කැලණිවැලි මිටියාවතේ ක්‍රීඩා අභියෝගය තල්දූව බෞද්ධයෝ | Page 3 | සිළුමිණ

කැලණිවැලි මිටියාවතේ ක්‍රීඩා අභියෝගය තල්දූව බෞද්ධයෝ

1993 පළාත් වොලිබෝල් ශූරතාව දිනු කණ්ඩායම

වෙළෙඳ බව භෝගවලින් සශ්‍රීක සබරගමුව පළාත එකල මෙන් ම මෙකල ද මධ්‍යම ප්‍රමාණයේ වෙළෙඳ නගර රාශියකින් සමන්විත ය. තල්දූව ග්‍රාම නගරයට ද එහි වැදගත් තැනක් හිමිවෙයි. ඓතිහාසික සීතාවක රාජධානි සමය දක්වා ම දිවයන එහි ඉතිහාසයේ එකල වැඩි වශයෙන් ම විසූවෝ වෙළෙඳ විදේශිකයෝ ය. 

ඔවුන්ගේ දරුවන් 1890 තරම් ඈත අවධියක තල්දූව මැල් බංගලාවත්ත නැමැති ස්ථානයක ඉතා කුඩාවට වූ කාමරයක් තරම් තැනකට ඒකරාශී වී ඉගැන්නුම් වැඩවල යෙදුණෝ ය. ගුරුවරුන් දෙදෙනෙක් සහ ළමුන් 10 දෙනෙක්ගෙන් පමණ සමන්විත ව පෞද්ගලිකව ඇරඹූ එයට ගම්මුන් නම් තැබුවෝ “මැල් කොලීජිය” ලෙසිනි.

අරමුණ, විදෙස් වැවිලිකරු ළමුන්ගේ අධ්‍යාපනය වූව ද තල්දූව හා ඒ අවට විසූ ලාංකේය පවුල්වල අතළොස්සක් වූ දරුවන්ට ද එහි ඉඩක් වෙන් වුණි. ඒ තරමක් ඇති හැකි පවුල්වල දරුවන් වෙනුවෙනි. ඊට හේතු වන්නේ ඉගැන්වීම් වැඩ කෙරුණේ ඉංග්‍රීසි භාෂාවෙන් වීම ය.

කලක් යද්දී පරම විඥාර්ථ බෞද්ධ සමාගම විසින් පාලනයට පත් මේ මැල් කොලීජීය, සීතාවක ගං මිටියාවතේ පිහිටි කැළණිවැලි ක්‍රීඩාංගණය ද සමීප කර ගනිමින් 1960 දශකයේ දී පමණ තල්දූව නගර මධ්‍යයේ රාජ්‍ය පාසලක් ලෙස ස්ථාපිත වන්නේ ය. ඊට නම් තැබෙන්නේ තල්දූව බෞද්ධ ජාතික පාසල ලෙසිනි.

“විනය පෙරටු කරගත් අධ්‍යාපනයක් ලබා දෙමින් මේ රටට වඩාත් වැදගත් සමබර පෞරුෂයක් සහිත අනාගත පුරවැසියන් බිහිකිරීමයි අපේ මූලික අභිප්‍රාය වෙන්නේ. අධ්‍යාපනයේ ගුණාත්මක සංවර්ධනය උදෙසා නව්‍යකරණ වූ තාක්ෂණය සහ ක්‍රීඩාව වගේ දේවල් අපි බහුලව යොදා ගන්නවා. ඊට පාසලේ සෑම ප්‍රජාවකගෙන් ම ලැබෙන සහයෝගය සුවිශේෂයි. ඉගැන්වීම් කරන ගුරුවරු පවා පංති කාමරවල ගත කරන පැය කිහිපය හෝ තමන් වෙත පැවැරුණු කාරණය මත පමණක් සිටිමින් කටයුතු කරන අය නෙමේ. ඔවුන්, අපි සෑම දෙනා ම විවිධ අංශයන් නියෝජනය කරමින් මේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් කැප වෙනවා. එහි ප්‍රතිඵල මේ වන විට අපි විදිමින් සිටිනවා. විශේෂයෙන් ම ක්‍රීඩාවෙන් අපි ඉහළ ම තැනක ඉන්නවා.” තල්දූව බෞද්ධ පාසලේ වර්තමාන විදුහල්පති ධම්මික සී. බණ්ඩාර “ක්‍රීඩා” සමග පැවැසුවේ ය.

තල්දූව බෞද්ධයන්ගේ ක්‍රීඩා කෞෂල්‍යයන් හී තෝතැන්න කැලණිවැලි ක්‍රීඩාංගණයයි. පාසලට නුදුරෙන් වූ සීතාවක ගං මිටියාවතේ පිහිටි කැළණිවැලි ක්‍රීඩාංගණයේ පහස නොලැබූ තල්දූව බෞද්ධයෙක් නොමැති තරම් ය. ඒ අතුරින් තල්දූව බෞද්ධ රග්බි කණ්ඩායම්වලට හිමි වෙන්නෙ සුවිශේෂී ස්ථානයකි.

තල්දූව බෞද්ධ පාසලේ රග්බි ඉතිහාසය ආරම්භ වන්නේ 1994 වසරේ සබරගමුව පළාතට රග්බි හඳුන්වා දෙන අවධියයි. එසේ ආරම්භ වූ රග්බි ක්‍රීඩාවේ වර්තමාන සබරගමු පළාත් ශූරයන් වන්නේ තල්දූව බෞද්ධයෝ ය. ඔවුන් පසුගියදා නිමා වූ අන්තර් පාසල් වයස අවුරුදු 20න් පහළ සත් සාමාජික රග්බි කුසලානය දිනා ගත් හ. ඒ තෙවැනි වරට ය.

ඊට පෙර ඔවුන් 2017 සහ 2018 වසර ද්විත්වයේ මේ ශූරතාවට හිමිකම් කීමට සමත් වූ අතර 2019 වසරේ බඳුන ශූරතාව ද, එම වසරේ ම වයස අවුරුදු 18න් පහළ පළඟ ශූරතාව ද දිනා ගැනීමට සමත් වූහ.

“අපි පාසලේ රග්බි ක්‍රීඩාව ගොඩ නැගුවේ බොහොම දුෂ්කරතාවෙන්. විවිධ අඩු-පාඩුවලට දුෂ්කරතාවලට අපි එදා වගේ ම අදටත් මුහුණ දෙනවා. ඒ තත්ත්වයන් මත වූවත් අපි හෙට දවසේත් රග්බි පිටියට පිවිසේවි. රග්බි ක්‍රීඩාව ඒ තරමට අපේ ක්‍රීඩකයන්ට බද්ධ වෙලා තියෙන්නේ. විද්‍යාලයේ මේ ක්‍රීඩාව නගා සිටුවීම පිටුපස විද්‍යාලයීය වර්තමාන විදුහල්පතිතුමා වගේ ම හිටපු විදුහල්පතිවරුන් ද පාසල් ප්‍රජාව ද සම්බන්ධ වී සිටිනවා. ඒ වගේ ම රග්බි පුහුණුකරු ශානුක ප්‍රියදර්ශන මහතා මෙන් ම සහාය පුහුණුකරු විද්‍යාලයීය ආචාර්ය මලින්ද ජයවර්ධන ද මේ වෙනුවෙන් සුවිශේෂි දායකත්වයක් දක්වනවා. අපිට තියෙන එක ම ශක්තිය ඒ සියලු දෙනා.” තල්දූව බෞද්ධ ජාතික පාසලේ රග්බි භාර ආචාර්ය කේ. එස්. පී. කරුණාරත්න පැවැසුවේ ය.

කරුණාරත්න සබරගමුව පළාතට රග්බි ක්‍රීඩාව හඳුන්වා දීමේ පුරෝගාමියෙකි. තල්දූව බෞද්ධ පාසලේ රග්බි ක්‍රීඩාවේ මෙන් ම තවත් ක්‍රීඩාවන් රාශියක ද ඔහුට සුවිශේෂී තැනක් හිමි වෙනවා.

ඒ ආරම්භයේ සිට ම මේ දක්වා ම ඔහු තල්දූව බෞද්ධයන්ගේ ක්‍රීඩාවන් හා බැඳී සිටි පුද්ගලයෙක් ලෙසිනි.

දශක ත්‍රිත්වයකට ආසන්න තල්දූව රග්බි ක්‍රීඩාවේ රටක් වටින ක්‍රීඩකයන් රැසක් ද බිහි කරන්නට හැකියාව ලැබී ඇත. ඒ අතරින් ඉදිරියෙන් ම ඉන්නේ සුරංග අරුණශාන්ත සහ සුභාෂිණී කරුණාරත්න ය. ඔවුන් දෙදෙනා ම ශ්‍රී ලංකා රග්බි පිරිමි සහ කාන්තා ජාතික කණ්ඩායම් නියෝජනය කළ අතර එය තල්දූව බෞද්ධ රග්බි ඉතිහාසයේ වර්ණවත් පරිච්ඡේදයක් ලෙසින් ද හැඳින්විය හැකි ය. එමෙන් ම එදා රග්බි ක්‍රීඩකයෙක් ලෙසින් පාසල් පිටියේ දක්ෂතා දැක්වූ අකිල කුලරත්න, අද විශේෂඥ වෛද්‍යවරයෙක් ලෙසින් සේවය කිරීමත් ඔවුන්ගේ ඉතිහාසයේ ඉහළ ම සැමරුමකි. ඊට අමතර ව මෙරට ප්‍රමුඛතම රග්බි කණ්ඩායම් නියෝජනය කරන ආදි තල්දූව බෞද්ධයන් විශාල ප්‍රමාණයක් බිහිව තිබීම ද සුවිශේෂී වේ. රග්බි ක්‍රීඩාවට අමතර ව තල්දූව බෞද්ධයෝ ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාව වන වොලිබෝල් ක්‍රීඩාවේ නියුතු වීමට ද රුසියෝ ය. 1993 වසරේ දී සබරගමු පළාත් ශූරතාව දිනා ගන්නා ඔවුන් එතැන් සිට මේ දක්වා ම වොලිබෝල් පිටියේ සැලකිය යුතු මට්ටමේ දක්ෂතා දක්වති.

තල්දූව බෞද්ධයන්ගේ වොලිබෝල් ඉතිහාසයේ වර්ණවත් ක්‍රීඩකයා බවට චමින්ද විජයකුමාර පත් වේ. වොලිබෝල් ක්‍රීඩාවෙන් ජාතික මට්ටම දක්වා පැමිණි ඔහු අධ්‍යාපනයෙන් ද සුවිශේෂී කඩඉමක් පසු කරමින් මේ වන විට වෛද්‍යවරයෙක් ලෙසින් සේවය කරමින් තල්දූව බෞද්ධයන්ගේ ගෞරවයට පත් ව සිටිති.

ටයිකොන්ඩෝ ක්‍රීඩාවෙන් ද ජාතික මට්ටමේ දක්ෂතා දක්වන තල්දූව බෞද්ධයන් අතුරින් ආසන්නත ම පදක්කම්ලාභී ක්‍රීඩිකාව වන්නේ යෙත්මිණි තනූජා ආනන්ද ය. ඇය නිමා වූ ශ්‍රී ලංකා විවෘත ජාත්‍යන්තර ටයිකොන්ඩෝ ශූරතාවලියේ දී ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට සමත් වූවා ය.

ඇයට අමතර ව ජාතික මට්ටම නියෝජනය කළ තල්දුව බෞද්ධ ටයිකොන්ඩෝ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රාශියක් ද ඔවුන් සතුව සිටිති.

ඊට අමතර ව මලල ක්‍රීඩා, නෙට්බෝල්, එල්ලේ වැනි ක්‍රීඩාවන්ගෙන් ද පළාත් මට්ටම දක්වා පැමිණීමට සමත්වූ තල්දූව බෞද්ධයෝ රාශියකි. ක්‍රිකට් සහ පාපන්දු ක්‍රීඩාවන් මෑතක දී තල්දූව බෞද්ධයන්ට එක් වූ අතර ඊට සැලකිය යුතු පිරිසක් ද සහභාගී වෙන බැව් පවසති. මේ සැමට අමතර ව ස්ථුල දේහයන් සහිත තල්දූව බෞද්ධයන්ගේ ශරීර තත්ත්වයන් පාලනය කිරීම වෙනුවෙන් වෙනම ම වැඩ පිළිවෙළක් පාසල තුළ ක්‍රියාත්මක වීම ද විශේෂ වේ. විද්‍යාලයීය විද්‍යා අංශයේ මෙහෙවීම මත වෛද්‍යවරුන්ගේ උපදෙස් සහ සහභාගීත්වයෙන් සතියකට දිනක දී පැවැත්වෙන මෙම වැඩමුළුවේ දී ළමුන්ගේ උසට සරිලන සේ බර පාලනය කිරීම මගින් යහපත් ශරීර ශක්තියකින් යුත් දරුවන් සමාජයට දායාද කිරීම අරමුණ වී ඇත.

“මේ සෑම දේකදී ම අප මුහුණ දෙන අභියෝගාත්මක ප්‍රශ්නය වන්නේ මේ දරුවන් මේ තුළ රඳවා ගැනීම. ග්‍රාමීය ආර්ථික තත්ත්වයන් මත අපට ඊට ඉබේම මුහුණ දෙන්න සිදු වෙනවා. නමුත් අපි දැනට ඒ ළමුන් වෙනුවෙන් අවශ්‍ය පහසුකම් අපට හැකි අයුරින් ලබා දෙන්න කටයුතු කරමින් සිටිනවා. විශේෂයෙන් ම දරුවන්ගේ පෝෂණ තත්ත්වයන් හා ක්‍රීඩා පහසුකම් ගැන වැඩි සැලකිල්ලක් දක්වනවා. මේ වෙනුවෙන් ආදි ශිෂ්‍යයන්, සුබ පතන්නන් සහ දෙමාපියන් විදිමත් සේ ඒකරාශී වී සිටිනවා. ක්‍රීඩාව මෙන් ම අධ්‍යාපන සංවර්ධනය වෙනුවෙනුත් ඔවුන්ගේ දායකත්වය ලැබෙනවා.” විදුහල්පති ධම්මික සී. බණ්ඩාර පැවැසුවේ ය.

තල්දූව බෞද්ධ පාසල ලැබූ මේ ජයග්‍රහණ සහ කරගෙන යන්නා වූ ක්‍රීඩා අරගලය පිටුපස දුෂ්කරතා විශාල ප්‍රමාණයක් පැවැතෙන බව ඔවුන් පවසති. ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ක්‍රීඩා ඇඳුම් පැළඳුමේ සිට ම අංකනය කළ හැකි දිගු ලැයිස්තුවකින් එය සමන්විත වේ.

ඒ කුමන අඩු පාඩුවක් තිබුණ ද ආරම්භ කළ සෑම දේ හී ම ප්‍රතිඵලයක් ලැබෙන ආකාරයෙන් කරගෙන යෑමට විද්‍යාලයීය විදුහල්පතිවරයාගේ අරමුණ ය. ඔහුගේ මඟ පෙන්වීම යටතේ මෙම කාර්යයන් සාර්ථක කර ගැනීම උදෙසා විද්‍යාලයීය නියෝජ්‍ය විදුහල්පතිවරුන් වන රනිල් ප්‍රියංග සහ එස්. ඒ. ඊ. ප්‍රියදර්ශනී, ශාරීරික අධ්‍යාපන ගුරුවරුන් වන කේ. එස්. පී. කරුණාරත්න, ඊ. ඩී. කේ. සිරිවර්ධන, කේ. ජී. එස්. පී. සෝමරත්න සහ එස්. එස්. දමයන්ති මෙන් ම විද්‍යාලයීය ක්‍රීඩා භාර ගුරුවරුන් සහ පුහුණුකරුවන් ද එකසේ එකාවන් ව දෑත් බැඳ සිටිති. එහි අරමුණ හෙට දවසේත් තල්දූව බෞද්ධයෝ අධ්‍යාපනයෙන් මෙන් ම ක්‍රීඩාවෙන් ද ඉහළට ඔසවා තැබීම ය.

ඔවුන්ගේ ශක්තියට සහ එකමුතුකමට “ක්‍රීඩා” වෙතින් සුබ පැතුම්!


Comments