කන්නිමහරෙන් බිහිවුණු දාර්ශනිකයා කේ. ජයතිලක | සිළුමිණ

කන්නිමහරෙන් බිහිවුණු දාර්ශනිකයා කේ. ජයතිලක

සියල්ල පෙනෙතැයි අප සිතන කිසිම දෙයක් පිළිබඳ අපට සියල්ල නොපෙනේ. සියල්ල විනිවිද පෙනෙතැයි අප සිතන වීදුරුවේ ලූ දිය බිඳෙහිවත් සියල්ල අපට නොපෙනේ. සියල්ල දනිතැයි අප සිතන අප පිළිබඳවත් අපි කොතෙක් දෑ නොදනිමු ද?

මේ ස්වභාසිද්ධි යථාර්ථය පැනයක් ව මා ඉදිරියේ තැබූවේ දාර්ශනික චින්තාවකින් ලොව කියවා ගත් ලේඛකයෙකි. කෘතිය කුදුගොත් රචනා ය. කුදු ගොත් රචනා ලියා මහා දර්ශනයක් පාඨක ලොවට තිළිණ කළ ඒ ලේඛකයා කේ. ජයතිලක ය.

මෙරට පොළොවේ පය ගසා ජීවත් වෙන, සිය ආහාරය සරිකර ගැනීමට මහ පොළොව හා සහයෝගී ව ඔට්ටු වෙන මිනිසුන්ගේ සැබෑ කතාව මේ මානව හිතවාදී ලේඛකයා දයාවෙන් යුතු ව ලියා තැබුවේ ය. සිය දේශය පිළිබඳ අසීමිත භක්තියකින් යුතුව සැබෑ පොළොවේ හා සොබාදහමේ නියමය ලියා තැබූ හේ පරපුරක් ඥානණය කළ දාර්ශනිකයා වන්නේ ය.

ලේඛකයෙක් හෝ වෙනයම් ඕනෑම නිර්මාණකරණයක යෙදෙන පුද්ගලයකුගේ නිහතමානීත්වය තරම් ඔහුගේ දාර්ශනිකත්වය හඳුනා ගන්නට මිම්මක් ඇතැයි නොසිතමි. ඒ සඳහා සිය මමායනය යම් තරමකින් හෝ ප්‍රහීන කළ යුතු වෙයි. එවැනි ප්‍රහීන කළ මමායනයකින් යුතු වූ පුද්ගලයකුට තවත් කෙනකුගේ බුද්ධිමය නිම්වළලු පුළුල් කිරීමට සේ ම සහෘදය කියැවීමක් ද කළ හැකි යැයි සිතේ. සිය නිර්මාණයකින් සේ ම විවිධ නිර්මාණ අරභයා කරන මතවාදී ම ය මැදිහත් වීමකින් ද මේ නිවීම පෙනෙන්නේ නම් හේ දාර්ශනිකයකු වෙයි. ඒ ආස්ථානයේ සිට බලන කල කේ. ජයතිලක ලේඛකයා වැටෙන්නේ දාර්ශනික ප්‍රවේශයකට ය. එය නිහතමානීත්වය හා ප්‍රහීන කළ මමත්වය නිසා ඇති වූ බව හැඟෙන ඔහුගේ නිර්මාණ අතරෙන් පෙනෙන්නකි.

වරක් කියැවූ විට ආශ්වාදයකුත් තවත් විටෙක කියවන විට ගැඹුරු ජීවන සත්තාවකුත් පෙනෙන හැඟෙන කේ. ජයතිලකගේ ලේඛන අදට පමණක් වලංගු වන්නක් නොවේ. ඒවා සර්වකාලීන ය; සර්ව භෞමික ය. වෙන් වෙන් වශයෙන් වටහා ගැන්මේ තල ඇත්තේ ය. තම තම නැණ පමණින් ග්‍රහණය කරගන්නට හැකිය. උගත්කමට එහා ගිය ප්‍රඥාවක් ලේඛකයකුට අවැසි ය. ඒ ප්‍රඥාවට පෙරළා ගෞරව කරන සමාජයක් ද අවැසි ය. ඒ ගෞරවය පුදන්නේ නැති විට දරාගෙන තම යුතුකම ඉටු කරන්නට තරම් නිවුණු බවක් ද තිබිය යුතු වෙයි. මේ සියල්ල සලකා බලද්දී කේ. ජයතිලකයන් සිටින්නේ අපට ළංවිය නොහැකි තරම් මනසින් උසස් ව නොවේදැයි සිතේ.

දේශීය නවකතාවේ කේ. ජයතිලක ලකුණ සුවිසෙස් ය. දේශීය නවකතාවට යථාර්ථවාදී ප්‍රවේශය හඳුන්වා දීමේ ගෞරවය හිමි වෙන්නේ මාර්ටින් වික්‍රමසිංහයන්ට ය. ගම්පෙරළිය යථාර්ථවාදී නවකතා කලාවේ හැරවුම් ලක්ෂ්‍යය වුව ද ගම්පෙරළියේ නිරූපිත ගම බහුතර ලාංකිකයන්ගේ සැබෑ ගම නොවෙන බව බහුතර විචාරක මතයයි. වික්‍රමසිංහන් ස්පර්ශ කළේ ලාංකේය ධීවර ජනජීවිතය හා බැඳුණු ජීවන විලාසාවකි. එය දකුණු මුහුදු බඩ සුළුතරයක් නියෝජනය කරන්නක් විණි. මෙය ගුණදාස අමරසේකරයන් ද යථාවාදී නවකතාකරණයේ යෙදෙමින් ස්වීය අනන්‍යතාවක් පළ කළ අවදියකි. මේ සියලු නිර්මාණකරණ අතර කේ. ජයතිලක නාමය ද බහුජන යථාර්ථවාදී ආකර්ෂණය දිනා ගත්තකි. මිනිසකුගේ ජීවිතයක් වෙනස් කිරීමේ ලා යම් නිර්මාණයක් උපස්ථම්භක වෙන්නේ ද එය එකී නිර්මාණකරුවාගේ නිසඟ ප්‍රතිභාවේ පූර්ණත්වයයි. යථාවාදී කතා කලාවේ මුදුන් මල්කඩක් සේ ගැනෙන චරිත තුනක් නවකතාව වැටෙන්නේ මේ ගණයට ය.

1963 වසරේ ජපානයේ දී චරිත තුනක් කියැවූ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයෝ ඒ කෘතිය හේතුවෙන් තමාට මෙතෙක් දැඩි ආකර්ෂණීය රටක් වූ ජපානය අතහැර ලංකාවට පැමිණීමේ ආශාව දැල්වූ බව නොසඟවා හෙළි කළහ. එසේ නම් චරිත තුනක් නවකතාව සරච්චන්ද්‍රයන්ගේ ජීවන මඟට සැලකිය යුතු බලපෑමක් කර ඇත. චරිත තුනක් මෙතරම් සුවිශේෂී වන්නේ ඇයි? කේ. ජයතිලක එමඟින් නිරූපණය කරන්නේ මෙරට එකල ජීවත් වූ ජනයාගෙන් සියයට අසූවක් පමණ දිවිසරි කරගත් හේන් ගොවිතැන ආශ්‍රිත මානව බැඳීමේ කතාවයි. එනම් මහපොළොව හා මිනිසුන් අතර ඇති අව්‍යාජ දිවිසැරියයි. එය ඔහුගේ ජීවන පැවැත්මේ තිබූ නිකැළැල් ග්‍රාමීයත්වයයි. චරිත තුනක් නවකතාව නොබෙල් සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලැබිය යුතු නවකතාවක් සේ මහැදුරු සරච්චන්ද්‍රයන් නොපැකිළ ව පවසන්නේ 1972 ඔක්තෝබර් 26 දා නවයුගය පුවත්පතට යොමු කරන ලද කාව්‍ය පන්තියක් මඟිනි. දැඩි ග්‍රාම්‍යත්වයත්, දෟඩ නාගරිකකරණයත් එකසේ සිය නිර්මාණ ඔස්සේ නිරූපණයට ජයතිලක ලේඛකයා දැක්වූ සාමාර්ථ්‍යය විශ්මයාවහ ය.

ජයතිලක නිර්මාණ විමසුමක යෙදෙන්නකුට පැහැදිලි ව පෙනෙන විශේෂත්වයක් තිබේ. එනම් අනුක්‍රමයෙන් නව ධනේෂ්වර නිෂ්පාදන ආර්ථිකය ගම්නියම් ගම්වලට කඩා වැදීමයි. එවිට සරල ග්‍රාමීය ජනජීවිතය කුඩුපට්ටම් වෙයි. එය වචනයේ අර්ථයෙන් ම කුඩුපට්ටම් වීමකි; සාමාන්‍ය අසාමාන්‍ය වීමකි. දූ දරුවෝ නාගරික වෙති. දෙමවුපියෝ ගම්වල තනි වෙති. විස්තෘත පවුල වෙනුවට න්‍යෂ්ටික පවුල බිහි වෙති. ගම්දනව්වල ඉඩකඩම් විකුණා ඒ මුදල් බෙදාහදා ගන්නට කා කොටා ගනිති. ගම්බද අනුගාමී සාමකාමී ජීවන පද්ධතිය දෙදරයි. අනතුරුව ගම උත්කර්ෂයට නැ‍ෙඟයි.

මේ යථාර්ථය ජයතිලක ලේඛකයා මනාව ග්‍රහණය කරයි. හේ දැඩි නිරීක්ෂකයෙකි. ග්‍රාමීය ගොවි ජන රජවරුන් ක්‍රමයෙන් යැපෙන්නන් වී දිළින්දන් වී අභිමානය කඩා වැටෙන අයුරු හේ බලා සිටියි. එය අකුරු බවට පෙරළයි. ග්‍රාමීය ජන මනසේ වන ශෝකී සන්තාපයෙහි මනෝ භ්‍රාන්තිය එකී වික්ෂිප්තබවෙන් යුතු ව ම අකුරු කරයි. එබැවින් එය අපට වඩාත් දැනේ. හොඳ ලේඛනයක වන අරුමය එයයි.

ජයතිලකයන් අව්‍යාජ ය. ඒ අව්‍යාජ බව විසින් ඔහුගේ ලේඛනයට ද අව්‍යාජ අලංකාරයක් එක්කර තිබේ. තමන්ගේ අව්‍යාජ බවෙන් යුතුව අනෙකා දෙස බලද්දී එකී ජීවිත ද ඒ අව්‍යාජ බවෙන් යුතු ව ම කියවා ගන්නට හේ සමත් ය. හද්දා පිටිසර ගමේ සිට දැඩි නාගරිකත්වයක් දක්වා ජයතිලකයන් සංක්‍රමණය වෙයි. ඒ සියල්ල ගැන ජයතිලක ලේඛකයා මනාව දැනුම්වත් ඒ සවිඥානිකත්වය නිසා ය.

ජයතිලකයෝ චිරන්තන ගද්‍ය පද්‍ය සාහිත්‍යය හා දේශීය සම්ප්‍රදාය ගැන ගැඹුරු හැදෑරීම් කළහ. එය ඔහුගේ ලේඛනයට එක්කළ දාර්ශනික පරිඥානය ලේඛකයකු වශයෙන් ඔහුගේ පෞරුෂය ගොඩනංවාලීමේ පිටුබලයක් විණි. සිය කෘති රැගෙන ප්‍රකාශකයන් වෙත යෑම හේ අත්හළේ පරාජිතයෝ නවකතාව ලියා පළ කර ගැනීමට වසර 7ක් බලා සිටීමෙන් ලද වෙහෙස හා කලකිරීම නිසා ය. ප්‍රදීප ප්‍රකාශන ආයතනය බිහි වෙන්නේ ඒ අනුව ය. එය ලේඛකයකු වශයෙන් ඔහුගේ අදීනත්වය ගොඩනැංවූයේ ය. ප්‍රදීප ප්‍රකාශනායතනයෙන් මුලදී මාර්ටින් වික්‍රමසිංහයන්ගේ, ජී. බී. සේනානායකයන්ගේ හා ඒ. වී. සුරවීරයන්ගේ කෘති ද ප්‍රකාශනය කෙරුණේ වී නමුදු පසුව එය තමන්ගේ කෘති පළ කිරීමට පමණක් යොදා ගැනීමට ඔහු තීරණය කළේ ය.

ජයතිලකයන් සතු වූ පුස්තකාලය ද ලේඛකයකු වශයෙන් ඔහුගේ සමාජ වගකීම, අනාගතය පිළිබඳ දැක්ම ආදිය සටහන් කරන්නකි. මහාචාර්ය සෙනරත් පරණවිතාන, මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර යනාදී විද්වතුන්ට පුද්ගලික පුස්තකාල තිබුණේ නැත. සරච්චන්ද්‍රයන් භාවිත කළේ පේරාදෙණිය විශ්වවිද්‍යලයීය පුස්තකාලයයි. පරණවිතානයෝ පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවේ පුස්තකාලය භාවිත කළහ. මීට අමතරව විශිෂ්ට ගණයේ පෞද්ගලික පුස්තකාල තමා සතුව පවතින කිහිපදෙනෙක් අප මතකයට නැගේ. වික්‍රමසිංහයන් සතුව විශිෂ්ට පුස්තකාලයක් තිබිණි. සිරිල් සී. පෙරේරා, මහාචාර්ය ඒ. වී. සුරවීර වැන්නන්ට ද හොඳ පොත් එකතුවක් තිබී ඇත. මේ සියල්ලන් අතර ජයතිලකයෝ ද සිය ජීවිතය පුරා එකතු කරන ලද සුවිසල් ග්‍රන්ථ ප්‍රමාණයක හිමිකරුවෙක් වූහ. කන්නිමහර පිහිටි තම පුස්තකාලයේ ජගත් සාහිත්‍ය කෘති සහ දුර්ලභ පොත් ඇතුළත් ‘ප්‍රඥා පුෂ්කරණී‘ නම් කොටසට අයත් ග්‍රන්ථ පරිශීලනය කිරීමට ශාස්ත්‍රාභිලාෂීන් නැති වීම ගැන ඔහු දුක් වූයේ ය. ඒවා අනාගත පරම්පරාව පරිශීලනය නොකරන බව දැනීමෙන් ඇති වූ කම්පනය මේ ලියුම්කාරනියට ද ඔහු පවසා තිබේ. හේ සිය ජීවිත කාලය පුරා පුළුල් දැක්මකින් හා දාර්ශනික චින්තනයකින් යුතුව සැබෑ මිනිසුන්ගේ ජීවන අන්දරය ලියා තැබුවේ ය. පෙරළා ඒ වෙනුවෙන් ඔහු කිසිවක් බලාපොරොත්තු වූයේ ද නැත.

ජන විඥානය හඳුනාගෙන, ඉසියුම් සංස්පර්ශයන් මෘදුව විඳ සමාජයට පෙරළා ඒවා දානයක් සේ දුන් කෘති සිය ගණනකින් ඔහුගේ ලිවිසැරිය පොහොසත් ය. සිංහලයේ ආරම්භය හා අවසානය වැනි කෘති ඔස්සේ ඔහු ජාතික උරුමය සොයා ගියේ ය. බුද්ධ චරිතයෙන් බුද්ධ චරිතයට වැනි කෘති ඔස්සේ මිථ්‍යා විශ්වාස හා මිථ්‍යා ඇදහිලි සමඟ බුදුසිරිත මැදහත් සිතින් විමැසුවේ ය. කතා කලාවේ විකාශනය , සාහිත්‍ය විචාර සටහන් , සිංහල නවකතා කලාවේ සංස්කෘතික පදනම , නවකතාව හා සමාජය , නූතන සිංහල ව්‍යාකරණයේ මුල්පොත , සාහිත්‍ය විචාර චින්තාවලි , ‘ජාතක සාහිත්‍යය හා වෙස්සන්තර , සාහිත්‍ය නිර්මාණයේ මුල්පොත, සමාජ ප්‍රගතිය හා සාහිත්‍යය වැනි කෘති ඔස්සේ කලාවේ සලකුණු සොයා ගියේය. දර්ශනවාද අසබඩින්, බුද්ධ චරිතයෙන් බුද්ධ චරිතයට, කුදුහොත් රචනා, නිරිබත, සංකල්පන වැනි කෘති ඔස්සේ කලාවේ දර්ශනය සොයා ගියේය. මේ සියල්ල අතරේ නවකතා, කෙටිකතා, විමර්ශන කෘති, කාව්‍ය සංග්‍රහ ඈ තව බොහෝ නිර්මාණ ප්‍රබේධ අන්තර්ගත විණි.

‘නූතන සිංහල ලේඛකයන් අතර මා තරම් පහළින් ආරම්භ කළ වෙනත් ලේඛකයකු ඇතැයි නොසිතමි. ඒ නිසා ම ඉදිරිපත් වූ බාධා මධ්‍යයෙන් මා ගමන් කර ඇත්තේ ම විසින් පවා බලාපොරොත්තු නොවන ලද තරම් දුරකි. ඉතා හෙමින් පැමිණි මේ ගමන නොනවත්වා තවමත් යන්නේ හෙමිහිටය. නූතන සිංහල සාහිත්‍ය ‍ක්ෂේත්‍රය දෙස බලන විට, සමහරුන් ඔවුන් සිටින තැන්වලට වෙනත් අය විසින් ගෙනවිත් තබන ලද අය වෙති. තවත් සමහර අය එක්කෝ වක්‍ර මාර්ගවලින් නැත්නම් සෘජු මඟින්ම සැප පහසු වාහනවල පැමිණි අය වෙති‘

පුංචි පැලේ ගස වෙනා ස්වයං ලිඛිත අපදානය ලියමින් හේ අවංක ව පවසන්නේ එවැන්නකි. වෙන කුමන දෙයක් කෙටිමාර්ගයකින් කර ගත්තත් ලේඛකයකු වීමට නම් කෙටි මාර්ග නැති බව හේ නිරන්තරයෙන් පැවසුවේ ය.

එය සත්‍යයක් බව සංකල්පන කාව්‍ය සංග්‍රහයේ එන මේ කවියෙන් සනාථ වෙයි. මොළයට ඇතුළු වී තෝන් ලණුව අතට ගත හැකි පොත් ලියන්නට හැමෝට ම බැරිය.

ඇතැම් පොතක්

කෙළින්ම හදවතට ඇතුළු වී

නටයි, ගයයි, පෙරළි කරයි

ඇතැම් පොතක්

හදවතටත් මොළයටත් ඇතුළු වෙයි...

තවත් පොතක් මොළයට ඇතුළු වී

තෝන් ලණුව අතට ගනී....

 සුමුදු චතුරාණී ජයවර්ධන

Comments