රිදී රේඛා දැකීමට වල් පැළ ඉගිල්ලීමට ඉඩ සලසන ඉන්දියාවේ දුටු බොඳ සිහිනය | Page 3 | සිළුමිණ

රිදී රේඛා දැකීමට වල් පැළ ඉගිල්ලීමට ඉඩ සලසන ඉන්දියාවේ දුටු බොඳ සිහිනය

 

‘ශ්‍රී ලංකා පිලේ ඉන්දීය ක්‍රිකට් සංචාරය අන්ත පරාජයකින් පසුගිය දා නිම විය. මෙවැනි යොවුන් ක්‍රීඩකයන් නොව අත්දැකීම් බහුල ක්‍රීඩකයන් සහිතව වුව ඉන්දියාවේ සංචාරය කළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම් එරට දී ලැබූයේ අන්ත පරාජයකි. එහෙත් මෙවර පරාජය තුළින් අප රටක් වශයෙන් ලබා ගත් පාඩම් කීපයක් තිබුණේ ය. මේ ඒ අසුරෙන් තැබෙන සටහනකි.’

වසර 57 කට පෙර මයිකල් තිසේරාගේ නාය-කත්වයෙන් යුත් ලංකා කණ්ඩායම ඉන්දියාවේ බිහි වූ සුපිරි ක්‍රීඩකයකු වූ නවාබ් ඔෆ් පතාවුදී නායකත්වය දැරූ ඉන්දීය කණ්ඩායම පරාජය කරමින් මුල් වරට නිල නොවන ටෙස්ට් තරගය-කින් ඉන්දියාව ඉන්දියාවේ දී පරාජය කළේ ය. ඒ අහමදාබාද් හි දී ය.

තරගය පැවැත්වුණේ 1965 ජනවාරි මස 02,03,04,05 යන දිනවල ය. එය දෙරට අතර එවර තරගමාලාවේ පැවති අවසන් නිල නොවන ටෙස්ට් තරගය විණි. ඒ වනවිට ඉන්දියාවට ටෙස්ට් තත්ත්වය ලැබී වසර තිස් දෙකක කාලයක් ගතවී තිබූ අතර ලංකාවට ටෙස්ට් තත්ත්වය හිමිව නොතිබිණි.

එහෙත් අද වන විට ශ්‍රී ලංකාව ටෙස්ට් තත්ත්වය ලබා වසර හතළිහක් ගත වී ඇත. ඔවුන් පසුගිය දා ඉන්දියාවේ මොහාලි හි දී ක්‍රීඩා කළේ තම තුන්සිය වැනි ටෙස්ට් තරගයට ය. එසේ වුව ද එහි දී ශ්‍රී ලංකාව ක්‍රීඩා කළේ තවමත් ටෙස්ට් තත්ත්වයවත් දිනා නැති ළදරු කණ්ඩායමක් විලසට ය.

1990-91 ඉන්දියාවේ චන්දිගාර් හි දෙරට අතර පැවති ටෙස්ට් තරගයේ මුල් ඉනිම මෙවර දෙරට අතර බැංගලෝර් හි පැවති දෙවැනි ටෙස්ට් තරගයේ මුල් ඉනිමට සමාන ය. එදා ඉන්දියාව මුලින්ම පන්දුවට පහර දී ලබා ගත්තේ ලකුණු 288 කි. පන්දු යැවීමේ දී වේග පන්දු යවන්නා වූ රුමේෂ් රත්නායක 60/03 ක් දඟ පන්දු යවන්නන් වූ රන්ජිත් මදුරසිංහ 60/03 හා ජයනන්ද වර්ණවීර 90/03 ලෙස කඩුලු දවාලූ හ. මෙදා බැංගලෝර් හි පැවති දෙවැනි තරගයේ මුල් ඉනිමේ ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නන් වන ලසිත් ඇඹුල්දෙනිය 94/03,ප්‍රවීන් ජයවික්‍රම 81/03, ධනංජය ද සිල්වා 32/02 වශයෙන් කඩුලු දවාලමින් ඉන්දීය මුල් ඉනිම ලකුණු 252 කට සීමා කළ හ.

එදා රවී ශාස්ත්‍රී ඉන්දීය මුල් ඉනිමේ ලකුණු 88 ක් රැස් කළ අයුරෙන්ම මෙවර ඉන්දීය මුල් ඉනිමේ එකම අර්ධ ශතකය වාර්තා කළේ ලකුණු 92ක් ලැබූ ශ්‍රේයාස් අයියර් ය.

එදා එම තරගය ශ්‍රී ලංකාව ජය ගනු ඇතැයි යන බලාපොරොත්තුවෙන් සිටි මෙරට ක්‍රිකට් ලෝලීන්ගේ බලාපොරොත්තු කඩ වීමට වැඩි වේලාවක් ගත නොවුණේ ඉන්දීය දඟ පන්දු යවන්නා වූ වෙන්කතිපති රාජුගේ 12/06 පන්දු යැවීම හමුවේ ශ්‍රී ලංකා ඉනිම ලකුණු 82 කට බිඳ වැටුණු හෙයිනි. ඇත්තෙන්ම මෙවර ද සිදු වූවේ එයමය. එහෙත් මෙවර ශ්‍රී ලංකා ඉනිම ලකුණු 109කට සිමා කළේ ඉන්දීය වේග පන්දු යවන්නන් දෙදෙනා වන ජස්ප්‍රිට් බුම්රා 24/05 හා මොහොමඩ් සාමි 18/02 ය. එදා 1990-91 තරගය ශ්‍රී ලංකාව ඉනිමකින් පරාජය වූ අතර මෙවර පරාජය ලකුණු 238 කිනි.

මෙවර තරගයේ මුල් ඉනිමේ දී ශ්‍රී ලංකා පිල අඩු තරමින් ලකුණු 200 ක සීමාවට ළඟා වී තිබුණේ නම් බොහෝ විට තරගය සම්බන්ධයෙන් යම් බලාපොරොත්තුවක් තබා ගත හැකිව තිබුණේ යැයි කිව හැකි ය. ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 43 ක් ලබා ගනිමින් ඉනිමක් ගොඩනැංවීමට උත්සාහ කළ ද සෙසු පිතිකරුවන් අතරින් ලකුණු දහය ඉක්මවා රැස් කිරීමට සමත් වුවේ ධනංජය ද සිල්වා, නිරෝෂන් දික්වැල්ල හා ප්‍රවීන් ජයවික්‍රම පමණය.

කඩුල්ලේ ස්වාහාවය මැනවින් හඳුනාගත් ඉන්දීය පිතිකරුවන් දෙවැනි ඉනිමේ කඩුල්ලේ රැඳී සිටිමින් ලකුණු රැස් කිරීමට වඩා වේගයෙන් ලකුණු රැස් කිරීමේ ප්‍රතිඵලය වූයේ පන්දුවාර 68.5 ක් තුළ ඉන්දීය ලකුණු පුවරුව 303/09 දක්වා ශක්තිමත් වීමය. රිෂාබ් පාන්ට් ලකුණු 50 ක් ලැබූ අතර දෙවැනි ඉනිමේ දී ද ශ්‍රී ලංකාවට හිසේ ඇම්මක් වූයේ ලකුණු 67 ක් ලැබූ ශ්‍රේයාස් අයියර් ය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ලසිත් ඇඹුල්දෙණිය 87/03, ප්‍රවීන් ජයවික්‍රම 78/04 වශයෙන් කඩුලු ලබමින් මෙවර ද කැපී පෙනීමට සමත් වූ හ.

මෙම තරගයේ ශ්‍රී ලංකා පිලට යම් අස්වැසිල්-

ලක් වූයේ නම් ඒ මෙම පන්දු යවන්නන් දෙදෙ-නාගේ සාර්ථකත්වය ය. ‘‘ශ්‍රී ලංකාවට ඔවුන්ගේම ගැටලු තිබෙනවා. ඒත් ධනාත්මක කරුණක් තමයි ඔවුන්ගේ වමත් පිට දඟ පන්දු යවන්නා වන ප්‍රවීන් ජයවික්‍රම. ඔහු තාමත් තරුණ වුණත් ඔහුගේ පන්දු යැවීමේ විවිධත්වයක් දැක ගත හැකියි. ඔහු අනාගතයේ තරග වදින අයුරු සම්බන්ධයෙන් මම විමසිල්ලෙන් බලා සිටිනවා.” මේ හිටපු ඔස්ට්‍රේලියා ක්‍රීඩක බ්‍රැඩ් හොග් ප්‍රවීන් ජයවික්‍රමගේ පන්දු යැවීම දුටු ආකාරය ය.

දෙවැනි ඉනිම

දෙවැනි ඉනිමේ සිදු වූයේ ද මුල් ඉනිමේ මෙන්ම නම් දැරූ පිතිකරුවන්ගේ අසාර්ථක වීම ය. තම දාහතර වන ටෙස්ට් ශතකය රැස් කළ නායක දිමුත් කරුණාරත්න වටා සිට ඉනිමක් ගොඩනඟණු වෙනුවට ඔවුන් අඩු ලකුණු ගණන්වලට දැවී ගිය හ. ආරම්භයේ සිට ආක්‍රමණශීලි පිති ප්‍රහාරයක නිරත වූ කුසල් මෙන්ඩිස් පමණක් අර්ධ ශතකයක් රැස් කළේ ය. ජස්ප්‍රිට් බුම්රා 23/03, රවිචන්ද්‍රන් අශ්වින් 55/04 ක් වශයෙන් කඩුලු දවාලූ හ.

ඉන්දීය පිතිකරු අංශය දෙස බලන විට පළමු ඉනිමේ සාර්ථක වූයේ ශ්‍රේයාස් අයියර් ය. අනෙකුත් පිතිකරුවන් අසාර්ථක වන අවස්ථාවේ ඔහු ඉන්ද්‍රඛීලයක් සේ නැඟී සිටිමින් ලබා ගත් ලකුණු 92 නොවන්නට ශ්‍රී ලංකාවට යම් වාසිදායක තත්ත්වයක් අත් කර ගැනීමට අවස්ථාව තිබිණි. ඔහු ලබා දුන් උඩ පන්දු දෙකක් ශ්‍රී ලංකා පන්දු රකින්නන් අතින් ගිලිහී යෑම ද මෙහිදී අමතක කළ නොහැකිය. එම දුර්වලතාවය මුල් ඉනිමේ පමණක් නොව සමස්ත තරගය තුළම ශ්‍රී ලංකා පන්දු රකින්නන් වෙතින් දැක ගැනීමට ලැබිණි. තරගාවලියට පෙර පැතුම් නිශ්ශංක හා චරිත් අසලංක යන තරුණ ක්‍රීඩකයන් වෙත බොහෝ අවධානය යොමු වී තිබු අතර පළමු තරගයේ මුල් ඉනිමේ සුපිරි ඉනිමක් ක්‍රීඩා කරමින් පැතුම් තමන්ට ඉන්දීය දඟ කැවෙන තණතීරු මත පන්දුවට පහර දීමේ හැකියාවක් ඇති බව පෙන්නුම් කළ නමුත් අසලංක ඔහුට හිමි වූ අනගි අවස්ථාවෙන් ප්‍රයෝජන නොගත් බව කිව යුතු ය. මේ අතරවාරයේ වේග පන්දු යවන දුෂ්මන්ත චමීර දෙවැනි තරගයට නොදයෙවීම ගැටලුවක් විණි.

ශ්‍රී ලංකාවේ පරාජය ගැන අදහස් දක්වමින් ඉන්දීය හිටපු ක්‍රීඩක ආකාශ් චොප්රා අදහස් දක්වා තිබුණේ ය. එහි දී ඔහු කියා තිබුණේ ශ්‍රී ලංකා කණ්ඩායම සමාන කළ හැක්කේ තම රටේ රංජි තරගාවලියේ ක්‍රීඩා කරන කණ්ඩායමකට ය. මෙම ටෙස්ට් තරගාවලිය අවසන් වන විට ශ්‍රී ලංකාව අයි.සී.සී. ටෙස්ට් ශ්‍රේණි සටහනේ පස් වැනි තැන දක්වා පහත බැසීමට ලක්ව තිබේ.

 

Comments