රුසියානු කෝටිපතියා පවුම් බිලියන තුනකට චෙල්සී පාපන්දු සමාජය විකුණන්නේ සම්බාධකවලට බියෙන් ද? | Page 3 | සිළුමිණ

රුසියානු කෝටිපතියා පවුම් බිලියන තුනකට චෙල්සී පාපන්දු සමාජය විකුණන්නේ සම්බාධකවලට බියෙන් ද?

වර්ග භේදයක් නැතිව රුසියානු - යුක්‍රේන යුද්ධයෙන් පීඩා විඳින්නන්ට ආධාර කරනවා
- රොමාන් ඇබ්රාමොවිච් කියයි

යුක්‍රේනය ආක්‍රමණය කළ රුසියානු හමුදාවට මුදල් දෙන්න යැයි ‘ද සන්’ පුවත්පතෙන් චෝදනාවක්

‘රුසියාව හා යුක්‍රේනය අතර පවතින යුද්ධය ලෝකයම උණුසුම් කර ඇත. එය සමස්ත ලෝකයේ ම බල තුලනය වෙනසකට භාජනය කර ඇති අතර ඔවුන් අතර ක්‍රියාත්මක යුද්ධය හේතුවෙන් පීඩාවට පත්ව ඇති ක්ෂේත්‍ර ගණනාවකි. ලෝකයේ ක්‍රීඩා ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ද ඇති වූ වෙනස්කම් අතිවිශාල ය. මේ රුසියානු - යුක්‍රේන යුද්ධය පාපන්දුව අරභයා බලපා ඇති ආකාරය ය.‘

රොමාන් ඇබ්රාමොවිච් (Abramovich) යනු රුසියානු කෝටිපතියෙකි. රූබල් කඳු ඔහුගේ වත්කම ලෙස සඳහන් ය. යුරෝපයේ අතිශය ජනප්‍රිය පාපන්දු සමාජයක් වන චෙල්සි පාපන්දු සමාජයේ හිමිකරුවා වනුයේ ද ඔහු ය. පසුගිය දා විදෙස් පුවත් වාර්තා කළේ ඇබ්රාමොවිච් සිය හිමිකම යටතේ ඇති චෙල්සි පාපන්දු සමාජය අලෙවි කර දමන්නට යන බව ය. ඒ සඳහා ඔහු ලන්ඩනයේ වානිජ අධිකරණය හමුවට පැමිණි බව අන්තර්ජාතික මාධ්‍ය සඳහන් කර තිබුණේ ය.

‘මම මගේ හිමිකම යටතේ ඇති පාපන්දු සමාජය අලෙවි කරලා ලැබෙන මුදල් යුක්‍රේනය තුළ ඇවිලෙන යුද්ධයෙන් පීඩාවට පත්වන්නන් උදෙසා සහන සලසන්න අරමුදලක් පිහිටුවනවා.‘ ඇබ්රාමොවිච් ප්‍රකාශ කර තිබුණේ මේ අතරේ ය. එහෙත් එය අසත්‍යයක් බව පවසන්නේ බ්‍රිතාන්‍යයේ පළ කෙරෙන ‘ද සන්‘ පුවත්පතයි.‘ 

‘ඒ මුදල් ඔහු යොදවන්නේ රුසියානු හමුදාව වෙනුවෙන්. ව්ලැඩ්මීර් පුටින්ගේ හිතවත්කම් මත ඔහු ඒ විධිහට හැසිරෙනවා. ඔහු කියන දේ අපිට විශ්වාස කරන්න බෑ.‘ යැයි පුවත්පත ප්‍රකාශ කර තිබිණි.

මීට වසර දහනවයකට පෙර රොමාන ඇබ්රාමොව්ච් චෙල්සි පාපන්දු සමාජය මිලට ගත්තේ ය. දැනට පනස් පස් වියැති හේ රුසියාවේ මෙන්ම ලෝක තලයේ ද අති ශූර ව්‍යාපාරිකයකු ලෙස ප්‍රකට ය.

මෙම ක්‍රීඩා සමාජය මිලට ගැනීම සඳහා ස්විස් ජාතික ප්‍රකෝටිපතියකු වන හැන්ජෝර්ග් වයර්ස් කැමැත්ත දක්වා තිබිණි. කෙසේ නමුත් එය පුද්ගලකිව තමන් පමණක් නොව තවත් හවුල්කරුවන් කීප දෙනෙකු සමඟ බව ද ඔහු පවසා තිබිණි.

‘ඇබ්රාමොවිච් එංගලන්තයේ තියෙන ඔහුගේ සියලුම මන්දිර විකුණා දමමින් ඉන්නවා. ඒ අතරම චෙල්සී ක්‍රීඩා සමාජයෙනුත් ඔහුට කඩිනමින් නිදහස් වෙන්න අවශ්‍ය වෙලා තිබෙනවා. මටත් තවත් තුන්දෙනෙකුට ත් චෙල්සි පාපන්දු සමාජය මිල දී ගන්න කියලා ඔහුගෙන් ආරාධනාවක් ලැබුණා.‘ ස්විස් ප්‍රකෝටිපතියා පසුගිය දා මාධ්‍ය වෙත පවසා තිබුණේ ය.

රුසියානු ප්‍රකෝටිපතියා බටහිර ලන්ඩනයේ ක්‍රීඩා සමාජය 2003 වසරේ දී මිලදී ගැනීමෙන් අදාළ ක්‍රීඩා සමාජය සුවිශාල වර්ධනයක් පෙන්නුම් කළේ ය. එම සාර්ථකත්වය කොතරම් ප්‍රබල ද යත් එම ක්‍රීඩා සමාජය ගෙවුණු වසර දහ නවය තුළ දිනා ගත් ශූරතා ප්‍රමාණය 21 කි. ඒ අතර ප්‍රමුඛ පෙළ ශූරතා 5 ක්, එෆ්.ඒ. කුසලාන 5 ක්, ලීග් කුසලාන 3 ක්, ලීග් ශූරතා 2 ක්, යුරෝපා ලීග් ශූරතා 2 ක්, යූ.ඊ.එෆ්.ඒ. සුපර් කුසලානයක්, ෆිෆා ක්‍රීඩා සමාජ ලෝක ශූරතාවක්, කොමියුනිටි ශූරතා දෙකක් ආදී වශයෙන් ඒවා බෙදී ගොස් ඇත. ඉන් පෙනී යන්නේ ඔහුගේ හිමිකාරිත්වය යටතේ යුරෝපා පාපන්දුවේ ජයගත හැකි සෑම තරගාවලියක්ම එකවරක් හෝ ජයගැනීමට චෙල්සි පිල සමත්ව ඇති බවයි.

ඇබ්රාමොවිච් විසින් හිමිකම පවරා ගැනීමෙන් අනතුරුව චෙල්සි කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරනු ලබන ක්‍රීඩකයන් උදෙසා ද සුවිශාල ගෙවීම් සිදු කරනු ලැබුණේ ය. එලෙස ගෙවන ලද මුදල් ප්‍රමාණය පවුම් බිලියන 2.1 ක් බව ප්‍රකාශිත ය.

තම කණ්ඩායම වෙනුවෙන් ලෝකයේ සුපිරි පාපන්දු තරු මිල දී ගැනීමට මෙන්ම ඔවුන් ඉහළ ලංසුවකට විකුණා දමමින් මූල්‍ය ලාභ ඉපැයිමට ද චෙල්සි පිල කටයුතු කරනු ලැබූවේ ඔහුගේ හිමිකාරිත්වය යටතේ ය. ඉන්ටර් මිලාන් පාපන්දු කණ්ඩායමේ සිට රොමෙලු ලුකාකු පවුම් මිලියන 98 ක් වැනි මුදලකට මිල දී ගත් අතර කායි හැවර්ට්ස් මිල දී ගත්තේ පවුම් මිලියන 89කට ය. කෙපා ඇරිෂාබැලගා පවුම් මිලියන 72කට ද අල්වාරෝ මොරාටා පවුම් මිලියන 70කට ද මෙලෙස ඉහළ මිලක් ගෙවා මිල දී ගත් ක්‍රීඩකයෝ කීප දෙනෙකි.

පසුගිය කාලයේ එලෙස මිල දී ගත් ක්‍රීඩකයන් අලෙවි කිරීමෙන් ආසන්න වශයෙන් පවුම් බිලියන 1.16ක මුදලක් උපයා ගැනීමට චෙල්සි කළමනාකාරිත්වය සමත් වූ බව කියැවෙයි. එයින් කියැවෙන්නේ රුසියානු හිමිකරුවා යටතේ ඔවුන් ලබාගත් සාර්ථකත්වයේ ස්වභාවය යි. 

එසේම උපක්‍රමශීලීව ක්‍රීඩකයන් මිල දී ගනිමින් හා අලෙවි කරමින් ශූරතා දිනාගනිමින් හා ඉහළ ලංසූන්ට අනුග්‍රාහක ගිවිසුම් අත්සන් කරමින් වැඩිකරගත් ප්‍රාග්ධන සංචිත චෙල්සි පාපන්දු සමාජය යුරෝපා පාපන්දු ලෝකයේ ශක්තිමත් හා ධනවත්ම කණ්ඩායමක් බවට පෙරළනු ලැබිණි. මෙම ගමන පැමිණෙද්දී ලෝකය පිළිගන්නා පාපන්දු කළමනාකරුවන් රැසක් කිසිදු අනුකම්පාවකින් තොරව ඉවත් කිරීමට ද කටයුතු කළ ඉතිහාසයක් ඇබ්රාමොවිච්ගේ හිමිකාරිත්වය යටතේ සොයා ගත හැකි ය. ක්ලෝඩියෝ රැනෙරි, ජෝස් මෞරිනෝ, එව්රම් ග්‍රාන්ට්, ලුයිස් ෆෙලිපේ ස්කොලාරි සහ ගස් හිඩින්ක් වැන්නවුන් එලෙස එහි කළමනාකාරිත්වය දැරූවෝ වෙති. වර්තමානයේ එහි කළමනාකරුවා වනුයේ තෝමස් ටුචෙල් ය.

ඇබරාමොවිච් ඊශ්‍රායලයේ හා පෘතුගාලයේ ද පුරවැසි භාවය හිමිකරුවෙකි. එසේම ඔහු රුසියාවේ සිටින වඩාත් බල සම්පන්න ව්‍යාපාරිකයෙකි. ඔහු මෙතරම් ධනවතකු බවට පත්වුණේ සෝවියට දේශය බිඳවැටුණු පසු ය යන්න පිළිගැනීමයි. ඇබ්රාමොවිච්ගේ දළ වත්කම අමරිකානු ඩොලර් බිලියන 13.3 ක් ලෙස පැවසීමෙන් ඔහු කොතරම් සුවිශාල ධනවතෙක් ද යන්න අවබෝධ කර ගත හැකි ය.

හිමිකාරිත්වය අලෙවි කරන්නේ ඇයි?

ඇබ්රාමොවිච් මෙලෙස චෙල්සි කණ්ඩායම අලෙවි කරන්නේ ඇයි? රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීම හේතුවෙන් රුසියානු ව්‍යාපාරිකයන්ට යම් යම් සම්බාධක පැනවීමේ ඉඩකඩක් ගොඩනැංවෙමින් ඇතැයි වාර්තා වීම ඊට හේතුවය. බ්‍රිතාන්‍යය තුළ එම රජයට එල්ල වන පීඩනයන් සමහන් කරගැනීම පිණිස මෙලෙස ඇතැම් රුසියානු ව්‍යාපාරිකයන් සතු වත්කම් සඳහා බ්‍රිතාන්‍ය සම්බාධක පැනවීමට මෙන්ම ඒවා අත්පත් කරගැනීමේ අවධානනමක් ඇතැයි ද රාවයක් මේ වනවිට සමාජගතව ඇත. එහිදී ඇබ්රාමොවිච් සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුවන්නේ ඔහු රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින්ගේ හිතවතකු වීමය. ඒ අනුව අදාළ සම්බාධ පැණවීමේ දී දැඩි හානි සිදුවිය හැකි ව්‍යාපාරිකයකු ලෙස ඇබ්රාමොවිච් සැලකිය හැකිය. ඊට සූදානම් වීමක් වශයෙන් හා එවැනි තත්ත්වයක් අරභයා ගන්නා උපක්‍රමික සැලසුමක් ලෙස ඇබ්රාමොවිච් වැනි ධනවතුන් බටහිර රටවල ඇති තම වත්කම් අලෙවි කරමින් සිටින්නේ යැය විශ්වාස කෙරේ. කෙසේ නමුත් එය රුසියානු - යුක්‍රේන යුද්ධය ක්‍රීඩාවට බලපා ඇති ආකාරය ලෙස දැක්විය හැකිය.

කාන්ති ජයසිංහ

Comments