො මේක අද වල් වැදිලා මේක අපේ රාජධානිය මේ අපේ ඉස්සර මිනිස්සු කරපු දේවල් සුද්දො හෙට අනිද්ද මේ පළාතෙ කරක් ගහවි. ඒ කට්ටියට කියල දෙන්න. මේ තමයි වැව් සොරොව්ව මේව අපේ මී මුත්තල හදපු ඒවා.”

“හරි නායක හාමුදුරුවනේ මම ඒක කරනවා”

“හැබැයි පුතෝ එකක් මතක තියාගන්න ඕන. මේ පළාතෙ මිනිස්සු ඉන්නෙ අමාරුවෙන්. බඩ ගේත්තරේ හොයාගන්නත් අමාරුයි. කුලියක් දීල මේ වැඩ කළා නම් රස්සාවකුත් ලැබෙයි.”

“හරි නායක හාමුදුරුවනේ. මේ පළාතෙ කොල්ලන්ට රස්සා ලැබේවි. ගේ දොර හැදේවි. ඒත් විසි තිස් දහසක් මිනිස්සු පිටින් ගේන්න වේවි. ඒකයි මම හිතා ඉන්නෙ.” ගාමිණී තම සැලසුම හිමියන්ට තේරුම් කර දුන්නේය.

“පිටින් මිනිස්සු ගත්තට කමක් නෑ. ඒත් පිළි‍වෙළකට මටත් ඕන වුණේ ඒ ටිකයි. මම මිනිස්සු ගෙන්ව ගන්නම්. ඔවුන්ට ඉන්න තැනක්, ගෙයක් දොරක් ඕන. ඒකට ඇමැතිතුමා මට උදවු කරන්න ඕන.”

අලුත් ජනගහනයක් ඒ හා සම්බන්ධව ඒ පෙදෙසට ආක්‍රමණය වන්නට විය. ඒ දිඹුලාගල හිමිගේත් ගාමිණී දිසානායක ඇමැතිවරයාගේත් මඟ පෙන්වීම අනුවය. සිංහල බලය තර කිරීමට මහවැලි ව්‍යාපාරය උපයෝගි කොටගෙන සිටින බවට වූ මේ ආරංචිය කන වැටුණු ජේ.ආර්. ජනාධිපතිවරයා එයට සම්බන්ධ මහවැලි අධ්‍යක්ෂ ජනරාල් එච්.ජී.පී. පණ්ඩිතරත්න වහාම ගෙන්වීය. එතෙක් එක්සත් ජාතික පක්ෂ සභාපති ලෙස සිටි ඔහු එතැනින් ඉවත් කළේය. එහෙත් සියුම් ලෙස පොළොන්නරු අවට ප්‍රදේශයේ සිදු කළ මේ ක්‍රියාවලියේ නියමුවා වන ගාමිණී දිසානායකගෙන් කරගත හැකි සේවය සොයා බැලූ ජේ.ආර්. ඔහුගේ ඇමතිකමට හරසක් නොකළේය.

“මුන් ඔක්කොම හදන්නෙ අපේ මිනිස්සු පාගාගෙන මේ මහ පොළොව පිට අයට සින්නක්කර කරලා දෙන්න. මම ඒකට ඉඩ තියන්නෙ නෑ.” දිඹුලාගල හිමිගේ ගමන් බිමන් වැඩි විය. මහ පිරිස් දිඹුලාගල හිමි ගෙන යන දැවැන්ත ව්‍යාපාරය සමඟ ඒකරාශි විය.

“මහ එකා එළවලා හරි මම මගේ ගමන ඉස්සරහට යනවා” හිමියෝ මුළු රට පුරා ගමන් කරමින් තම සේනා බලය තහවුරු කරගන්නට පටන් ගත්හ.

අවුරුදු හතළිහකට ආසන්න කාලයක් දිවා රෑ නොබලා කළ මෙහෙවරේ ප්‍රතිඵලයක් ලෙස පොළොන්නරුවේ සිට පුනානි දක්වා වූ ප්‍රදේශ මුළුමනින්ම සිංහල බෞද්ධ පුරයක් කිරීමට දිඹුලාගල හිමිගේ ශක්තිය බලවත් විය. පොළොන්නරු නගරය හැර මුළු පළාතම දෙවනත් කොට පැතිර විසිර ගිය විජාතීය බලවේගය කොට්ටා පැදුරු හකුළාගෙන ධූරී භූත වී ගියේ හිමියන්ගේ හඬ සිංහ හඬක් වූ හෙයිනි.

මහා හස්තියකු මහ වනය සිසාරා ගමන් ගන්නා සේ හිමියන් සතු තේජස රටපුරා පැතිර යන්නට විය. දිනෙන් දින හිමියන් විසින් සිදු කළ ජාතික සේවාව ගැන තොරතුරු පුවත්පත්වල පළවිය. ගම හැරදා වසර හතළිහකට පෙර ඉබාගාතේ ගිය සීලාලංකාර හාමුදුරුවන් ගැන මවුපිය නෑ හිතවතුන් මේ වනවිට අපවත්වී ඇතැයි සිතා පින් පෙත්දී තිබුණේ සීලාලංකාර නමැති හිමි නමකගේ අපවත්වීම පිළිබඳ වූ පුවතක් පුවත්පතක පළවී තිබුණ බවට ගැමියකු කළ කථා බහකිනි. 

එහෙත් කිතලගම සිරි සීලාලංකාර නම් හිමි නමක් පොළොන්නරුව ආශ්‍රිතව දිඹුලාගල මහ සෙනසුනේ අධිපති බව දරමින් ගෙන යන සමාජ සේවාව පිළිබඳව නිතරම පළවන පුවත් දුටු ගම් වැස්සෝ එක් රැස්වූහ.

“හාමුදුරුවන් අපවත් වී නැහැ. අපවත් වුණා නම් කොහොමද පොළොන්නරුවට වෙලා මේ වගේ වැඩ කරන්නෙ. අපි කොහොම හරි හාමුදුරුවො සොයා ගනිමු ”පිරිස පන්සලට ගියහ.

ගුරු හාමුදුරුවන් ඒ වනවිට අපවත්ව සිටියෙන් විහාරාධිපති ලෙස කටයුතු කළේ දිඹුලාගල හිමි සමඟ සමකාලීනව පැවිදි දිවියට ඇතුළත්වූ සහෝදර හිමිනමකි. හිමියන්ගේ පියා දියෝනිස් මහතා මිය ගොස් සිටියද මෑණියන් වූ නයනහාමි සිය දරුවා ජීවතුන් අතර සිටින බව දැක සතුටු කඳුළු වගුරුවා විහාරාධිපති හිමි දෙපා මුල වැටෙමින් තම පුතා සොයා දෙන ලෙස බැගෑපත් වූවාය. විහාරාධිපති හිමියෝ පොළොන්නරුවේ දිඹුලාගල බලා වැඩම කළහ. හදාගන යන පාසලක බිත්තියක් බඳින්නට මේ පිරිස සමඟ ගතවන කාලයෙන් කළ හැකි යැයි සිතූ හාමුදුරුවෝ පොළොන්නරුව බලා වැඩම කළේ අවට ගම් වැසියන්ගේ දුක සැප සොයන අතරේම අලුතින් ඉදිවන ගම්මානයේ අඩුපාඩු සොයා බලා ඒ බව ඉහළ තැන්වලට දැනුම් දීමටය. ඈත තියා එන පැවිදි රුවක් දුටු දිඹුලාගල හිමිට තම ගමන තවත් ප්‍රමාද වන බවක් දැනිණ.

“අදත් මගේ වැඩ ටික ඔක්කොම විනාශයි. ඔය ඉස්සරහට ගාටන්නෙ උන්නාන්සෙ කෙනෙක්. එයාට සංග්‍රහ සත්කාර කරන්න ගියාම මගේ වැඩ ආයෙත් දෙතුන් දවසකට කල් යනව. ආයෙම යන්නත් හොඳ නැහැ. මම කියනව ආවාසයට ගිහින් මම එනකම් එතනට වෙලා ඉන්න කියල.”

හිමියෝ ඉදිරියට වැඩියහ. මහණ රුව ඉදිරියට එත්ම හිමියන්ගේ සිතුවිල්ල වෙනස් විය.

“මේ එන්නෙ මම දැකල පුරුදු කෙනෙක්. ඇත්ත තමයි මාව හොයාගෙන ගමේ ඉඳල එන්නෙ මේ අපේ හාමුදුරුවො.”

හිමියන්ගේ සතුට දෙගුණ තෙගුණ විය. සිය දහස් ගුණයෙන් නැඟුණ සතුට සමඟ ඉදිරියට ගොස් හිමි දෙපා මුල වැඳ වැටුණි. උන්වහන්සේගේ මතකය එපමණක් විය. සිහිසුන් වූ සීලාලංකාර හිමියෝ පැය භාගයක් පමණ එසේ සිටින්නට ඇත. සිහිය පැමිණි විටද කථා කරන්න තැත් කළත් කටට එන වචන පිටවන වගක් දැනුණේ නැත. පැය ගණනක් මහන්සිව හාමුදුරුවන් සමඟ ආ ගිය තොරතුරු කථා කරන්නට සීලාලංකාර හිමිට හැකිවිය. එදා ගමේ තොරතුරු ඇසූ නිසා නැවත ගමට වැඩම කළ ද තම බාල සහෝදරයා අඳුනා ගන්නවත් උන්වහන්සේගේ මතකය අලුත් නොවී ය. ආදරණීය අම්මා හාමුදුරුවන්ගේ දෙපා මුල වැඳ වැටෙන්නට විය.

“අම්මේ මම පැලක් මගේ පන්සල ළඟ හදල දෙන්නම්. මාත් එක්ක එනවනේ.”

“අපේ හාමුදුරුවො කියනව නම් මම නරකාදියට වුණත් යනව. ඇයි අප්පේ අපට නොකියා ගියේ. මගේ පපුවේ පිච්චිච්ච ගින්දර තමයි මම දන්නෙ.”

යළි පොළොන්නරුවට හිමියන් පැමිණියේ තම අම්මා ද සමඟිනි. දිනක් තුළදී පන්සල ළඟම කුඩා පැලක් ඉදිකර දුන්හ.

ලබන සතියේ අවසන් කොටස

Comments