
කෘතිය - මහල්ලා සහ ඉරිඟු පැළය
/ ඇටමිදුළු
පරිවර්තනය - චූලානන්ද සමරනායක
සුභාවි ප්රකාශනයකි
මිල රුපියල් 550
විමසීම් - 071 420 4092
ලෝක දේශපාලනය තවදුුරටත් සමාජවාදි සහ ධනවාදි ලෙසින් බෙදා දැක්වීම මේ සියවසේ ලොකුම විහිළුව යැයි කිව හැකි ය. අද වනවිට මේ කඳවුරු දේශපාලනය අතීිතයේ පැවැති වර්තමානයට කොහෙත්ම අදාළ නැති විකාර රූපි ඉතිහාසයක නටබුන් හා සමානය.
ඊට හේතුව මේ දෙපාර්ශ්වයෙන්ම කිසිදුු නියත ජයග්‍රහණයක් මානව පැවැත්මේ ස්ථිරසාරත්වයට හිමි නොවීමයි. ඒ අනුව අතීත ජයග්‍රහණ ඔස්සේ මානව පැවැත්ම වෙනුවෙන් ඉතිරි කළ කිසිවක් නොමැති වන තරමටම ඔවුන්ගේ ඒ දේශපාලන පැවැත්ම වෙනස් වී ඇත.
චීනය අද අමෙරිකාව සමඟ ඇති කරගෙන තිබෙන සීතල යුද්ධයේ අරමුණ කොමියුනිස්ට්වාදය රැක ගැනීමක් යැයි යමෙකු කිවහොත් එය ඔවුන්ගේ මිය ගිය විප්ලවීය නායකයන් පවා හිනස්සවන ආකාරයේ විහිළුවක් වීමට ඉඩ ඇත.
චූලානන්ද සමරනායක විසින් “මහල්ලා සහ ඉරිඟු පැළය / ඇටමිදුළු” නමින් සිංහලට පරිවර්තනය කරන්නේ නව පරපුරේ චීන ලේඛකයන් අතර මුල් පෙළේ සිටින ලේඛකයකු ලෙසින් සැලකෙන යාන් ලියාන්කිගේ “ද ඉයර්ස් මන්ත්ස් ඩේස්/මැරෝස්” නම් කෘතිය යි.
1958 චීනයේ හෙනාන් පළාතේ උපත ලද යාන් ලියාන්කි මීට පෙර ද සාර්ථක සාහිත්‍ය කෘති ගණනාවක් ඉදිරිපත් කළ ලේඛකයෙක් වේ. ඒ අතරිනුත් විශේෂයෙන්ම “ජනතාවට සේවය කරනු, ඩින්ග් ගම්මානයේ සිහිනය, ලෙනින්ගේ හාදු” යන කෘති ත්‍රිත්වය ඔහුව සම්මානනීයත්වයට මෙන්ම ඔහුගේ කෘති වාරණය කිරීමට පසුබිම නිර්මාණය කළේ යැයි කිව හැක.
චීන සාහිත්‍යය මෙරටට බලපෑ ආකාරය ගැන විමසිීමට පෙර ලංකාවේ වාම දේශපාලනය රට තුළ හැසිරුණු අයුරු ගැන ඉතාම කෙටියෙන් හෝ විමසීමක් කළ යුතුව ඇත. ඒ අනුව ලංකා සමසමාජ පක්ෂය, ලංකා කොමියුනිස්ට් පක්ෂය යන ප්‍රධාන ධාරාවේ වාමාංශික පක්ෂ දෙකට අමතරව 71 කැරැල්ලෙන් පසු නිර්මාණය වන තරුණ දේශපාලන ව්‍යාපාරයක් වූ ජනතා විමුක්ති පෙරමුණ මෙන්ම ෂන්මුගදාසන්ගේද චීන පිල, පෙරදිග සුළඟ වැනි වාමාංශික දේශපාලන ක්‍රියාකාරින් පසුබිමේ ද විශේෂයෙන්ම බොල්ෂෙවික් - ලෙනින් මෙන්ම චීනයේ මා ඕ වාදි අදහස් පැවතුණ බවක් පැහැදිලිවම දැකිය හැක. මේ නිසා මෙරට සාහිත්‍යයට රුසියානු මෙන්ම චීන සාහිත්‍යය කෘති එකතුවීම නිරන්තරයෙන්ම සිදුුවිය. නමුත් ඒ එකතුවීම තුළ අපට වෙනසක් දැකිය හැක. ඒ බව පරිවර්තකයාද සිය සටහනින් මතු කොට ඇත.
රුසියානු සාහිත්‍යය අප හඳුනාගන්නේ හුදෙක් විප්ලවය මුල් කොට ගත් නිර්මාණ සංග්‍රහයක් වශයෙන්ම නොවේ.
පූර්ව විප්ලවීය රුසියානු සමාජය කැඩපතකින් මෙන් පිළිබිඹු කළ සම්භාව්‍ය රුසියානු සාහිත්‍ය කෘති සහ සෝවියට් සමාජවාදි කාලයට අයත් නිර්මාණාත්මක මෙන්ම විවේචනාත්මක කෘති ද අපේ සාහිත්‍යයට ලබාදුන් දායකත්වය මහත් වූ එකකි. නමුත් ඊට සාපේක්ෂව පූර්ව විප්ලවීය සහ චීන දේශපාලනය ගැන අප අත්දැකීම් ලබා ගන්නේ බෙහෝ විට බටහිර ලේඛකයන්ගේ කෘති ඇසුරෙනි.
නිදසුනක් ලෙස පර්ල් එස් බක් මෙන්ම එඩ්ගාර් ස්නෝ දැක්විය හැක. චීන ඉතිහාසය, ඉඩම් හා බැඳුණු ඔවුන්ගේ ගොවි ජීවිතය, පර්ල් එස් බක්ගේ සරුබිම මුල් කරගත් තුන් ඈඳුතු නවකතාවෙන් මැනවින් නිරූපණය වී තිබේ.
චීනයට මුඳුන් වූ රතු තරුව යන අරුතින් ගත හැකි “රෙඩ් ස්ටාර් ඕවර් චයිනා” නමින් ලියවුණ එඩ්ගාර් ස්නෝගේ ලිවීම තුළ චීන ගොවියන් සමඟ එක්ව ගමන් කරමින් විප්ලවීය පෙරමුණක් සැදූු මා ඕ සේතුංගේ විප්ලවීය කාර්යභාරයේ සමීප රූපයක් දකින්නට පුළුවන.
රුසියානු සාහිත්‍යයේ මක්සීම් ගොර්කි හා සමානව චීන සාහිත්‍යයේ ලූ ෂුන්ව හැඳින්විය හැකි නමුත් මෙරට පාඨකයා ගොර්කි හා සමානව ලූ ෂුන්ව සමීපව කියවූයේ දැයි පැහැදිලි නැත. විශේෂයෙන්ම ලූූ ෂුන්ගේ “පිස්සෙකුගේ දින පොත” පූර්ව විප්ලවීය චීන සමාජය මුහුණ පා තිබූ රුදුරු දේශපාලන ඉරණම ප්‍රබල සාහිත්‍යය නිර්මාණයක් වශයෙන් ඉදිරිපත් කොට ඇති ආකාරය අපේ සාහිත්‍යවේදීන් අතරට පුළුල්ව පැතිර ගියාද යන්න සැකයකි.
බා ජින්, යං මෝ යන ලේඛකයින් විප්ලවාසන්න චීනයේ දේශපාලන හා සමාජ හැසිරීම සාර්ථකව නිරූපණය කළ අය වෙති. බාජින්ගේ “පවුල” සහ යං මෝගේ “යෞවන ගීතය” ඊට සුදුසු උදාහරණයන්ය. චීන විප්ලවීය සාහිත්‍යය තුළ බොහෝ දුරට දැකිය හැකි ප්රචාරකවාදී බව මෙම ලේඛකයන් තුළින් කොහෙත්ම දැකිය නොහැකිවීම විශේෂත්වයකි. චීන සාහිත්‍යයේ තවත් පියවරක් ගැන පරිවර්තකයා සිය සටහනේ මෙසේ දක්වා ඇත.
“සෝවියට් සාහිත්‍යයේ මෙන්ම චීන සාහිත්‍යයෙහි විවේචනාත්මක ප්රවේශයන් අපට බහුලව දක්නට ලැබෙනුයේ -ඩයස්පොරික - සාහිත්‍යය හරහා බව කීම අසත්‍යයක් නොවේ, හැරී වූ, මා ජියාන්, ගාවෝ ක්සින්ජියාන් ආදීන් මේ සඳහා උදාහරණයන් ලෙස දැක්විය හැකි ය.
මේ අතරම සැලකිය යුතු සාහිත්‍යකරුවන් පිරිසක් චීනය තුළ හිඳිමින්ම මේ විවේචනාත්මක ප්‍රවේශයෙහි කටයුතු කරති. මෝ යෑන්, යූ හුවා ආදීන් ගැනෙනුයේ මේ කොටසට ය. එහෙත් චීනය තුළ හිඳිමින් නිර්මාණකරණයේ යෙදෙන පිරිසට සිය කාර්යය ඉන් බැහැරව ඉන්නා පිරිසට මෙන් පහසු නැත. වාරණය සහ ස්වයං වාරණය යනු ඔවුන්ට බෙහෙවින් හුරුපුරුදුු වදන් බවට පත්ව ඇත්තේ මෙහෙයිනි.”
චීනයේ නව ලේඛක පරපුරට අයත් වන යාන් ලියාන්කි විසින් ලියන ලද මහල්ලා සහ ඉරිඟු පැළය/ ඇටමිදුළු නම් කෘතිය ගැන අපට විමසන්නට සිදුුවන්නේ ඉහත කී පසුබිම තුළ ය. ලේඛකයකු හැටියට ඔහු අද මුහුණ දෙන්නේ පූර්ව විප්ලවීය චීන සමාජය විප්ලවාසන්න චීන සමාජය හෝ මා ඕගේ සංස්කෘතික විප්ලවය මුල් කොට ගත් දේශපාලන සමයට හෝ නොවේ. ඔහු අද මුහුණ පා සිටින්නේ අද්‍යතන චීනයේ කොමියුනිස්ට් පාලන රාජ්‍ය තන්ත්රයට ය. නමුත් එය වූකලී පූර්ව විප්ලවීය චීන ලේඛකයින් විසින් හඳුනා ගෙන සිටි කොමියුනිස්ට්වාදය හා සසඳන කළ හාත්පසින්ම වෙනස් වූ සමාජ ආර්ථික මෙන්ම දේශපාලන විසංවාදයකි. මෙම පරිවර්තන කෘතිය ඔහුගේ ප්‍රධාන පෙළේ කෙටි නවකතා දෙකකින් සමන්විතය. මහල්ලා සහ ඉරිඟු පැළය ඉන් එකකි. අනික ඇටමිදුළු ය. කතන්දර දෙකක් වශයෙන් පැවතුණද පරිවර්තකයා ඉතා නිවැරැදිව පෙන්වා දෙන ආකාරයට මෙහි ඇති කියැවීම මෙසේ ය.
“එහිදී ඔහුගේ පරිකල්පනය සහ මානව ජිීවිතයේ කොන්දේසි කෙරේ ඔහු වෙතැති සියුම් ප්‍රවේශයන්හි පොහොසත් බව” මෙන්ම “අතිශය දරුණු කොන්දේසි යටතේ ජීවත් වන්නට බල කරනා මනුෂ්‍යයාගේ යටත් නොවන ස්වභාවයත් අප්රහිත ධෛර්යයත්” මෙහිලා නිරූපිත ය. පවත්නා දේශපාලන වාරණයන් හමුවේ යාන් ලියාන්කි සිය කෘතිය ගැන සිදු කළා වූ පහත දැක්වෙන ප්‍රකාශය යම් උපායශීලි බවක් පෙන්වන්නේ යැයි සඳහන් වේ.
“මිනිසා සියවස් ගණනාවක් තිස්සේ පරිසරය කොල්ලකෑමෙහි නිරත වූවේ, දැන් ඔහු ඊට වන්දි ගෙවමින් සිටියි. ”
මේ ආකාරයට බලන විට පූර්ව විප්ලවීය මෙන්ම විප්ලවාසන්න චීන සාහිත්‍යයට සාපේක්ෂව අද්‍යතන චීන කොමියුනිස්ට් පාලනය යටතේ සිය ලිවීම සිදු කරන යාන් ලියාන්කි වර්තමාන චීන සමාජය හා එහි භූමිය දකිනා ආකාරයේ පවත්නා වෙනස මෙන්ම විෂමත්වය එදා මෙදාතුර චීන සාහිත්‍ය නිර්්මාණ කියවූ අයකු හමුවේ බොහෝ නිර්වචන මතු කරන්නට ඉඩ තිබේ. ප්රචාරකවාදය යනු පරමාණු බෝම්බයක් යැයි ලියාන්කි පවසයි. එමෙන්ම පාඨකයන්ට උපදෙසක් වශයෙන් ඔහු පෙන්වා දෙන “නළාකරුවා වීමට නොහැකි නම් අඩුම තරමින් නළාවෙහි හඬ අසන්නා බවට පත්වන්න” යනුවෙන් ඔහු කරන ප්‍රකාශයන් සියුම්ව වටහා ගත යුතුය.
වර්තමාන චීන දේශපාලනය චීන සාහිත්‍යය කෙරෙහි දක්වන අධිකාරීත්වය පරමාණු බෝම්බය නම් ප්රකාශයෙන්ද ඊට එරෙහිව බිහිවිය යුතු පාඨකයා කවරෙක් ද යන්න නළාකරුවා යන ප්රකාශයෙන්ද මැනවින් ප්‍රකාශ වේ.