ගුවන නිසා අතහැරිය මේසපන්දුව හරි තැනට ගේන්නයි ආයෙත් අල්ලා ගත්තෙ | Page 3 | සිළුමිණ

ගුවන නිසා අතහැරිය මේසපන්දුව හරි තැනට ගේන්නයි ආයෙත් අල්ලා ගත්තෙ

මනීෂා ශාලින්දි සහ මනෝජිකා

“වර්තමාන ක්‍රීඩාවේ ආත්මාර්ථකාමීත්වය දැඩි ලෙස දකින්න පුළුවන්. ඒ වගේ ම ඒවා ගොඩාක් ලොකුවට ඉස්මතු වෙලා පේනවා. මට හැඟෙන සහ දැනෙන විදියට සමස්තයක් ලෙස ම සියලුම ක්‍රීඩාවන් ඒ තත්ත්වයට වැටිලා. පුහුණුකාරිනියක් ලෙස මම ඒ දේ අනුමත කරන්නේ නැහැ. අපි මේ තත්ත්වයන් නැති කළ යුතුයි. එකිනෙකාට සහයෝගයෙන් වැඩ කළ යුතුයි. අපි පුංචි කාලෙ දැකපු ලස්සන දැන් මේ ක්‍රීඩාවල නැහැ. ඒත් අපි එකතු වුණොත් නැවත ඒ තත්ත්වය ක්‍රීඩා පිටියට ගේන්න පුළුවන්.” මේසපන්දු පුහුණුකාරිනී ෂමිලා මනෝජිකා පවසන්නීය.

මේ වසරේ මාලදිවයිනේ දී පැවැති දකුණු ආසියානු කනිෂ්ඨ මේසපන්දු තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා මේසපන්දු කණ්ඩායමේ කාන්තා නිලධාරිනිය සහ කාන්තා පුහුණුකාරිනිය ලෙසින් සහභාගී වූ ෂමිලා මනෝජිකා මේ වන විට කොළඹ මියුසියස් විද්‍යාලයේ මේසපන්දු පුහුණුකාරිනිය ලෙස කටයුතු කරන්නීය. ඊට අමතර ව ශ්‍රී ලංකා මේසපන්දු සංගමයේ පුහුණු සහ සංවර්ධන කමිටු සාමාජිකාවක් ලෙස ද ඇය තම දායකත්වය ලබා දෙන්නීය. 

“අපි පුංචි කාලේ ක්‍රීඩාවේ හරි ලස්සන වටපිටාවක් තිබුණේ. මට මතකයි අපි ගමේ ඉඳන් කොළඹ තරගවලට ඇවිත් නතර වුණේ ගමට සම්බන්ධ අයගේ ගෙවල්වල. ගොඩාක් වෙලාවට අපිට උදව්වට ආවේ නාමල් ගුණසේකර මිස්. එයාගෙ ගෙදර හෝ එයාට සම්බන්ධ අයගෙ ගෙවල්වල තමා නතර වුණේ. නැත්නම් වැඩිහිටියන් සමග තරග පැවැති හෝල්වල පවා සිටි අවස්ථා තිබුණා. කෑම බීම එකේ සිට ම අපි බෙදා හදාගෙන කෑවෙ බීවෙ. ඇති හැකි බේදයක් එතැන තිබුණෙ නැහැ. හැමෝම එකා වගේ හිටියා. නමුත් දැන් තත්ත්වය ඊට වෙනස්.”

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ ඉගෙනුම ලැබූ මනෝජිකා මේසපන්දු ක්‍රීඩාවට පිවිසෙන්නේ වයස අවුරුදු 8 සිට ය. ඒ කාලයේ හරි හමන් පුහුණුකරුවෙක් පාසලේ නොසිටි අතර ඔවුන් දැනුම් ලබා ගත්තේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙනි. එසේ පැමිණි ගමනේ දී කනිෂ්ඨ ඉසව්වල දකුණු පළාත් තරගවල විවෘත ශූරතාවන් දිනා ගන්නා ඇය වයස අවුරුදු 13න් පහළ තරග නියෝජනය කරද්දී ජාතික කනිෂ්ඨ මේසපන්දු තරගාවලියේ දෙවැනි අනුශූරතාව දිනා ගැනීමට ද සමත් වන්නී ය. ඊට පසුව වයස අවුරුදු 15න් පහළ සහ 17න් පහළ තරගවල සමස්ත ලංකා ජයග්‍රහණ ද ලබා ගන්නා ඇය 1993 වසරේ දී පැවැති පළමු ආසියානු පාසල් මේසපන්දු තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා බාලිකා කණ්ඩායම නියෝජනය කිරීමට සුදුසුකම් ලබා ගත්තා ය.

“මේසපන්දු පන්දු ක්‍රීඩාවේ ගොඩාක් දුර ගමනක් යන්න හැකියාව තියෙද්දි මම 1994 වසරේ උසස් පෙළ අවසන් වූ විගස ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවයට එක් වෙනවා. ඒ විද්‍යුත් හා විදුලි සංදේශාත්මක පක්ෂාංගයේ ගුවන් රෙදවු ශිල්පිනියක් ලෙසින්.”

මනෝජිකා ගුවන් හමුදාව හා එක් වෙද්දී ශ්‍රී ලංකා විවෘත කාන්තා මේසපන්දු ක්‍රීඩිකාවන් ශ්‍රේණිගත කිරිමේ පළමු 10 දෙනා අතර සිටියා ය. මේ හේතුවෙන් ම ඇය ගුවන් හමුදාවට පිවිසි අලුත ම නාමල් ගුණසේකර යටතේ මේසපන්දු පුහුණුවීම් ප්‍රගුණ කළා ය. නමුත් බාර ධූර වගකීම් සහිත වූවක් වූ රැකියාව හේතුවෙන් ඇය ක්‍රීඩාව සම්පූර්ණයෙන් ම අමතක වසර 15ක් ගුවන් හමුදා සේවාවේ නිරත වූවා ය.

ඉන් අනතුරුව තවත් වසර ත්‍රිත්වයක් සුනාමි ව්‍යසනයෙන් විපතට පත් ජනතාව වෙනුවෙන් සේවය කිරීම සඳහා ආපදා කළමණාකරණ ඒකකය හා එක් ව සේවය කළාය. ඇය කැළණිය විශ්වවිද්‍යාලයේ ආපදා කළමණාකරණය පිළිබඳ ඩිප්ලෝමාධාරිනියකි.

“මේ සියල්ලෙන් විශ්‍රාම ගත් පසු මට නැවත මේසපන්දු ක්‍රීඩාව හා එක් වෙන්න හිතුණා. මගේ හිත යන්නේ මගේ පාසලට සේවයක් කරන්න. නමුත් ඒ වෙද්දි තවත් පුහුණුකරුවන් සිටි නිසා මට ඊට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. පසුව මම කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලයේ මේසපන්දු පුහුණුවිම් ආරම්භ කරනවා.”

එහි කටයුතු ආරම්භ කර ටික දිනකින් ම කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලයීය කනිෂ්ඨ අංශයේ ද මේසපන්දු පුහුණු කිරීමේ කටයුතු සිදු කිරීමට මනෝජිකාට අවස්ථාව සැලසුනි. ඒ හිටපු මේසපන්දු පුහුණුකරුවෙක් වූ අනුරලාල් අලගියාවඩුගේ මග පෙන්වීමෙනි.

“අවුරුදු 4ක් ඇතුලත මට වයස අවුරුදු 10න් පහළ, 12න් පහළ සහ 15න් පහළ යන වයස් කාණ්ඩවල ශ්‍රී ලංකා ශ්‍රේණිගත කිරීම්වල පළමු 8 දෙනා නියෝජනය කරන ළමුන් කිහිප දෙනෙක් ම හදන්න පුළුවන් වුනා. ඒ අතර මනීෂා ශාලින්දි, මල්ෂි රවින්දනා, සින්දුමි දහම්සා සහ නෙත්මි හංසි යන අය විශේෂයි.”

මේ අය අතුරින් මනීෂා ශාලින්දි වයස අවුරුදු 15න් පහළ නියෝජනය කරද්දී ජාතික කනිෂ්ඨ අනුශූරතාවත් 2019 වසරේ දී ජාතික කනිෂ්ඨ ශූරතාවත් 2020 වසරේ දී ජාතික තරගාවලියේ දී දෙවැනි අනුශූරතාවත් දිනා ගැනීමට සමත් වීම කැපී පෙනේ. එමෙන් ම ජාතික තරගාවලියේ යුගල ශූරතාව දිනා ගැනීමට ද නිමා වූ ආසියානු මේසපන්දු තරගාවලිය ද නියෝජනය කිරීම දක්වා ඇය රැගෙන ආවේ මනෝජිකා ය.

මේ වෙද්දී ඇය නුවන් සම්පත් සමඟ එක් වෙමින් කොළඹ මියුසියස් විද්‍යාලයේ සේවය කරන අතර ඊට පෙර නාමල් ගුණසේකර හා එක් ව කොළඹ විශාඛා විද්‍යාලයේ පුහුණුවීම් සිදු කරනු ලැබුවා ය. විශාඛා විද්‍යාලය පළමු වරට වයස අවුරුදු 14න් පහළ ඒ කාණ්ඩයේ ශූරතාව දිනා ගනිද්දී ද මියුසියස් විද්‍යාලය 2020 අවුරුදු 14න් පහළ ශූරතාව දිනා ගනිද්දී ද මනෝජිකා එහි පුහුණු කණ්ඩායමේ සාමාජිකාවක්ව සිටියා ය.

“පුහුණුකාරිනියක් ලෙසින් මේ ටික කාලයේ දී කළ සේවය ගැන ගොඩාක් තෘප්තිමත්. මම මේසපන්දු ක්‍රීඩාව නතර කළේ අවුරුදු 19න්. නැවත පටන් ගත්තේ අවුරුදු 20ක් විතර ගිහිල්ලා. අද මම පුහුණු කරපු දරුවන් ජයග්‍රහණය කරනව දැක්කහම මට ලොකු සතුටක් දැනෙනවා. පුංචි කාලෙ මතක් වෙනවා. ඒ වගේ ම පරාජිත දරුවන් කෙරෙහි ද මගේ විශේෂ අවධානය යොමු වෙනවා. මේ ක්ෂේත්‍රය මීට වඩා තරගකාරී වෙන්න නම් ඒ අයත් රැක ගත යුතුයි.” මනෝජිකා පවසන්නී ය.

මනෝජිකා දරු දෙදෙනෙක්ගේ ආදරණීය මාතාවකි. වැඩිමල් පුතා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපාධි අපේක්ෂකයෙක් වන අතර දියණිය ධර්මාශෝක විද්‍යාලයේ ඉගෙනුම ලබන්නීය. ස්වාමියා, නයන තිලක් බණ්ඩාර විශ්‍රාමික නාවික හමුදා නිලධාරියෙක් ව මේ වන විට පෞද්ගලික අංශයේ සේවය කරන්නේ ය.

“මේ සියලු දෙනාගෙන් මට මගේ දේවල් කරගෙන යන්න උපරිම නිදහස ලැබිලා තියෙනවා. ඒ වගේ ම නාමල් ගුණසේකර මිස්, චන්දන පෙරේරා සර් ඇතුළු මේසපන්දු ක්ෂේත්‍රයට සම්බන්ධ ගොඩාක් දෙනෙක්ගෙන් මට උදව් ලැබෙනවා. පුහුණුකාරිනියක් ලෙසින් සිටිද්දී ම ක්ෂේත්‍රයේ නැවුම් වෙනසක් දකින්න මම ආසයි. ඒ වෙනුවෙන් මම මගේ දායකත්වය නොඅඩුව ලබා දෙනවා.”

එහෙත් ඒ වෙනුවෙන් යම් යම් වෙනස්කම් ද සිදු විය යුතු බැව් ඇය පැවැසුවා ය.

“මේසපන්දු ක්ෂේත්‍රයේ ගමන තවත් පුළුල් කරගන්න පුළුවන් නම් වඩාත් වැදගත් කියල හැඟෙනවා. මේසපන්දු ක්‍රීඩාවේ කාන්තා පුහුණුකාරිනියන් සිටින්නේ ඉතා අතළොස්සයි. ඒත් ක්‍රීඩිකාවන් විශාල ප්‍රමාණයක් මේ තුළ රැදී සිටිනවා. පිරිමි පුහුණුකරුවෙක්ට වඩා ඔවුන් සමග මානසිකව සහ කායිකව හැඟීම් බෙදා ගැනීමට කාන්තා පිරිසක් සිටිනවා නම් තවත් වැදගත් වෙයි. මම දන්නෑ ඇයි මේ වෙනුවෙන් අපේ ක්‍රීඩිකාවන් අවධානය යොමු නොකරන්නේ කියලා. මම දන්න ක්‍රීඩිකාවන් කිහිප දෙනෙක් ම ඉන්නවා ක්‍රීඩාවෙන් ඉවත් වෙලා ගෙවල්වලට වෙලා ඉන්න. ඔවුන්ව මේ තැන්වලට ගන්න ඕන. ඒ වෙනුවෙන් මැදිහත් වෙන්න මම ඉදිරියේ දී බලාපොරොත්තු වෙනවා.” ෂමිලා මනෝජිකා පවසන්නීය.

ජගත් ප්‍රේමචන්ද්‍ර

Comments