ඝර්ම නම් කාල ප්‍රවාහයක කතාව | Page 7 | සිළුමිණ

ඝර්ම නම් කාල ප්‍රවාහයක කතාව

තිලංග ෆොන්සේකා

•කෘතිය - ඝර්ම 
•කර්තෘ - තිලංග ෆොන්සේකා 
•කර්තෘ ප්‍රකාශනයකි 
•මිල රු. 1550 
•විමසීම් 61423366498

වකතාවක් එය කියැවීමට ඇරඹි මොහොතේ පටන් අවසන් වනතුරුම පාඨකයාගේ සිත ඒ වෙත බැද තබා ගන්නට සමත් වේ නම් එම කෘතිය සාමාන්‍යය කතා පොත් අතර විශේෂ වන්නේය. ඝර්ම නවකතාවද එවැන්නක් යැයි සිතේ. එයට ප්‍රධාන හේතුවක් වන්නේ කතුවරයා මෙම නවකතාව රචනා කිරීමේදී භාවිත කොට ඇති ආකෘතිය යි. කතුවරයා සිය කතාව පාඨකයා වෙත පවසන්නේ ඔහුටම ආවේනික වූ කතා කීමේ ආරකටය. ඔහු කතාව ඒක රේඛීය ලෙස පෙළ නොගස්වා කතා සන්දර්භයේ කොටස් තැනින් තැන ස්ථානගත කරමින් එම අපිළිවෙල මතම පාඨකයාගේ සිත් බැද ගැනීමට ගත් උත්සාහයක් මෙහි දැකිය හැක. එවැනි සාහිත්‍යමය පෙළහරක් ඔහුගේ කතා වියමන තුළින් ගෙනහැර පායි.

මෙම නවකතාව තුළ කතුවරයා විසින් චරිත ගොඩනගනා අපූර්වත්වය පාඨක අවධානය වඩාත් තීව්‍ර කරවන්නක් ලෙසින් ගත හැක. මෙහි කතා නායකයා වන තීර්ථගේ චරිතය ගොඩ නැගීමේදී කතුවරයා ඔහුගේ චරිතයට ඉමහත් සාධාරණයක් ඉටු කොට ඇතැයි සිතේ.

කොටින්ම තීර්ථගේ චර්යා රටා, ඔහුගේ සිත ක්‍රියාත්මක වන ආකාරය ක්‍රමයෙන් කතාව පුරා විශ්ලේෂණය සූක්ෂමවය. ඒ අනුව ඔහු තමන්ගේම මුත්තා සමඟින් ගොඩ නගා ගන්නා වෛරය ඔහුගේම මනෝභාවයක් ලෙස කතුවරයා විසින් පාඨකයා වෙත ගෙනහැරපායි.

මෙම නවකතාවේ සෙසු උපප්‍රධාන චරිත අතුරින් තීර්ථගේ මව වන ස්වර්ණාගේ චරිතයට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. ස්වර්ණාගේ චරිතය ගොඩ නැගීමේදී කතුවරයා අපූරු උපක්‍රමයක් භාවිත කොට තිබේ. ඒ අනුව ස්වර්ණාගේ චරිතය සමස්ත කතාව තුළට ප්‍රබල ලෙස බද්ධ කිරීම සදහා කතුවරයා විසින් ස්වර්ණාගේ සිත තමන්ට ආරූඪ කොට ගනිමින් තුන්වැනි පාර්ශවයක් සේ කතාවට ඇතුලත් වෙයි.

ඊට අමතරව ඔවුන්ගේ පියා ඥානසිරි, දෙසොහොයුරියන්, ඇන්ජලෝ, භාරතී වැනි සුළු චරිත මෙම නවකතාවේ ගලායාම හා සමස්ත ගොඩ නැංවීම තීව්‍ර කරවයි.

මෙම කතාව තුළ පාඨකයා හට විවිධ කාල තලයන්හි සැරි සරන්නට කතුවරයා සලස්වා ඇත.

විටෙක අතීතයටත්, වර්තමානයටත් මෙන්ම අනාගතයටත් ගමන් කිරීමට පාඨකයා හට සිදුවේ. ඒ මෙහි කතා නායකයාගේ සිත සමඟින් ඒකාත්මික වෙමිනි. එසේම තීර්ථව කාලය තරණය කරවීම සදහා කතුවරයා තීර්ථගේම දියුණු මනෝභාවයන් උපයෝගී කොට ගැනීමක් මෙහි දැකිිය හැක.

මෙම නවකතාවේ සමස්තය තුළ කතුවරයා විශ්ලේෂණය කරන්නේ තීර්ථගේ සිත දැයි මෙම කතාව කියවන බොහෝවර සිතේ. නමුත් කතුවරයා එය සිතීමේ වගකීම පාඨකයා හටම පවරයි.

එසේම මෙම නවකතාව තුළ කතුවරයා සූක්ෂම සමාජ හා දේශපාලන විශ්ලේෂණයකද යෙදේ. එහිදී නිදහස් අධ්‍යාපනය මතින් ගොඩ නැගෙන සමාජ දේශපාලනය, ලිංගිකත්වය හා සබැදි දේශපාලනය හා සමාජ විද්‍යාවේ ඇති මානයන් හදුනා ගන්නට මෙන්ම ජීවිතය දෙස නැවුම් දෘෂිඨිකෝණයකින් බලන්නට පාඨකයාට බල කරයි. ඝර්ම මෙම කතුවරයාගේ කුළුදුල් නවකතාව වන මුත් මෙම වියමන තුළ ඔහු තම සාහිත්‍යමය විභවයන් සැලකිය යුතු ල‍ෙසින් සාර්ථකව විදහා දක්වයි.

Comments