කලාවේ නව මාන සොයන ලොව ප්‍රකට චිත්‍ර ශිල්පියා | සිළුමිණ

කලාවේ නව මාන සොයන ලොව ප්‍රකට චිත්‍ර ශිල්පියා

ශ්‍රී ලංකාවේ වියුක්ත චිත්‍ර කලාවේ පියා ලෙස සැලකුම් ලබන හෙට්ටිආරච්චිගේ කරුණාරත්න හෙවත් එච්. ඒ කරුණාරත්නයන් 1929 අප්‍රේල් 20 දා උපත ලැබීය. සහෝදර සහෝදරියන් හතර දෙනෙකුගෙන් යුත් පවුලේ බාලයා විය. හොරණ තක්ෂිලා විද්‍යාලයෙන් මුලික අධ්‍යාපනය ලැබූ කරුණාරත්න වැඩිදුර අධ්‍යාපනය සඳහා තෝරා ගනු ලබන්නේ චිත්‍ර විෂයයි. ඔහු චිත්‍ර විෂය ඉගෙනුමට රජයේ ලලිත කලායතනයට (හේවුඩ්) බැදෙන්නේය. ඒ 1952 වසරේදීය.

අද වන විට තම දිවියේ අනුතුන් වැනි විය පසුකරමින් හිදින, තවමත් චිත්‍ර නිර්මාණය කිරීමට තම කාලය වැය කරන කරුණාරත්නයන් තම දිවියේ ආරම්භය ගැන සිහිපත් කරන්නේ මෙලෙසිනි. 

“මගේ තාත්තා හෙට්ටිආරච්චිගේ පබිලිස් පෙරේරා. ඔහු රබර් වෙළෙඳාම කළේ. ඊට අමතරව තාත්තාට තවත් කඩසාප්පු කිහිපයක් තිබුණා. නමුත් අපට ජීවිතයේ කටුක බව නොදැනුනාම නොවෙයි. මගෙ අම්මා බමුණුසිංහගේ සුබලිස් නෝනා. ඇය රැකියාවක් කළේ නැහැ.

ඇය නිවෙසේ කටයුතු කරගෙන දරුවෝ බලාගත්තා. මගෙ අම්මා බොහෝම හොඳ කෙනෙක්. ඇයට ඕන වුණා අපිට උගන්නන්න. මගේ පවුලේ සොයුරු සොයුරියෝ හතර දෙනයි. තක්ෂිලා විද්‍යාලයේ ඉගෙන ගෙන අවසානයේ මම ‘හේවුඩ්‘ එකට බැඳුණා. මගේ පාසල් කාලයේදි අපට හොඳ ගුරුවරු ඇසුරු කරන්නට ඔවුන්ගෙන් ඉගෙන ගන්නට ලැබුනා.

තක්ෂිලා විද්‍යාලයේ ඉගෙන ගන්නා කාලයේ මගේ සමකාලිනයෝ තමයි මහාචාර්ය හේමපාල විජේවර්ධන, කරුණාසේන ජයලත්, ඩී. බී කුරුප්පු. රජයේ කලායතනයට බැඳුණ මට එතැනදි කලා ක්ෂේත්‍රයේ විශිෂ්ඨයෝ ඇසුරු කරන්නට ලැබුණා. ජේ. ඩී. ඒ පෙරේරා, ඩේවිඩ් පේන්ටර්, ස්ටැන්ලි අබේසිංහ වැනි ගුරුවරුන්ගෙන් අපේ ඉදිරි ගමනට ලොකු සහායක් ලැබුණා. විශේෂයෙන්ම ස්ටැන්ලි අබේසිංහ ගුරුතුමා තමයි මාව දිරිමත් කරමින් ඉදිරියට යන්න ලොකු සහායක් වුණේ.“

රජයේ කලායතනයේ ඉගෙනුම ලැබූ කරුණාරත්නයන්ට ලිතෝග්‍රැෆික් පිළිබඳ වැඩිදුර ඉගෙනුම සඳහා ජපානයට යාමට අවස්ථාවක් ලැබෙන්නේය. ඒ පිළිබඳ තෝකියෝ විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලැබු ඔහු ලංකාවට පැමිණි පසු චිත්‍ර ප්‍රදර්ශශනයක් පවත්වන්නේය. මෙහි විශේෂත්වය වන්නේ ප්‍රදර්ශනය නැරඹීමට පැමිණි මහගම සේකරයන් චිත්‍ර ශිල්පි කරුණාරත්නයන් පිළිබඳ පුවත්පතකට ලිපියක් ලිවීමය. මාර්ටින් වික්‍රමසිංහයන් ද ප්‍රදර්ශනය නැරඹිමට පැමිණි අය අතර වේ. එකල මාර්ටින් වික්‍රමසිංහයන් සිය පොත් වල පිට කවර නිර්මාණය සඳහා කරුණාරත්නගේ සිතුවම් ද භාවිත කර ඇත.

“වික්‍රමසිංහ කියන්නේ පුදුමාකාර මිනිසෙක් ඔහු තම නිවෙස පිහිටි නාවල ඉඩමේ පොඩි වැවක් හදාගෙන තිබුණා. එකල ඔහු මේ වැවේ ඔරු පදිනවා. ඒ මඩොල් දූව හිතේ මවාගෙන. “

වික්‍රමසිංහයන් පිළිබඳ සිහිකරමින් කරුණාරත්නයන් සිය මතකය අවදි කළේ එසේය.

1965 වසරේදී ශිෂත්වයක් ලැබ ඇමරිකාවේ නිව්යෝර්ක්වල ප්‍රැට් (PRATT) ආයතනයට යන කරුණාරත්නයන්ට එහිදි ග්‍රැෆික් ආර්ට් ඉගෙන ගැනීමට අවස්ථාව ලැබේ. ඔහු චිත්‍ර කලාවේ විවිධ ඉසව් සෙවු අයෙකි.

ඒ වෙනකොට ඇමරිකාවේ ජැක්සන් පොලොක්, පීට් මොන්ඩ්‍රියාන් වැනි අය නව සම්ප්‍රදායන් සොයාගෙන තිබුණා. මම ජපානයට යන්නත් කලින් හේවුඩ් එකේදී ඇබ්ස්ට්‍රැක් චිත්‍ර ඇද තිබෙනවා. ඇබ්ස්ට්‍රැක් කියන්නෙත් කලාවක්. සමහරුන්ට මේ චිත්‍ර කලාව තේරෙන්නේ නැහැ. නමුත් අපි චිත්‍රයක් තේරුම් ගන්න ඕන විඳින්න ඕන ඇහින් බලලා නෙමෙයි. අපි එය විඳින්න ඕන මනසින්. මම මෙහෙම දෙයක් විශ්වාස කරනවා. ලෝකයේ හිටපු විශිෂ්ටතම ඇබ්ස්ට්‍රැක් ආර්ටිස් තමයි බුදුහාමුදුරුවෝ. උන් වහන්සේ කිව්වේ තමාව දකින්නා ධර්මය දකි කියලා. අපි බොහෝම විවේකයෙන් කරන දෙයක් කළ යුතුයි. යමෙකුට මානසික විවේකය බොහෝම වටිනවා. එවිටයි හොඳ නිර්මාණ බිහිවෙන්නේ. චිත්‍ර කලාව කියන්නේ භාෂාවක් මම 1957 සිට 1988 දක්වා සෞන්දර්යය විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යවරයෙක් ලෙස කටයුතු කළා. මම දරුවන්ට ඉගැන්නුවේ නැහැ. මම ඔවුන්ට මඟ පෙන්වීමක් පමණයි. ඔවුන් චිත්‍රයක් අරන් ආවාම මම ඒ චිත්‍රයේ හොඳ ටික පමණක් මම කියනවා. චිත්‍රයේ දුරවලතා ගැන කියන්න ගියේ නෑ. මම එහෙම කියනකොට ඔවුන් චිත්‍රයේ දුර්වලතැන තේරුම් ගත්තා. මම හිතනවා ඒවිට ඉගැන්වීම පහසුයි කියලා. අනික තමයි දරුවන්ටත් ඒවිට ඉදිරි ගමනක් තියෙනවා. තමන්ගේ මාවත සකස් කර ගන්නට ඔවුන්ට පුළුවන්. මම විදෙස් රටවල් වලත් චිත්‍ර ප්‍රදර්ශන කිහිපයක්ම පවත්වා තිබෙනවා. 1979 වසරේ බල්ගේරියාවේ ප්‍රදර්ශනයක් පැවැත්වුවා. ඒය බෞද්ධ චිත්‍ර සහ මූර්ති ප්‍රදර්ශනයක්. “

ගුරුවරයකු ලෙසින් කටයුතු කළ ද ඔහු කිසි විටෙක තමන්ගේ කටයුතු පැහැර නොහැරියේය. ඔහු මේ කාලය තුළ චිත්‍ර ප්‍රදර්ශන පැවැත්වුයේය. අදද ඔහු දවස ගතකරන්නේ චිත්‍ර සමඟය. කරුණාරත්නයන් විසින් අදින ලද ‘රිදම්‘ නම් චිත්‍රය සහ තවත් සිතුවමක් ලක්ෂ ගණනකට ජපානයේ ෆුකෝකා කලා කෞතුකාගාර පදනම විසින් මිලට ගෙන ඇත. එමෙන්ම ජපානයේ ඇති ‘කන්ටෙම්පරරි ඒෂියන් පේන්ට්‘ නමින් කෘතියක් ප්‍රකාශයට පත්කර ඇත. මෙය අපට වැදගත් වන්නේ එහි ශ්‍රිලාංකික චිත්‍ර ශිල්පියෙකු ලෙස කරුණාරත්නයන් ගැන සඳහන්ව තිබීමය. ඒ කෘතියට ඇතුළත් කර ඇති එකම ශ්‍රී ලාංකිකයා ඔහු පමණි.

චිත්‍ර කලාවේ නව මානයන් සොයමින්, විවිධ ඉසව් ඔස්සේ නිර්මාණකරණයේ නියැළෙන කරුණාරත්නයන් තමන් හඳුන්වා දෙන්නේ උඩුගම් බලා යන කෙනෙකු ලෙසිනි.

ජපන් අධිරාජයා විසින් පිරිනමන ලද ජපානයේ ඉහළම සම්මානය වන “The order of Rising Sun Gold and Silver Rays“ නම් සම්මානය ද කරුණාරත්නයන්ට පසුගියදා පිරිනමන ලදි. මෙතෙක් මෙම සම්මානය ලැබූ එකම ශ්‍රි ලාංකිකයා වන්නේ එච්. ඒ කරුණාරත්නයන් පමණි.

1987 වසරේදී කලාපති සම්මානයෙන්ද , 1994 වසරේදී කලාශුරී සම්මානයෙන්ද 1996 වසරේදී විශ්ව ප්‍රසාදනී සම්මානයෙන්ද 1998 වසරේදී බුන්කා සම්මානයෙන් ද පිදුම් ලබා සිටින කරුණාරත්නයන් චිත්‍ර ශිල්පියෙකු පමණක් නොව මුර්ති ශිල්පියෙකු ලෙසද හඳුන්වා දිය හැක. සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලය මඟින් පිරිනමන ආචාර්ය උපාධියකට ද හිමිකම් කියන කරුණා හැම විටම නව නිර්මාණ කිරීමට උනන්දු වන්නෙකි.

ඔහු අපුරු චිත්‍ර ශිල්පියෙකි. ඔහුගේ නිවෙස පුරාම ඇත්තේ සිතුවම්ය. පින්සලත් කැන්වසයත් පමණක් නොව අතට අසුවන සෑම දෙයකම සිතුවමක සේයාවක් ලොකු කතාවක් දකින ඔහු ඒ සියල්ලම එක්තැන් කල අලුත් කතා රැසක් ගොඩනගා ඇත. ඒ තම නිවසේ සාලයේය. ඔහු මේ වන විට අනු හයවැනි වියේ පසුවුවද ඔහු තවමත් තරුණවියේ පසුවේ යැයි හැගෙන්නේ ඔහු කළ නිමැවුම් දකින විටය. නිවසේ පමණක් නොව නිවෙස ඉදිරිපස බිත්තියක ඇත්තේ මැටි නෑඹිලි කිහිපයකි. ඔහු එහි අරුත නොකීවද එය දකින කෙනෙකුට ඕනැම දෙයක් සිතා ගන්නට ඒ නිමැවුම් පාර කියනු ලැබේ.

1960 වසරේදී විවාහ වූ කරුණාරත්නයන්ගේ ප්‍රිය බිරිඳ වන්නේ ජපන් ජාතික කාන්තාවකි. ඇය කසුවෝ නකයාමා ය. ඇය දුටුවිට මට සිහි වුයේ මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍රයන් ලියූ මළගිය ඇත්තෝ නවකතාවය. තරුණු වියේදී බොහෝ හැඩකාරව සිටින්නට ඇතැයි ඇය දෙස බලන කෙනෙකුට සිතෙනු නොඅනුමානය. සිය සැමියාගේ කලාවට බොහෝ ළැදීයාවෙන් කටයුතු කරන ඇය ලංකාවේ පදිංචියට විත් මේ වන විට වසර හැටකට වැඩිය.

“ඇය මට හමුවුණේ අහම්බෙන්. අපි අතර හිතමිතුරු කමක් ඇති වුණා. ඇගෙයි මගෙයි අදහස් ගැළපුණා. ඇය මා හා විවාහ වීමට කැමති වුණා. ඇය මා සමඟ මෙහෙ පදිංචියට ආවා. අපට දරුවෝ තුන්දෙනෙක් ඉන්නවා. දුවයි පුතාලා දෙන්නයි. දරුවෝ විවාහකයි. මුනුපුරු මිනිබිරියන් ඉන්නවා . ඔවුන් සමඟ ගෙවන ජීවිතය හරි සුන්දරයි.

ජීවිත කාලයම චිත්‍ර සමඟ ජිවත් වූ ඔහු අද සිටින්නේ විවේක සුවයෙනි. ඒ විවේක සුවය ඇඳකට වී, එහෙමත් නැත්නම් පුටුවකට වී හෝ කිසිවක් නොකර දවස ගෙවන ජීවිතයක් නොවේ. විටෙක ඔහු චිත්‍රයක් අඳි. තවත් විටෙක පොතක් කියවයි. ඔහු චිත්‍ර හදාරමින් එහි නව මානයන් සොයමින්, ඒ ගැන හදාරමින් සිටින්නේ යැයි ඔහු හා කතාබහ කරන්නෙකුට වැටහෙනු ඇත.

“ මම උපන්නේ චිත්‍ර අදින්න. ඒ නිසා මම අදිනවා. මම ඒ ගැන හදාරනවා. අපිට මේ කලාවේ කවදාවත් පරත් තෙරක් දකින්න බැහැ.“

කරුණාරත්නයන් පවසන්නේ එසෙය.

ඡායාරූප - තුෂාර ප්‍රනාන්දු

Comments