දෙවරක් සම්මානයට පාත්‍රවීම දැඩි සතුටක් | Page 3 | සිළුමිණ

දෙවරක් සම්මානයට පාත්‍රවීම දැඩි සතුටක්

 

දශක 4ක කාලයක් පුරාවට මෙරට දක්ෂ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයින් අගැයීමට ලක්කළ සන්ඩේ ඔබ්සර්වර් - එස්එල්ටී මොබිටෙල් පාසල් ක්‍රිකට් සම්මාන ප්‍රදානයේ 43වැනි පියවර පසුගිය දා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී අති උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.

එහි දී වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස පිට පිට දෙවැනි වරටත් ගාල්ල මහින්ද විද්‍යාලයේ නවෝද් දිනුශ්‍රී පරණවිතාන අභිෂේක ලැබී ය.

තම පිත්තෙන් හා පන්දුවෙන් පාසල් මාතාවට නිරන්තරයෙන් ම කීර්තියක් අත්කර දී ඇති නවෝද් දිනුශ්‍රී පරණවිතාන මෙලෙසින් සම්මාන ලැබුවේ එම සම්මානය හිමිකර ගත් පළමු මිහිඳු පුත්‍රයා බවට පත් වෙමින් වීම ද විශේෂත්වයකි. මේ ‘ක්‍රීඩා’ පුවත්පත නවෝද් හා පැවැත් වූ කෙටි සංවාදයකි.

නවෝද් කොහොම ද ක්‍රිකට් ක්‍රීඩාවට යොමු වුණේ ?

මම පළමුවෙන් ම ක්‍රීඩා කළේ පාපන්දු ක්‍රීඩාව. ඒ නිශාන්ත අක්මීමන සර් යටතේ යි. මම පාපන්දු පුහුණුවීම් කරන අතරතුර දී පිට්ටනියේ පැත්තක ක්‍රිකට් ක්‍රීඩා කළා. ඒක අපේ සාමාන්‍ය පුරුද්දක්. මගේ අයියා බිනෝද් තමයි ඒ කාලේ අපේ පවුලෙන් පාසල් ක්‍රිකට් ක්‍රීඩාවට යොමුවෙලා සිටියේ. කොහොම හරි මම පන්දු යවනවා දැකලා මගේ තාත්තා මගේ ක්‍රීඩා රටාව දිහා බලාගෙන සිටියා. එහෙම ඉඳලා දවසක් ඔහු මගෙන් ඇහුවා ක්‍රිකට් ගහන්න කැමති ද කියලා. මම කැමැතියි කිව්වා. පාසලේ 6 පංතියේ ඉන්න කොට තමයි මම ඒ විධිහට ක්‍රිකට් ක්‍රීඩාවට යෙමුවුණේ. මගේ තාත්තාත් මහින්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක්. ඔහුත් පාසලේ දී ක්‍රිකට් ක්‍රීඩා කරලා තිබුණා. ඒ නිසා තමයි මාව ක්‍රිකට් ක්‍රීඩාවට යොමු කළේ.

ඔබ ක්‍රිකට් ක්‍රීඩාවෙන් ලැබූ ජයග්‍රහණ ගැන කතා කරන්න කැමතියි.

2015 වසරේදී 13න් පහළ ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරමින් මම ලකුණු 1182 ක් රැස් කළා. ඒක තමයි අවුරුදු 13න් පහළ ක්‍රීඩකයකු තරගවාරයක දී රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව. 2015 වසරේ පැවැති 13න් පහළ තරගාවලියේ දක්ෂතම පිතිකරු සහ දක්ෂතම ක්‍රීඩකයා ලෙස සම්මාන ලැබුවෙත් මම. මගේ නායකත්වය යටතේ 13න් පහළ අනු ශූරතාව දිනාගන්න පුළුවන් වුණා. අවුරුදු 15න් පහළ වයස් සීමාවේ දී ත් මම පිතිකරුවෙක් විධිහට ලකුණු 1023 ක් රැස් කළා. ඒ 2017 වසරේ දී. ගාල්ල දිස්ත්‍රික් සහ දකුණු පළාත් 15න් පහළ ක්‍රිකට් කණ්ඩායම් නියෝජනය කරන්න මට හැකි වුණා. 2018 වසරේ දී ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට තේරුණා. එතැන ඉඳලා තරගාවලි රැසකට සහභාගි වෙන්න ලැබුණා. තරගාවලි කිහිපයක දී ම සම්මාන ලැබුවා.

2019/20 පාසල් ක්‍රිකට් තරගවාරයේ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයට එරෙහිව ලකුණු 409 ක් රැස් කළා. ශ්‍රී ලංකාවේ පාසල් ක්‍රීඩකයකු ඉනිමක දී රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව බවට එය වාර්තාගතයි. වයස අවුරුදු 13 න් පහළ අවසන් වසරේ දී විද්‍යාලයීය පළමු පෙළ ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරමින් මහා ක්‍රිකට් තරගයේ දී ක්‍රීඩා කරන්න ලැබුණා. එතකොට මගේ වයස අවුරුදු 13 යි මාස 10 යි.

ඔබේ පෞද්ගලික තොරතුරු ගැන කතාකරමු?

මම ඉන්නේ ගාල්ලේ ඇත්තලිගොඩ. මම තමයි පවුලේ දෙවැනියා. අම්මයි, තාත්තයි, අයියයි, මල්ලියි තමයි අපේ පවුලේ ඉන්නේ. මගේ තාත්තා විශ්‍රාමලත් හමුදා නිලධාරියෙක්. මගේ ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය සහාය ගෙදර හැමෝගෙන්ම ලැබෙනවා. ගෙදර හැමෝ ම මගේ ක්‍රීඩා කටයුතු වෙනුවෙන් විශාල කැප කිරීමක් කළා. ලංකාවේ දී මම සෙල්ලම් කළ හැම තරගයක් ම වගේ මගේ තාත්තා බලන්න ඇති. අන්තිමට මගේ ක්‍රිකට් ජීවිතය වෙනුවෙන් අයියා එයාගේ ක්‍රිකට් ජීවිතය කැප කළා.

ඒ ඇයි?

එකම පවුලේ දෙන්නෙක්ට ක්‍රිකට් ගහන්න මුදල් වැය කරන්න අසීරුයි. ඒක අපි වගේ පවුලකට ගොඩාක් අමාරුයි. ඒ නිසා තාත්තා මාව ක්‍රිකට් වලට යොමුකරලා ඉදිරියට යද්දී අයියා ස්වේච්ඡාවෙන් ඒ තීරණයට එළැඹුණා. මම ඒ වගේ සහෝදරත්වයෙන් පිරුණු සහෝදර, සහෝදරියන් එක්ක ජීවත්වෙන්නේ. අපි ආදරණීය පවුලක්. මට ඒ ගැන ආඩම්බරයි.

ඔබේ ක්‍රිකට් තොටිල්ල වන පාසල සම්බන්ධව කතා කරනවා නම් ?

මම පළමු ශ්‍රේණියේ සිට ඉගෙන ගන්නේ ගාල්ල මහින්ද විද්‍යාලයේ. ක්‍රිකට් ක්‍රීඩාව ආරම්භ කළ දවසේ සිට මේ දක්වා පාසලෙන් මට විශාල සහයෝගයක් ලැබුණා. පාසල් පිල නියෝජනය කරමින් තරගවලට සහභාගිවීමත්, දිනපතා පුහුණු-වීම්වලට සහභාගි වුණු නිසා පාසල් යාමට ලැබුණේ බොහොම අඩුවෙන්. හිටපු විදුහල්පති ගාමිණි ජයවර්ධන සර් ඇතුළු ගුරු මහත්ම-මහත්මීන් සියලු දෙනාගෙන් ම ලොකු සහයෝගයක් ලැබුණා. මෙවර උසස් පෙළ විභාගයට කලා අංශයෙන් පෙනී සිටීමට සූදානම් වෙනවා. මඟහැරුණු පාඩම් වැඩ වලට ගුරුවරුන් මට විශාල සහායක් ලබාදුන්නා. වත්මන් විදුහල්පති අතුල විජේවර්ධන සර් ඇතුළු ගුරු භවතුන් සියලු දෙනාගේ ම ආශිර්වාදය මට ලැබෙනවා.

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට එක්වීමට ලැබීම සම්බන්ධයෙන් කතා කරන්න කැමතියි.

මම පාසල් ක්‍රිකට් තරගාවලිවල දී දැක්වූ දස්කම් නිසා පළාත් කණ්ඩායමටත්, ටැමිල් යූනියන් කණ්ඩායමටත් ක්‍රීඩා කරන්න ලැබුණා. ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් පිල නියෝජනය කළා. එහිදී මට පුළුවන් වුණා ලකුණු අතරට යන්න. එල්.පී.එල්. තරගාවලියටත් මා තෝරාගත්තා.

මේ දක්වා ක්‍රිකට් ක්‍රීඩකයෙක් වශයෙන් ඔබ සංචාරය කළ රටවල් සම්බන්ධයෙනුත් යමක් කතා කරමු ද?

ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ කණ්ඩායමට එක්වුණාට පසුව බංග්ලාදේශය, බටහිර ඉන්දීය කො-දෙව් සහ දකුණු අප්‍රිකාව යන රටවල පැවැති තරගාවලීන්ට සහභාගි වුණා. 2020 යොවුන් ලෝක කුසලාන තරගාවලියේ දි තමයි අවසන් වරට තරග සංචාරයකට එක්වුණේ. පළමුවැනි ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියට කලම්බු කිංග්ස් සංචිතයට එක්වෙන්න ලැබුණා.

මේ ගමන එන්න උදව් කළ අය සම්බන්ධයෙන් සිහිපත් කරන්න ඔබට මෙය අවස්ථාවක් කර ගත හැකි යි.

ගාල්ල මහින්ද විද්‍යාලයේ හිටපු විදුහල්පති ගාමිණි ජයවර්ධන සර්, ක්‍රිකට් භාර ආචාර්යවරුන් ලෙස කටයුතු කළ වසන්ත ගම්මුදුවත්ත සර්, අරවින්ද රත්නායක සර්, වත්මන් ක්‍රිකට් භාර ආචාර්ය වයි. නිශාන්ත කුමාර සර්, ඇතුළු සමස්ත ආචාර්ය මණ්ඩලයම මට උදව් කළා. විශේෂයෙන් ම ආදි ශිෂ්‍ය නලීන් හේරත්, ආදි ශිෂ්‍ය අතීල් ගුණසේකර (ඔස්ට්‍රේලියාව) ඇතුළු ආදි ශිෂ්‍යයින් රාශියක් මට පෞද්ගලිකව උදව් කළා.

මගේ පළමු පුහුණුකරු වුණේ ලකී අරඹවෙල සර්. ඒ පාසලේ ක්‍රිකට් ඇකඩමියේ. රොඩ්නි ප්‍රදීප් සර්, සුනෙත් කුඩාහෙට්ටි, ධනුෂ්ක දෙනගම, අනිල් රිදීගම්මනගෙදර සහ යොමාල් සංජීව යන පාසල් පුහුණුකරුවන් මෙන්ම ශ්‍රී ලංකා යොවුන් පිලේ පුහුණුකරුවන්, දිස්ත්‍රික් සහ පළාත් පුහුණුකරුවන් සහ ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජයේ ප්‍රධාන පුහුණුකරු රුවන් කල්පගේ ඇතුළු පුහුණුකරුවන්, කළමනාකාරීත්වය මගේ මේ ගමනට උදව් වුණා.

බොහෝ ආදි ශිෂ්‍යයින්, ආදි ශිෂ්‍ය සංගම්, ක්‍රීඩකයින්, ඔවුන්ගේ දෙමව්පියන් සහ මගේ නෑදෑයින් ඒ වගේ ම මට උදව් කළා. මේ දක්වා සමස්ත මහින්ද ප්‍රජාවට ම මගේ ස්තූතිය පිරිනමනවා.

අනාගත බලාපොරොත්තු ?

අන්තර් සමාජ මට්ටමේ දී දස්කම් දක්වා නුදුරේ දී ම ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට එක්වීම තමයි මගේ ප්‍රධාන ම බලාපොරොත්තුව. ඒ වගේම රටට උපරිමයෙන් ක්‍රීඩකයෙක් වශයෙන් ජයග්‍රහණ ලබාගන්න උදව් කරන එකත් අරමුණක්.

ඡායාරූප - ජගත් ඉරෝෂණ

 

Comments