ලේටන් කුසලාන බොක්සිං තරගාවලිය | Page 3 | සිළුමිණ

ලේටන් කුසලාන බොක්සිං තරගාවලිය

ලේටන් කුසලාන බොක්සිං තරගාවලියේ හොඳම බොක්සිං ක්‍රීඩකයා ලෙස සංජීව බණ්ඩාර රාජකරුණා සම්මාන ලැබූ අතර වඩාත්ම විද්‍යානුකූල බොක්සිං ක්‍රීඩිකා සම්මානය හිමිකරගත්තේ නදීකා රණසිංහ විසිනි.

පසුගිය දා කොළඹ රාජකීය විදුහල් එම්.ඒ.එස්. ගෘහස්ථ ක්‍රීඩාගාරයේ ලේටන් කුසලාන සංවිධානය කර තිබුණේ 80 වැනි වතාවටය. වසර දෙකකට පසු බොක්සිං සංගමය විසින් සංවිධානය කළ ප්‍රධාන බොක්සිං තරගාවලිය මෙය වූ අතර ඊට බලපා තිබුණේ කොවිඩ් වසංගත තත්ත්වයයි. මෙම තරගාවලිය සැලකුණේ බර්මිංහෑම් පොදුරාජ්‍ය මණ්ඩලයීය තරගාවලිය වෙනුවෙන් පැවැත්වෙන දෙවැනි තේරීම් තරගය ලෙසය.

ලයිට් වෙල්ටර් වේට් බර පංතිය යටතේ පැවැති තරගයේ දී දිනිඳු සපරමාදු අනපේක්ෂිත ආකාරයෙන් පරාජය කළ සංජීව රාජකරුණා එම බර පංතියේ ශූරතාව දිනා ගැනීම වඩාත් කැපී පෙනෙන සිදුවීමක් විය. කාන්තා අංශයේ ලයිට් ෆ්ලයි බර පංතියේ අවසන් තරගයේ දී විද්‍යාර්ථ බොක්සිං ක්‍රීඩා සමාජයේ නදීකා රණසිංහ යුද හමුදා ක්‍රීඩා සමාජය නියෝජනය කළ සඳුනි ප්‍රියදර්ශනී පරාජය කරමින් හොඳම විද්‍යානුකූල බොක්සිං ක්‍රීඩිකාවට හිමි සම්මානය දිනාගත්තා ය. ඒ අනුව සඳුනි ප්‍රියදර්ශනීට දක්ෂතම පරාජිත ක්‍රීඩිකාවට හිමි සම්මානය පිරිනැමිණි.

පිරිමි අංශයේ හොඳම පරාජිතයා වූයේ නාවික හමුදාවේ ඩී.එල්.පී.ආර්. කුමාර ය.

තරග ප්‍රතිඵල

සුපර් හෙවිවෙට් -(කි.ග්‍රෑ. 92 ට වැඩි) ඒ.ආර්.බී.ඊ තිලකරත්න (යුද හමුදාව) ශූරතාව දිනාගත්තේ එම්.ඩබ්ලිව්.එම්.එම්. මීගස්තැන්න (ගුවන් හමුදාව) 5-0 ක් ලෙස පරාජය කරමිනි, හෙවිවේට්- (කි.ග්‍රෑ.- 92 ට අඩු) පී.ඒ.ආර්.එස්. රූපසිහං (යුද හමුදාව) විසින් යුදහමුදාවේ අයි.ඩී.ඩී.එස්.ඩබ්ලිව්. වෛද්‍යරත්න 3-2 ක් ලෙස පරාජය කළේ ය, කි.ග්‍රෑ. 86 බර පංතියේ වයි.එස්.පී. සුදම්ම (යුද හමුදාව) විසින් යුද හමුදා පාපන්දු සමාජයේ එච්.ආර්.සී.එන්. බණ්ඩාර (යුද හමුදාව) 5-0 ක් ලෙස පරාජය කළා. ලයිට් හෙවි වෙට් (කි.ග්‍රෑ. 80 ට අඩු) ශ්‍රී ලංකා පොලීසියේ එච්.ඩබ්ලිව්. රත්නසිරි විසින් 4-1 ක් ලෙස යුද හමුදාවේ ඩබ්ලිව්.ඒ.ආර් සඳකැළුම් පරාජය කළේ ය. මිඩ්ල් වෙට් ඉසව්වේ ඩබ්ලිව්.එම්.ජී.කේ.ජී.අයි. ආරියරත්න විසින් ගුවන් හමුදාවේ ඩබ්ලිව්.ජී.එන්.සී. විජේනාග 5-0 ක් ලෙස පරාජය කළේය. ලයිට් මිඩ්ල් බර පංතියේ දී යුද හමුදාවේ වී. නිකලස් විසින් ගුවන් හමුදාවේ ජේ.ඒ.ජී. මදුරංඛ පරාජය කළේ 5-0 ක් ලෙසය. වෙල්ටර් වෙට් බර පංතියේ අයි.පී.ඩී.සී. උදයකුමාර (ගුවන් හමුදා) විසින් යුද හමුදාවේ පී.එම්.එල්.එල්. චන්ද්‍රබණ්ඩාර 4-1 ක් ලෙස පරාජය කළේ ය. ලයිට් වෙල්ට් බර පතංතියේ දී ආර්.ඩබ්ලිව්.එම්.එස්.බී. රාජකරුණා (යුද හමුදාව) විසින් ඩී.එල්.පී.ආර්. කුමාර (නාවික හමුදාව) 3-2ක් ලෙස පරාජය කළේ ය. ලයිට් බර පංතියේ දී එන්.බී.ඒ.ජේ. විමුක්ති කුමාර (යුද හමුදාව) විසින් පී.පී.එස්. සිරිවර්ධන (යුද හමුදාව) 5-0 ක් ලෙස පරාජය කළේ ය. ෆෙදර් බර පංතියේ ඩබ්ලිව්.ආර්.ටී. වීරක්කොඩි (යුද හමුදාව) විසින් ටී.ජී. ජිනදාස (කිංග්ස්වුඩ් බොක්සිං සමාජය) 3-2 ක් ලෙස පැරදවීය. බැන්ටම් බර පංතියේ දී යුදහමුදාවේ පී.ඒ.ආර්. ප්‍රසන්න විසින් නාවික හමුදාවේ කේ.එච්. නවෝද් පරාජය කළේ විනිසුරු තරගය නතර කිරීමත් සමඟය. ෆ්ලයි බර පංතියේ දී යුද හමුදාවේ එම්.වී.අයි.ආර්.එස්. බණ්ඩාර විසින් ආර්.එම්.පී. ධර්මසේන (යුද හමුදාව) 4-1 ක් ලෙස පරාජය කළේය. අවම බරපංතියේ තරගයෙන් යුද හමුදාවේ එම්.පී.ජී. සුජීව නුවන් විසින් විද්‍යාර්ථ ක්‍රීඩා සමාජයේ ජී.පී.යූ. මිහිරාන් පරාජය කළේ 4-1 ක් ලෙසිනි.

කාන්තා ප්‍රතිඵල - ලයිට් බර පංතිය කේ.ඒ.ජී.එන්. කළුආරච්චි (ගුවන් හමුදාව) විසින් ජී.ජී.ඒ.එම්. ජයසිංහ පරාජය කළාය. ෆෙදර් බර පංතියේ දී එම්.පී.එස්.එස්. කුරේ (ගුවන් හමුදාව) විසින් බී.යූ සෙව්වන්දි පරාජය කළාය. බැන්ටම් බරපංතියේ දී කේ.කේ.අයි.ටී. පෙරේරා (ගුවන් හමුදාව) විසින් එම්.ජී.එම්.ටී. ධනුෂ්කි (යුද හමුදාව) පරාජය කළා ය. ලයිට් බර පංතියේ දී ආර්.ඒ.එන්. පුෂ්පකුමාරි (විද්‍යාර්ථ ක්‍රීඩා සමාජය) විසින් එච්.එස්. ප්‍රියදර්ශනී (යුද හමුදාව) පරාජය කළා ය.



ඡායාරූප - ජගත් ඉරෝෂණ

 

Comments