
- ඉරිදා සිංහල පුවත්පත් අතර වැඩිම විශිෂ්ටතා සම්මාන ‘සිළුමිණ’ ට. සම්මාන 7යි.
- පුවත්පත් ආයතන අතර වැඩිම විශිෂ්ටතා සම්මාන ලේක්හවුසියට. සම්මාන 9යි.
ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ විශිෂ්ටයන් උදෙසා සම්මාන පිරිනැමීමේ උත්කර්ෂවත් උලෙළේ 19 වැනි සහ 20 වැනි පියවර කොළඹ හිල්ටන් හෝටලයේ ‘බ්ලූ’ ශාලාවේදී මාර්තු 22 වැනි අඟහරුවාදා පස්වරුවේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
ශ්‍රී ලංකා කර්තෘ සංසදය සහ ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය එක්ව සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි මාධ්‍ය තුනෙන් ඇගයුමට ලක්කරන අංශ 18ක් වෙනුවෙන් මෙම සම්මාන පිරිනැමේ. ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම සහ ජාත්‍යන්තර වශයෙන් පිළිගන්නා එකම පුවත්පත් සම්මාන උලෙළ ද මෙය වෙයි. මෙය මෙවර පැවැත්වූයේ 20 වැනි වරටය. කොවිඩ් 19 ගෝලීය වසංගතය හේතුවෙන් 2019 සම්මාන උලෙළ ඉකුත් වසරේ පැවැත්වීමට නොහැකි වූ බැවින් මෙවර සම්මාන උලෙළ වසර දෙකම ඇතුළත්ව පැවැත්වුණි.
වසර 1988දී ශ්‍රී ලංකා කර්තෘ සංසදය විසින් ආරම්භ කරනු ලැබූ මෙම උත්සවය මේ වන විට ශ්‍රී ලංකා කර්තෘ සංසදය සංවිධානය කරන්නේ ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ ද සහයෝගය ඇතිවය.
සම්මාන උලෙළේ අරමුණ වන්නේ ශ්‍රී ලංකාවේ මුද්‍රිත මාධ්‍යයන්හි විශිෂ්ටයන් හඳුනා ගැනීමත් එම විශිෂ්ටයන්ට සම්මාන පිරිනැමීමත්ය. එසේම දීර්ඝ කාලයක් ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ සේවය කරමින් වෘත්තීය ජීවිතයේ විශේෂ මෙහෙවරක් ඉටු කළ අය සඳහා ජීවිත කාලයේ එක් වරක් පමණක් පිදෙන ස්වර්ණ මුද්‍රිත විශේෂ සම්මානය පිරිනැමීම ද මෙවරත් සිදුවිය.
එම දීර්ඝ සේවා සම්මාන 4 හිමි වූයේ ලේක්හවුස් ඩේලි නිවුස් කර්තෘ මණ්ඩලයේ නියෝජ්‍ය ප්‍රාදේශීය ප්‍රවෘත්ති කර්තෘවරයා වූයේ ඩී.පී. වික්‍රමසිංහ, දිනමිණ හිටපු කර්තෘ පුෂ්පා රොවෙල්, සිළුමිණ හිටපු සමකර්තෘ සමන් චන්ද්‍රනාත් වීරසිංහ සහ ලේක්හවුස්හි හිටපු ඡායාරූප සමකර්තෘ උපාලි ෆොන්සේකාට ය.
මෙවර සම්මාන උලෙළේදී පුවත්පත් ආයතන අතර වැඩිම විශිෂ්ටතා සම්මාන හිමිවූයේ ලේක්හවුස් ආයතනයටය. එය විශිෂ්ටතා සම්මාන 9කි. එමෙන්ම ඉරිදා සිංහල පුවත්පත් අතර වැඩිම විශිෂ්ටතා සම්මාන හිමි වූයේ සිළුමිණට ය. එය විශිෂ්ටතා සම්මාන 7කි. මෙම ජනමාධ්‍ය විශිෂ්ටතා උලෙළ පැවැත්වූ 1998 සිට 2018 දක්වා සම්මාන උලෙළ 18කදී ලේක්හවුසිය ලැබූ විශිෂ්ටතා සම්මාන සංඛ්‍යාව 19කි. එහෙත් මෙවර සම්මාන උලෙළේදී පමණක් විශිෂ්ටතා සම්මාන සංඛ්‍යාව 9ක් දිනා ගැනීමට ලේක්හවුස් ආයතනය සමත් විය. ඉන් විශිෂ්ටතා සම්මාන 7ක් හිමි වූයේ සිළුමිණ පුවත්පතටය.
ලේක්හවුස් ආයතනය නියෝජනය කරමින් විශිෂ්ටතා සම්මාන 9 හිමි වූයේ සිළුමිණ පුවත්පතේ නිහාල් අබේසිංහ, තාරක වික්‍රමසේකර, සුභාෂිණී ජයරත්න, හර්ෂා සුගතදාස, සුරේකා නිල්මිණි ඉලංකෝන්, දිනමිණ පුවත්පතේ ප්‍රින්ස් ගුණසේකර සහ සන්ඩේ ඔබ්සර්වර් පුවත්පතේ රජිත ජාගොඩ ආරච්චිටය. (මෙම සම්මානලාභීන් පිළිබඳ විස්තරයක් මෙහි දකුණු පස පළවේ.)
ජනමාධ්‍ය නිදහස උදෙසා පිරිනැමෙන සේපාල ගුණසේන සම්මානයෙන් මෙවර පිදුම් ලැබුවේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ජාවෙඩ් යූසෙෆ් ය. සිය සහෘදයන්ගේ ඇගයීමට පාත්‍ර වන පුවත්පත් කලාවේදියාට හිමි වන ඩී.ආර්. විජයවර්ධන සම්මානය මෙවර හිමි වූයේ ශ්‍රී ලංකා කර්තෘ සංසදයේ නිර්මාතෘවරයා වන මෑතකදී දැයෙන් සමුගත් දෙටු ප්‍රවීණ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාරට ය. ලක්බිම ඉරිදා සංග්‍රහයේ සමාරම්භක කර්තෘවරයා වන බන්දුල පද්මකුමාර ලේක්හවුස් ආයතනයේ ද සභාපතිවරයා වශයෙන් කලක කටයුතු කළේය.
මෙවර සම්මාන උලෙළ සඳහා අයදුම්පත් 350කට ආසන්න ගණනක් ලැබී තිබුණ බව මේ පිළිබඳ කළ විමසීමේදී ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ සහ කර්තෘ සංසදය වෙනුවෙන් මෙය සංවිධානය කළ කැඳවුම්කරු වන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සුකුමාර් රොක්වුඩ් ප්‍රකාශ කළේය. වසර 12ක් තිස්සේ මෙම සම්මාන උලෙළේ කැඳවුම්කරු වන්නේ ද ඔහු ය.
2019-2020 ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන උලෙළේදී සිළුමිණ පුවත්පත නියෝජනය කරමින් විශිෂ්ටතා සම්මාන 7ක් ලැබූ මාධ්‍යෙව්දීන් පස් දෙනා වමේ සිටය. 2020 හොඳම විශේෂාංග ලේඛකයාට පිදෙන උපාලි විජයවර්ධන විශිෂ්ටතා සම්මානය දිනාගත් සුරේකා, 2019 වසරේ හොඳම පාරිසරික වාර්තාකරණයට හිමි සම්මානය දිනාගත් සිළුමිණ පුවත්පතේ ජ්‍යේෂ්ඨ සම කර්තෘ නිහාල්, 2019 වසරේ හොඳම ගවේෂණාත්මක වාර්තාවට හිමි විශිෂ්ටතා සම්මානය සහ 2020 වසරේ හොඳම ව්‍යාපාරික හා මූල්‍ය වාර්තාකරණ විශිෂ්ට සම්මානය දිනාගත් සිළුමිණ ප්‍රවෘත්ති කර්තෘ තාරක, 2019 සහ 2020 දෙවසරේම හොඳම සෞඛ්‍ය හා වෛද්‍ය වාර්තාකරණයට හිමි විශිෂ්ටතා සම්මාන දිනාගත් හර්ෂා සහ 2020 වසරේ හොඳම පාරිසරික වාර්තාකරණයට හිමි විශිෂ්ටතා සම්මානය දිනාගත් සිළුමිණ නියෝජ්‍ය ප්‍රවෘත්ති කර්තෘ සුභාෂිණි ය.
ඡායාරූප- සුලෝචන ගමගේ