
ලේඛකයකු සැබෑ නම්; ඔහුට අභිමානවත් ජීවිතයක් තිබිය යුතු යැයි ෆ්‍රැන්සිස් අල්මේදා නිතර තර්ක කළේ ය. ණය වීම, උගස්කාරයා වෙත යෑම, ව්‍යාපාරිකයන් ඉදිරියේ කන්කෙඳිරි ගෑම ප්‍රසිද්ධ ලේඛකයකුට තරම් නොවන බව ද ඔහු නිතර කියා සිටියේ ය. කොටින් ම ලේඛකයා සිය බිරිය ඉදිරියේ පවා සිංහයකු ලෙස හැසිරිය යුතු බවට ප්‍රතිඥාවක් ද අල්මේදා ළඟ තිබිණි. එහෙත් මේ එකක්වත් හරි හැටි ක්‍රියාත්මක කිරීමට හෙතෙම සමත් වූයේ නැත.
පොත් සාප්පුවකට හෝ පත්තර කන්තෝරුවකට හෝ ගොස් තම ගාස්තුව ලබා ගන්නා ඔහු පළමුව ගමන් කළේ අවන්හල වෙත ය.
මධුවිත ස්වල්පයක් තොලගාමින් හා බැදපු අලපෙත්තක රස විඳිමින් සම්භාව්‍ය සාහිත්‍ය ගැන දීර්ඝ වශයෙන් කතා කිරීමට ඔහු පුරුදු වී සිටියේ ය. එවිට ඔහු මුළු ලෝකය ම අමතක කරයි. ලොව ඇති විස්මිත ම නිර්මාණය වාක්‍ය ගැළපීම යැයි ඔහු සිය දේශනවල දී කියා සිටී.
වාක්‍යයක පද ලාලිත්‍යය, රිද්මය, අර්ථපූර්ණභාවය හා උත්ප්‍රාසය අල්මේදා මනාව විග්‍රහ කර දක්වයි. සාමාන්‍ය බේබද්දෝ ‘පිස්සෙක්!’ යැයි හඳුන්වමින් අල්මේදා ප්‍රතික්ෂේප කළහ. ඔහු දුටුවිට ඉවත බලාගෙන තම තමන්ගේ කටයුතුවල නිරත වීමට ඔව්හු වග බලා ගත්හ.
අද ඔහුට පොත් සාප්පුවකින් මුදල් ටිකක් ලැබිණි. එහෙත් පොත් සාප්පුහිමියා කී - කතාවකින් ඔහුගේ හිත ගැස්සී ගියේ ය.
“මහත්තය දැන් පොත් අලෙවිය
බැහැල. කඩදාසි ගිනි ගණන්!
ආර්ථිකේ හොඳට ම අමාරුයි.
තව ටික දවසකින් අපටත් මේ
සාප්පුව වහලදාන්ඩ වෙයි!”
ෆ්‍රැන්සිස් අල්මේදා ප්‍රති - උත්තරයකින් තොරව පොත් සාප්පුවෙන් එළියට බැස්සේ ය. ආර්ථිකය යන වචනයට ඔහු හැමදාමත් වෛර කළේ ය. ප්‍රාග්ධනය, ශ්‍රමය, ලාභය, ව්‍යවසායකත්වය යන වචන ඇසෙන විට වහා එතැනින් පලා යන්නට ඔහුට සිතෙයි.
ජීවන වියදම ගැන කියැවෙන කතාවලට ඔහු කොහොමටත් කැමැති නැත. එහෙත් අද උදෑසන ගෙදරින් පිටත් වන විට බිරිය ලබා දුන් උපදේශනය ඔහුගේ සිතිවිලි වෙනස් කළේ ය.
“හාල් නෑ! පිටි නෑ! සීනි නෑ!
ගිය මාසෙ ලයිට් බිලත් ගෙවල නෑ!
පිරිමියෙක් විදිහට ඒවට උත්තර හොයනවා!
එක්කො ඔය කුරුටු ගෑම නවත්තල
කුලී වැඩකට යනවා!”
හැබෑවට ම තමා අත ඇති මුදල බිරියගෙන් ගැලවීමට ප්‍රමාණවත් ය. ආපසු ගෙදර ගොස් මේ මුදල බිරිය අත තබා රාත්‍රියේ සැනසිලිදායක නින්දක් ලැබීම වඩාත් හොඳ ක්‍රමවේදය බව වරෙක ඔහුට සිතිණි. තව වරෙක ඔහුට සිතුණේ මේ ජීවිතයේ අර්ථය කුමක් ද යන්න ය. නිදිවර්ජිතව වාක්‍ය ගැළපීම සඳහා අධ්‍යාත්මික සටනක යෙදෙන තමා ඔළුවට දැනෙන පීඩනය නිදහස් කර ගැනීම සඳහා අවම වශයෙන් බියර් බෝතලයක්වත් තොල ගෑ යුතු බව ඔහු නැවත සිතුවේ ය.
ෆ්‍රැන්සිස් අල්මේදා ඉබේ ම මෙන් අවන්හලේ ප්‍රධාන දොරටුවෙන් ඇතුළට තල්ලු වී ගියේ ය. එහි ශබ්දයට, සුවඳට හා මිනිසුන්ටත් ඔහු ආදරය කළේය. අවන්හලේ පුටු - මේස - විදුලිපංකා හා වීදුරු ඔහුට සිය කලණ මිතුරන් සේ දැනිණි. වේටරයෙක් වහා පැමිණ පුටුවක් හා මේසයක් පිස දමා පළමු රාජකාරිය නිම කළේ ය.
“මහත්තය වාගෙ කෙනෙක්
ආවොත් විතරයි අපට හරි හමන්
ටිප් එකක් ලැබෙන්නෙ!
මෙතන අඩි ගහන්ඩ එන හුඟ දෙනෙක්
අන්තිම කපටියො! සමහරු
අපටත් බිලක් තියල තමා යන්නේ!”
අල්මේදාට තමන් පිළිබඳ යම් අභිමානයක් දැනිණි. ගෙදර තත්ත්වය කෙසේ වුව බාහිර සමාජයේදී ඔහුට පිළිගැනීමක් තිබිණි.
සමහරු ඔහුගේ පොත් හා ලිපි ගැන කතා කළහ. තව සමහරු ඔහුගේ පෞරුෂය ගැන කතා කළහ. තවත් සමහරු ඔහුගේ මානව දයාව ගැන කෙළවරක් නැති කතා කීහ. මේ අභිමානවත් ලේඛකයා බියර් වෙනුවට ගණන් වැඩි සැර බීමක් ඇණැවුම් කළේ ය.
ටිකෙන් - ටික, ටිකෙන් - ටික අප ලේඛකයාගේ පරිකල්පනය අවදි වන්නට විය. ඔහු වාක්‍ය ගැන කතා කළේ ය. ශෛලිය ගැන කතා කළේ ය. නිරූපණය ගැන කතා කළේ ය.
ඒ අතර හොඳට ම පානය කළේ ය. රටේ නීතියට අනුව සෑම අවන්හලක් ම ප.ව. දෙකට වසා දැමිය යුතුය. නැවත ප.ව. පහට විවෘත කළ යුතුය. නගරයේ අවන්හල් ඒ නීතිය අකුරට ම ක්‍රියාත්මක කළේ ය. අවන්හල වසා දමන අන්තිම සීනුව නාද විය. ඒ අතර වේටර් තැන අල්මේදා ඉදිරියේ පෙනී සිටියේ ය. වේටර් තැන බිල්පත ගරුසරු ඇති ව මේසය මත තැබුවේ ය.
“මහත්තය අද ටිකක්
වැඩිය ගත්ත වාගේ
ඒකට මොකද මහත්තයලට
සල්ලි තියෙනවනෙ!”
“සල්ලි! සල්ලි!
බල්ලොත් නොකන සල්ලි!”
ෆ්‍රැන්සිස් අල්මේදා සිය කළිසම් සාක්කුවේ ඇති නෝට්ටු කිහිපය එළියට ගෙන ඒ දෙසත්, බිල්පත දෙසත් බැලුවේ ය. බිල හොඳට ම වැඩි ය. එය ගෙවා දමා ටිප් එක ලෙස රුපියල් සියයක් වේටරයාට දුන් විට ලේඛකයා අත ඉතිරි වන්නේ දුම්රිය ගාස්තුව හා පාන් ගෙඩියකට අවශ්‍ය මුදල පමණි. ඔහු කිසිදු අඩුවක් නැතිව අභිමානවත් ලෙස තම වගකීම ඉටු කළේ ය.
ඔහු දුම්රියට ගොඩ වී කවුළුවක් අසලින් අසුන් ගත්තේ ය. දුම්රිය මහත් ඝෝෂාවක් නඟමින් ඉදිරියට ඇදෙන්නට විය. දුම්රිය ඉදිරියට යයි. අවට පරිසරය පසුපසට යයි.
තමා ද එකී පරිසරය මෙනැ’යි ඔහුට සිතිණි.
තමන් හැමවිට ම කැරකී ආපස්සට යන බවත් ඔහුට දැනිණි. දැන් ඔහුගේ වයස අවුරුදු පනස් දෙකකි. බිරියට හතළිස් අටකි.
දරුවකු පිළිබඳ අපේක්ෂාවක් තිබුණ ද එය ඉටුවූයේ නැත. බිරිය එහි වරද පටවන්නේ ද තමන් වෙත බව ඔහුට හදිසියේ ම සිහි විය. එක අතකට දරුවකු නැති කමත් යහපතක් යැයි යළි ඔහුට කල්පනා විය.
ගෙදර ඇත්තේ අසම්පූර්ණ හිස් බවකි. කාමර තුනකින් යුතු ඒ පරණ නිවස තුළ නවීන ගෘහ භාණ්ඩ නැත. ගේ පුරාවට ඇත්තේ පරණ පොත් ය. එහෙත් එම පොත් කන්දරාවට ඔහු දිවි හිමියෙන් ආදරය කළේ ය. පොත් යනු මගේ ජීවිතය යැයි වරෙක ඔහු කියා සිටියේ ය.
කල්පනා ලෝකයක සිටි ලේඛකයාට නින්ද ගියේ ය. ඔහුට ඇහැරුණේ නියමිත දුම්රිය ස්ථානයට එහා දුම්රිය ස්ථානයේ දී ය. අල්මේදා වහා ම දුම්රියෙන් බැස රේල්පාර දිගේ ආපසු ගමන් කළේ ය. දහදිය පෙරාගෙන පයින් ගාටන ෆ්‍රැන්සිස් අල්මේදාට සිය නිවෙස ළං වෙත්ම වෙරි හිඳී තිබුණේ ය.
නිසැක ලෙස ම බිරිය තමන් පන්නා දමනු ඇතැ’යි ඔහු සිතුවේ ය. අල්මේදා මහත් වෙහෙස බවක් දක්වමින් ගෙට ගොඩ විය. බිරිය කලබලයක් නැතිව ඔහු දෙස බලා සිටියා ය.
“මහන්සි ද?
තේ එකක් බොනව ද?”
‘ලොකු දෙයක්
හොඳටම බඩගිනියි.
ගිය වැඩෙත් හරි ගියේ නෑ
ආයෙ යන්ඩ වෙනවා!”
බිරිය හිතන තරම් නරක නැතැ’යි කල්පනා කළ ඔහු සාලයට ගියේ ය. පුදුමයකි! එහි තිබූ පොත් ගොඩවල් නැත.
කෝ මේ පොත්!?
මගෙ පොත් කෝ!?
“කෑගහන්ඩ එපා
මං ඒ සේරම වික්කා!
යාන්තම් දෙදාස් හාරසීයක්
හොයාගත්තා! හාල් - සීනි ටික
ගත්තා. ලයිට් බිල ගෙවන්ඩ තව
කීයක් ද ඇති.”
ෆ්‍රැන්සිස් අල්මේදා කිසිදු කතාබහකින් තොරව සාලයේ බිම ඉඳගත්තේ ය. පෘතුවිය වේගයෙන් භ්‍රමණය වන බව ඔහුට දැනිණි.









