
‘අධිරාජ්‍ය බිඳීම ලෙහෙසි නැත. බිඳීමට තබා අධිරාජ්‍යයක් තුළට එම අධිරාජ්‍යයේ සාමාජිකයකු නොවන්නේ නම් ඇතුළුවීමට ද අසීරු ය. එහෙත් උනන්දුව හා අධිෂ්ඨානයට උපයෝගී කරගනිමින් මිනිසුන්ට කළ නොහැක්කක් ද නැත. අබිබේ බිකිලා එවැන්නෙකි.’
බොහෝ කලක් ඉක්ම යනතෙක් ලොවම එක්තැන් වන ඔලිම්පික් තරගාවලියේ විරුවන් බවට පත්ව සිටියෝ සුදු ජාතිකයෝ ය. සුදු ජාතිකයන් එතෙක් අත්පත් කොටගෙන සිටි ඔලිම්පික් ඒකාධිකාරී බල පරාක්‍රමය බිඳහෙළා මුල් වරට කළු ජාතිකයෙකු ඔලිම්පික් රන් පදක්කමක් දිනාගත්තේ ය. හේ, අබේබේ බිකිලා ය.
බිකිලා උපන්නේ 1932 අගෝස්තු 07 වැනිදා අප්‍රිකානු මහාද්වීපයට අයත් ඉතියෝපියාවේ ශෙවා හි දී ය. දුප්පත්කම දෑතින් මිට මොලවාගෙන උපන් බිකිලාගේ පියා එඬේරෙකි.
හැඩි දැඩි සිරුරක උරුමය ලද බිකිලා තරුණ වියේ දී ඉතියෝපියානු අධිරාජයෙකු වූ හේයිල් සෙලාසිගේ හමුදාවේ ආරක්ෂකයෙකු ලෙසින් බඳවා ගැනිණි. වරක් දෙවැනි ලෝක යුද්ධයෙන් පසු මේ රැකියාවේ වැඩිදුර පුහුණුව සඳහා ඔහු ඉතියෝපියාවේ පිහිටුවන ලද හමුදා කඳවුරකට යැවිණි. එහි දී බිකිලා දිවීම සම්බන්ධයෙන් සුවිශේෂ පුහුණුවක් ලැබුවේ ය. මේ දුවන දුර සැතපුම් දහස් ගණන් විය.
බිකිලා ඇතුඵ මේ කණ්ඩායම දිව ගියේ ගල් සහ පස් සහිත කඳු බිම්වල පාවහන් නොමැතිව ගිනි ගහන අව්වේ ය. මේ පුහුණුව ඒ තරමට රළු පරළු වි ය. මොවුන්ගේ පුහුණුකරු වූයේ ස්වීඩන් ජාතික ඔනී නිස්කානෙන් නමැත්තෙකි.
“මේ කණ්ඩායමේ කැපී පෙනෙනම කෙනා වුණේ බිකිලා. එයාට තිබුණෙ පුදුම කැපවීමක්. උනන්දුවක්. ඉවසීමක් වගේම දරාගැනීමේ හැකියාවක්. ක්‍රීඩාව පැත්තෙන් කවදා හරි දවසක එයා ඉහළ තැනකට එනවා කියලා මට හොඳ විශ්වාසයක් තිබුණා.” ඒ, පුහුණුකරු වූ ඔනී නිස්කානෙන්, බිකිලා ගැන දුන් සහතිකයයි.
1960 දී එනම් බිකිලා 28 වැනි වියෙහි පසුවෙද් දී ඉතියෝපියාවේ අගනගරය වූ අඩිස් අබාබා හි දී මැරතන් ධාවන තරගයක් පැවැත්වුණේ ය. මුල් වරට එයට ඉදිරිපත් වූ ඔහු ඉන් මුල් තැන දිනාගත්තේ පැය 2 යි විනාඩි 21 යි තත්පර 23 ක කාලයක දී ය. ඉන් මසක් ගතවූ තැන පැවැති එහි දෙවැනි අදියරේ මැරතන් ධාවන තරගයෙන් ජය ලද්දේ ද ඔහුම ය.
මේ ජයග්‍රහණය හේතුකාරණා කොටගෙන බිකිලා කෙරෙහි ඉතියෝපියානු ක්‍රීඩා බලධරයන්ගේ සුවිශේෂ අවධානය යොමු විණි. 1960 දී රෝමයේදී පැවැත්වුණු ඔලිම්පික් ක්‍රීඩා තරගාවලියට බිකිලා ඉදිරිපත් කිරීමට යෝජනා වීමට ඔහු ඉතියෝපියාවට ලෝක ක්‍රීඩා සිතියමේ කැපී පෙනෙන තැනක් හිමිකර දෙනු ඇතැයි යන බලාපොරොත්තුව ඉවහල් විය.
ඉතියෝපියාව තබා තිබූ ඒ බලාපොරොත්තුව ඒ ආකාරයෙන්ම සඵල කරමින් ඔහු රෝමයේ දී සැතපුම් 26 ක දුරක් දිවගොස් ඔලිම්පික් මැරතන් ධාවන තරගය ජය ගෙන රන් පදක්කම දිනාගත්තේ ය.
කරුණු කාරණා කිහිපයක් හේතුවෙන් මෙය ඓතිහාසික ජයග්‍රහණයක් බවට පත්වූ බව කිවයුතු ය. ඊට හේතු වූයේ මෙය ඉතියෝපියාව නම් රට පමණක් නොව අප්‍රිකානු මහාද්වීපය නියෝජනය කළ ක්‍රීඩකයෙකු ලද මුල්ම රන් පදක්කම වීම ය. එසේම ඔහු ධාවනයේ යෙදුණේ පාවහන් පැළඳීමෙන් තොරව ය. ඔලිම්පික් ධාවන තරගයකදී මුල් වරට පාවහන් රහිතව ධාවනයේ යෙදුණු මුල්ම ක්‍රීඩකයා ලෙස සැලකෙන්නේ ද බිකිලා ය.
මේ මැරතන් ධාවන ඉසව්ව වෙනුවෙන් බිකිලාට පාවහන් යුවලක් ලැබී තිබුණද ඒවා පැළඳි විට ඔහුට දැඩි අපහසුතාවක් දැනිණි. ක්‍රීඩා උපදේශකයන්ගේ උපදෙස් නොතකා ඔහු පාවහන් නොමැතිව දිවීමට තීරණය කළේ ය.
“මට පාවහන් නැතුව දුවලා හොඳ පුරුද්දක් තියෙනවා. ඒ නිසා මට හිතුණා මේ මැරතන් තරගයට ඒ විදිහට මුහුණ දෙන්න. මම එහෙම කළේ මම දිනුවොත් ඒ ජයග්‍රහණයට අමතර වටිනාකමකුත් එකතු කරන්න ඕන වුණ නිසයි.” බිකිලා අවධාරණය කරන්නේ ය.
මේ සුවිශේෂී ජයග්‍රහණයත් සමගින් ඔහු ලෝකයේම කතාබහට ලක්වුණු චරිතයක් බවට පත්විණි. ජනමාධ්‍ය ඔහු හැඳින්වූයේ ‘රෝමය යටත් කරගත් ඉතියෝපියානුවා’ ලෙසිනි.
1964 දී ටෝකියෝ හි දී පැවැති ඔලිම්පික් තරගාවලියේ මැරතන් ධාවන තරගයෙන් ද මුල් තැන දිනාගත්තේ නව ඔලිම්පික් වාර්තාවක් ද පිහිටුවමිනි. මේ ඉසව්වේදී සැතපුම් 22 ක දුරක් ගෙවා ඔහු පිටියට පැමිණෙන විට දෙවැනියා සිටියේ ඔහුට සැතපුම් දෙකහමාරක් පසුපසිනි.
මේ ජයග්‍රහණය හේතුවෙන් බිකිලා, පිට පිටම ඔලිම්පික් මැරතන් ඉසවු ද්විත්වයකට මුහුණ දී රන් පදක්කම් දෙකක් දිනාගත් ලොව මුල්ම ධාවන ශූරයා බවට පත්විය.
බිකිලා තම ජීවිත කාලය තුළදී මුහුණ දී ඇති ජාතික හා අන්තර්ජාතික මැරතන් තරග ගණන 15 කි. මින් 12ක මුල් තැන ඔහු හිමිකර ගත්තේ ය.
“මගේ හැකියාවෙන් මම ලොකු ජයග්‍රහණයක් ලැබුවා. ඒ ගෞරවය මට විතරක් නෙවෙයි මම උපන් රටත් මුලු අප්‍රිකාවත් ලැබූ ජයග්‍රහණයක්. ඒ ගෞරවය උරුම කරලා දෙන්න ලැබුණු එක මම ලබපු ලොකුම වාසනාවක්. ඒක කෙනෙකුට කලාතුරකින් ලැබෙන වාසනාවක්. ඒ අතින් මම මහා වාසනාවන්තයෙක්” බිකිලාගේ හිතේ සතුටට සීමාවක් නැත.
දේශයට උරුම කර දුන් අනභිභවනීය ගෞරවයට කෘතගුණ දැක්වීමක් ලෙසින් ඉතියෝපියාවේ හෙයිල් සෙලාසි අධිරාජයා විසින් බිකිලා කපිතාන් තනතුරට උසස් කෙරිණි. ඉතියෝපියානු රජය ඔහුගේ නම එරට ජාතික වීරවරයන්ගේ ලැයිස්තුවට ඇතුළත් කළේ ය.
1969 දී සිදුවූ රිය අනතුරකින් අංශභාග තත්ත්වයට පත්වූ බිකිලා ඔත්පල විය. අනතුරුව සිදුවූ මොළයේ රුධිර වහනයක් හේතුවෙන් 1973 ඔක්තෝබර් 25 වැනි දින අඩිස් අබාබා හි දී දිවි ගමනට සමුදුන්නේ 41 හැවිරිදි වියේ දී ය. ඔහුගේ අවමංගල්‍යය වෙනුවෙන් 65000 කට අධික ජනකායක් එක්වූ බැව් එකල මාධ්‍ය සඳහන් කර තිබිණි.
නඳුන් අමන්ද මනමේන්ද්‍ර ආරච්චි