
හෙළ හවුලේ මුල් පරපුරේ අවසානයා ද අවුරුදු අනූ නවයක් ආයු වැලඳා පසුගිය පස්වෙනි දා (ජූනි 5වෙනි දා) අප හැර දා ගියේය. ඒ සඳදස් කෝපරහේවා සූරීහු ය. ලොවට ආ හැම කෙනෙකු ම කවදා හෝ ලොව හැර යන බව ලෝ දහම යි. එබැවින් ඒ වියොව ගැන අමුතුවෙන් කම්පා විය යුතු නැත. සිය වසකට ආසන්න කාලයක් හෙළ බස් වහරේ දියුණුව වෙනුවෙන් එතුමන් කළ මෙහෙය, එතුමන්ගේ නම අප රටේ වියත් පරපුරේ නොමැකෙන නමක් සේ පවත්වා ගෙන යෑමට හේතු වනු ඇත.
අප වැඩි දෙනා එතුමා හඳුනන්නේ හෙළ හවුලේ ප්‍රබල සාමාජිකයකු හැටියට ය. සිය දෙමාපියන් නැකත් බලා ඔහුට දුන් 'චන්ද්‍ර දාස' යන සංස්කෘත නාමය ඔහු හෙළ හවුල් රීතියට ගැළපෙන පරිදි 'සඳ දස්' යනුවෙන් වෙනස් කර ගත්තේය. එපමණකින් නොනැවතුණු ඔහු සිය වැඩිමහල් පුතණුවන්ට ද 'සඳ ගෝමි' යන නම දුන්නේය. 'සඳ ගෝමි' වැනි නමක් මතක් වන්නේ දඹදෙණි යුගයෙහි දී ලියවුණු 'සිදත්සඟරාව' කියවූ පඩිවරයෙකුට පමණකි. එදා අපේ රටේ වැජඹුණු වියතුන් අතර 'රතැසිපා' හා 'සඳගෝමි' යන පඩිවරුන් දෙදෙනකු වූ බව අප දැන ගත්තේ 'සිදත් සඟරාව' කළ අනෝමදස්සි හිමියන්ට පින් සිදු වන්ට ය.
කුමරතුඟු මුනිදසුන් පිහිටුවා ලූ 'හෙළ හවුලේ' අරමුණ වූයේ එතුමා 'සුබස' ලෙස පිළිගත් සිංහල භාෂා ව්‍යවහාරය යළි පණ ගැන්වීම යි. ඒ වන විට සිංහල වියතුන් භාවිත කළ සිංහල භාෂාව සංස්කෘත පද බහුල ව්‍යවහාරයක් විය. සංස්කෘතය හෝ පාලිය අපේ ම භාෂා නොව දඹදිවෙන් මෙහි ආ භාෂා යි. බුදුන් වහන්සේ දහම් දෙසුවේ 'පාලියෙන්' වුවත් එය දඹදිව මගධ දේශයෙහි භාවිත වුණු ප්රාකෘත භාෂාව යි.
එබැවින් සංස්කෘත හා පාලි යන භාෂා දෙකේ ග්රහණයෙන් සිංහලය මුදවා ගැනීමට එතුමාට අවශ්‍ය විය. 'කුමාර තුංග' හා 'මුනි දාස' යන නම් දෙක ම සංස්කෘත භාෂාවෙනි. එබැවින් ඒ සංස්කෘත පද බැහැර කොට ඒ වෙනුවට අපේ ම පද යොදා 'කුමර තුඟු' හා ' මුනි දස්' යන නම් සදා ගැනිණ. 'සිංහල' යන පදය පවා සංස්කෘත භාෂාවෙන් ගත්තකි. ඒ වෙනුවට 'හෙළ' හෝ 'එළු' යන හෙළ වදන් ම වහරට ගැනිණ. හෙළ බස රැකීමේ වගකීම 'හෙළ හවුලට' පැවරිණ.
සඳ දස් කෝපරහේවා සූරීන් හෙළ හවුලේ සාමාජිකයෙකු හැටියට හෙළ බසින් ලිවිමට වැඩි කැමැත්තක් දැක්වුවත් එතුමා පාලි භාෂාව හෝ ඉංගිරිසි භාෂාව අමතක කළේ වත් හෙළා දුටුවේ වත් නැත. අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහ නාහිිමි පාණන්ගේ අධීක්ෂණය යටතේ මහරගම ධර්මායතනය විසින් සම්පදානය කළ 'පාලි ශබ්දකෝෂයේ' ප්‍රධාන සංස්කාරකවරයා වශයෙන් එතුමා කලක් සේවය කළේය.
ඔහු ගුරුවරයෙකු වශයෙන් සේවය කළේ ගල්කිස්සේ ශාන්ත තෝමස් විද්‍යාලයෙහි ය. එතුමා අවුරුදු තිස් දෙකක් (1951-1983) එහි ඉගැන්වීම් කළේ ඉංගිරිසි මාධ්‍යයෙනි. එදා සිංහල පවා උගන්වනු ලැබුවේ ඉංගිරිසි මාධ්‍යයෙනි. සිංහලයට අමතරව කලාව හා බුද්ධ ධර්මය ද ඉගැන්වීම එතුමාට පැවරිණ. එවක එහි සේවය කළ අරීසෙන් අහුබුදු සූරීන්ගේ ද ඇසුර ලබමින් එතුමා ගුරුවරයෙකු ලෙස ඉතා වටිනා සේවයක් ඉටු කළේය.
ඔහු ඉංගිරිසි බසින් ලියවුණු පොත් කීපයක් ම හෙළ බසට නැඟීය. ඒ අතුරින් වටිනා ම කෘතිය වූයේ මහාචාර්ය ආර්. එච්. විලෙන්ස්කි (R.H.Wilenski) සූරීන් යුරෝපීය කලාව අලළා ලියූ 'Miniature History of European Art 'නමැති කෘතියේ සිංහල පරිවර්තනය යයි. එය 'යුරෝපා කලාවේ ලුහඬු ඉතිහාසයේ සිංහල පෙරැළිය: යුරෝපා කලා - හෙළ කලා සසඳුව' යනුවෙන් 1958 දී සිංහලයට නැගිණ. ඊට අමතර ව 'යුරෝපා කලා ඇගැයීම' යනුවෙන් කලා චිචාර ග්රන්ථයක් ද එතුමා අතින් ලියවිණ. යුරෝපීය කලා සම්ප්රදාය අලළා ලිවීමට අවශ්‍ය 'හෙළ වදන්' එතුමා ම නිර්මාණය කොට ගත්තේය.
එතුමා සිංහල භාෂාව ගැන පමණක් නොව සිංහල ජන සංස්කෘතිය ගැන ද උනන්දුවක් දැක්වූවෙකි. පත්තිනි ඇදහිල්ල පිළිබඳව එතුමා දැක්වූ උනන්දුව 'නවගමු දේවාලයේ පත්තිනි ඇදහිල්ල' යනුවෙන් 2006 දී ඔහු ලියූ කෘතියෙන් හෙළි වේ. මේ පොත දෙ කරුණක් නිසා සුවිශේෂී වේ.
පළමුවැන්න, මා දන්නා තරමින්, පත්තිනි ඇදහිල්ල පිළිබඳව සිංහලයෙන් ලියවුණු සාරගර්භ ම ග්‍රන්ථය මෙය යි. දෙවැන්න, එහි ඉංගිරිසි අනුවාදයක් එහි ම දෙවෙනි අඩ සේ එකතු කොට තිබීම යි.
මෙය ලිවීමෙහි දී ජන ශ්රැතිවිද්යාව පිළිබඳව ප්රාමාණිකයන් වන මැලිනොව්ස්කි (Malinowski), රේමන්ඩි ෆර්ත් (Raymond Firth), වෝටර් පේටර් (Walter Pater), ඇල්ඩස් හක්ස්ලි (Aldous Huxley), එම්.ඩී.රාඝවන් හා ගණනාථ ඕබේසේකර වැන්නන් ඉදිරිපත් කළ අදහස් කතුවරයාගේ අවධානයට යොමු වී ඇත.
නවගමුවේ පත්තිනි දේවාලය සෙසු පත්තිනි දේවාලවලට වඩා විශේෂ වන්නේ වරකා දැවයෙන් කළ එහි ප්‍රධාන දොරටුවේ වරකා ගෙඩි දෙකක් හට ගැනීම යි:
තෙද ඇති පත්තිනි පත් නවගමු වේ .
ඇද හැර යතු ගෑ උළුවහු කණු වේ
තෙද බල පා ලොව නරයන් හමු වේ
හොඳ වරකා දෙක පල ගති අමු වේ
අද බොහෝ දෙනා 'ජන කවි' වශයෙන් සලකන සමහර කවි ඇත්ත වශයෙන් ම 'පත්තිනි මඩුවෙහි' කියන කවි බව මේ පොත කියවීමෙන් දත හැකි ය:
ඉරට මුවාවෙන් ඉඳ ගෙන ඉස පීරන වා
සඳට මුවාවෙන් ඉඳ ගෙන සළු පලඳින වා
මෙරට මුවාවෙන් ඉඳ ගෙන සලඹ දරන වා
රඟට මෙමල් අස්න බලා පතිනි වඩින වා
එතුමා සතු ජන ශ්රැති ඥානය නිසා 'සිංහල සාක්ෂර සමීක්ෂා' යන නමින් 1990 දී මා කළ පර්යේෂණයකට එතුමාගේ දායකත්වය ද ලබා ගත්තෙමි.මේ කෘතිය පසුව 'Studies in Sinhala Literacy' යනුවෙන් ඉංගිරිසියට ද නැගිණ.
එතුමා 1993 දී පළ කළ 'දහම් ගැට මාලා විවරණය' අභිරුචියෙන් කියවිය හැකි සංස්කරණයකි. 'දහම් ගැට' යනු සාහිත්‍යයෙහි එන එක්තරා සුවිශේෂ පද්‍ය වර්ගයකි. 'දහම් ගැටය' යනු පාඨකයාගේ බුද්ධිය පරීක්ෂා කිරිමේ අරමුණින් ගොතන ලද සිවුපදයකි. එතුමා මෙය පසුව ඉංගිරිිසියට ද පරිවර්තනය කළේය. 'Daham Gata Malaya - A Poem of Doctrinal Riddles' යන නමිනි. 'දහම් ගැටයකින්' කෙරෙන්නේ බුදු දහමට අයත් සංකල්ප සඟවා කීම යි.
'දහම් ගැට මාලාව' ලීවේ වීදාගම මෛත්‍රෙය මහ නාහිමියන් ය. එහි සිවුපද 74කි. නිදසුනක් වශයෙන් මිනිස් දිවියෙහි වැදගත් අවස්ථා තුන, මෙසේ 'දහම් ගැටයකට' හරවා ඇත:
"උදය ගමන් යන්නේ සතර පයකි නි
මැදය ඉර මුඳුන යන්නේ දෙ පයකි නි
විඳය සැපත් අවරට ගිය තුන් පයිනි
සොඳය මෙ පද තේරූවොත් නුවණකි නි"
මෙයින් කියවෙන්නේ මිනිසා ළදරු වියෙහි දී ගමන් කරන්නනේ පාද සතරකින් බව යි. එනම් දණ ගාමින් බව යි. ඔහු වැඩුණු පසු දෙ පයින් ගමන් කරයි. ජීවිතයෙහි සැඳෑ කාලයෙහි දී ගමන් කරන්නේ දෙ පයට හැරමිටියක් ද එක් කර ගනිමින් තුන් පයකිනි.
එතුමන් අතින් සංස්කරණය වුණු තවත් පද්‍ය ග්රන්ථයක් නම් 'වියොවග රත්න මාලය' යි. මෙය අයත් වන්නේ 'විරහ කව්ය' ගණයට ය. සිංහල සාහිත්‍යයෙහි එන මුල් ම 'විරහ කාව්‍ය' වන මෙහි පද්‍ය 132 කි. පෙම්වතුන් හා පෙම්වතියන් වෙන් වීම නිසා ඇති වන විරහ දුක මේ කවිවලින් වර්ණනා කෙරේ. එබැවින් මේ පද්‍ය විප්රලම්භ ශෘංගාරයෙන් යුක්ත ය. මේ කවි පොත ආරම්භ වන්නේ මෙවැනි පද්‍යයකිනි:
දිසි රන ලියක ලීලය සොඳුරු ලද ල ද
කරමිනි මසිතු ආලය පහස විඳ වි ඳ
විරතට පැමිණි කාලය දුකින හද ත ද
වියොවග රත්න මාලය කියමි පද බැ ඳ
එතුමා හෙළ බස නඟා ලීමට කළ සේවය වෙනුවෙන් 'හෙළ බස් මිණි' යන සම්මානය හෙළ හවුල විසින් 1993 දී එතුමාට පිරිනැමිණ. දස වසකට පසුව සංස්කෘතික කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව ද එතුමාට 'කලා භූෂණ' නම් සම්මානය පිළිගැන්විය. 2015 දී පැවැත්වුණු ගොඩගේ සාහිත්‍ය උත්සවයෙහි දී 'දිවමන් ප්රණාම' සම්මානය පිදීමෙන් එතුමාගේ සේවය අගය කෙරිණ.
'මහා පුරුෂයෙකු' වීමට නම් අවශ්‍යතා තුනක් සපුරා ලිය යුතු යැයි චීන උපහරණයකින් කියවේ. එනම් පුතෙකු සැදීම, පොතක් ලිවීම හා ගසක් සිටුවීම යි.
එතුමා එක් පුතෙකු නොව පුතුන් දෙදෙනෙකු ම සැදූවේය. වැඩිමලා මහාචාර්යවරයෙකි. බාලයා බටහිර වෛද්‍යවරයෙකි.
එතුමා පොත් ද එකක් නොව කීපයක් ම ලිවීය. සිංහලයෙන් මෙන් ම ඉංගිරිසියෙනි.
එතුමා ගසක් සිටෙව්වා ද නැද්ද යන්න නම් මා හරියට ම දන්නේ නැත. එහෙත් එක් පුතෙකු වෙනුවට පුතුන් දෙදෙනෙකු ම සැදීමෙන් ඒ අඩුව පිරිමැසෙනු ඇතැයි මට සිතේ. ඒ දරුවන් දෙදෙනා ද 'අතිජාත පුත්‍රයන්' වීම නිසා එතුමාගේ මහා පුරුෂ ලක්ෂණ තවත් ඉහළ යයි.
'සඳදස් කෝපරහේවා මහා පුරුෂයාණෙනි, අමරදේවයන් පැතුවාක් මෙන්,'සසර වසන තුරු, නිවන් දකින තුරු මේ හෙළ දෙරණේ යළි යළි ඉපදී' හෙළ බස රැකීමට ඔබතුමාණන්ට වාසනාව ලැබේවා යි' ඉත සිතින් පතමි.
මහාචාර්ය ජේ. බී. දිසානායක