සිළුමිණ ගැන ඔවුහු මෙසේ කියති | සිළුමිණ

සිළුමිණ ගැන ඔවුහු මෙසේ කියති

සියවස් දෙකකට මෙපිට කාල වකවානුව තුළ ලෝකයේ දැනුම සහ තාක්ෂණික ප්‍රවාහ විචලනය වූ ආකාරය විස්මිතය. එවැනි දැවැන්ත පෙරළි මැද ශතවර්ෂයකට ආසන්න කාලයක් තිස්සේ දැවැන්ත සංස්කෘතික සම්ප්‍රදායක් ආරක්ෂා කරගනිමින් පුවත්පතක් පැවතීම ද විස්මයකි. 92 වැනි වියේ පසුවන සිළුමිණ විස්මයක් වන්නේ එබැවිනි. 

ලාංකේය සන්නිවේදන ඉතිහාසය තුළ බරසාර සංස්කෘතික සම්ප්‍රදායක් නිර්මාණය කර අඛණ්ඩව පවත්වා ගැනීමේ කටයුත්ත පිළිබඳ සමාජ ආකල්පය කුමක් විය හැකිද?එය යළි විමසා බලන්නට 92 වැනි වර්ෂ පූර්ණයේදී අප උත්සාහ කරන්නේ ඉන් ප්‍රහර්ෂයට පත්වන්නට නොව, අනාගතය සඳහා වැදගත් ස්වයං විවේචනයක අර්ථයෙනි.

අප විශ්වාස කරන පරිදි සිංහල සාහිත්‍යය ක්ෂේත්‍රයේ ජීවමාන අග්‍රේසර සාහිත්‍යවේදියා ආචාර්ය ගුණදාස අමරසේකරයන්ය. නූතන සිංහල සාහිත්‍යය පෝෂණය කිරීම සඳහා එතුමන් කළ දායකත්වය ඇත්තේ ඒ පිළිබඳ ලියන්නට ගැට ගැසෙන වාග් මාලාවට වඩා ඔබ්බෙනි. සිළුමිණ හා බැඳුණු ඉතිහාසයක් සහිත මේ විශිෂ්ට ප්‍රාඥයා අප සමඟ සංවාදයට එක් විය. 

“සිළුමිණ කියන්නෙ ඉතාම වැදගත් අතීතයක් තිබෙන පත්තරයක්. මා කුඩා කාලයේ ඉතාම උනන්දුවෙන් කියවූ පත්තරයක්. මට මතකයි තරුණයෙක් විදිහට මා සිළුමිණට කවි ලියපු ආකාරය. මාර්ටින් වික්‍රමසිංහයන් කර්තෘ කාලෙදි සිළුමිණ හැඳින්නුවේ සත දහයෙ විශ්වවිද්‍යාලය කියලා. ඒ දවස්වල මට මතකයි සිළුමිණ ශාස්ත්‍රීය අතිරේකය මහා බරසාර ලිපිවලින් පිරී තිබුණා. වත්මන් සිළුමිණ ඒ ඉතිහාසය වෙත යෑමට තැත් කරන බව පෙනෙනවා. එය කොයිතරම් දුරට සාර්ථක වේවිද දන්නෙ නෑ. එහෙත් ඒ ශාස්ත්‍රීය උරුමය වෙත සිළුමිණ යළි යා යුතුයි. ඕලාරික ඕපාදූපවලින් ගහණ බොහෝ සිංහල පත්තර අතර ශාස්ත්‍රීය සංවාදයකට ඉඩක් නැහැ. තමන්ගේ උරුමය වෙත ගමන් කිරීමට සිළුමිණ මේ අවස්ථාවේ දී කල්පනා කරගත යුතුයි. ඒ කටයුත්ත කරන්න ධෛර්ය ශක්තිය ලැබේවා යැයි මා ප්‍රාර්ථනා කරනවා.”

මහාචාර්ය සම්පත් අමරතුංග විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ හිටපු උප කුලපතිවරයාය. අන්තර්ජාතිකව සම්භාවනාවට ලක්වන විශිෂ්ට විද්වතකු, අධ්‍යාපන පරිපාලකයකු වූ මහාචාර්ය අමරතුංගයන් දකින්නේ සිළුමිණ යනු අපේ රටේ ඉතිහාසයෙන් කොටසක් ලෙසය.

“සිළුමිණ කියන්නේ එදා සිට ලේක්හවුස් ආයතනයේ තිබුණු වටිනාම පත්තරයක්. මා දන්නෙ නෑ සමාජය මේ ඉතිහාසය දන්නවද කියලා. විශේෂයෙන්ම අන්තර්ජාලය ගැන අදහසක්වත් නැති කාලෙක අපට තිබුණු එකම තොරතුරු දැනගැනීමේ ක්‍රමවේදය තමයි පිළිගත් ජාතික පුවත්පත්. සිළුමිණ ඒ අතර අතිශය ප්‍රධානයි. මා උසස් පෙළ කරන කාල වකවානුවෙ විශාල කාර්ය භාර්යයක් ජාතික පුවත්පතක් ලෙස සිළුමිණ කළා. අධ්‍යාපන තොරතුරු පමණක් නොවෙයි, මුළු ලංකාවේම රැකියා පුරප්පාඩු ගැන සිංහල පාඨකයින්ට දැනුම්වත් වුණේ සිළුමිණෙන්. සිළුමිණ එක්ක තිබුණු අතීත පුවත්පත් නැති වී තිබෙනවා. එහෙත් සිළුමිණ තවම තිබෙනවා. නවීන ලෝකයට ගැළපෙන විදිහට සිළුමිණ අන්තර්ජාලයට එක්වෙමින් නවීකරණය වී ඇති අයුරු ඇත්තටම සතුටුයි. රජයේ පුවත්පතක් ලෙස හැම විටම නිවැරදි තොරතුරු ලබා ගැනීමට සිළුමිණ ඉතාම වැදගත් මාධ්‍යයක්. මා ඉතාම කිට්ටුවෙන් සිළුමිණ සමඟ මගේ රාජකාරී ජීවිතයේදී කටයුතු කරන්නේ එම පුවත්පත ජාතික අවශ්‍යතා සඳහා සංවේදීව මැදිහත්ව කටයුතු කරනවා යන හැඟීම මා තුළ තිබෙන නිසයි”

කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ ප්‍රධානි සහ මොරටුව ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානයේ තාරකා විද්‍යා අංශයේ ප්‍රධානි මහාචාර්ය චන්දන ජයරත්න රටේ ප්‍රමුඛ විද්වතෙකි. සිළුමිණ ගැන මහාචාර්ය චන්දන ජයරත්නයන් ද අප සමඟ කතා කළේය. 

“ජාතික පුවත්පතක් ලෙස වසර 92ක් තිස්සේ සිළුමිණ කළ අඛණ්ඩ සමාජ මෙහෙවර සම්බන්ධව මා තුළ ඇත්තේ ප්‍රශංසනීය හැඟීමක්. එය ස්ථාවර පදනමක ගොඩනැගී පැවතෙමින් පුළුල් සේවයක් ජන සමාජයට ඉටු කළා. විශේෂයෙන්ම විද්‍යාත්මක දැනුම බෙදීමෙදි මා දන්නා ඉතිහාසය තුළ සිළුමිණ විශාල කාර්ය භාර්යයක් ඉටු කළා. එහිදී විද්‍යා දැනුම නිවැරදිව බෙදා දෙමින් ලංකාවේ විද්‍යා තාක්ෂණ උන්නතිය වෙනුවෙන් කළ ජාතික මෙහෙවර සම්බන්ධව සිළුමිණ පුවත්පත විශේෂ ඇගයීමකට ලක් කළ යුතුයි.”

සම්මානිත මහාචාර්ය සරත් කොටගම අපේ පරිසර සුරැකීම වෙනුවෙන් කළ පරිත්‍යාග උදෙසා ජාතියේ සම්භාවනාවට ලක් පරිසර වේදියෙකි. වැදගත්ම දේ ඔහු සිළුමිණ හා බැඳී සිය විශාරදත්වයෙන් පාඨකයාට බරසාර දැනුමක් එක් කළ විද්වත් වෘත්තිකයෙකි.

“සිළුමිණ තවමත් සජීවී පත්තරයක්. පත්තරයකින් කළ යුතු කාර්යය මේ වනවිටත් ජනතාව වෙනුවෙන් අඛණ්ඩව කෙරෙනවා. ඒ හරහා සමාජ ප්‍රගමනයට සිදුවන යහපත පිළිබඳ විශ්වාසයක් මා තුළ තිබෙනවා”

කීර්තිමත් වාස්තු විද්‍යාඥයකු මෙන්ම පුරා විද්‍යාඥයකු වන ආචාර්ය ගාමිණී විජේසූරිය 20 වැනි සහ 21 වැනි සියවස්වල ලොව බිහි වූ උරුම කළමනාකරණය පිළිබඳ ජාත්‍යන්තර විශේෂඥයන් කිහිපදෙනාගෙන් කෙනෙකි. ලෝක සම්භාවනාවට ලක් වූ මේ විශිෂ්ට විද්වතා රෝමයේ පිහිටි සංස්කෘතික දේපළ සංරක්ෂණය හා ප්‍රතිසංස්කරණය සඳහා වූ අන්තර්ජාතික මධ්‍යස්ථානය (ICCROM) උරුම කළමනාකරුවකුට පිරිනමන ඉහළම සම්මානයෙන් පිදුම් ලැබුවේය. ඒ උත්කර්ෂවත් ගමන යන්නට සිළුමිණ ඔහුට ලබා දුන් ජවය පිළිබඳ ආචාර්ය ගාමිණී විජේසූරිය අපට කීවේ මෙසේය.

“මගේ වෘත්තීය ජීවිතයේ පළමු ලිපිය පළවෙන්නේ වර්ෂ 1978 දී සිළුමිණ පත්තරේ. උරුම සංරක්ෂණය සම්බන්ධව මගෙ වෘත්තීය ගමනේදී මහජන සංකථනයට ඉඩ ලද මුල්ම අවස්ථා තමයි ඒ. උරුම සංරක්ෂණය සම්බන්ධව ලෝකයේ පිරිනමන ඉහළම සම්මානය ලැබූ පසු මා කල්පනා කළා එම ගෞරවය සිළුමිණටත් හිමි විය යුතුයි යන්න. මන්ද සිළුමිණ ශාස්ත්‍රීය අතිරේකය තුළ තමයි ඒ කථිකාව ගොඩනඟන්න මුල්ම අවස්ථාව මට ලැබුණෙ. වත්මන් සිළුමිණෙන් පුරා විද්‍යා ක්ෂේත්‍රයට කරන සේවා අතර මා දකිනවා ඓතිහාසික ස්ථාන, වටිනාකම් සහ පුද්ගලයින් පිළිබඳ කතා කිරීමට නිරන්තරව ඉඩ හසර වෙන් වීම සහ සිළුමිණ පුවත්පත තමන් විසින්ම වාර්තා කළ පෞරාණික සිදුවීම් නව්‍යකරණයක් සහිතව යළි පළ කිරීම සහ ඒ සම්බන්ධව ලිපි සම්පාදනයේ දී හුදු වාර්තාකරණයෙන් ඔබ්බට ගොස් පුළුල් කථිකාවක් ගොඩනැඟීම. ගාලු කොටුව සම්බන්ධ ඇති වූ කථිකාව උදාහරණයක්. රූපවාහිනී මාධ්‍යවල පමණක් නොවෙයි, පාර්ලිමේන්තුවේදී පවා වැරදියට අර්ථ ගැන්වුණු ගාලු කොටුව සම්බන්ධ සිදුවීම සිළුමිණ ඉතා නිවැරදිව ශාස්ත්‍රීයව සමාජයට ඉදිරිපත් කළා. ඒ පරිචය සහිත මාධ්‍යවේදීන් සිළුමිණේ ඉන්නවා. පත්තර මහගෙදරින් ගොඩනැගුණු ඒ අවකාශය ජාතියට ඉතාම වැදගත්.”

මහාචාර්ය ආරියරත්න ඇතුගලයන් ජන සන්නිවේදනය පිළිබඳ ප්‍රාමාණික ප්‍රභූ විද්වතෙකි. නිර්මාණකරුවෙකි. විශිෂ්ට සන්නිවේදන පර්යේක්ෂකයෙකි. විචාරශීලී විද්වත් පරපුරක් බිහි කළ ප්‍රමුඛ ගුරුවරයෙකි. ඔහු තුළ සිළුමිණ පිළිබඳ ඇත්තේ අතිශය පහන් හැඟීමකි. 

“සති අන්ත පුවත්පතක් විදිහට වගේම ජාතික මට්ටමේ කාර්ය භාරයක් කරන පුවත්පතක් විදිහට සිළුමිණ සාහිත්‍ය හා කලාව වෙනුවෙන් විශේෂ කාර්යභාර්යක් කරනවා. සිළුමිණේ ඓතිහාසික උරුමයක් විදිහටයි මා එය දකින්නෙ. වර්තමානයේ පුවත්පතට ප්‍රබල සීමා පැනවී තිබෙනවා. පුවත්පතේ අලෙවිය සම්බන්ධව තිබෙන වාණිජ වුවමනා නිසා මූල්‍යමය තක්සේරුවෙදී පුවත්පත සාහිත්‍ය කෙරෙහි දක්වන නැඹුරුව අඩු වෙලා තිබෙනවා. එහිදී පුවත්පත්වල සාහිත්‍ය කලාවන් සම්බන්ධ ඉතාම අඩු අවදානයක් යොමු කරන්නෙ. එතැනදී වත්මන් සිළුමිණ විශේෂ කාර්යභාර්යයක් කරනවා. සමකාලීන කලාකරුවන්ගේ තොරතුරු සහ සංවාද ඉදිරිපත් කිරීමෙන්, ඉපැරණි සාහිත්‍යකරුවන් සහ විවිධ ලේඛකයන් සම්බන්ධ තොරතුරු යළි යළි සිහිකරවමින් කෙරෙන ලේඛන හරහා දක්වන දායකත්වය මෙහිදී ඉතාම වැදගත්. තෙවනුව තරුණ සාහිත්‍ය කලාකරුවන් වෙනුවෙන් වෙන් කරන අවකාශය විශිෂ්ටයි. සිළුමිණ තුළ මේ සාහිත්‍ය ගුණාංග රැඳී තිබීමෙන් අප තුළ ඇති කරන ප්‍රබෝධය, සාහිත්‍යමය චමත්කාරය අවධානයට යොමුවිය යුතුයි. එවැනි වැදගත්කමක් තියෙන ප්‍රධාන සතිඅන්ත පුවත්පත විදිහට මා දකින්නෙ සිළුමිණයි.”

ශිරෝමාල් කුරේ රටේ ව්‍යාපාර සමාජය හොබවන ප්‍රභූ කාන්තා චරිතයකි. මේ රටේ දිදුලන සන්නාමයක් සහිත ජෙට්වින් හෝටල් සමූහයේ සභාපතිනිය හා ජෙට්වින් ට්‍රැවල්ස් ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂවරිය ඇයයි. මහා ව්‍යාපාර කළමනාකාරිනියක් ලෙස ලෝකය දිනාගෙන සිටින ඇය සිළුමිණ දකින ආකාරය කීවාය.

“සිළුමිණ කියන්නෙ සම්ප්‍රදායික මෙන්ම ගෞරවාන්විත පුවත්පතක් ලෙසයි හිතට එන්නෙ. කාන්තා අයිතීන් කියන්නෙ බොහොම නූතනයේ මතුවූ කථිකාවක්. මේ සම්ප්‍රදායික හැඩයක් සහිත මාධ්‍යය තුළ නූතන මාතෘකා සංවාදයට ලක් කිරීමේ ඉඩක් නෑ කියන අදහස සමාජයේ තිබෙනවා. නමුත් මා දුටුවා පසුගිය වසර හතර පහක කාලය තුළ කාන්තාවන් අගය කරන දිරිමත් කරන ඔවුන්ට සමීප වුණු මාතෘකා විශාල ප්‍රමාණයක් සිළුමිණ පුවත්පත පළ කළා. විශේෂයෙන් සිළුමිණ කාන්තාවන්ගේ හැකියාව සහ හිමිකම සම්බන්ධව සමාජය තුළ ඇති කළ ධනාත්මක බලපෑම ගැන මා සතුටුයි”

ඔටාරා ගුණවර්ධන මේ රටේ දිරිමත් කාන්තාවගේ ආදර්ශය බව නොවළහා කිව හැකිය. ලෝ ප්‍රකට ‘ඔඩෙල්’ සන්නාමය නිර්මාණය කරන්නී ඇය ය. ඇයත් සිළුමිණ සිය අතීත මතකය අවදි කළාය.

“තරුණ ව්‍යවසායකයකු ලෙස පටන් ගත් මගේ වෘත්තීය ජීවිතය පුරාවටමත්, ඔඩෙල්හි සිටි කාලය තුළදීත් සත්ත්ව සුබසාධනය සහ පරිසර සංරක්ෂණය සඳහා කළ කටයුතුවලදී සිළුමිණ මට හැම අවස්ථාවකම සහාය දුන් පුවත්පතක්. සතුන්ට කරුණාව දැක්වීමේ පණිවුඩය සහ පරිසරය ආරක්ෂා කිරීම පිළිබඳ වැදගත් පණිවුඩය බෙදා හැරීමට ඔවුන් දැක්වූ මෙහෙය සම්බන්ධ මහා කෘතවේදී හැඟීමක් මා තුළ තිබෙනවා”

පොලිස් ළමා හා කාන්තා කාර්යංශයේ ප්‍රධානී නියෝජ්‍ය පොලිස්පතිනි රේණුකා ජයසුන්දර ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයට නව පරිච්ඡේදයක් එක් කළ කාන්තා නියොජ්‍ය පොලිස්පතිවරියකි. ඇය සිළුමිණ දෙස බලන්නී ස්වකීය වෘත්තීය දෘෂ්ටිය තුළ රැඳෙමිනි.

“සිළුමිණ ගැන අප කතා කරන්න ඕන සන්නිවේදනය ක්ෂේත්‍රයේ පුරෝගාමී මෙහෙවරක් කළ ඉතිහාසයත් එක්ක. ගුවන් විදුලියවත් නොතිබුණු අතීතයේදී ලෝකය සහ ජීවිතය ගැන දැනුම්වත් සංවාදයක් ඇති කළ පුවත්පත් අතර සිළුමිණ පුවත්පත තිබුණෙ ප්‍රමුඛ ස්ථානයක.තාක්ෂණය පුළුල් වෙලා මාධ්‍ය ක්ෂේත්‍රයත් විවිධ ඉසව් ඔස්සේ ඊට සමගාමීව දියුණු වී තිබෙනවා. එහෙත් සිළුමිණ එදා වගේම කාන්තාවන් සහ දරුවන්ගේ රැකවරණය මුල් කරගත්තු මානුෂික තේමා ඔස්සේ ප්‍රබල සමාජ සංවාදයක නිරත වෙලා ඉන්නවා. එය අතිශයින්ම අගය කළ යුතුයි. ඒ සඳහා ඔවුන්ගේ වෘත්තීය මාධ්‍ය කණ්ඩායම කැප වී සිටිනවා. අපරාධ බියෙන් තොර සාමකාමී පරිසරයක් නිර්මාණය කිරීම තමයි ශ්‍රී ලංකා පොලිසියේ දැක්ම. ඒ ඉලක්ක සාධනය කරගන්න අප යන ගමනෙදී මාධ්‍යයක් ලෙස සිළුමිණ වගකීම් සහගත කාර්යයක් ඉටු කරමින් සිටිනවා.”

ආචාර්ය රවීන්ද්‍ර රන්දෙණිය අපට සිටිනා ප්‍රභූ සිනමා කරුවෙකි. සිනමාවේ එක් දැවැන්ත පරිච්ඡේදයක් රූපණය කළ රවීන්ද්‍ර රන්දෙණිය සිළුමිණ හා බැඳුණු ඉතිහාසයේ සජීවී නියෝජනයකි. සිළුමිණ ගැන ඔහුගේ කියැවීම ද විමසුවෙමු. 

“සිළුමිණ අපේ පුවත්පත් කලාවේ සිළුමිණයි... ලංකාවේ පැරණිතම හා පාඨකයින් අතර ගෞරවනීය පිළිගැනීමක් තිබූ පත්තරය. සිළුමිණ උරුම කරගෙන ඉන්නෙ රටේ සංස්කෘතික උරුමය වගේ මහා ඓතිහාසික සම්ප්‍රදායක්. සිළුමිණ කියන්නෙ ජනතාවගේ දැනුම වර්ධනය කරන, සිතුම් පැතුම් වර්ධනය කරන, අපේ සංස්කෘතිය පිළිබඳ වඩා අවබෝධයක් හා ගරුත්වයක් ඇති කළ පුවත්පතක්. ඒ වගකීම බොහෝ දුරට සිළුමිණ ඉටු කර තිබෙනවා. ඒ නිසයි සිළුමිණ මේ තරම් කාලයක් සිළුමිණක් සේම බැබළෙන්නෙ. කලාව පිළිබඳ මැදිහත් වීම වාර්තාකරණයෙන් ඔබ්බට ගොස් මීට වඩා සම්භාව්‍ය ලෙසත් විචාරාත්මක ලෙසත් රටේ සංස්කෘතික ප්‍රතිපත්තියට අනුකූල වෙන ලෙසත් සිදු වීම වැදගත් යන අදහස මා තුළ තිබෙනවා. ජාතික වගකිමක් දරන පුවත්පතක් ලෙස සිළුමිණ වඩා ජවයකින් අනාගතයේදීත් ඒ නියාමන කාර්යය සම්පූර්ණ කරාවි යැයි මා විශ්වාස කරනවා.“

භාතිය සහ සන්තුෂ් මේ රට නූතන සංගීත පරපුරේ සන්නාමය තරම්ම සුවිශේෂී කලාකරුවන් දෙපළකි. 92 වැනි විය පසුකරන සිළුමිණ පිළිබඳ ඔවුන්ගේ දැක්ම විමසීමත් කුහුල දනවන සුලුය.

“සංගීතය කියන්නෙ අදහස් ප්‍රකාශයක්. වචනයෙන් කිව නොහැකි සංවේදනා ප්‍රකාශ වෙන මාධ්‍යයක්. කාලයත් එක්ක මේ ප්‍රකාශනය වෙනස් වෙනවා. ලෝකයේ සිදුවන සංස්කෘතික විචලනයන් එක්ක, ගෝලීය ප්‍රවණතා එක්ක මේ ප්‍රකාශනය පරම්පරාවෙන් පරම්පරාවට වෙනස්වෙනවා. මේ වෙන විකාශය හරියට තේරුම් අරගෙන, ඒ විකාශනයේ ස්වරූපය පිළි අරගෙන, ඒ වෙනස් අදහස්වලට ඉඩක් දී, සහෘදයන්ගේ චින්තන අවකාශය පුළුල් කරපු සහ කරන මාධ්‍යයක් ලෙසයි සිළුමිණ අප දකින්නේ. සංගීතයේ සිදුවන සංස්කෘතික විපර්යාසය ඉතා ධනාත්මකව දකිමින් අපේ අදහස්වලට ඉඩ හසර වෙන් කර දී තිබෙනවා. ලාංකේය සංගීතය ජාත්‍යාන්තරය හා එක් වීමේ අවශ්‍යතාව පිළිබඳ සබුද්ධික සංවාදයට සිළුමිණ ඉඩ විවර කර දීම සම්බන්ධව අප සිළුමිණට ස්තුතිවන්ත වෙනවා.”

මෙරට වෘත්තීය සමිති ව්‍යාපාරය තුළ පුරෝගාමී භූමිකාවක් නියෝජනය කරන සටන් කරුවකු වන ලංකා බැංකු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් සේනානායක, වත්මන් සිළුමිණ පුවත්පතේ ඇති සාධනීය ස්වරූපය ගැන කතා කළේය.

“සිළුමිණ ඉතිහාසයක් සහිත ගලාගෙන ආපු විදිහක් තිබුණා. ඒත් මා මෑත කාලයෙදී පැහැදිලි වෙනස්කම් කීපයක් දැක්කා. විශේෂයෙන්ම මාධ්‍යවල වැඩ කරන ජනතාව සම්බන්ධව... අරගල ගැන යම් යම් ප්‍රවෘත්ති ගියත් ඉන් එහාට ගිහින් වැඩ කරන ජනතාව සම්බන්ධ අරගල ඉතිහාසය, ඉන් අත් කරගත් සාධනීය ප්‍රතිඵල ගැන මාධ්‍ය හරහා කතා කරනවා අඩුයි. නමුත් මෑතකාලීන පුවත්පත් ඉතිහාසයේ පළමු වතාවට සිළුමිණ පුවත්පත වැඩ කරන ජනතාව වෙනුවෙන්, වෘත්තීය සමිති නායකයන් වෙනුවෙන්, ඔවුන් ජනතාව වෙනුවෙන් සිදුකළ සේවය හඳුන්වා දීම වෙනුවෙන් ලිපි මාලාවක් වෙන් කළා. එදිනෙදා දේශපාලනයෙන් ඔබ්බට ගොස් පුළුල් දැක්මකින් යුතුව වැඩ කරන ජනතාව වෙනුවෙන් ලියැවුණු විශේෂාංග ගණනාවක් සිළුමිණේ පළ වෙනවා. එය සාධනීය වෙනසක්. අනෙක රජයට අයත් පුවත්පතක් වුවත් මධ්‍යස්ථව අනෙක් දේශපාලන මතවාදවලට ඉඩ දීමේ සංයමයක් අප සිළුමිණ තුළ නිරීක්ෂණය කළා. ඒ වගේම අද සිළුමිණේ පරිවර්තනීය වෙනස්කම් ගණනාවක් තිබෙනවා. එය ඉතා යහපත් තත්ත්වයක්. රට වෙනුවෙන් ඒ තත්ත්වය මේ ආකාරයෙන්ම පවත්වාගත යුතුයි යන යෝජනාව මා තුළ තිබෙනවා” 

මහින්ද ජයසිංහ ක්‍රියාකාරී වාමාංශික දේශපාලනයේ ප්‍රමුඛ වෘත්තීය සමිති ක්‍රියාකාරිකයෙකි. ගුරු අරගලය වැනි සමාජ අවධානය සහිත ජයග්‍රාහී සටන්වල පෙරටුගාමී සටන් සගයෙක් වූ මහින්ද සිළුමිණ ගැන අප හා සංවාදයට එක් වූයේය.

සිළුමිණ කියන්නෙ මේ රටේ කිර්තිමත් ඉතිහාසයක් සහිත, කීර්තිමත් මාධ්‍යවේදීන් නිර්මාණය කළ පුවත්පතක්. ඒ වගේම සිළුමිණ අපකීර්තිමත් කාල වකවානු පසු කරගෙන පැමිණි බවත් අපට අමතක කරන්න බෑ. විටින් විටි බලයට පත්වන ආණ්ඩුවල වුවමනාවට කටයුතු කළ අවස්ථා පිළිබඳ විවේචනත් අප සතුව තිබෙනවා. සිළුමිණේ වත්මන් මාධ්‍යවේදීන්ටත් තමන්ගේම අතීත කීර්තිමත් ඉතිහාසයෙන් ඉගෙන ගන්න පාඩම් තිබෙනවා යැයි අප විශ්වාස කරනවා. වත්මන් සිළුමිණ සම්බන්ධව යම් සාධනීය ඇගයීමකුත් අප තුළ තිබෙනවා. සිළුමිණ රාජ්‍ය මාධ්‍ය පුවත්පතක්. රාජ්‍ය මාධ්‍යයක් ලෙස කටයුතු කිරීමේදී පවතින රජය වෙනුවෙන් කටයුතු කළ යුතුව තිබීම බැහැර කළ නොහැකි යථාර්ථයක්. නමුත් විපක්ෂයේ විවේචනවලට, අදහස්වලට සිළුමිණ ඉඩ ලබා දෙනවා. වැඩකරන ජනතාව වෙනුවෙන් ඉඩහසර ලබා දෙනවා. ඒ අගය කිරීම අප තුළ තිබෙනවා. සිළුමිණ ජන මනස දියුණු කිරීම සඳහා විශාල මෙහෙවරක් කරන පුවත්පතක් ලෙස පවතින තත්තවයන් යටතේ වුවත් ආණ්ඩුව විවේචනය කිරීම වැනි තැනකට නොගොස් ජනතාවගේ පැත්තේ හිඳිමින් නිවැරදි විග්‍රහයන් ලබාදිය හැකියි. වර්තමාන සිළුමිණෙන් අප බලාපොරොත්තු වෙන්නෙ එයයි.”

Comments