සෘජු හා වක්‍ර සම්මාන පිරුණු විශිෂ්ට සම්මාන උලෙළ | Page 3 | සිළුමිණ

සෘජු හා වක්‍ර සම්මාන පිරුණු විශිෂ්ට සම්මාන උලෙළ

 

පසුගිය අඟහරුවාදා ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම පාසල් ක්‍රිකට් සම්-මාන උලෙළ පැවැත්වුණේ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී ය. හතළිස් තුන්වැනි වතාවටත් සංවිධානය කෙරුණු එම සම්මාන උලෙළ 'ඔබ්සර්වර්-එස්එල්ටී මොබිටෙල්' වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා සඳහා වන සම්මාන උලෙළ ය.

පාසල් ක්‍රිකට් ක්‍රීඩාවේ නියැළුණු දහස් ගණනක් වූ ක්‍රිකට් ක්‍රීඩක, ක්‍රීඩිකාවන් අරභයා ජාතික වශයෙන් සිදුකරන පළමු හා වඩාත් සාධාරණ ඇගයීම ලෙස සැලකෙන්නේ මෙම සම්මාන උලෙළ ය. එම සම්මාන උලෙළේ දී ක්‍රීඩකයනට ලබාදෙන අතිවිශිෂ්ට සම්මානවලට අතිරේකව තවත් වක්‍ර සම්මාන රැසක් ද නිරායාසයෙන් පිරිනැමුණු බව කිවයුතු ය. එහි පළමු වැන්න කොවිඩ් ව්‍යසනයෙන් ලෝකය වෙළාගෙන තිබිය දී ත් මෙම විශිෂ්ට සම්මාන උලෙළ අඛණ්ඩව සංවිධානය කිරීමට ඉදිරිපත්වීම උදෙසා ඔබ්සර්වර් පුවත්පතට හා ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමට හිමිවිය යුතු සම්මානයයි. එම සම්මානයට සමගාමීව එස්එල්ටී මොබිටෙල් සමාගමට ද සම්මානයක් හිමිවන බව පැවසිය යුතු ය. ඒ මෙවැනි ව්‍යසනයකින් හෙම්බත්ව සිටිය දී ඊට සුපුරුදු හා නොමසුරු අනුග්‍රාහකත්වය පිරිනැමීමට ඉදිරිපත්වීම හේතුවෙනි.

එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම මෙම සම්මාන උලෙළ සංවිධානය කිරීමේ දී තවත් ගෞරවණීය සම්මානයකට උරුමකම් කීවේ ය. ඒ එහි ප්‍රධාන ආරාධිතයා තීරණය කිරීමේ දී කිසිදු දේශපාලන සැලකීමකින් තොරව සිදුකිරීමට උත්සුක වීම හේතුවෙනි. අප එසේ කියන්නේ මෙවර ඒ සම්මාන උලෙළේ ප්‍රධාන ආරාධිතයා ලෙසින් සහභාගි වූයේ මෑතක් වනතුරු ම ආණ්ඩු පාර්ශ්වයට ප්‍රතිවිරුද්ධ දේශපාලනයක නිරතව සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන අර්ජුණ රණතුංගයන් බව සලකද්දී ය. කෙසේ නමුත් ඔහුට මේ සඳහා ආරාධනා කර තිබුණේ මෙරට පහළ වූ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයකු හා ශ්‍රී ලංකාව බිහිකළ අතිවිශිෂ්ට ක්‍රිකට් නායකයා ලෙස ය.

ක්‍රීඩාව යනු නිර්දේශපාලනික කොදෙව්වක් වන්නා සේ ම ප්‍රධාන ආරාධිතයාගේ දේශපාලන විශ්වාසයන් සම්බන්ධයෙන් කිසිදු තක්සේරුවක් සිදු නොකරමින් මෙම සම්මාන උලෙළ වෙනුවෙන් ඔහුට ආරාධනා කිරීමට තරම් පුළුල් පරිචයක් එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම සතුව පැවතීමත් නිසැකවම සම්මානයට ලක්විය යුතු ය. එසේ ම එහි දී මෙම සම්මාන උලෙළේ ප්‍රධාන ආරාධිතයා ද වක්‍ර සම්මානයකට උරුමකම් කීවේ ය. ඒ තමන්ගේ සහභාගිත්වය කවර කරුණක් අරභයා ද යන්න මනාව තේරුම් ගනිමින් සබුද්ධිකව කටයුතු කරමිනි.

ඔහු ප්‍රධාන ආරාධිතයා වශ-යෙන් ඉදිරිත් කළ දේශනයේ දී දේශපාලන සන්දර්භය මූලික කර ගන්නට කිසිසේත් උත්සුක වුණේ නැත. වෙ‍ෙනකක් තබා ක්‍රීඩාවේ දේශපාලනය සම්බන්ධයෙන් වුව ඔහු අදහස් දැක්වූයේ ඉතා අඩුවෙනි. ප්‍රධාන ආරාධිතයා වශයෙන් ඔහු එහි දී කතාකළේ තමන් සහභාගි-වන සම්මාන උලෙළේ වැදගත්කම සම්බන්ධව ය. එය ද ප්‍රශංසනීය ය.

කොටින්ම කියන්නේ නම් විශිෂ්ට සම්මාන උලෙළක් තුළ තවත් අනු සම්මාන රාශියක් බෙදී ගිය අපූරු සම්මාන උලෙළක් ලෙස 'ඔබ්සර්වර්-එස්එල්ටී මොබිටෙල්' සම්මාන උළෙල දැක්විය හැකි ය. හතළිස් තුනක් වසරක් තිස්සේ පාසල් ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් අඛණ්ඩව සංවිධානය කරන මෙරට විශිෂ්ටතම ක්‍රීඩා සම්මාන උළෙල ලෙස 'ඔබ්සර්වර්-එස්එල්ටී මොබිටෙල් සම්මාන' උලෙළ ගෞරවාර්ථයට ලක්වන්නේ මෙකී සියලු කරුණු සමෝධානික කර බලන විට ය.

 

Comments