විස්සයි 20 ලෝක සිළුමිණේ හිමිකරුවා කවු ද? | Page 3 | සිළුමිණ

විස්සයි 20 ලෝක සිළුමිණේ හිමිකරුවා කවු ද?

 

විස්සයි විස්ස ලෝක කුසලානයේ සත් වැනි අදියරේ අවසන් මහා තරගය අද (14) පැවැත්වෙයි. මෙවර තරගාවලියේ ජයග්‍රහණය ලබන කණ්ඩායම කුමක් ද ? අවසන් පූර්ව තරග ද්විත්වයට පෙර ඒ සම්බන්ධයෙන් තැබෙන සටහනකි මේ.'

“පාකිස්තාන ක්‍රීඩක-යන්ගෙන් මම ඉල්ලා සිටින්නේ එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය කෙසේ හෝ ජය ගන්නා ලෙසයි. ඊට පස්සේ විදෙස් කණ්ඩායම් අපිත් එක්ක තරග වදින්න පෝලිම් ගැසෙයි.” පාකිස්තානයේ තරග වැදීම එංගලන්තය හා ඔස්ට්‍රේලියාව ප්‍රතික්ෂේප කිරීමෙන් අනතුරු ව එරට ක්‍රිකට් ප්‍රධානී හිටපු ක්‍රිකට් ක්‍රීඩක රමිෂ් රාජා පවසා තිබුණේ ය.

එදා ඔහු කළ එම ඉල්ලීමට පාකිස්තානු ක්‍රීඩකයන් යහපත් ප්‍රතිචාර දක්වා තිබුණේ විස්සයි විස්ස ලෝක කුසලානයේ අවසන් පූර්ව වටය දක්වා පැමිණීමට සමත් වීමෙනි. ඔවුන් එසේ පැමිණ සිටියේ ද අපරාජිත භාවය රැක ගනිමින් වීම ද විශේෂත්වයකි.

පාකිස්තානයට අමතරව 2010 වසරේ විස්සයි විස්ස ශූරයන් බවට පත් වූ එංගලන්තය මෙන් ම මීට පෙර ශුරතාව ජය ගෙන නොමැති ඔස්ට්‍රේලියාව හා නවසීලන්තය ද අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා සිටිය හ.

ඉදිරියෙන් සිටින පාකිස්තානය

අවසන් මහා තරගයට අද තරග වදිනු ඇතැයි විශ්වාස කරන කණ්-ඩායම් අතරින් ඉදිරියෙන් ම සිටින රට පාකිස්තානය ය. තරගාවලිය පුරාම පකිස්තාන පන්දු යවන්නන්ගේ හා පිතිකරුවන්ගේ ක්‍රීඩා විලාශය වඩාත් කැපී පෙනිණි.

පාකිස්තාන් පිතිකරුවන් අතරින් ආරම්භක පිතිකරුවන් දෙදෙනා වූ නායක බාබර් අසාම් හා මොහොමඩ් රිස්වාන් විශේෂ ය. මීට අමතරව මොහොමඩ් හෆිෂ්, ෆාකර් ශාමන්, ඉමාඩ් වසීම්, අසිෆ් අලි, ෂඩාබ් ඛාන් මෙන්ම පළපුරුදු සොයිබ් මලික් වැනි ශක්තිමත් පිතිකරණ ලැයිස්තුවක් පාකිස්තානය සතු ය.

මෙවර ලෝක කුසලානයේ දී පාකිස්තාන කණ්ඩායමට පසුබෑමක් ගෙන දීමට අවශ්‍ය නම් පාකිස්තානයේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා මෙන් ම වේගයෙන් ලකුණු රැස් කිරීමට සමත් මොහොමඩ් හෆිෂ්, මෙන්ම හයේ පහර එල්ල කිරීමට ප්‍රසිද්ධ අසිෆ් අලී වැන්නවුන්ට කඩුල් මත ස්ථාවර වීමට ඉඩ නොදීම ද අත්‍යවශ්‍ය ය.

එසේම පාකිස්තාන පන්දු යැවීමේ බලඇණිය ද මෙහිදී වඩා කැපී පෙනෙයි.

අඩුතක්සේරු නොකළ යුතු ඔස්ට්‍රේලියාව

මෙවර තරගාවලිය ආරම්භයේ දී වැඩි දෙනෙක් ඔස්ට්‍රේලියාව දෙස බැලුවේ අඩු තක්සේරුවකනි. ඒ බංග්ලාදේශයේ දී පැවැති විස්සයි විස්ස තරගාවලිය 1-4 ක් ලෙස පරාජය වූ හෙයිනි.

“මම ඕස්ට්‍රේලියා කණ්ඩායම දෙස බලන්නේ සුභවාදී ව. ඇත්තෙන්ම අපට හොඳ කණ්ඩායමක් තිබෙනවා. ඔවුන් ආත්ම විශ්වාශය ගොඩනඟාගෙන තරග පවතින පරිසරයට අනුව හැඩ ගැසුණහොත් ඔවුන්ට ශූරතාව ජය ගැනීමේ අවස්ථාව තිබෙනවා” එසේ කියන්නේ හිටපු ක්‍රීඩක මයික් හසී ය.

මෙම ඔස්ට්‍රේලියානු කණ්ඩායම දෙස බලද්දී අපට සිහියට එන්නේ 1987 ලෝක ක්‍රිකට් සිළුමිණ දිනූ ඇලන් බෝඩර්ගේ කණ්ඩායමයි. එදා ඉන්දියාව, පාකිස්තානය, එංගලන්තය වැනි පෙරමුණේ සිටි කණ්ඩායම් පරදවා ශුරතාව ජයගත්තේ ය. මෙවරද තත්ත්වය ද බොහෝදුරට ඊට සමානය.විශේෂයෙන් ම ඔවුන්ගේ පන්දු යවන්නන් ගෙන් ලකුණු උදුරා ගැනීම ප්‍රතිවාදී පිතිකරුවනට පහසු නැත.

වෘත්තීය භාවයෙන් ශක්තිමත් එංගලන්තය

සුපිරි වටය ආරම්භයේ පටන්ම වෘත්තීය මට්ටමකින් තරග වැදී එක දිගට තරග පහකින් ජය ලැබූ එංගලන්තය තම ප්‍රථම පරාජය අත් කර ගත්තේ සුපිරි වටයේ දකුණු අප්‍රිකාව සමග වූ තරගයේ දී ය. එංගලන්තය සතුව ශක්තිමත් පිතිකරු ලැයිස්තුවක් සේ ම විශිෂ්ට පන්දුයැවීමේ බල-ඇණියක් ද ඇත. පන්දු යවන්නන් අතරින් ආදිල් රෂීඩ්, මොයින් අලී ඉදිරියෙන් සිටින අතර ක්‍රිස් ජෝර්ඩන් හා ටිමල් මිල්ස් වේග පන්දු යවන්නන් වශයෙන් කැපී පෙනෙති.

සුපිරි වටයේ එක ම ශතකය ලද ජෝස් බට්ලර් මෙන් ම එංගලන්ත කණ්ඩායමේ නායකයා වන එවොන් මෝගන් ද අවශ්‍ය අවස්ථාවේ පිතිකර-ණයට ලබා දෙන ශක්තිය ද මෙහිදී අමතක නොකළ යුතු ය.

නවසීලන්තය

කෙසේ නමුත් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලද සුපිරි වටයේ කණ්ඩායම් අතරින් පෙරළිකාර කණ්ඩායම ලෙස සැලකුණේ නවසීලන්තය ය. තමනට අවාසිදායක තත්ත්වයක් යටතේ පාකිස්තානය අතින් පරාජය වූ ඔවුන් ප්‍රබල ඉන්දීය පිල පරාජය කරමින් නොනැවතී අවසන් වටයේ තම ස්ථානය තහවුරු කරගත්තේ ඇෆ්නිස්ථානය පරාජය කරමිනි.

වේග පන්දු යවන ට්‍රෙන්ට් බෝල්ට් ඉෂ් සෝදි, ටීම් සවුති වැනි පන්දු යවන්නන් කැපී පෙනෙයි. ඇෆ්ගනිස්තානය හා ඉන්දියාවට එරෙහිව හඹාගොස් තරග ජය ගත් නවසීලන්තය ස්කොට්ලන්තය හා නැමීබියාව පරාජය කළේ මුලින්ම පන්දුවට පහර දෙමිනි. මාටින් ගප්ටිල් සුපිරි වටයේ නවසීලන්ත පිලේ ඉදිරියෙන්ම සිටින පිතිකරුවාය. ඔහුට අමතරව නායක කේන් විලියම්සන්, මෙන්ම මිචෙල් ඉදිරියෙන් සිටින සෙසු පිතිකරුවන් ය.

මේ අනුව අද පැවැත්වෙන අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට ඔවුන් අතරින් කිසියම් කණ්ඩායම් දෙකක් නිසැක වශයෙන්ම සමත්ව සිටිනු ඇත. එහෙත් ඒ කවුරුන්ද යන්න ගැන දැනට පැවසීමට හැකියාවක් නැත්තේ අවසන් පූර්ව වටයට පැමිණි කණ්ඩායම් හතර ම එකිනෙකා පරයන දක්ෂතා සහිත කණ්ඩායම් වන හෙයිනි.

අනිල් වීරසිංහ

 

Comments