කොළඹ කවියට එරෙහිව නැඟුණ විචාරය, ඔබේ අදහස කුමක්ද?
කොළඹ කවි යුගය සහ එහි උරුමයලත් කවීන් නිසි ඇගයීමකට ලක් වුණේ නෑ. ඔවුන්ගේ භාවිතය දැඩි විවේචනයකට ලක් වුණා. කොළඹ යුගය යන නාමකරණය පවා කිසියම් අගතිගාමී ප්‍රවේශයක් කියලයි මං විශ්වාස කරන්නෙ. සිංහල සාහිත්‍යයේ යුග නාමකරණ රටාවට අනුගත නොවන, අදාළ යුගයට අයත් කවියට පමණක් සීමා වූ මේ යුග නාමකරණය සාධාරණ නැහැ. 19 සියවසේ මුල් භාගයේ සිට රටේ අගනගරය ලෙසින් සලකන ලද කොළඹ කේන්ද්‍රීයව ආර්ථික, සාමාජීය සහ දේශපාලන ආස්ථානයන්හි බොහෝ වෙනස්කම් ඇති වුණා. මුද්‍රණ ශිල්පය කියන නව තාක්ෂණය සමඟ මුසු වීම නිසා සාහිත්‍යය ප්‍රමුඛ කලා මාධ්‍යයන් තුළ පවා මේ වෙනස සටහන් වුණා. ඒ වගේම නව සාහිත්‍ය ප්‍රවර්ග පවා බිහි වුණා. මෙය සමාජ සංකීර්ණතාවයේ අනිවාර්ය ප්‍රතිඵලයක්. එතෙක් පැවති සාහිත්‍ය සම්ප්‍රදානය සමඟ එක පෙළට සිට ගැනීමේ ශක්තිය හීන කළ ප්‍රබල සමාජ වාස්තවිකයන් බලපෑම් කරනු ලැබූ මොහොතක්.
කොළඹ සාහිත්‍යය කියන්නෙම නව සමාජ ගතිකයන්ගේ නිර්මිතයක්. එසේම ප්‍රාග්ධනයේ තර්කනයට යටත් වූවක්. එනිසා ම වැඩවසම් අධිකාරිත්වයෙන් නිදහස් නව චින්තනයකට අවශ්‍ය පසුබිමක් ගොඩනැඟුණා. පුවත්පත කියන නව කලාවත්, ඒ හා සමඟ ම කවියත්, අනතුරුව නව සාහිත්‍යයන් වන නවකතාව සහ කෙටිකතාවත් මේ කියන නව සමාජ සංදර්භයට අනුරූප ව ගොඩනැඟෙනවා. බලපෑම් සහගත මේ සමාජ වාස්තවිකයන් නොසලකා අපට එම යුගය අවලෝකණය කරන්න බැහැ.
එම සාහිත්‍ය යුගය සහ එහි නිපැයුම් එම යුගයෙන් ආරම්භව තවමත් සමාජ, ආර්ථික සහ දේශපාලනික විකශනයේ අනිවාර්ය වෙනස දරමින් සජීව ව පවතිනවා. නමුත් එම යුගයේ බිහිවූ කවිය පමණක් නිශ්චිත කාලාවකාශයක් දක්වමින් අවසන් කර තිබෙනවා. මෙය මෙසේ සිදුවන්නේ එම කාව්‍ය යුගය පාදක ව ගොඩනැංවුණ ඇකඩමියානු විචාරයේ බලපෑම මත බව අප දන්නවා. කොළඹ කවියට විකල්පයක් ලෙස බිහි කෙරෙන නිදහස් කවිය වටා පරිධිගත වන මේ විචාර විලාසය වසර සීයයකට ආසන්න කාලයක් සිංහල කවියේ බර උසුලා සිටි කාව්‍ය ව්‍යාපාරයක් සැලසුම් සහගත ව අවසන් කරන බවයි මට දැනෙන්නෙ. ඇත්තෙන් ම කොළඹ කවිය නිසි විචාරයකට ලක් නොවුණ බවත්, අගතිගාමී විවේචන මොඩලයකට මැදිවූ බවත් කීම හිතලුවක් නොවෙයි.
එවැනි විවේචනයක් මතු වීමට කොළඹ කවිය තුළ ම වූ ප්‍රතිවිරෝධතා බල නොපෑවේ ද?
කොළඹ කවිය කියන්නෙ පරමාදර්ශීය කාව්‍ය ව්‍යාපාරයක් නොවෙයි කියන තැන මාත් ඉන්නවා. නමුත් එය බිහි වීමට බලපෑ සමාජ මොහොත ගැන අවධානයක් යොමු නොකොට සම්භාව්‍ය විශිෂ්ටත්වයක් සමඟ උරගා බැලීම ගැනයි මගේ අවධානය නාභිගත වෙන්නෙ. විශිෂ්ටත්වය සාපේක්ෂයි. කලාව හොඳ නරක ඈ සාරධර්මානුකූල විනිශ්චයකට අදාළ ප්‍රපංචයක් නෙමෙයි. එහි නියෝජනය වෙන්නෙ මානව වින්දන පාර්ශ්වය තෘප්ත කිරීමක්. කවර යුගයකදි වුවත් බිහි වන කලාව එම යුගයේ වාස්තවික තත්ත්වයට අනුරූපිතයි. කිසිදු කලාවක් පිළිබඳ පූර්ව විනිශ්චයකට එළැඹී ඒ මත පිහිටා හුදු විවේචන ඉදිරිපත් කිරීම සාධාරණ නැහැ. කොළඹ කවිය වටා ගොඩනැංවුණ ප්‍රාග්ධනයේ කාරක බලය එම කලාවට බලපෑ ආකාරය එහි ප්‍රබලතා මෙන් ම දුබලතා ද ඇති කළා. මුද්‍රණ තාක්ෂණයේ උපකාරයෙන් පුළුල් පාඨක ගහනයක් තමන් වටා ඒකරාශී වීමත්, එහි බලපෑම මත කවිය සහ පාඨකයා අතර නොමනා සබඳතාවක් ඇති වීමත් අයහපත් තත්ත්වයක්. එසේම පාඨකයා විසින් කවියා එල්ලයේ පිහිටුවා ලූ ජනමත නායකත්ව හිණිමඟ ඔවුන්ගේ නිර්මාණ බුද්ධියට කරන ලද බලපෑමත්, ඔවුනොවුන් අතර පැවති නොමනාපකම් සේම තැපෑල් මාර්ගයෙන් කවි උගැන්වීමේ පාසල් පවත්වා ගැනීම ආදී සැරසිලිවලින් කවි මාවත දූෂ්‍ය කරගැනීමත් වැනි කාරණා ඔවුන්ගේ කාර්යයේ වැදගත්කමට හානි කළා. ඒක ඇත්තක්.
එලෙසම අභ්‍යාසය මතින් පිරිපහදු විය යුතු නිර්මාණ ශක්තියට බාධා වන ආකාරයෙන් ඕලාරික විරිත් මත දිගින් දිගට ම රැඳෙමින් තමන්ගේ කාව්‍ය තුළ ස්වයං සිරකාරභාවයක් පවත්වා ගැනීමත් ඔවුන්ගේ කවීත්වයට බාධාවන් වූණා. මේ ප්‍රතිවිරෝධතා පසුපසින් තිබෙන්නෙ ඔවුන්ගේ කාව්‍ය ව්‍යාපාරය සහ පොදු රසිකයාගේ වින්දන කලාපය අතර සහසම්බන්ධය ඇති කරනු ලැබූ සමාජ ගතිකයන් ම යි. ඒ බව අමතක කර ඔවුන්ගේ කාර්යය විසින් සිංහල කාව්‍ය සම්ප්‍රධානය යාවත්කාලීන කිරීම උදෙසා ලබා දෙන ලද අනිවාර්ය සාධකය නොතකා ඉන්න අපට බැහැ. සිංහල කාව්‍ය සම්ප්‍රදානය කියන්නෙ විශිෂ්ටත්වය ම පමණක් දරා සිටි ප්‍රපංචයක් නෙමෙයි. එහි ප්‍රබලතා මෙන් ම දුබලතා අපමණයි. කොළඹ කවියටත් මෙය අදාළයි. අප අමතක කළ යුතු නැහැ කුමන ප්‍රතිවිරෝධතා තිබුණත් දශක දහයක් සිංහල කවිය යාවත්කාලීන වුනේ ඔවුන්ගේ මැදිහත් වීම මත බව කියන කාරණය.
පනහේ දශකයේ දී බිහි වන ‘නව කවිය’ සහ එහි භාවිතය කොළඹ කවියේ දුබලතා මතින් පැන නැඟුණක් ලෙස ඔබට දැනෙනවද? එහෙම නැතිනම් එය බලහත්කාර කඩාපැනීමක් ද?
‘නව කවිය’ ලෙසින් කරළියට එන නිදහස් කාව්‍ය ව්‍යාපාරය කියන්නෙත් සිංහල කවියේ අනිවාර්ය විකශන මාර්ගය නියෝජනය කරන කලා භාවිතයක්. එය ආරම්භ වෙන්නෙ කොළඹ කවිය නියෝජනය කළ සිව්පද විරිත් කවියට විකල්පයක් ලෙසයි. එනිසා ම එහි කාර්යය සහ ව්‍යුහයේ ලොකු වෙනස්කම් දකින්න පුළුවන්. එනිසායි ඊට ‘නව නිදහස් කවියක්’ ලෙස අර්ථ සම්පාදනය වෙන්නෙ. ආරම්භයේ දී එය ගද්‍යයත් පද්‍යයත් අතරට ගැනෙන නව ආඛ්‍යානයක් ලෙස ඉදිරිපත් කෙරුණත් පසුව එය එළිසමය රහිත වුව කිසියම් විරිතකට නතුව ගොඩනැඟුණක්. එනිසා එය නිදහස් අර්ථයෙන් මිදී ‘නිසඳැස්‘ යන නව අර්ථයක් තුළට ගොනු වුනා. සිව්පද කවිය තුළ දක්නා ලද තේමා පටුත්වය හේතුවෙන් රසිකයාගේ වින්දන අවකාශය කිසියම් ආකාරයක ඕලාකාරික භාවයකට පත් කර තිබුණත් නව කවිය නව්‍ය තේමා සහිත ව නව රසික සභාවක් කරළියට කැඳවා ගෙන ඒමට සමත් වුණා.
එසේම නව කවියට ශාස්ත්‍රාලීය ප්‍රේමයක් නාභිගත වීමත්, බුද්ධිවාදී කුලක තුළ ඒවා කතිකාවකට භාජනය වීමත් කොළඹ සිව්පද කවියට එරෙහිව නැඟුණ බලවේග ලෙස සලකන්න පුළුවන්. පසුව එය දැඩි විවේචනාත්මක ආස්ථානයකට නැඹුරු වීමත් දකින්න ලැබෙන අතර එකක් ඔසවා තැබීම පිණිස තවෙකක් විනාශ කර දැමීමේ උත්සාහයක් ලෙසටත් එය අර්ථ දක්වන්න පුළුවන්. කොහොම වුණත් නව කවිය සමාජ ගත කිරීම උදෙසා මැදිහත් වෙමින් කාව්‍ය නිර්මාණ ඉදිරිපත් කළෙත්, ඒවා විවේචනය කළෙත්, ඒ අතර ම කොළඹ කවියට කැට කැබිලිවලින් දමා ගැසුවෙත් එකම කණ්ඩායමක්. මේ තත්ත්වය කොළඹ කවියට එරෙහිව නැඟුණ සැලසුම් සහගත බලවේගයක් ලෙස සලකන්නත් පුළුවන්. කොහොම වුණත් නව කවිය බිහිවන්නෙ ඊට අදාළ වාස්තවිකත්වයට අනුගතව කියන කාරණය බැහැර කරන්න අපට බැහැ. ඊට කොළඹ කවිය වටා ගොනුව තිබුණ බොහෝ අහිතකර තත්ත්වයන් ද බලපෑ බව අපට පිළිගන්න වෙනවා. නමුත් ඔවුන් කොළඹ කවිය එල්ලයේ මුදා හැරි විවේචනය යුක්ති සහගත නැහැ කියලයි අපට හිතෙන්නෙ.
නිදහස් කාව්‍ය ව්‍යාපාරයේ නියෝජිතයින් සිය විචාරයේ අසාධාරණය ගැන පසුව අවබෝධ කරගත් ආකාරයක් පෙනෙනවා නේද?
විචාරය සහ විවේචනය අතර පවතින දූරස්ථ බව තේරුම් ගැනීම කලාවේ ප්‍රගමනයට දායක වන්නක්. විශේෂයෙන් ම අදාළ කලා යුගය සක්‍රීය ව පවතින මොහොතේ කෙරෙන එවැනි මැදිහත් වීම් ඍජුව ම එම කලාව කෙරෙහි බලපානවා. එමඟින් පාදක කලාවේ අනාගතය තීන්දූ කෙරෙනවා. කොළඹ කාව්‍ය ව්‍යාපාරය බිඳ වැටීමට නව කවියට වඩා බලපෑම් සහගත වුණේ ඊට එරෙහිව නැඟුණ විමර්ශනශීලි නොවූ විවේචනයයි. පසු කාලයක නිදහස් කවිය ද ඕලාරික බසක් උපයුක්ත ඒකාකාරී තේමා සහිත ව පැතිර යාම ඔවුන් අපේක්ෂා නොකළ තත්ත්වයක්. තමන් විසින් සිට වූ සරු යැයි සිතූ බීජ වල්පැළ බිහි කරන බව වැටහී යාම කොළඹ කවිය කෙරෙහි ඔවුන්ගේ අවධානය නැවත යොමු කිරීමට අවස්ථාවක් ලබා දුන් ආකාරයක් පෙනෙනවා. තමන් අතින් කොළඹ කවියට ‘අවැඩක්’ සිදු වන්නට ඇති බව මහාචාර්ය විමල් දිසානායක මහතා පවසන්නෙ එනිසයි. කොහොම වෙතත් කොළඹ කවිය කියන්නෙ අදටත් සජීව ව පවතින සිංහල කාව්‍ය ව්‍යාපාරයක්. එහි ජවය නූතන සමාජයේ හැම තැනක ම විසිර තිබෙනාකාරය අපට නිරීක්ෂණය වෙනවා. ‘මුද්‍රණ යුගයේ කොළඹ කවිය’ කෘතිය තුළින් උත්සාහ ගන්නෙ නැවත එම යුගය අවලෝකනය කිරීමේ වැදගත්කම පෙන්වා දීමට යි.
අනුරසිරි හෙට්ටිගේ









