
රුසියාවේ ප්‍රධාන ආගම් සතරෙන් එකක් බුදුදහම බව දන්නෝ ලංකාවේ ඉතා සුළු පිරිසකි. ඒ ආගම් සතර නම් අනු පිළිවෙළින් ඔතොඩොක්ස් කිතු දහම, (ORTHODOX CHRISTIANITY) ඉස්ලාම් ආගම, ජුදා හෙවත් යුදෙව් ආගම (JUDAISM) සහ බුදු දහමය. (රුසියානු ජනපති ව්ලැඩිමීර් පුටින් ඔතොඩොක්ස් කිතුනු භක්තිකයෙකි) මේ ආගම් අතර ඊට අඩු මට්ටමකින් පවතින වෙනත් ඇදහිලිද සහ විශ්වාසයන්ද ඇත.
වසර 2009 අගෝස්තු 24දා එවකට රුසියානු ජනපති (පසුව අගමැති) දිමිත්‍රි මෙද්වෙදෙව් එරට සයිබීරියාවේ බුරියාතියා නුවර ඉවොල්ගා දත්සන් බෞද්ධාරමයෙදී පැවති රැස්වීමකදී මෙසේ පැවසීය.
"බුදුදහම සිය සම්ප්‍රදායික ආගම් වලින් එකක් ලෙස පිළිගත් එකම යුරෝපීය රට ලෙස රුසියාව සුවිශේෂී ස්ථානයක් උසුලයි.ලොව පැරණිම දහමක් වන එය සියවස් තුනකට අධික කාලයක් තිස්සේ මෙරට ස්වදේශික බුරියාත්, කල්මික් සහ තුවාන් ආදී ජනවර්ගයන් විසින් පිළිපදින ලද දහමකි. බෞද්ධ දර්ශනය සහ ආධ්‍යාත්මික පිළිවෙත් අප රටේ ජීවත්වන සහ එම දහම පිළිගන්නා සියලු දෙනා තුළම ගැඹුරු බලපෑමක් ඇතිකර ඇත. සුවිශේෂී බෞද්ධ සංස්කෘතිය රුසියානු පොදු ඓතිහාසික සංස්කෘතික උරුමයේ ඉතා වැදගත් සහ ඉමහත් ඇගයීමට ලක් වූ කොටසකි"
රුසියානු සමාජය බුදුදහම වැලඳගත්තේ 17 වැනි සියවසේ දී ක්ල්මික් ජනවර්ගය සයිබීරියාවේ පදිංචි වූ පසුය. සයිබීරියාව අද රුසියාවේ ඈත පෙරදිග කොටසට අයත්ය. එරට බුදුදහම ප්‍රධාන කොටම ටිබෙට් සම්ප්‍රදායට (වජ්‍රායාන) ඈත වුවකි. එය රුසියාවට පැතිරුනේ මොන්ගෝලියාව හරහාය. වර්තමාන රුසියානු ෆෙඩරල් සමූහාණ්ඩුවට අයත් කල්මිකියා ප්‍රාන්ත ජන රජයේ රාජ්‍ය ආගම බුදුදහමය.
වසර 2012 මයි 23 න් වැනිදා රුසියානු විද්‍යා ඇකඩමියේ දාර්ශනික ආයතනය, ආචාර්ය මාරියෙටා ස්ටෙපානියන්ට්ස් විසින් සංස්කරණය කරන ලද පිටු 1045 යුත් බෞද්ධ විශ්වකෝෂය නිකුත් කළේය. එම ආයතනය විසින් සංවිධානය කරන ලද අදාළ උත්සවයට ප්‍රංශය, ඉන්දියාව, ජපානය, ලිතුවේනියාව, ඉරානය, එක්සත් රාජධානිය (බ්‍රිතාන්‍යය) සහ ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළු රටවල් රැසකින්ද විද්වතුන් සහභාගී වූහ. මොස්කව් නුවර පැවත්වුණු එම උත්සවය නැගෙනහිර සහ බටහිර සංස්කෘතීන් මත පදනම් වූ දර්ශනවාද සහ විද්‍යාවන් දෙස තුලනාත්මකව බැලීමේ තුන්වන සම්මන්ත්‍රණය විය.
පැරණි සෝවියට් පාලන සමයේදී විශේෂයෙන් ආඥාදායක ජෝසෆ් ස්ටාලින් යුගයේදී රුසියාව ඇතුළු නැගෙනහිර යුරෝපයේ සෝවියට් කඳවුරේ රටවල ආගමික නිදහස දරුණු මර්දනයකට ලක්වුවද 1953 ඔහුගේ මරණින් පසුව ඒ මර්දනය බෙහෙවින් ලිහිල් වූ අතර විවධ ශිෂ්ටාචාරයන් සහ සංස්කෘතීන් කෙරේ රුසියානු විද්වතුන්ගේ උනන්දුව නැවතත් යොමු වන්නට විය.
ස්ටාලින්ගේ මරණින් පසු රුසියාවේ මොන්ගෝලියානු බෞද්ධයෝ ඔවුන්ගේ ආගමට සහ සංස්කෘතියට වඩාත් පිළිගැනීමක් ලබාදෙන ලෙස ක්රෙම්ලිනයට ( සෝවියට් පාලන අධිකාරියට) බල කළහ. එහි ප්‍රතිඵලයක් වශයෙන් එවකට සෝවියට් අගමැති නිකිතා ක්රුෂ්චෙෆ් මොස්කව් සරසවියේ බෞද්ධ අධ්‍යයන පිහිටුවීමට තීරණය කළේය. මේ කටයුත්ත සඳහා සෝවියට් රජයට උදව් කළ අය අතර මහාචාර්ය ගුණපාල මලලසේකර මහතාද විය. එරට පළමු ශ්‍රී ලංකා තානාපතිවරයා වුයේ ඔහුය.
ලංකාවට මුලින්ම පැමිණි රුසියාවේ ප්‍රධාන ස්ලාව් ජනවර්ගයට අයත් බෞද්ධ උගතුන් අතර මුල් තැනක් ගන්නේ 19 වැනි සියවසේ මෙරටට ආ ඉවාන් මිනයෙව්ය. සංස්කෘත සහ පාලි ඇතුළු භාෂා රැසක් දැන සිටි ඔහු පළකළ මුළු ග්‍රන්ථ සංඛ්‍යාව 130 ක් බව ලංකාවේ පළමු සෝවියට් තානාපති ලෙස 1957 දී පත්වී ආ ව්ලැඩිමීර් යකොව්ලෙව් පවසයි.
යකොව්ලෙව් තානාපති ලෙස පත්ව ආවාට පසු මෙරට බෞද්ධ භික්ෂුහු මෙහි පුස්තකාලයක තැන්පත් කර තිබු වැදගත් බෞද්ධ ග්‍රන්ථයක් ඔහුට පෙන්වුහ. ඒ මිනයෙව් ගේ ගෝලයෙකු වූ ෆියඩෝ ෂබට්ස්කෝ ලියු කාණ්ඩ දෙකකින් යුත් "බෞද්ධ තර්ක ශාස්ත්‍රය"යයි
වසර 1874 සහ 1877 අතර තුර කාලයේදී ඉවාන් මිනයෙව් කිහිප වරක්ම ලංකාවට පැමිණි අතර ලංකාවේ අතීත ශ්‍රී විභූතිය දැක බලාගැනීම සඳහා පා ගමනින් සහ ගොන් බැඳි කරත්තයෙන් අනුරාධපුරයට සහ පොලොන්නරුවට ගියේය. එසේ ගිය ගමන්වලදී භික්ෂුන් ජීවත්වූ ආරාමවල නැවතී සිටියේය. ඔහු කිට්ටුවෙන් ඇසුරු කල මෙරට භික්ෂුන් අතර හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමි සහ බත්තරමුල්ලේ සුභූති හිමියෝද වෙති. මිනයෙව් පවසන අන්දමට එවකට සිටි සිංහල ගිහි පැවිදි උගතුන් අතර ඉතාම ඉහළ උගතා බත්තරමුල්ලේ සුභූති හිමියන්ය.
"මේ ඓතිහාසික සිහිවටන පැරණි ජනතාවකගේ බුද්ධිමය සහ ආධ්‍යාත්මික ජීවිතය පිළිබිඹු වන ග්‍රන්ථයකි" යනුවෙන් මිනයෙව් ලිවීය. කළු ගලෙන් තැනු ඒ ප්‍රතාපවත් පැරණි ඉදිකිරීම් පැරණි රජදවස පෙනුනු අයුරු බෞද්ධ වංශකතා තුළින් ප්‍රතිනිර්මාණය කළේය. ඒවා එදා සිංහලයන්ගේ ශ්‍රී විභූතිය සහ රස වින්දනය පිළිබිඹු කරන බව පෙන්වා දුන්නේය.
මෙම කරුණු සටහන් කරනවිට ඔහු, ගලින් තැනු ඉන්දියාවේ පැරණි විශිෂ්ට එල්ලෝරා මූර්ති සහ අජන්තා බිතු සිතුවම් ගැන මනා අවබෝධයක් ලබා සිටියේය. එහෙත් ලංකාවේ නිර්මණ තුළින් මිනයෙව් දුටුවේ ඒවාටම සුවිශේෂ වූ කලාත්මක ලක්ෂණයන්ය. ඒවා ලොව කිසි රටක නිර්මාණයන් තුළින් දැකිය නොහැකි බව ඔහුගේ අදහස විය. මාතරට නැගෙනහිරින් වූ පැරණි රුහුණු රාජධානියේ නටබුන් බැලීමට ගිය එහි වූ පැරණි ස්ථුප සහ විහාර ඉතා පැහැදිලිව චිත්‍රයට නැගීය.
මිනයෙව් කිහිප විටක්ම මහනුවරටද ගොස් සිංහලේ අන්තිම රාජධානිය පිළිබඳව කරුණු හැදෑරීය.
හම්බන්තොට ගොස් නැවත කොළඹට පැමිණි ඔහු නවාතැන් ගත්තේ කොළඹ කොටුවේ ග්රෑන්ඩ් ඔරියන්ටල් (GRAND ORIENTAL හෙවත් GOH) හෝටලයේය. එහිදී ඔහු මෙරට පාලනය කළ ඉංග්‍රීසින්ගේ සුදු ජාතිවාදය මැනවින් දිටීය. එවකට එම හෝටලයේ ගැනීමට ඉඩ ලැබුණේ සුද්දන්ට පමණි. මිනයෙව්ට එහි නැවතීමට හැකි වුයේ ඔහුද යුරෝපීයයෙකු බැවින්ය.
එදා බ්‍රිතාන්‍ය යටත්විජිත යුගයේදී ලංකාවේ බටහිර ගැති ඉංග්‍රීසි උගත් මැද පන්තියේ ඇතැමුන් තුළ වූ අධිරාජ්‍ය ගැති වහල් මනස මිනයෙව් දුටුවේ මෙසේය:
"බ්‍රිතාන්‍ය පාසල් වල උගෙනුම ලැබූ ඇතැමුන්ට යුරෝපීය ඉතිහාසය සහ භූගෝලය ගැන මිස ස්වදේශයේ ඉතිහාසය සහ භූගෝලය ගැන දැනුමක් නොවීය. තම රටේ අතීතය සහ වටිනාකම් දෙස ඔවුන් බැලුවේ විදේශිකයන්ගේ ඇසින්ය"
රුසියාවේ ප්‍රධාන ජනවර්ගය වන ස්ලාව් ජනතාව අතුරෙන් උගතුන් සහ බුද්ධිමතුන් කිහිපදෙනෙක්ද 19 වන සියවසේදී බුදුදහම වැළඳගත්හ. ස්ලාව් ජනයා වැඩි පිරිසක් බුදුදහම වැළඳගන්නට පටන් ගත්තේ වසර 1990 න් පසු - එනම් සෝවියට් කොමියුනිස්ට් කඳවුර බිඳ වැටුනාට පසුවය. මේ බෞද්ධයන් ජීවත්වන්නේ මොස්කව් සහ ශාන්ත පීටස්බර්ග් වැනි විශාල නගරවලය. බුදුදහම හැදෑරිය හැකි බෞද්ධ මධ්‍යස්ථාන සහ වෙනත් පහසුකම් ඒ නගරවල ඇත.
මේ ලිපිය අවසන් කිරීමට මත්තෙන් ස්ටාලින් පාලනය යටතේ රුසියාවේ සිදු වූ ආගමික මර්දනය ගැන සැකෙවින් සඳහන් කළ යුතුය. ස්ලාව් ජනයාගෙන් වැඩිදෙනෙකු අදහන ආගමට අයත් පල්ලිය මර්දනය කිරීම ස්ටාලින්ට එතරම් පහසු නොවීය. මතුපිටිය එය යටත් වීමක් පෙන්වුවද යටින් ක්‍රියාත්මක විය. මෙය දෛවයේ සරදමක් වන්නේ ස්ටාලින්ගේ මව දැඩි කිතුනු භක්තික කාන්තාවක් වීම සහ ඔහු ගැටවර වියේදී ශිෂ්‍යත්වක් ලැබ ඔතොඩොක්ස් සෙමිනරියක දේව ධර්මය හැදෑරීමය.
ස්ටාලින්ගේ ආගමික මර්දනයෙන් වඩාත්ම පීඩාවට පත්වූවෝ ක්ල්මික් ජනවර්ගයට අයත් බෞද්ධ ජනතාවය. ඊට හේතුවුයේ කල්මික් වරුන් අතර සිටි දැඩි කොමියුනිස්ට් විරෝධීන් පිරිසක් දෙවන ලෝක යුද්ධයේදී සෝවියට් රුසියාව ආක්‍රමණය කළ ජර්මනුන්ට පක්ෂපාතී වීමය. එහි ප්‍රතිපලයක් වශයෙන් 1943 දී සමස්ත කල්මික් ජනතාවම ඔවුන්ගේ පාරම්පරික වාසභූමි වලින් පිටුවහල් කරන ලදී. ඔවුන් අතුරෙන් නොමැරී ඉතිරි වුවන්ට නැවත සිය වාසස්ථාන කර එන්නට ඉඩ ලැබුනේ ස්ටාලින්ගේ මරණයෙන් බොහෝ කලකට පසුවය.
අද රුසියානු ෆෙඩරල් සමුහාණ්ඩුව තුළ ආගම් ඇදහීමේ සම්පූර්ණ නිදහස ඇති අතර බුදුදහමේ වැඩිදුර ව්‍යාප්තිය සඳහා ඇති ඉඩකඩ බොහෝය.