![](https://archives1.silumina.lk/sites/default/files/styles/large/public/news/2022/03/18/kreeda-tag.jpg?itok=5cMGJmSM)
මානව සම්පත් කළමනාකරණයේ දී ඇගයීම අතිශය වැදගත් කරණයකි. එය එසේ වන්නේ පුද්ගලයන් ඇගයීම මගින් එම පුද්ගලයන් තුළ මෙන්ම සමස්ත සමාජය තුළ ද සුවිශාල අභිප්‍රේරණයක් ඇතිකළ හැකි හෙයිනි. මානව සම්පත් කළමනාකරණයේ දී අභිප්‍රේරණ ක්‍රියාවලිය වඩාත් ඉහළින් තබා ඇත්තේ ද එහෙයිනි.
අභිප්‍රේරණය ක්‍රමවේද අතර දීමනා ඉහළ දැමීම වඩාත් බහුලව භාවිත කරනු ලබන්නකි. එය ඕනෑම ක්ෂේත්රයක් අරභයා භාවිත කළ හැකිය. වෘත්තීයමය ක්‍රීඩාවේ දී ද එය එලෙසින්ම යොදාගැනීමට පිළිවණ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් විෂයේ ද එය භාවිතයට ගත හැකිය. දැන් ක්‍රිකට් ක්‍රීඩකයන් උදෙසා නව කොන්ත්‍රාත්තුවක් හඳුන්වා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබේ. එම කොන්ත්‍රාත්තුව සම්බන්ධයෙන් මේ දිනවල කතාබස් වෙමින් ඇත. මෙවර එහි ඉහළම ගෙවීම වනුයේ අමරිකානු ඩොලර් ලක්ෂයක වාර්ෂික දීමනාවක් පිරිනැමීම ය. එය දළ වශයෙන් රුපියල් ලක්ෂ දෙසිය හැත්තෑපහකට ආසන්නය.
රුපියල් ලක්ෂ දෙසිය හැත්තෑපහක කොන්ත්‍රාත්තුවක් වාර්ෂිකව හිමිවන්නකුට මසකට හිමිවන වේතනය ආසන්න වශයෙන් රුපියල් ලක්ෂ විසිහතරක පමණ යැයි ගණන් බැලිය හැකිය. එය වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩකයකුගේ මූලික ආදායම ය. ඊට අතිරේකව අනුග්‍රාහක ගිවිසුම්, වෙළෙඳ සමාගම් සමඟ ඇතිකරගන්නා එකඟතා, තරගයෙන් තරගයට හිමිවන සහභාගිත්වයේ දීමනාවන් ද එක් වූ කල සැලකිය යුතු මාසික ආදායමක් දක්වා ඔවුන්ගේ මාසික වේතනය වර්ධනය වෙයි.
මෙවර ක්‍රීඩකයන් උදෙසා ඉදිරිපත් කර ඇති වාර්ෂික කොන්ත්‍රාත්තුව අසාධාරණ නැත. දක්ෂතාවයන් උපරිම තලයකට ළඟාවී නැති කාලපරාසයක මෙවැනි හෝ කොන්ත්‍රාත්තුවක් හිමිවීම ගැන ක්‍රීඩකයන් සතුටුවිය යුතුය. ගැටලුව වනුයේ මෙවර කොන්ත්‍රත්තුවට ඇතුළත් කර ඇති ඇතැම් ක්‍රීඩකයන් තවදුරටත් දීර්ඝ කාලීන කොන්ත්‍රාත්තු සඳහා එක්කරගත යුතු ද යන්නය. කෙසේ හෝ මෙවර මධ්‍යම කොන්ත්‍රාත්තුවට ක්‍රීඩකයන් නම්කර අවසන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසා තිබේ. මෙතැනදී අප මූලිකවම යෝජනා කරන්නේ මෙවැනි වාර්ෂික කොන්ත්‍රත්තු ඕනෑම මොහොතක නවතා දැමීමට මෙන්ම ක්‍රීඩක දක්ෂතාවන්ට අනුලෝමව විචලනය විය යුතු බවය. එය කාලීන අවශ්‍යතාවයකි.
දිගින් දිගටම කොන්ත්රත්ගත ක්‍රීඩකයන් තුළින් නිසි දක්ෂතා මතුනොවන්නේ නම් ස්වයංක්‍රීය සූත්‍රයකට අනුකූළව අදාළ වාර්ෂික කොන්ත්‍රාත්තුව ඊට පහළින් ඇති කොන්ත්‍රාත් තලය දක්වා වෙනස්වීමට මෙන්ම උපරිම දක්ෂතා දක්වන්නේ නම් සුපිරි තලයක් දක්වා වර්ධන වීමට හැකි ක්‍රමවේදයක් සකස් කිරීම කාලීන අවශ්‍යතාවයකි. එය සිදුකළ යුත්තේ විනිවිද භාවයෙන් යුත් නිශ්චිත යාන්ත්‍රණයක් තුළින් පමණි. එසේ නොමැතිව සභාපතිවරයාගේ හෝ වෙනයම් නිලධාරියකුගේ අභිමයත පරිදි නොවේ. අභිප්‍රේරණයේ නියම අරමුණු දිනාගත හැක්කේ එමගිනි.
----------------------------------
වෙෙළඳ සේවා අන්තර් සමාගම් බැඩ්මින්ටන් යුගල ශූරතාව ෙසලාන් බැංකුවට
වෙෙළඳ සේවා අන්තර් සමාගම් බැඩ්මින්ටන් යුගල තරගාවලියේ කුසලාන අංශයේ ශූරතාව දිනාගැනීමට සෙලාන් බැංකු කණ්ඩායම සමත් විය. ඩයලොග් හා සම්පත් බැංකු කණ්ඩායම් පරාජය කරමින් අවසන් තරගයට පිවිසි සෙලාන් බැංකු කණ්ඩායම, අවසන් තරගයේ දී යළි ඩයලොග් කණ්ඩායම පරාජය කෙළ් ය. මංජුල පෙරේරාගේ නායකත්වයෙන් තරග වැදුණු සෙලාන් බැංකු කණ්ඩායමට රශාංග ප්‍රනාන්දු, තිමීර බෙන්තොටගේ, පමීෂා දිශාන්ති, දමින්ද ද සිල්වා, මධුෂිකා දිල්රුක්ෂි, ලසිඳු නිම්සර, මහින්ද ජයවීර, රවිප්‍රිය රන්තිලක සහ රේණු චන්ද්‍රිකා ද සිල්වා ඇතුළත් වූ හ.
------------------------------
කොළඹ ආනන්ද විදුහලට ගොල්ෆ් හඳුන්වා දීම සාර්ථකයි
කනිෂ්ඨ ක්‍රීඩකයන් සඳහා ගොල්ෆ් ක්‍රීඩාව හඳුන්වා දීම වෙනුවෙන් කොළඹ ආනන්ද විද්‍යාලය කේන්ද්‍ර කරගනිමින් පැවැති වැඩසටහන අතිශය සාර්ථකව අවසන් කිරීමට හැකි වූ බව ශ්‍රී ලංකා ගොල්ෆ් සංගමය පවසයි. කනිෂ්ඨ ගොල්ෆ් සංවර්ධ කමිටුව හා ආදී ආනන්දීය වෘත්තීය එකමුතුව එක්ව සංවිධානය කරනු ලැබූ මෙම වැඩසටහන ‘විවෘත ගොල්ෆ් දිනය‘ වශයෙන් පසුගිය 12 වැනි දා සංවිධානය කෙරිණි.
එහි දී ගොල්ෆ් ක්‍රීඩාවේ නියැලීමේ වැදගත්කම සම්බන්ධයෙන් අවධාරණය කෙරුණු අතර ආරක්ෂක ලේකම්වරයා විසින් සඳහන් කරනු ලැබූවේ එම ක්‍රීඩාවේ නියැලීම මගින් අභියෝගයන්ට මුහුණ දෙමින් කටයුතු කිරීමට මනා හුරුවක් ගොඩනංවන බවයි.
මෙම අවස්ථාව සඳහා ආදි ආනන්දීය වෘත්තීය එකමුතුවේ සභාපති ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න හා අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා (ප්‍රධාන ආරාධිතයා) යන මහත්වරුන් සහභාගි වූහ. ඔවුන්ට අමතර එයාර් වයිෂ් මාර්ෂල් උදේණි රාජපක්ෂ, රවී මාස්කෝරාල ( සම ලේකම්වරු), ලුතිනන් කමාන්ඩර් හර්ෂ උඩවත්ත යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටිය හ.
එම ක්‍රීඩාවේ නියැලීම මගින් අපූරු මතකයක් පුද්ගයකුට තම ජීවිතයට එක්කරගත හැකි බවද ඔහු ප්‍රකාශ කළේ ය. මීට වසරකට පෙර තමන් මෙම ක්‍රීඩාව සමඟ එක් වූ බව පැවසූ ආරක්ෂක ලේකම්වරයා කියා සිටියේ ය. එසේ එම ක්‍රීඩාවට පිවිසි පසු ගොල්ෆ් ක්‍රීඩාවෙන් උකහාගත හැකි අපූරු ප්‍ර යෝජන තමන්ට දැකගැනීමට ලැබුණු බව පවසන ඔහු එවැනි අපූරු ක්‍රීඩාවක නියැලීමට ඉදිරිපත්වන ලෙසට පාසල් ක්‍රීඩකයන්ට ආරාධනා කරනු ලැබිණි. සමාරම්භක අවස්ථාව වෙනුවෙන් පාසල් සිසුන් හැට දෙනෙක් සහභාගි වී සිටි අතර ඔවුනට ගොල්ෆ් පන්දුවකට පහරදීමට අවස්ථාව සලසා දී තිබිණි. ඉන් ක්‍රීඩකයන් තිස්දෙනෙකු තෝරා ගත් අතර ඔවුන් වැලිසර පිහිටි ගොල්ෆ් පුහුණු මධ්‍යස්ථානයේ දී විශේෂ පුහුණුවක් සඳහා යොමුකරනු ලැබුණේ ය.
ලොව පුරා වේගයෙන් ව්‍යාප්ත වන ක්‍රීඩාවක් ලෙස සැලකෙන ගොල්ෆ් ක්‍රීඩාවේ වෘත්තීය වශයෙන් නියැලීම තුළින් විශාල ත්‍යාග මුදල් දිනාගැනීමට හැකියාව සහිත ක්‍රීඩාවකි.
--------------------------------------
තරුණ ක්‍රීඩකයන්ට ආදර්ශයක් වෙමින් මලල ක්‍රීඩාවේ පෙරළිකරන නරසිංහ
මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් එන්. එල්. ඩබ්ලිව්. නරසිංහ කොළඹ සුගතදාස ක්‍රීඩාංගනයේ දී පැවති 35 වන ප්රවීණයන්ගේ ජවන හා පිටිය තරගයෙන් මීටර් 5000, මීටර් 2000 බාධක දිවීම සහ මීටර් 1500 යන තරග ජයග්‍රහණය කරමින් දස්කම් දැක්වීය. ඒවායේ රන් පදක්කම් දිනා ගත් ඔහු වයස 80 - 85 කාණ්ඩය යටතේ තරග වැදිණි. තවද ඔහු මීටර් 800 තරගයෙන් තුන්වැනි ස්ථානය දිනාගත්තේ ය. එම තරගයේ පළමු සහ දෙවැනි ස්ථානය දිනා ගනු ලැබුවේ ඉන්දීය ධාවකයින් දෙදෙනෙක් විසිනි.
1985 සිට ප්‍රවීනයන්ගේ මලල ක්‍රීඩා තරගාවලි සඳහා සහභාගි වී ඇති මෙම ක්‍රීඩකයා පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් බී.ඒ. උපාධිය සමත්ව රත්නපුර දිස්ත්‍රික්කයේ විදුහල්පතිවරයකු වශයෙන් සේවය කර ඇත. දෙස් විදෙස් තරගාවලි රැසකදී තරග වැදී ඇති ඔහු රටට කීර්තියක් රැගෙන ආ මලල ක්‍රීඩකයකු ලෙස හැඳින්විය හැක. ඒ අතර 2013 දී ඕස්ට්‍රේලියාවේ ගීලොන් හි පැවති ජාත්‍යන්තර ප්‍රවීනයන්ගේ මලල ක්‍රීඩා තරගයේ දී ද මීටර් 5000 තරගය ජය ගැනීම විශේෂයෙන් දැක්වීමට පිළිවන. එයට ප්‍රථම 2006 දී ඉන්දියාවේ පැවති ප්‍රවීනයන්ගේ මලල ක්‍රීඩා තරගයේ දී ද මීටර් 5000 තරගය ජය ගත්තේ ද ඔහු විසිනි. එයට අමතරව ඔහු විසින් 2002 වර්ෂයේ දී චීනයේ පැවති ප්‍රවීනයන්ගේ මලල ක්‍රීඩා තරගයේ දී ද මීටර් 5000 සහ මීටර් 2000 යන ඉසව් ජයගෙන ඇත. දැනට මනා සෞඛ්‍ය සම්පන්නව සිටින මෙම ක්‍රීඩකයා තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ආදර්ශයකි.
උපනන්ද ජයසුන්දර - මහනුවර ක්‍රීඩා විශේෂ වාර්තාකරු