යුක්‍රේන - රුසියා යුද්ධයෙන් වෙඬරු සදිසිව උණු වන ලෝ ප්‍රකට ක්‍රීඩා හදවත් | Page 3 | සිළුමිණ

යුක්‍රේන - රුසියා යුද්ධයෙන් වෙඬරු සදිසිව උණු වන ලෝ ප්‍රකට ක්‍රීඩා හදවත්

 

‘යුක්‍රේනය ආක්‍රමණය කරමින් රුසියාව ක්‍රියාත්මක කර ඇති යුද්ධය දැන් ඇත්තේ තීරණාත්මක ස්ථානයක ය. ස්වෛරීත්වය උදෙසා ප්‍රබල රුසියාව ඉදිරියේ දණින් වැටීම වෙනුවට යුක්‍රේනය ද තෝරා ගත්තේ දඩබ්බර මාර්ගයකි. ඒ අනුව ඔවුහු ද පෙරළා යුද ප්‍රකාශ කළ හ. ගැටුම ඇවිළුණේ එතැනිනි. කෙසේ නමුත් සාම සාකච්ඡා සඳහා මුහුණට මුහුණ මුණ ගැසෙමු යැයි යුක්‍රේන ජනපති මේ වන විට රුසියානු ජනපතිගෙන් ඉල්ලීමක් කර තිබිණි. ඒ කෙසේ වෙතත් මෙම යුද ගැටුම් හේතුවෙන් යුක්‍රේන සමාජයට සිදු වන හානිය පිළිබඳ වඩාත් වේගයෙන් උණුව ඇත්තේ ක්‍රීඩාශීලි හදවත් ය.

ලෝකයේ ධනවත් ම ක්‍රීඩකයෝ තමන්ගේ පසුම්බි විවර කළේ දැඩි කම්පනයකිනි. ඒ සිය නමින් ක්‍රියාත්මක පදනම් යොදවා ගනිමින් හා පෞද්ගලික මට්ටමෙනි. මේ අතර පසුගිය කාලයේ වඩාත් කැපී පෙනුණේ ලොව සුප්‍රකට ටෙනිස් ධනපතියකු ලෙස සැලකෙන රොජර් ෆෙඩරර් ය. ඔහුගේ හදවත යුක්‍රේනයේ ජීවත් වන යුද්ධයෙන් පීඩාවට පත් වූ ප්‍රජාව සම්බන්ධයෙන් දැඩිව උණු විණි. එහි ප්‍රතිඵලයක් ලෙස, ‘මම ඩොලර් ලක්ෂ පහක් ඔවුනට ආධාර වශයෙන් ප්‍රදානය කරනවා. විශේෂයෙන් යුද්ධයෙන් පීඩාවට පත් වූ දරුවන් වෙනුවෙන් තමයි මම මේ මුදල් ප්‍රදානය සිදු කරන්නේ.’ යැයි ට්විටර් සටහනක් තබමින් ෆෙඩරර් පවසා තිබිණි.

රුසියානු ආක්‍රමණය හේතුවෙන් යුක්‍රේනයේ වෙසෙන මිලියන තුනකට අධික ජනතාවක් පීඩාවට පත්ව ඇති අතර, ඉන් බහුතරයක් දරුවන් බව පැවසීම ෆෙඩරර්ගේ හිත උණු කිරීමට වඩාත් හේතු වී ඇත. ඒ බව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ද තහවුරු කර තිබේ. මේ තොරතුරු ලෝකය පුරා අධිවේගයෙන් පැතිර යද්දී රොජර් ෆෙඩරර් සිය පදනම මෙම මුදල් ප්‍රදානය සිදු කිරීමට ඉදිරිපත්ව ඇතැයි කියැවිණි.

‘මාත්, මගේ පවුලේ අයත් යුක්‍රේනයේ අද තත්ත්වය දැක්-කාම අතිශයෙන් තැතිගත්තා. ඒ පින්තූරු අපිව කම්පනය කළා. හදවත් බිඳීයන මෙම යුද්ධය හේතුවෙන් පීඩාවට පත්වෙලා ඉන්න අහිංසක මිනි-ස්සු දැක්කාම මට ඇතිවුණේ පුදුමාකාර වේදනාවක්. අපි සාමය වෙනුවෙන් සිට ගන්නවා.’ හතළිස් වියැති ස්විස් ක්‍රීඩකයා සිය ට්විටර් අඩවියේ සටහන් තබා තිබුණේ සිය ප්‍රදානය සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.

‘අපි ආධාර, උපකාර අවශ්‍ය යුක්‍රේනයේ දරුවන්ට සහාය ලබා දෙනවා. මේ යුද්ධය නිසා එරට දරුවන් මිලියන හයකට වැඩි පිරිසකට පාසල් අහිමි වෙලා තිබෙනවා. මේ වගේ වෙලාවක ඔවුනට අධ්‍යාපන පහසුකම් සලසා දීම ගොඩාක් අපහසු වැඩක් කියලා අපි දන්නවා. ඒත් මේ දරුණු ව්‍යසනකාරී අප්‍රසන්න තත්ත්වය සමඟ ගනුදෙනු කළ යුත්තේ කෙසේ ද කියන කාරණය ඔවුනට ඒත්තු ගන්වන්න හා ඒ වෙනුවෙන් ශක්තියක් වෙන්න අපි සූදානම්.’ ෆෙඩරර් වැඩිදුරටත් පවසා තිබිණි.

එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලට මෙන් ම මෙම ගැටුමෙන් පීඩාවට පත් දරුවන් වෙනුවෙන් ආධාර ලබා දීම උද්ගතව ඇති තත්ත්වය වෙනස් කිරීමට බලපෑමක් වනු ඇතැයි ද ෆෙඩරර් විශ්වාසය පළ කර තිබේ.

‘ක්‍රීඩා ලෝකය තුළ පවතින උදාරත්වය හා කරුණාවන්ත බව මෙන්ම අපූරු බලය මෙවැනි ආධාර ලබා දීම මඟින් ප්‍රකට කෙරෙනවා යැයි මම විශ්වාස කරනවා. එය කණ්ඩායම් වශ-යෙන් මෙන් ම තති තනිව සිදු කළත් ලෝකයේ මිනිසුන් ඒකාබද්ධ කරන්න ක්‍රීඩාවට ඇති විස්මිත හැකියාව හා අපූරු බලය ප්‍රකට කෙරෙනවා.’ යැයි පවසා ඇත්තේ එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ ජ්‍යෙෂ්ඨ බ්‍රිතාන්‍ය ආපදා විශේෂඥයකු වන ඩැනියෙල් වොල්ඩන් ය.

මීට අමතරව යුද්ධයේ වින්දිත-යන් වූ යුක්‍රේන ප්‍රජාව වෙනුවෙන් ක්‍රීඩා ලෝකය මැදිහත් වූ අවස්ථා ගණනාවක් වාර්තා වී තිබේ. රියල් මැඩ්රීඩ් පාපන්දු සමාජය ඒ වෙනුවෙන් යුරෝ මිලියනයක් ප්‍රදානය කර තිබුණේ ය. ඒ රතු කුරුස සංවිධානයට හා එක්සත් ජාතීන්ගේ සරණාගතයන් සම්බන්ධ කොමසාරිස්ට ය.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් තම වෙබ් අඩවියේ සටහනක් තබා තිබූ රියල් මැඩ්රීඩ්වරු ප්‍රකාශ කළේ විවිධ රාජ්‍ය නොවන සංවිධාන සමඟ ඒකාබද්ධව කටයුතු කිරීමට ද තම සමාජය ක්‍රියා කරමින් සිටින බවයි. ‘අපි සරණාගත තත්ත්-වයට පත්ව අවතැන්වූ දරුවන්ගේ අධ්‍යාපනය ගැන සැලකිලිමත් වෙනවා. ඒ වෙනුවෙන් විවිධ භාණ්ඩ පරිත්‍යාග කරන්න අපි උත්සුක වුණා.’ඔවුන් පවසා තිබිණි.

ඉතාලියේ ජුවෙන්ටස් පාපන්දු සමාජය ද අවතැන් වූ ජනතාව ප්‍රවා-හනය පිණිස බස් රථ සපයා තිබුණේ ය. ඒ අනුව එම බස් රථ මඟින් සරණාගතයන් අතරින් දරුවන් සහ කාන්තාවන් හන්ගේරියාව වෙත රැගෙන විත් තිබිණි.

Ibrox club Rangers හි ප්‍රධාන කණ්-ඩායම, කළමනාකාරිත්වය හා අධ්‍ය-ක්ෂවරුන් විසින් අවම වශයෙන් යුරෝ 72000 ක මුදලක් යුක්‍රේන ජනතාවට ආධාර පිණිස ලබා දුන් බව ද වාර්තා විය. ඒ මීට පෙර තම සංගමයේ පුන්‍යාධාර පදනම විසින් ප්‍රදානය කළ යුරෝ පහළොස් දහසක මුදලට අතිරේකවය. එසේම ඔවුන්ගේ ප්‍රතිවාදී පාපන්දු සමාජය වන සෙල්ටික්වරුන් යුරෝ දස දහසක් ලබාදී තිබුණේ යැයි වාර්තා විණි. එසේම පසුගිය මාර්තු 24 වැනි දා ස්කොට්ලන්ත ජාතික කණ්ඩායම හා යුක්‍රේන පාපන්දු කණ්ඩායම අතර පැවැත්වීමට තිබූ පාපන්දු තරගය කල් දැමුණු අතර ඊට සමගාමීව ස්කොට්ලන්ත කණ්ඩායම පෝලන්තයේ සුහද පාපන්දු තරගය-කට සහභාගි වූයේ හැම්ප්ඩන් පාර්ක් හි දී ය. එම තරගයේ ප්‍රවේශ පත්‍ර අලෙවියෙන් ලැබෙන මුදල් යුක්‍රේනයේ පීඩා විඳින දරුවන් වෙනුවෙන් වැය කිරීමට යුනිසෙෆ් ආයතනයට පරිත්‍යාග කරන බව ප්‍රකාශ විණි.

එංගලන්ත ටෙනිස් ක්‍රීඩක ඇන්ඩි මරේ ද යුක්‍රේනය වෙනුවෙන් ආධාර ප්‍රදානයට එක්වීමට අමතක කර නොතිබූ ටෙනිස් තරුවකි. ඔහු තමන් තරග වදින සියලු තරගවල දී උපයනු ලබන සියලු තරග මුදල් දරුවන් වෙනුවෙන් ප්‍රදානය කරන්නට එකඟ වී තිබේ. අමෙරිකා එක්සත් ජනපදයේ පැසිපන්දු කණ්ඩායමක් වන උටා ජෑස් විසින් ද යුක්‍රේනයට ප්‍රදානයක් සිදු කළේ අවතැන් වූවන්ගේ තාවකාලික නවාතැන් පහසුකම් ඉදිකිරීම පිණිසය.

‘අධ්‍යාපනය අඛණ්ඩව පවත්වා-ගෙන යෑම අතිශය වැදගත්. ඒ නිසා යුනිසෙෆ් සංවිධානය සමඟ කටයුතු කරනවා. ඒ අනුව හානියට පත් වූ පාසල් යළි පිළිසකර කිරීමටත්, ඒවායේ භාණ්ඩ ඇතුළු විවිධ බඩු යළි නිසි පරිදි සූදානම් කිරීමටත් යුනිසෙෆ් ආයතනය කටයුතු කරනවා.’ තිස් හතර හැවිරිදි වියේ පසුවන මරේ පවසා තිබිණි.

ගොල්ෆ් ක්‍රීඩාවේ නියැළෙන විවිධ ගොල්ෆ් සංවිධානය එක්ව ‘යුක්‍රේනයේ ගොල්ෆින් ක්‍රීඩකයෝ’ වෙනුවෙන් යනුවෙන් සංවිධානයක් පිහිටුවාගෙන ඇත්තේ ද මෙසේ එරටට ආධාර උපකාර ලබාදීම පිණිසය. ඔවුන් යුරෝ හාර ලක්ෂ හැට හත් දහසක මුදලක් පුන්‍යාධාර වශයෙන් උපයා ගනු ලැබූයේ එක්ව කටයුතු කිරීමෙනි.

ඉදිරියේ දී යුක්‍රේනයේ යුද වින්-දිතයන් අරබයා ක්‍රීඩා ලෝකයේ හද-වත් තව තවත් සංවේදී වනු ඇතැයි සිතිය හැකි ය. එය බෙදී ඇති ලෝකය මිතුදමින් බැඳීමට ලබා දෙන ප්‍රබල උත්ප්‍රේරකයක් වනු ඇතැයි පැවසිය යුතු ය.

 

Comments