කන්ද උඩරටට සින්න වෙයි | Page 3 | සිළුමිණ

කන්ද උඩරටට සින්න වෙයි

 

 

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කළ නැෂනල් සුපර් ලීග් සිවු දින ක්‍රිකට් තරගාවලිය නිමා වූයේ මහනුවර කණ්ඩායමට ජයග්‍රහණය හිමි කර දෙමිනි. එහි අනුශූරතාව යාපනය කණ්ඩායම සතු වූයේ ය.

තරග 13කින් සමන්විත වු තරගාවලියේ මහනුවර ක්‍රීඩකයෝ අවසන් මහා තරගය සමඟ තරග 6කට සහභාගී වු අතර ඔවුන් එකඳු හෝ තරගයක් ජයග්‍රහණය නොකරමින් එහි ශූරතාව දිනා ගැනීමට සමත් වීම කැපී පෙනුනි.

මහනුවර කණ්ඩායම පළමු වටය අවසන් වන විට තරග 4ක් අවසානයේ ප්‍රසාද ලකුණු 42.24ක් ලබා ගනිමින් දෙවැනි ස්ථානයට තේරී පත්ව සිටියේ ය. ඔවුන් අවසන් පූර්ව වටයේ දී එම ලැයිස්තුවේ තෙවැනි ස්ථානය ලැබූ ගාලු කණ්ඩායම (36.54) හා තරග වදිමින් එහි පළමු ඉනිමේ වැඩි ප්‍රසාද ලකුණු ලබා ගනිමින් අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගත්තේ ය.

අනෙක් අන්තයෙන් අවසන් පූර්ව තරගය සඳහා තරගාවලියේ ප්‍රසාද ලකුණු ලැයිස්තුවේ මුල සිට ම ඉදිරියෙන් පසු වූ කොළඹ කණ්ඩායම (56.51) හා සිවු වැනි ස්ථානයේ සිටි යාපනය (32.54) කණ්ඩායම සුදුසුකම් ලබා තිබුණි. එම තරගයේ දී ප්‍රබල කොළඹ කණ්ඩායමට එරෙහිව කඩුලු 9ක පහසු ජයග්‍රහණයක් ලබා ගත් යාපනය ක්‍රීඩකයෝ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගත්තේ ය.

මහනුවර සහ යාපනය අතර,ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැති අවසන් මහා තරගයේ කාසියේ වාසිය මහනුවර ට හිමිවිය.

මහනුවර කණ්ඩායම ; පළමු ඉනිම පන්දුවාර 131.2ක දී සියලුම දෙනා දැවී 444 (කමිල් මිෂාර 56, කසුන් විදුර 71, ඕෂඳ ප්‍රනාන්දු109, කමිඳු මෙන්ඩිස් 87, නිරෝෂන් දික්වැල්ල 32, පුලින තරංග 43, ධනංජය ද සිල්වා 3/96, දිලුම් සුධීර 4/86, ජෙෆ්රි වැන්ඩර්සේ 2/97) සහ දෙවැනි ඉනිම පන්දුවාර 15ක දී කඩුල්ලක් දැවී 52 (කමිල් මිෂාර 26)

යාපනය කණ්ඩායම ; පළමු ඉනිම පන්දුවාර 89.1ක දී සියලුම දෙනා දැවී 227 (නිශාන් මධුශ්ක 57, ධනංජය ද සිල්වා 30, දිලුම් සුධීර නොදැවී 49, ලසිත් ඇඹුල්දෙණිය 4/100, අසිත ප්‍රනාන්දු 2/25, අශේන් ඩැනියෙල් 3/89)

 

පළමු ඉනිමේ ජය ; මහනුවර

තරගාවලියේ වැඩිම ලකුණු ලැබූ පිතිකරුවන් අතුරින් පළමු ස්ථානය දිනාගත් මහනුවර කණ්ඩායමේ කමිඳු මෙන්ඩිස් තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙසින් ද සම්මානයට නම් කෙරුනි. ඔහුගේ ඉනිම් 11 අතරට ගාල්ල (111) යාපනය (137) කොළඹ (114) සහ නැවතත් ගාල්ල (108) ට එරෙහිව ශතක ඉනිම් වාර්තා වූයේ ය. ඔහු තරගාවලිය නිමා කරන විට පළමු පෙළ ලකුණු 2000 සීමාව පසු කිරීමට ද සමත් වූයේ ය. ඒ තරග 21ක ඉනිම් 33ක් ක්‍රීඩා කරමිනි.

තරගාවලියේ දක්ෂතම පිතිකරු ලෙසින් සම්මාන දිනා ගත්තේ මෙම ලැයිස්තුවේ දෙවැනි ස්ථානයට ශ්‍රේණිගතව සිටින ඕෂද ප්‍රනාන්දු ය. ඔහුගේ ඉනිම් තුළ ගාල්ල (122*) කොළඹ (105) නැවතත් ගාල්ල (127) සහ යාපනය (109) කණ්ඩායම්වලට එරෙහිව ශතක වාර්තා වී තිබුණි.

තරගාවලියේ හොඳම පන්දු යවන්නා ලෙසින් සම්මානයට පාත්‍ර වන්නේ කොළඹ කණ්ඩායමේ 30 හැවිරිදි වමතින් දඟ පන්දු යවන ප්‍රභාත් ජයසූරිය. එක්දින ජාත්‍යන්තර තරග 2කට පමණක් ක්‍රීඩා කර ඇති ප්‍රභාත් ජයසූරිය මේ දක්වා පළමු පෙළ තරග 61කට ක්‍රීඩා කර ඇත. ලබා ඇති කඩුලු සංඛ්‍යාව 233කි.

මෙවර තරගාවලියේ දී ඔහුගේ ඉනිමක ඉහළ ම දක්ෂතාව වන්නේ ගාලු කණ්ඩායමට එරෙහිව පළමු ඉනිමේ දී ලකුණු 111කට ලබා ගත් කඩුලු 6යි. එම තරගයේ ම දෙවැනි ඉනිමේ දී ලකුණු 41කට කඩුලු 5ක් දවා ගන්නා ඔහු තරගාවලියේ දී ලකුණු 152කට කඩුලු 11ක් දවා ගනිමින් තරගයක හොඳම පන්දු යැවීම වාර්තා කළේ ය.

 

කැපී පෙණුන නවකයෝ

ලක්ෂිත මනසිංහ

කොළඹ කණ්ඩායම නියෝජනය කළ 22 හැවිරිදි ලක්ෂිත මනසිංහ තරගාවලියේ දක්ෂතා දැක් වූ තුන් ඉරියව් ක්‍රීඩකයන් අතුරින් ඉහළින් ම ලැයිස්තු ගත වන ක්‍රීඩකයායි.

වමතින් පිතිකරණයේ යෙදෙන ඔහු මෙම තරගාවලියේ තරග 4කට සහභාගී වෙමින් ඉනිම 5ක දී ලකුණු 99ක් ලබා ගන්නේ මහනුවර කණ්ඩායමට එරෙහිව අර්ධ ශතකයක් ද වාර්තා කරමිනි.

දකුණතින් පිට දඟ පන්දු යවන ලක්ෂිත ලබා ගත් කඩුලු සංඛ්‍යාව 15කි. ඔහුගේ හොඳම පන්දු යැවීම ලෙසින් වාර්තා වන්නේ ගාල්ල කණ්ඩායමට එරෙහිව ලකුණු 22කට ලබා ගත් කඩුලු 3යි. තරගයක හොඳම පන්දු යැවීම ලෙසින් වාර්තා වන්නේ දඹුල්ල කණ්ඩායමට එරෙහිව ලකුණු 116කට ලබා ගත් කඩුලු 6යි. ඔහුගේ මේ දක්ෂතාව, පන්දු යවන්නන් අතුරින් 6 වැනි ස්ථානයට ලැයිස්තු ගත වේ.

 

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම ද නියෝජනය කර ඇති ලක්ෂිත මේ දක්වා පළමු පෙළ තරග 15කට ක්‍රීඩා කරමින් පිතිකරුවෙක් ලෙසින් අර්ධ ශතක 5ක් සමගින් ලකුණු 509ක් ද සහ පන්දු යවන්නෙක් ලෙසින් කඩුලු 60ක් දවා ගෙන තිබේ. කොළඹ නාලන්දා විද්‍යාලයෙන් ක්‍රිකට් පිටියට පිවිසි ලක්ෂිත මේ වන විට එස්. එස්. සී. කණ්ඩායම නියෝජනය කරන්නේ ය.

 

දිලුම් සුධීර

දක්ෂතා දැක් වූ යොවුන් ක්‍රීඩකයන් අතරට යාපනය කණ්ඩායමේ 21 හැවිරිදි දිලුම් සුධීර ගේ නම ඇතුලත් වේ. වමතින් දඟ පන්දු යවන දිලුම් මෙම තරගාවලියේ දී තරග 3ක ඉනිම් 6ක පන්දුවාර 123.2ක් යවමින් ලකුණු 357ක් ලබා දෙමින් කඩුලු 13ක් වාර්තා කරමින් 9 වැනි ස්ථානයට ලැයිස්තු ගත විය.

අවසන් තරගයේ පළමු ඉනිමේ ලකුණු 86කට කඩුලු 4ක් දවා ගනිමින් ඔහු තම පළමු පෙළ තරගවල හොඳම පන්දු යැවීම වාර්තා කළේ ය.

එමෙන් ම පිතිකරුවෙක් ලෙසින් ඉනිම දෙකකට පිටියට පිවිසෙන දිලුම් ලබා ගන්නා ලද ලකුණු සංඛ්‍යාව 81කි. එහි සාමාන්‍ය 40.5ක් වෙන අතර අවසන් මහා තරගයේ දී නොදැවී ලබා ගන්නා ලකුණු 49ක් ද ඒ අතර වේ.

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම ද නියෝජනය කර ඇති දිලුම් මේ දක්වා ක්‍රීඩා කර ඇත්තේ පළමු පෙළ තරග 6කට පමණි.

කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලයෙන් ක්‍රිකට් අත්පොත් තබා ඉන් අනතුරුව ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයට තම ක්‍රිකට් දක්ෂතා ලබා දෙන දිලුම් මේ වන විට ද්‍රවිඩ සංගම් ක්‍රිකට් සමාජය හා එක් ව සිටී.

 

ඩිල්ශාන් මධුශංක

හුංගම විජයබාහු මධ්‍ය මහා විද්‍යාලයෙන් ජාතික ක්‍රිකට් පිටියට පිවිසි වමතින් මඳ වේග පන්දු යවන ඩිල්ශාන් මධුශංක ද මෙවර තරගාවලියේ දී කැපී පෙණෙන ක්‍රීඩකයෙක් ලෙසින් ලැයිස්තු ගත වූයේ ය.

මෙතෙක් පළමු පෙළ තරග 6කට පමණක් ක්‍රීඩා කර ඇති ඩිල්ශාන් මෙවර තරගාවලියේ දී ගාල්ල කණ්ඩායම නියෝජනය කරමින් තරග 4ක ඉනිම් 8ක දී ලබා ගත් කඩුලු සංඛ්‍යාව 12කි. ඔහුගේ ඉනිමක සහ තරගයක හොඳම පන්දු යැවීම ලෙසින් යාපනය කණ්ඩායමට එරෙහිව වාර්තා වූ අතර එහි දි දෙවැනි ඉනිමේ දී ලකුණු 49කට ලබා ගත් කඩුලු 3ක ඉනිම හොඳම පන්දු යැවීම ලෙසත් ලකුණු 100කට ලබා ගත් කඩුලු 6 තරගයක හොඳම පන්දු යැවීම ලෙසත් සටහන් වුණි.

 

දුනිත් වෙල්ලාලගේ

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ වර්තමාන නායක 19 හැවිරිදි දුනිත් වෙල්ලාලගේ දක්ෂතා ද මෙවර තරගාවලියේ දී කැපී පෙනෙන මට්ටමක පැවැතුනි.

යාපනය කණ්ඩායම නියෝජනය කළ ඔහු තරග 4ක ඉනිම් 5ක් පිතිකරුවෙක් ලෙසින් පිටියට පිවිස ලබා ගත් ලකුණු සංඛ්‍යාව 133කි. ඊට කොළඹ කණ්ඩායමට එරෙහිව වාර්තා කළ අර්ධ ශතකයක් ද ඇතුලත් ය.

පන්දු යවන්නෙක් ලෙසින් ද දක්ෂතා දැක් වූ ඔහු කඩුලු 9ක් ලබා ගැනීමට සමත් වූයේ ය. මහනුවර කණ්ඩායමට එරෙහිව ලකුණු 66කට දවාගත් කඩුලු 3 මෙවර තරගාවලියේ ඔහුගේ හොඳම දක්ෂතාවයි.

 

නිශාන් මධුශ්ක

දක්ෂතා දැක් වූ යොවුන් පිතිකරුවන් අතුරින් ඉදිරියෙන් ම පසු වෙන්නේ යාපනය කණ්ඩායම නියෝජනය කළ දකුණත් පිතිකරු නිශාන් මධුශ්ක ය. ඔහු මෙම තරගාවලියේ තරග 6ක ඉනිම් 10ක දී පිටියට පිවිසෙමින් ලබා ගන්නා ලද ලකුණු සංඛ්‍යාව 394කි. එහි සාමාන්‍ය 43.77ක් ලෙසින් පවත්වා ගන්නා නිශාන්ගේ අර්ධ ශතක ඉනිම් 3ක් ද ඊට එක් කිරීමට සමත් වන්නේ ය. ඒ මහනුවර (56) දඹුල්ල (69) සහ නැවතත් මහනුවර (57) ක් ලෙසිනි.

මොරටු විද්‍යාලයෙන් ජාතික ක්‍රිකට් පිටියට දායාද වූ 22 හැවිරිදි නිශාන් මධුශ්ක කඩුලු රකින පිතිකරුවෙක් ලෙසින් වර්ගීකරණය වී ඇති අතර මේ වන විට ඔහු රාගම ක්‍රිකට් සමාජය හා එක් වෙමින් සිටින්නේ ය.

 

 

 

 

Comments