
වනාන්තරයට අඳුර එන්නේ සීතලත් සමඟය. දුරුත්ත නිමා වූ පසුද ගොම්මන් වැටුනු මැයි මාසයේ අගදී ද ඇඟ මස් සලිත කරවමින් සීතලක් දැනෙයි. දැවැන්ත නා ගස් හා සියඹලා ගස් වනය තුළ පවතින රහස් රැකීමට මෙන් ධ්‍යානයකට සම වැදුණාක් සේ නොසෙල් වී නිහඬව සිටියි.
ඵුස්සදේව පැල තුළ සිට එළියට පැමිණ අහස දෙස බැලීය. වලා පොදක් නොමැති අහසේ අතරින් පතර දිලෙන තරු කැට මතුවේ. තව නොබෝ වේලාවකින් සඳ පායා එනු ඇත. තවත් දින කීපයකින් නව සඳ මෝරා පිරී යනු අතැයි ඵුස්සදේවට සිතිණ.
රජතුමාගේ දඩ කෙලී මංගල්‍ය නියම කොට තිබුණේ සඳ පිරී මුඳුන් වෙන දිනටය. රජතුමා සිරිතක් වශයෙන් කරන මේ දඩ කෙළිය සෑම මාසයකම පවත්වන්නකි. වාර්ෂිකව එය මහා උත්සවයක සිරි ගනියි. එම උත්සවය සඳහා ලකලෑස්ති වන්නේ දුරුතු මාසයේ සිටය. මංමාවත් එළිපෙහෙලි කොට අට්ටාල අටවා මුරකාවල් තරකොට සියලු කටයුතු ඉතා සීරුවෙන් සොයා බලා ඉටු කිරීම ඵුස්සදේවට භාරය.
එහි සුළු හෝ අඩු පාඩුවක් වුවහොත් තමාගේ ජීවිතය පවා අවදානම් බව ඵුස්සදේව දනී. ඵුස්සදේව ගෙතුළට ගොස් තම ඊතල මිටියද, දුනු මිටක් සඳහා කැලයෙන් කපාගෙන ආ ඇට්ටේරියා ලීයද එළියට රැගෙන ආවේය. ඒ සියල්ල එළිපත්ත මත තැබූ ඔහු එහි වාඩිවී ඊතල එකිනෙක මුවහත් කරමින් ඒවායේ වරපටවල් තද කොට බඳින්නට විය.
ඵුස්සදේව රුහුණේ මාතොට වැසියෙකි. පියාණන් සමඟ ඇතිවූණු කලහයකින් පසු ගෙදරින් පලා ගිය ඔහු තිස්ස රජතුමාගේ රාජපුරුෂයෙකුට අසුවිය. වර්ෂ ගණනාවක් තිස්සේ ඔහුගේ නිවසේ බැල මෙහෙ කරමින් දුනු ශිල්පය උගත් ඵුස්සදේවට තිස්ස රජුගේ හේවාපන්නයට බැඳීමට හැකිවිය.
දේවානම්පියතිස්ස රජතුමා දඩ කෙළියේ යෙදුනද නපුරු ගති ඇත්තෙකු නොවන බව පළමු දැක්මෙන්ම ඵුස්සදේවට වැටහුණේය. තම රාජ පුරුෂයන්ට පවා සැර පරුෂ නොවීම රජුගේ සිරිතය. එහෙත් වරද දුටු විට නයෙකු සේ කිපෙයි. එසේ වූ විට ගිනි කන්දක් මෙන් පුපුරා හැලී සෙමින් නිවී යයි.
“නුඹ මිහින්තලා අඩවියෙහි ආරක්‍ෂක කටයුතුවලට පත් කරනවා. තව අඩ මසකින් නුඹට එහි යන්නට පුළුවනි. එහි පදිංචි වී වන අඩවිය බලා කියා ගැනීම නුඹට භාරයි.”
මීට වර්ෂ කිපයකට ඉහත තමාගේ දස්කම් දුටු රජතුමා මඳ සිනාවක් ඇතිව තමාට පැවසූ අයුරු ඵුස්දේවට සිහිවිය. ඔහු සෙමින් සිනාසුණේය.
“ඔබ හීයක් අත තබාගෙන සිනාවෙනවා. මම දැන් හුඟ වෙලාවක ඉඳල බලාගෙන. ඇයි මොකද පොඩි දඩයමක්වත් ඉව වැටුණද?” මාතූලී එතනට පැමිණෙමින් ඇසුවාය.
මාතූලි ඵුස්සදේවගේ බිරිඳය. තන පොට බැඳ සළු තරකොට ඇඳි කල ඇගේ එළලු ඇඟ පත මෝරා වැඩී ඇති අයුරු ආසා උපදවයි. හිස මුඳුනට වෙන්නට බැඳ ඇති කොණ්ඩය නිසා ඇගේ මුදු දිග ගෙල යසට පෙනෙයි. ඈ දුටු දිනයේම තමා තුළ ඈ පිළිබඳ සිතක් ඇති වූ අයුරුත් වැඩිහිටියන්ගේ විරෝධය මැද්දේ තමා ඇය සහේට ගත් අයුරුත් ඵුස්සදේවට සිහිවිය.
“මොකද ඇත්තට ඔය සිනාවෙන්නේ ඈ?”
ඵුස්සදේව කිසිවක් නොකියා ඇයට තමා ළඟින් ඉඳ ගන්නා ලෙස සන් කළේය.
“කෝ දෝණි?” ඈ ළඟින් ඉඳ ගත් විට ඔහු ඈ දෙසට නැමී ඇසීය. ඇගේ වරලසින් එන තැවරලා සුවඳ ඔහුට දැනිණ.
“ඔන්න ගුරු ගෙදර යන්න ඕන කියලා අඬ අඬා ඉඳලා නිදි”
ඵුස්සදේව එය නෑසුනාක් මෙන් ඇට්ටේරිය ලීය ගෙන ඔප මට්ටම් වන සේ අහින්නට විය.
“ඔය ගැන වගක් වත් දොඩන්නට එපා. ගුරු ගෙවල යන්නට පුළුවන් ද අප වගේ ඇත්තන්ට. ඒවා පුළුවන් ඉහළ සිටු තනතුරු දරන ඇත්තන්ට.”
මිහින්තලා පර්වතය දැවැන්ත සතෙකු මෙන් පොළොව වසාගෙන ලැග සිටී. ඒ අවට ඇති වනය අඳුරු කුටියක් සේ පෙනේ. එම පර්වතය උඩට නගින්නට කුඩා කල පටන් තමන්ට වූ ආශාව ගැන මාතූලිට සිහිවිය. ඒ සමඟම ඇයට තවත් කරුණක් සිහිවිය.
රජුගේ ඇමතියෙකු වූ චරණ්‍ය තම සැමියා නිවසෙහි නැති දිනක පැමිණ තමාට අයුතු යෝජනාවක් කළ සැටිත් තමා එයට අකමැති වූ විට කෝප ගත් සැටිත් මාතූලීට සිහිවිය. චරණ්‍ය රජුට බොහෝ හිතවත් ඇමතියෙකු බැවින් මාතූලී තම සැමියා ගැන බෙහෙවින් බිය වූවාය.
“අප වාගේ පව්කාර ඇත්තෝ තවත් නැතුව ඇති.” සිතට නැඟුණු කෝපයක් පිළිකුළත් සෝකයත් මැඬ නොගනිමින් ඕ කීවාය.
ඵුස්සදේව සෑසීම නවතා තම බිරිඳ දෙස බැලීය. ඇගේ දෙනෙතින් ඉනූ කඳුළු කම්මුල් දිගේ පහතට ගලා යයි. මාතුලී මිහින්තලාව දෙස බලාගෙන නොනවත්වා කියාගෙන ගියාය.
“හරියකට අපට නිදහසක් කියල දෙයක් තියනවද? අපේ දරුවෙකුට අකුරක් ඉගෙන ගන්ට පුළුවන්ද? ලොකු ඇත්තෝ නිතරම බලන්නේ අපෙන් වාල් වැඩ ගන්ට. ඇහැට කණට පේන ගෑනියෙකු හිටියොත් කරකාර ගියත් බිලී ගන්ටයි තනන්නේ. මගේ පියාණන් ඔය සිටු ඇත්තන්ට අවුරුදු විස්සක් වාල් කම්කළා. අන්තිමයට බේතක් හේතක් නැතිව සුවාසෙ හැදිලයි මළේ. අම්මා මැරුණෙත් පියාණන් මළ දුක ඉවසා ගන්ට බැරුව. බේත් වේලක් ගන්ට එක කාසියක් තිබුණෙ නෑ අප ළඟ.” ඇගේ කට හඬ වෙව්ලයි. අවසානයේ දී ඈ හඬමින් කතා කළාය.
“මා පාරේ කී වරක් පැන්නුවාද මාව බිලී ගන්ට. අනේ අයියනායක දෙවියනේ දුප්පත් අසරණ අපට ගැලවුමක් නැද්ද?”
“මොකද බෙරිහන් දෙන්නේ. මොකද වෙලා තියෙන්නෙ?” ඵුස්සදේව ඉවසා ගත නොහැකි තැන කෑ ගසා ඇසීය.
“මට වාසලට එන්නට කියල පණිවුඩ නියෝග එවල තියනව. රජ්ජුරුවන්ගේ අන්තඃපුරයට ඇතුළු කරන්නට. මට ඉතින් ආයි ජීවත් නුනට කමක් නෑ. අනේ දේව මට වහ ටිකක් කාල මැරෙන්ට දෙන්න.” යී කියූ ඇය දෝත මුහුණේ හෝවාගෙන අඩන්නට වූවාය.
ඵුස්සදේව තිගැස්සී ගියේය. ඔහු වනන්තරයෙන් එන හඬට කන් දෙමින් සිත එකලස් කර ගන්නට තැත් කළේය. මිහින්තලාට අවට වනවදුලුවල සැඟවී ගත් නිශාචර සතුන් ගේ විලාප හඬ හද කළඹන සු`ලුය. උන්ගේ එම හඬ නතර වන්නේ වන වදුලු අතරින් වලසෙකු හෝ කොටියෙකු උන්ගේ මුදු සීරු ගමනින් ගමන් ගන්නා විට පමණය.
මිහින්තලාව අවට ප්‍රදේශයේ මුරකාවල් තර කරන ලදි. හිරු බැස ගිය අඩ හෝරාවකින් රජතුමා සහ පිරිවරින් දඩ කෙලී සඳහා පැමිණියේය. ඵුස්සදේව රජුට සතුන් විදීමට සුදුසු අට්ටාලද උන් නිතර ගැවසෙන තැන්ද කළින් සකස් කොට තැබුයේ මහත් සීරුවෙනි.
බෙර නාද කොට සතුන් පලවා හැරීම කරන ලද්දේ මාලිගාවේ බෙරකරුවන් විසිනි. ඔවුන්ගේ බෙර නාදය මුළු වනන්තරය තුළ දෝංකාර දෙමින් වධක භූමියෙන් එන හඬක් සේ අවට පැතිරී ගියේය.
ආගන්තුක රුදුරු හඩින් කැලඹී ගත් මීගජාතීහු මරණ බයින් තැති ගත්තෝ සිහි එළවා ගත නොහී හිස් ලූ ලූ අත දුවන්නට වූහ. ඵුස්සදේව දුන්නට නගා ගත් හීයක් අතැතිව රජු ළඟින්ම සිටියද අවසානයේ මුවෙකු ලුහුබැඳ ගිය රජු ඔහුගෙන් මග හැරිණ. ඵුස්සදේවට මහත් බියක් දැනිණ. රජු පේන තෙක් මානයක නොවීය. හේ වහා දිව ගොස් ඒ අසල වූ කුඩා ගන් තලාවකට නැංගේය.
ඈත මිහින්තලා ගල පාමුල රජු සිටින බව මඳ වේලාවකින් ඵුස්සදේවට පෙනිණ. ඒ සමඟම ඔහු පුදුම දෙයක් දිටීය. මිහින්තලා ගල මුඳුනේ සඳක් වැනි දෙයක් බැබළෙනු ඔහුට පෙනිණ. ඔහු දෑස පිසදා තමා දකින්නේ සිහිනයක්දැයි සැක සිතින් ආපසු බැලීය.
කහ සිවුරක් පොරවා ගත් හිස මුඩු කළ කෙනෙක් ගල මුඳුනේ සිට රජු දෙස බලා සිටියි. ඔවුන් කිසිවක් කතා කරන බව ඔහුට පෙනිණ. අඩ හෝරාවක් පමණ පැවති එම කතා බහ දෙස ඵුස්සදේව ඇසි පිය නොහෙළා බලා සිටියේය.
හදිසියේම බෙර වැයීම නවත්වන ලදි. රජතුමා ආපසු මාළිගාවට වැඩීමට කැමති බව පිරිසට දන්වන ලදින් ඵුස්සදේව රජු අභියසට ගොස් දණින් වැටුණේය.
“ඵුස්සදේව නුඹට මින් පසු අප කරදර කරන්නේ නෑ” රජතුමා ඔහුට ශාන්තව කීය.
“අහෝ දේවයනි! වරදක් ඇතොත් ගැත්තාට සමාවන සේක්වා” මහත් සේ බයට පත්ව සිටි ඵුස්සදේව කීවේය.
“රජතුමා මින් පසු දඩ කෙළියේ යෙදෙන්නේ නෑ.” මුර සේවයේ යෙදුණෙක් ඵුස්සදේවගේ කනට කොඳුරා කීවේය.
රජතුමා පිටත්ව ගියාට පසු ඵුස්දේව පැල දක්වා වේගයෙන් දිව ගියේය. ඔහුගේ සිතට බියක්ද මහන්සියක්ද මහත් ව්‍යාකූල බවක්ද දැනිණ. පුදුමයකට මෙන් මාතුලී නොනිඳා දොරකොඩ ළඟ බලා සිටියාය. ඇගේ මුහුණේ වූයේද කිසියම් අවිනිශ්චිත එහෙත් සතුට මුසු හැඟීම් සමුදායකි. දෙදෙනාම මොහොතක් කතා නැතිව උනුනුන් දෙස බලා සිටියහ.
“රජතුමා එකවිටම දඩකෙළිය නවතා මාළිගාවට වැඩියා.” කතා කර ගත හැකි වූ ඇසිල්ලේම ඵුස්දේව කීය.
“මම දන්නවා“ මාතුලී සෙමින් කීවාය.
“එතුමා දැන් ටිකකට කලින් කවුද කහ කඩක් ඇඳගත් හිස මුඩු කර ගත් කෙනෙක් එක්ක කතා කරමින් සිටියා මිහින්තලාවේ.”
මාතුලී මඳ සිනා පහළ කළාය. එහෙත් ඇය කිසිවක් නොකීවාය.
“මොකද නුඹ සිනාසෙන්නේ? මේක සිනාවෙන්ට කාරණයක්ද?” ඵුස්සදේව මහත් බියෙන් ඇගේ උරහිසින් අල්ලා සොලවමින් ඇසුවේය.
“බිය ගන්නට එපා, දේව. අපට හොඳ කාලයක් ලබාගෙන එනවා.”
“මොනවා”
මාතුල් තමන්ට වඩා දැන උගත් බව ඵුස්සදෙවට හදිසියේම මතක් විය. සීවලී සිටාණන්ගේ මැදුරේ සිටිද්දී ඕ නිමිති ශාස්ත්‍රයත් අකුරු ශාස්ත්‍රයත් රහසේ ඉගෙන ගෙන තිබුණාය.
“ඔව් දේව අපට හොඳ කාලයක් ලබලයි කියලයි මට හිතෙන්නේ. ඒ ඇවිත් තියෙන්නේ ජම්බුදීපෙ අශෝක මහ රජ්ජුරුවන්ගේ පුතා මහින්ද. දැන් ඔහු රහතන් වහන්සේ නමක්. අපේ රටට බුදු දහම අරගෙන ඇවිත්.”
“දෙවියන්ට ඔප්පු වෙච්චාවේ. ! උඹ කොහොමද දන්නේ?”
“මම දන්නවා. දැන් හුඟ කාලෙක ඉඳලා ඔය ආරංචිය මෙහෙ තිබුණා. ඒත් මම හැබෑවට ගත්තේ නැහැ. බලන කොට ඒක ඇත්ත.”
ඵුස්සදේව මහත් සතුටෙන් යුතුව වටපිට බැලීය. ඔහුට මේ කිසිවක් අදහා ගත නොහැකි සේය.
සති කීපයක් ගත වෙත්ම අනුරපුර ජන ජීවිතය බොහෝ සේ වෙනස් විය. මිනිස්සු සතුන් දඩයම් කිරීම පහත් දෙයක් ලෙස සලකා එයින් හැකි තරම් දුරට වැළකී සිටින්නට බැලූහ. ඵුස්සදේවගේ දුව තන්හා, සිල්ප ඉගෙනීමට විහාරයට යන්නට වූවාය. මෙතෙක් ඇයට ඒ සඳහා තහංචි තිබුණි. ඈ සිටින්නේ කිරිල්ලියක මෙන් ප්‍රීතියෙනි. ඈ නිතර ගෙදර දී හඬ නඟා වනපොත් කරන්නීය.
මාතුලී නැවත උපන්නාක් සේ ගෙදර කටයුතුවල යෙදුණාය. ඈ පැල තුළ හැසුරුණේ මහත් කඩිසර ලෙසිනි.
“ඔයා හරි සන්තෝසෙන් ඉන්නේ.” ඵුස්සදේව ඈ දෙස බලා කීවේය.
“ඇයි දෙවියනේ සන්තෝස නැද්ද. වහල්ලු වගේ ජීවත් වුණු අපට මනුස්සයෝ වගේ ඉන්න ඉඩ ලැබුණහම. ඔයා දන්නවද රජතුමා අන්තඃපුරය විසුරුවා හැරියලු. මාව ඒ මර උගුලෙන් බේරුණ එක ගැන මිහිඳු හාමුදුරුවන්ට මම ණය ගැතියි.” කී ඇය මිහින්තලාව දෙසට හැරී වැන්දාය.
“දැන් ඉතින් මමත් ගොවිතැන් බතක් වත් කරන්න ඕන. මේ දුනු හී වලින් දැන් පලක් තියනවාය.
“බය වෙන්න එපා දේව. ළඟදි මහ රජතුමා ථූපාරාමය කියලා චෛත්‍යයක් ගොඩනංවන්න යනවාලු. නුඹට ඒ කටයුතුවලට කතා කරාවි.”
“මොනවා”ඵුස්සදේව ප්‍රීතියෙන් කෑගැසීය.
“තව විශාල වැවකුත් තනන්නට යනවාලු. මම කිව්වෙ අපට හොඳ කාලයක් ලබාගෙන එනවා කියලා”
ඵුස්සදේව සැනසීමෙන් පිරුණු සිතින් යුතුව අවට බැලීය.
මුළු මිහින්තලාවම ශාන්ත තවුසෙකු මෙන් නිසලව සිටී. ගස් වැල් පොළොවට නැමී ඇත්තේ සමනය වු ඉඳුරන් ඇතියවුන් ලෙසිනි. ගලට ඉහලින් සඳක් පායා එයි. ඒ ගල මත කහවන් ඇඳ ගත් කීපදෙනෙකු සිටින්නාක් මෙන් ඵුස්සදේවට පෙනිණ.