කවි සිළුමිණ | සිළුමිණ

කවි සිළුමිණ

මගේ පැතුම

වද­හළ පරිදි බුදු හිමි පිරි­නිවි දවසේ
බැබළේ බුදු සසුන ලක්දිව අද දවසේ
සිරි­ලක නව වරක් සසු­නට පිදු­වාසේ
කැප වෙමු අපිත් රැක­ග­න්නට රට නොලසේ

තෙරු­වන් ගුණය හද තුළ අපෙ නිති රන්දා
ගුණ දම් පුරමු දහ­මට බැති සිත බන්දා
පෙර කළ පිනෙන් මිනි­සත් බව ලද හින්දා
සස­රින් ගොඩ යන්න හැකි වෙයි නැත බාදා

ආමිස පිදුම් පිං සපුරා ගන්න හොඳයි
පිළි­වෙත් පුර­න්නට මුල් තැන දිය යුතු­මයි
කාලය කෙටියි අත ඉක්මන් කළොත් හොඳයි

නැත්නම් ඉතින් සසරේ දුක තව ලිය­ලයි
සත සිත දහම වෙත නිර­තුරු සබැ‍දේවා
මෙත සිත පිරී බුදු බැති­යෙන් පිබි­දේවා
නැත ලොව කිසිත් තිර ලෙස එය වැට­හේවා
අත­හැර සියලු දේ නිව­නට ළං වේවා

ජය­සේන කොඩි­තු­වක්කු


මුනුපු‍රෝ

දනි­පනි ගගා අත­පය සොල­වන තාලේ
සිත කිති කවයි පෙන්වන විට ඇති ලීලේ
සුර­තල් වදන් ගෙතු­මට හුරු­වන තාලේ
සිහි­වෙයි ගෙවා දැමු හැටි අත්තගෙ බාලේ

රෑසියො වාගෙ­මයි බඩ­ගිනි ආවාම
නිව­සම සසල වෙයි ඒ හඬ දැනු­නාම
අත පසු­වෙලා යයි වෙන වැඩ නොදැ­නීම
මේකයි සොබා­වය මුනු­පුරු පැමි­ණීම

දරු සෙනෙ­හ­සත් පර­දන සෙනෙ­හ­සක් ඇත‍
කර­දර කම්ක­ටොලු සුන්දර වෙලා ඇත‍
රැක­ව­ර­ණ­යම සල­සන හැටි රැදුණු සිත
පුබුදා ගනියි විය­පත් කමට හුරු ගත

සුදො­වුන් නිරිදු එද­වස සිරි පතුල වැඳ
මුනුපුරු සෙනෙහෙ පව­සයි හිමි අසල හිඳ
සම්මස් ඇට නහර මේ හැම එකට විද
තැන්ප­ත්වේලු සැමදා ඇට මිදුලු මැද

නිවසේ පහන් වැට මුනුපුරු මිනි බිරි­යයි
හැඬු­මත් සින­හ­වත් නිව­සට සිරි­යා­වයි
අත්ත­ම්මාට කප්රුක ලැබු­ණාට සමයි
උන්සිව් දෙනා අපගේ ජීවි­තය තමයි

සෝම­රත්න හර­ස්ගම


සිඟි­ත්තියේ

දඟ­කාර හිනා­වක
කට­කාර කතා­වක
පද පේළි අමුණ අමුණා
නුඹ සිනහා නඟ­නවා

හඳ වගේ ඔය මුහුණේ
රතු පාට දෙතොල් අතර
කිරි­සුදු දත් දෙකේ
සොඳුරු බව මට දැෙන­නවා

මගෙ චූටි දිය­ණියේ
නුඹ නිසයි මගෙ සතුට
හැම­දාම හද­වත
ආද­රෙන් පිර­වුණේ

ජේ. ඩී අබේ­කෝන්


ඔබම ඇවිත් මා කැඳවා යන්නට....

මර­ණය, මා ඔබ වෙනු­වෙන්
බලා නොසි­ටි­යත් නැවතී
ඔබම ඇවිත් මා අබි­යස
රිය නවතා බලා සිටී

දැන් අප දෙදෙනා පම­ණකි
රිය තුළ -එය සෙමෙන් ඇදේ
කල­බල නැති සුව ගම­නකි
මා තුළ වූ විඩා සිඳේ

දරු­වන් දුව පැන ඇවි­දින
පාසල් බිම පසු කර­ගෙන
කරල් පැසුණු කුඹුරු යාය
මැදින් රිය ඇදේ හෙමි­හිට

බැස යයි හිරු අහස් ඉමේ
දිගු සෙව­ණැලි ඇඳෙයි බිමේ
කළු­වර සම­ඟින් හෙමි­හිට
සීතල මීදුම පැතිරේ

සිනිඳු දුහුල් සළු විනි­විද
සීතල කටු තුඩු ඇනෙනා
සියො­ළඟ කිලි පොළනු දැනේ
නිව­සක් ළඟ රිය නැවතේ

මහ පොළො­වෙන් යාන්ත­මට
උඩ­මතු වූ ගො­ඩැ­ල්ල­කිය
පියස්ස පම­ණක් දිස්වේ
ඉති­රිය මිහි ගැබ තුළ වේ..

එතැන් පටන්..
සිය­වස් ගණ­නක් ගත විණි
එද එය එක් දව­සක් මෙනි

සදා­කාල ජීව­නයේ
රුවන් මැදුරු සිතේ දරා
එදා රියට ගොඩ වුණු මුත්
සිතු දේ කිසිදා නොම විණි...

එමලි ඩික්සන් (1830 - 1886)
Emily Dickinson දහ­නව වන සිය­වසේ මුල ඇම­රි­කාවේ ජීවත් වූ කිවි­ඳි­යකි. ජීවිත කාලය තුළ ඕ කිවි­ඳි­යක ලෙස ප්‍රසි­ද්ධි­යට පත් නොවූ­වාය. මිතුරු මිතු­රි­යන්ට ලියූ ලිපි වල ඇගේ කවිද ලියැ­විණි. 1886 දී ඕ මිය ගියාය. ඇගේ මුල්ම කාව්‍ය සංග්‍ර­හය නිකුත් වූයේ 1890 දීය ඒ ඕ මිය ගියා­යින් පසු­වය. Because I could not stop for death ඇයගේ ප්‍රශ­ස්තම කවි අත­රින් එකකි. මේ එහි අනු­වා­ද­යකි. ආගම විසින් පොරොන්දු වන මර­ණින් මතු ජීවි­තයේ විසි­තුර මිනිසා තුළ මර­ණය පිළි­බඳ මිත්‍ර­ශීලී හැඟුම් උප­ද­වයි. නවා­තැ­නක් පම­ණක් වන ඉන් මතු වඩා සුව­ප­හසු තැනක් පිළි­බඳ සිති­විලි සිතට මිහි­රකි.
එහෙත් සත්‍යය.කටු­කය.අඳු­රුය.
ඉහත කවි­යෙන් කිවි­ඳිය අපට වටහා දෙන්නේ ඒ යථා­ර්ථය යි.

කුමු­දිනී වේලා­රත්න


කටු අකුලේ මල් නොපිපේ

මැදු­රම රුව කරපු මල් ගස සරු යහසේ
පිපුනේ මල් පොකුර වැදි පිනි දිය රහසේ
අඳුරේ දිලෙන මුත් සඳ නිර­තුරු අහසේ
මැලවී ගියේ එම මල් කාටත් රහසේ

පුද දෙනු පිණිස මල් පිපු­ණත් ඇතැම් මල්
පූජා­සනේ නොත­බයි මැල වුණොත් මල්
එන­මුත් රෝස මල්වල රුව තිබෙන ලකල්
දැක­ගත් බබරු රඟ­දෙති රුං ගගා තොඳොල්

අක­ලට පර­වුණා පොඩි මල දිවි කතරේ
ලොකු මල පුද දුන්නෙ මහ අය මඳ අඳුරේ
තව මල් දෙකක් තිබු­ණත් එම මල් පොකුරේ
ඉන් එක මලක් වැනි වැනි සුළ­ඟට ඇඹරේ

රුව පින තිබෙන කල් මල්ව­ලට ඉල්ලුම
බඹ­රුන් ලංසු දෙන­වා­මයි විම­සු­වම
උඩ­ගුව මනස මුසු කෙරු­වාම
ගහ යට වැටී යයි කාටත් නොකි­යාම

පොහොර දිය­දාපු අය පර ලෝකෙ ගියත්
නිව­නක් වෙන්නෙ නෑ මේ වග සිහිය වුණොත්
උප­දින සැම දේම අනි­යස බව කීවත්
වට­හා­ගෙන තිබුණෙ නෑ බොරු මායම් පෑවත්

ප්‍රේම­දාස රකි­නා­ව­සම්


සැබෑ ආද­රය...

විසල් අහ­සක සිහින සිත්තම්
ආදරේ පාටින් හැඩ වුණාවේ
හදේ ගැඹු­රුම සොඳුරු සිතු­විලි
ආදරේ නාම­යෙන් මිහි­දන් වුණාවේ

දුරින් හිඳ බැලූ­විට
පෙනෙන අරු­මය
ළඟට එත­රම් හැඩ නොවේ මැයි
ආදරේ මතක සැම­රුම්
අතී­ත­ය­ටයි සැබෑ ලස්සන

සරණ සියො­තුන් නිසා­මයි
ගගන මේ තරම් මන­රම්
බෙදා වෙන් කළ නොහැකි නිසා­මයි
සඳ එළිය මේ තරම් ලස්සන


නයන්ත ජගත් පුංචි­හේවා


පව් නෑ මිනි­සුනි

යද­මින් බැඳ විලංගු ලෑ
පා කැක්කුම් ගෙන දුන්නට
මහ පාරේ ඇවි­දිද්දී
පතුලෙ දිය බුබුළු ආවට

යොදුන් ගණන් පසු වෙද්දී
ගතට වෙහෙස වැඩි වුණාට
හැම දුකක්ම නැති වෙනවා
මහ­නු­ව­රට ළංවන කොට

තිරි­ස­න­කුව ඉපිද මෙලොව
නිද­හස මගෙ නැති වුණාට
මිනි­සු­න්ගෙන් වැඳුම් ගන්න
හැකි වූයේ මගේ පිනට

මහ පෙර­හැර බබ­ළ­වන්න
ඇතුන් අතර රජුන් ලෙසට
දළදා හිමි වැඩ­ම­වන්න
බොහෝ වරක් පිට දුන්නට
මා කළ පින් මදි වේවිද
සසර ගමන කෙටි­ව­න්නට‍
සංසාරේ සැරි­ස­රණා
එක බව­යක් නිම වූවට

රවි ප්‍රභාෂ් කරු­ණා­රත්න


ගුරු තරුව

සිනා මල් පුබු­ද­මින් අරු­ණැල්ලෙ වඩින්නී
පාසැලේ දරුවො ළඟ කිරි එරෙන ඇතින්නී
මතු රැකෙන සිප් සතර කිරි පෙමින් පොවන්නී
හැදෙන ගස්වල දෙපෙති පිරි­පුන්ව වවන්නී


නගි­න්නට පෙරා­තුව හිණි මඟක් තන­න්නට
සුළං එන අත බලා රුවල් යොමු කර­න්නට
දිලෙන පහ­නින් තවත් පහන් පණ පොව­න්නට
කියා දෙයි දරු­වන්ට පියා­පත් ලබ­න්නට


තරුණ ගුරු සුර­ඟ­නන් සඳැ­ල්ලෙන් වැටෙන විට
ඇන්ද ඇහි දෙබැම දිය වී හැලෙයි කඳු­ළ­කට
සත­පවා ඔවුන් හිත් නුඹේ උර­හිස මතට
සන­ස­වයි පෙර­ළ­මින් විඳින දුක් පැණි රසට


පිරුණු සඳ දිලි­සු­ණත් හිනැ­හෙන්න බෑ හැඩට
අඩ සඳක් වුනා­මයි හිනැ­හෙන්නෙ ලස්ස­නට
නිතර නුඹ කියා දෙයි ඒ ළපටි හිත්ව­ලට
නොස­ඟවා ගුරු මුෂ්ටි අහිමි පෙම දුන් නුඹට


පිය සෙනෙහෙ බිඳුණු කූඩු­වක මව් ලෙහෙ­නියේ
තුරුලු කර තම පැටව් දුර බලන කිරි­ලියේ
කඳුළු කැට ළය හොවා මුතු හදන කිඳු­රියේ
ගුරු තරුව වී හෙටත් පායන්න සිප් බිමේ

ජගත් ප්‍රේම­චන්ද්‍ර


ඔබට ලියන වග නම්

දුව පැන ඇවිද වෙල් ඕවිටි නියර දිගේ
බාලේ වින්ද පල­වැල රස හිතට නැඟේ
සම­නල සිහි­න­යකි පාසල් සොඳුරු යුගේ
ඔබ වෙත ලියමි ගම හැරදා නොගිය නගේ

බැද්දේ හිඹුටු මොර මාදං ඉදෙන වද
ඒ පිළි­බ­ඳව ලේනිය පෙම් කෙලින වද
තිත්තයො කන්න කන කොක්කුන් බඳින රොද
වැස්සට පිටා­රය කුඹුරේ ගල වද

උතු­ර­න­වාද තව­මත් වෙල පහළ ළිඳ‍
ඉස්සර විදි­හ­මද හිරු සහ නැගෙන හඳ
මී මැසි රැගුම් එර­බදු මල් බුරුතු මැද
එන­වද කොහා අවු­රුදු ගී ගයන ලද

වැඩි­හිටි සමඟ යව්ව­නි­යන් තරග වැද
වැයු­පද රබානේ අද­ටත් වැයෙන වද
කම­තට ඇඹුල යල­මහ දෙක පෙනෙන සඳ
කොලු රැල බෝල ඉප­නැල්ලේ කෙළින වද

මතුවී ගෙවන හැම තප්ප­ර­යක් ගානේ
හද සිතු­විලි වලිය ගම වෙත­ටම මෑනේ
තොර­තුරු එහෙම තව අර උඩ­තණ හේනේ
විස්තර ඇතුළු ලිපි­යක් අද හෙට ඕනේ

ලිපියේ මගේ ඇති සැමදේ හිතට අරන්
පිළි­තුරු ලියනු මැන කිසි­වක් නොකර තුරන්
මා දිග ඇදෙමි නිදි දෙව්දුව තුරුලු කරන්
පිහි­ටයි ඔබට දෙවි­යන්ගේ හතර වරන්

වි. ෙක්. යකු­වැල්ල


වීණා වාද­කයා හා තවුසා

වන පිය­සෙහි හුද­ක­ලාව
බවුන් වඩන තවුස් තුමනි
ඔබෙ දෙස­වන සන­ස­න්නට
මගෙ වෙණ නද පතු­ර­න්නද

නිර­තුරු මා සනසා ලන‍
නිහ­ඬ­තා­ව­යට වැඩි­යෙන්
මිහිරි නඳක් පතු­ර­න්නට
හැකි නම් ‍ඔබෙ වෙණ වයන්න

එම්. චන්ද්‍ර­පාල



 

ප්‍රේමය

රැයේ වට වැහි පිනි නිමා­කර
නැවුම් අරු­ණලු පතිත වන විට
ප්‍රේම­යෙන් මා සිත උදම් වන
සොඳුරු හැඟු­මකි මේ උදෑ­සන

දුහුල් මීදුම් තිර පළා­ගෙන
කඳු හිසින් තැනි බිමට හිරු එන
සොඳුරු කවි­යක මුල පුරන විට
දැනේ මේ ජීවිතේ අරු­මය

ගසා හැර පිනි පොකුරු සුළ­ඟට
සැණින් දේදුනු මවයි තැන තැන
අහා! මේ ජීවිතේ සොම්නස
පසක් කර­වන මනස් සිතු­වම

මිනි­දැ­දුරු මල් කිණිති පිස­ගෙන
නෑඹුලේ ඇඟ වෙලෙන මඳ­නල
පසක් කර ප්‍රේමයේ අප­මණ
චම­ත්කා­රය කියා දෙයි මට

ටෝනි ආර්. කුර­ණගේ


නොපැ­වසු කව

නොලියූ කවිය
හිමි­දි­රියෙ ම එන­විට
පාසල් මාව­තට
කරු­ණක් නැතිව වාගේ
ඉදි­රි­යට දිව එන ඔබ
නැතිව ම සිනා­වක් කතා­වක්
මදෙස ම බල­මින්
යද්දි පසු කැර
නිහ­ඬ­විය මුවින් මමත්
නමුත් අප සිතින් සිනා­සුණ
කතා­බහ කළ බව
නැත පවසා කිසි කළ
එමඟ අද නැතත්
එනවා නම් ඔබ අදත්

සුනිල් ලීවා­නගේ ගින්න­ලිය



 

පරිසර අසිරිය

සිය­පත මතට පිනි බිඳු ඇති තුරුලු වෙලා
ළිය­කගෙ දෙපි­ය­යුරු රස තැන් පුබුදු කළා
පිය­මන් වෙමින් සිප සිප රන් පුළින තලා
විය­පත් ගං කොමළි යයි රිද්ම­යට ගලා

නිල් පැහැ­වෙලා කළු­වර කර­ගෙන අඹර
විල් දිය කඩිති මත හිනැ­හෙන විට තඹර
මල් නොත­ල­මින් ගුම් හඬ දෙයි කැළ බඹර
ඇල්ලක දිය ගලයි සල­මින් පෙණ සෙමර

රඟ දෙයි විහඟ කැල වන මල් තොරණ යට
නල බල, තුරු­ලතා රඟ දෙයි තනුව කට
සර­සෙහි රණ හසුන් පිහි­නති තරග යට
තාලෙට පිය නගයි ලළ­නක් නියර පිට

සත්සර හඬ නඟයි සුහු­ඹුල් නිතඹ සලා
පැහැ­සර වටොර සිප­යයි මල් සුවඳ ගලා
රළ පෙළ නගියි තනු­වට වැලි තලය පෙළා
සඳ රැස් පහස ලැබ කඩු­පුල් පුබුදු කළා

සත්සර හඬ නගයි රිද්ම­ය­කට අනුව
බඹරා මලක් හා අර­ඹයි ගනු­දෙ­නුව
සියො­තුන් රෑන දෙයි සුපු­රුදු කනු කුණුව
රැව්දෙයි තාල­යට දොළ­කින් මුනු­මු­නුව

සව­සට ළඟා වුණ මොහො­තෙහි අඩ අඳුර
නිදි­සුව විදියි නිදි­කුම්බා කටු පඳුර
රෑ බත වියයි විග­සින් ආදර සොඳුර
සව­නට වැටෙයි පළ­ගැටි මියැ­සිය මදුර

පිය­දස් කල්පගේ


කඳුළු කුටිය

ගංගා ගලන කොට මහ වැහි වහින විට
විදු­ලිය කොටන කොට වැහි­දිය පිරෙන විට
ළ සඳ නැ‌ෙඟන විට බොල් පිනි වැටෙන විට
ඔබ ගැන හිතන කොට අඳු­රුයි කුටිය මට

ගොපලු නළා­වට හඬ මුසු කළ රාවේ
තව­මත් ඇහෙයි දුර ඈතින් ගංගාවේ
අරු­තක් නොමැති මගෙ දිවිමං තලාවේ
ඔබ පම­ණයි මුව හස­රැල් ගෙන ආවේ

සොඳුරු වස­න්තය සීතල හිමි­ගිරි පව්ව
ඈතින් තනිව දිදු­ලයි ඉර­බටු තරුව
පන්හිඳ මැවූ අසි­රිය ඔබ­ටයි ලිව්ව
ඇයි බිඳ­ලුවේ විජි­තය ඔබ මට මැව්ව

රිවි­කැන් පතිත වන­විට ලෝකය එකලු
පිනි­දිය ගලන විට අත­රින් තුරු ළපලු
නොසි­තන් ළඳුනි ඒ තුෂ­රය නොව කඳුළු
විවර කළේ ඇයි වෙන හද­කට කවුළු

පිනි අතුලා ලොව නිදි­ගත් මැදි රැයක
කණා මැදිරි එළි දැල්වෙයි මලා­නික
හිරු සඳු ගිල්ව­මින් සමු­දුරු සුසා­නෙක
ඇයි තනි කළේ මා රුදු වාලු­කා­වක

චන්ද්‍ර­සිරි මුණ­සිංහ

Comments