දැල්පන්දු නිලවරණය ජයගන්නවා | Page 3 | සිළුමිණ

දැල්පන්දු නිලවරණය ජයගන්නවා

 

'බටර් ගාන්න උවමනා නෑ. බටර් ගාන්නත් බෑ. ඔහුට ඕනෑ වැඩ. වැඩ පුළුවන් නම් ඔහු උදව් කරනවා. මේ ඈ වත්මන් ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතා ගැන කියූ ඒවා ය.

'මම පැවත එන්නේ ක්‍රීඩා පවුලකින්. කාලය කළමනාකරණය කරන්න වගේම ක්‍රීඩාවට අවශ්‍ය යටිතල පහසුකම් හදන්නත් මට පුළුවන්.' ඈ කී ය.

'ලබන පහළොස් වැනිදායින් පස්සේ බලන්න...........දැල් පන්දු මුල් පුටුවේ ඉන්නේ මම.' ඈ තවදුරත් පැවසූවා ය.

'ඒකට උවමනා සුදුසුකම වගේම සවිය, පසුබිම, ඊට අවශ්‍ය පිටුබලය කියන සියල්ල මා සතුයි. වැටෙන ඡන්ද වලින් හතරෙන් තුනක් මගේ.' ඈ තවදුරටත් කීවා ය.

මෙහෙම කිව්වේ කෝකිලා ගුණවර්ධන ය. කෝකිලා ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ආණ්ඩු පක්ෂය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියකි. දැල්පන්දු නිලවරණය ගැන කෝකිලා ගුණවර්ධනයන් 'ක්‍රීඩා' සමඟ කළ සංවාදයකි මේ

පරෂුට් එකෙන් දැල් පන්දු නිලවරණයට එනවාලු නේ ද?

නිලවරණයට එනවා නම් තමයි. ඒත් පැරෂුට් එකකින් නෙවෙයි. හොඳට හරි විධිහට තමයි මම නිලවරණයට එන්නේ.

ඒත් එක පාරට දැල්පන්දු සම්මේලනයට කඩා වැදෙන්න හදද්දී කුකුසක් මතුවෙනවා. දේශපාලනය නම් මොනව හරි බල අවශ්‍යතාවක් කියමුකො. නමුත් මේ ක්‍රීඩාවට එක වරම කඩා පාත්වෙන්න හදන්නේ මොන රසයක් නිසා ද?

ක්‍රීඩාව ඉතිං කොහොමත් රසයිනෙ? අනෙක මගේ පවුල, අපි ක්‍රීඩාවට ලැදි පවුලක්. එතැනදී ක්‍රීඩාශීලිත්වය කියන දෙය අපිට අපේ අම්මාගෙන් ආපු දෙයක්. මම දැල්පන්දු පරිපාලනයට එන්න තවත් ප්‍රබල හේතුවක් වුණේ තරුණ ඇමැතිවරයෙක් වශයෙන් නාමල් රාජපක්ෂ මහතා ක්‍රීඩාව වෙනුවෙන් වැඩකරන ආකාරය ගැන ඇති පැහැදීම. අනික් කාරණය දැල්පන්දු කියන්නේ අපේ රටේ කාන්තාවන් වෙනුවෙන් තිබෙන ප්‍රබලම ක්‍රීඩාව. මේ සියල්ල එක්ක දැල්පන්දු හදන්න සම්මේලනයට එන්න කියලා මට ඉල්ලීමක් ආවා. ඉතිං ඒ් වෙනුවෙන් වැඩක් කළ යුතු බව මට වැටහුණා. මේ සියල්ල සමෝධානික කරලා තමයි මම මෙතැනට එන්න හදන්නෙ.

ඒත් අපිට දැල්පන්දු ක්‍රීඩාව තුළ කෝකිලා කෙනෙක් ගැන මතකයක් නෑ?

මෙහෙමයි ජාතික තලයේ ක්‍රීඩා කරන්න මට ලැබුණේ නෑ. ඒ රැකියාවකට සම්බන්ධ වූ නිසා. ඒත් කෝකිලා කියන්නේ දැල්පන්දු ක්‍රීඩිකාවක්. පාසල් යන කාලේ මම හොඳට දැල්පන්දු ක්‍රීඩා කළා. ඔබ හිතුවට මම දැල්පන්දු ක්‍රීඩාවට කඩාගෙන වැටුණු පැරෂුට් කාරියක් නෙවෙයි.

පාසල් යන කාලේ ඔබ කොහෙට ද දැල්පන්දු ක්‍රීඩා කළේ?

මම ගම්පහ සිරි කුරුස විදුහලට ක්‍රීඩා කළා. පාසලේ අවුරුදු 13 න් පහළ සිට සෑම වයස් කාණ්ඩයකම ක්‍රීඩා කරලා තියෙනවා. පළාත් මට්ටමෙන් පවා ක්‍රීඩා කරන්න මට හැකි වුණා. පස්සේ වැලිවේරියේ වයිරෝඩි ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් යෞවන සමාජ තරගවලටත් ක්‍රීඩා කළා. ගුවන් සේවිකාවක් ලෙස රැකියාවට බැඳුණාට පස්සේ තමයි මගෙන් දැල්පන්දු ක්‍රීඩාව ගිලිහුණේ.

කෙළින් කතා කරමුකො. ගම්පහ දැල්පන්දු ක්‍රීඩාව තියෙන තැන ගැන සතුටු වෙන්න බෑනෙ? ඔබ දැන් දැල්පන්දු සභාපති තනතුරට තරග කරන්න හදනවා. ඒත් ඔබට ඔබේ පළාතේ දැල්පන්දු හදාගන්න සැලසුමක්වත් තියෙනව ද?

මම සභාපති වෙන්න යන්නේ රටේ දැල්පන්දු ක්‍රීඩාවට. ගම්පහ මගේ දිස්ත්‍රික්කය තමයි. මගේ පාසල පිහිටි දිස්ත්‍රික්කය ඒ්ක වුණාට සභාපතිනිය වශයෙන් පත්වුණාම මට සම්පූර්ණ කරන්න ගොඩාක් ලොකු වගකීමක් තිබෙනවා. එතකොට ගම්පහ ගැන විතරක් මට හිතන්න බෑ. මුළු රට ගැනම සිතිය යුතුයි. මුළු රටේම දැල්පන්දු කෙළින් කරන්න ඕනෑ. ඒකට මට වැඩපිළිවෙලක් තිබෙනවා. හැබැයි ඒක ගම්පහට ලඝු කරන්න යන්නෙ නෑ කියන එක මතක තියා ගන්න.

දැන් ඔබ ඕවා කිව්වට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් වශයෙන් වැඩක් කරන්න කාලයක් තියෙයි ද? බලයට ආවොත්, කෝකිලා ගුණවර්ධන සභාපතිනිය අල්ලන්න දැල් දාන්න වෙයි කියලයි අපිට නම් හිතෙන්නේ?

ඒ් පිටින් බලද්දී පේන හැටි. උවමනාව තිබෙනවා නම් කැපකිරීම් ඇති නම් කෙනෙකුට වැඩ කීපයක් දක්ෂ විධිහට කළ හැකියි. මට එහෙම කාර්ය බහුලව වැඩකරන්න බැරි බව හිතෙනවා නම් දේශපාලනයට එන්නේ නෑ. කාර්ය බහුලව සාර්ථකව වැඩ කරන්න මම දේශපාලනය කිරීම තුළින් තවත් ඉගෙන ගත්තා. දැන් මැතිවරණ දිනලා අපි ටිකක් නිදහසේ කටයුතු කරන කාලයක් මේක. ඉතිං මට මගේ ආදරණීය ක්‍රීඩාව වෙනුවෙන් යමක් කළ හැකියි. ඒ වගේම මතක තියාගන්න මම ගුවන් සේවා ක්ෂේත්‍රය තුළ තත්ත්පරයට, විනාඩියට නිවැරැදිව වැඩකරන්න හුරු වූ කෙනෙක්. මාව අල්ලන්න දැල් ගහන්න අවශ්‍ය නෑ. අවශ්‍ය සෑම මොහොතකම මම වගකිම් එක්ක ඉන්න කෙනෙක්.

දැල්පන්දුවෙන් අපි ආසියානු ශූරියෝ. සභාපතිනිය වුණොත් ඔබ මොනවද කරන්න බලාපොරොත්තු වෙන්නේ?

ඔව්. අපි තමයි දැල්පන්දු ක්‍රීඩාවෙදි ආසියාවේ බලවන්තියෝ. නැවත වරක් අපිට එය තහවුරු කරගන්න ඕනෑ. ඒ වගේම ලෝක දැල්පන්දු ක්‍රීඩාවේ ඉදිරියට යන්න හැකි පසුබිමක් සකසා ගන්න අවශ්‍යයි. අපේ කාන්තාවන් වෙනුවෙන්ම තිබෙන ක්‍රීඩාවක් වන දැල්පන්දු ක්‍රීඩාවෙන් බොහෝ ජය-ග්‍රහණ රටට ලබාදෙන්න පුළුවන් බව මම හොඳාකාරවම දන්නවා.

දැන් වචනයෙන් එවැනි දේ කිව්වට ප්‍රායෝගික තලයේ දී අසමත් විය හැකියි. මොනව ද ඔබ ඒ් ගැන සිතාගෙන ඉන්න ක්‍රමවේදයන්? ටිකක් පැහැදිලි කරන්න බැරි ද?

අපේ රට පුරා දැල්පන්දු ක්‍රීඩාව ශක්තිමත් කළ යුතුයි. හොඳ දැල්පන්දු සංගම් මව් සංගමයට අනුබද්ධව ඉන්නවා. මේ අය ශක්තිමත් කරගෙන රටේ ක්‍රීඩාව අන්තර්ජාතික තලයට රැගෙන යෑම තමයි අපි අපේක්ෂා කරන්නේ. මොකද පසුගිය සමයේ කොවිඩ් නිසා දේශීය තරග සැලසුම පවා අවුල් වුණානෙ? ඒ්වා ක්‍රමවත් කරන්න අපි අපේක්ෂා කරනවා.

ක්‍රීඩාව පවත්වාගෙන යන්න ක්‍රීඩිකාවෝ අවශ්‍යයිනෙ? නමුත් දැන් ක්‍රීඩාවේ ක්‍රීඩිකාවෝ රඳවා ගන්න ආර්ථික සුරක්ෂාවක් ගොඩනඟන්න අවශ්‍යයි. මේ ගැන ඔ‌බේ සැලසුම්වල තිබෙනවා ද?

ඔව්. ඒ් දේ කළ යුතුයි. මම ආණ්ඩුවේ මන්ත්‍රීවරියක් වශයෙන් මගේ ඇති හැකියාව යොදාගෙන අපේ දක්ෂතා සහිත ක්‍රීඩිකාවන්ට රැකියා ලබාදී ඔවුන්ගේ ආර්ථිකය සුරක්ෂිත කරන පරිසරයක් නිර්මාණය කරන්න මගේ සැලැස්මක් තිබෙනවා. මානසික ශක්තිය වර්ධනය කරන්න හැකිවෙන්නේ එවිටයි. ඒ්කට මම නාමල් රාජපක්ෂ ඇමැතිතුමා එක්ක කතා කරලා තිබෙනවා. එතුමාටත් මේ සම්බන්ධයෙන් හොඳ දැක්මක් තිබෙනවා. ඒ් නිසා මේ තත්ත්වයන් විසඳාගෙන යන්න අපිට පුළුවන්.

ඔබ ක්‍රීඩා ඇමැති හරි හොඳයි කියලා කීප පාරක්ම කිව්වා. සම්මේලනයේ සභාපතිනිය වෙන්න හිතාගෙන ඇමැතිතුමාට බටර් පාරක් ගාන්න හදනවා වගේ?

බටර් ගාන්නෙ නෑ. එතුමා සාමාන්‍යයෙන් බටර් ගාන්න පුළුවන් කෙනෙක් නෙවෙයි. මොකද එතුමා වැඩේ දන්න නිසා. වැඩක් කරලා පෙන්වලා නම් උදව් ගන්න, සහාය ගන්න පුළුවන්. අනිත් කාරණය එතුමා වත්මන් ආණ්ඩුවේ ප්‍රබල ඇමැතිවරයෙක්. කවුද හරි කවුද වඩා හරි කියලා ඔහු දන්නවා. කළ හැකි දේ කළ යුතු දේ ගැනත් ඔහුට ලොකු

දැක්මක් තිබෙනවා. ගම්පහ ඉන්න කෝකිලාට අපේ ක්‍රීඩා ඇමැතිව අන්දවන්න, බටර් ගාන්න උවමනාවකුත් නෑ. එහෙම බටර් ගාන්නත් බෑ. මම කිව්වේ ඇත්ත තත්ත්වය.

ඒ් කියන්නේ ඇමැතිට බටර් ගාන්න උවමනා නෑ. ඔබේ දැල්පන්දු නිලවරණ ජයග්‍රහණය දැන් සූකිරි කනවා වගේ පහසු වැඩක් කියල ද කියන්නේ?

මම කිව්වේ ඇමැතිතුමාගේ ආශිර්වාදය හරියට වැඩ කරන කාට වුණත් තිබෙනවා. ඒ් වගේම නිලවරණයේ දී අපට බො‌හෝ සංගම් ආශිර්වාද කරනවා. මුලදී අපත් එක්ක හිටපු නැති සංගම් පවා දැන් අපේ ජයග්‍රහණය ප්‍රාර්ථනා කරනවා. ඒ අයටත් දැල්පන්දු ක්‍රීඩාව ඉහළට අරං යන්න උවමනායි. මම පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් වශයෙන් බලය පිළිබඳ ගැටලුවක් නැති බවත් ක්‍රීඩාව ජාත්‍යන්තරයේ දිනවන්න අවශ්‍යතාවය විතරක් දරමින් සිටින බවත් ඔවුන්ටත් වැටහිලා තිබෙනවා. ඒ්කයි ජයග්‍රහණය සුරක්ෂිත වෙලා තිබෙන්නේ.

දැල්පන්දු ක්‍රීඩාව කාන්තා ක්‍රීඩාවක් විධිහට මහ ඉහළින් කිව්වට ඒකෙ තියෙන්නෙම කාන්තාවො ටිකක් කෙහෙවලු පටලවා ගැනීමක්. අනාදිමත් කාලයක සිට ඔහොමමයි. ඔබ මේ ගැන මොකද කියන්නේ?

මෙහෙමයි. මම අතීතය ගැන කතා කරන්න යන්නේ නෑ. ඒ අතීතය ගැන කතා කර කර ඉඳලා ඇති ප්‍රතිඵලයකුත් නෑ. අනික කෙහෙවලු පටලා ගන්නවා කියලා නිගා කරන එකට මම එකඟත් නෑ. මොකද කාන්තා ක්‍රීඩාවක්, කාන්තා පරිපාලිකාවන් ඉන්න තැනක කෙහෙවලු පටලා ගන්නවා කියන්නේ පුරුෂ මූලික සමාජයක් ඇතුළේ කාන්තාව හෑල්ලු කරන්න ගන්න උත්සාහයක්. ඇත්තටම මම බලයට එන්නේ සියලු දෙනා එකම අරමුණකට වැඩකරන තැනකට ගෙනෙන්නයි. ඒ්ක මතක තියාගන්න. මට අතීතය වැඩක් නෑ. මෙවර නිලවරණයේදී විවිධ පාර්ශ්ව ඉඳියි. ඒත් නිලවරණයෙන් පස්සේ අපි ඔක්කොම රටේ දැල්පන්දු ලෝකය තුළ දිනවන්න වැඩකරනවා. මගේ ජයග්‍රහණය එක්ක සියලු දෙනා රටේ දැල්පන්දු ක්‍රීඩාව දිනවන්න වැඩකරනවා. එතකොට ලොකු ශක්තියක් නිර්මාණය වෙනවා. නිලවරණයකට දෙපිරිසක් ඉදිරිපත්වීම සාමාන්‍ය තත්ත්වය. ඒ්ත් වැඩකරද්දී හැමෝම එක්වෙනවා.

ඔබ නිලවරණය දිනුවා කියලා උපකල්පනය කරමු. දැන් ඔය කියන ඉලක්කවලට යන්න මුදල් උවමනායිනෙ? ක්‍රීඩා ඇමැතිවරයාත් සල්ලි දෙන්න උවමනා තැන්වලට අත දිග හැරලා වියදම් කරනවා. කොවිඩ් අර්බුදයත් එක්ක පෞද්ගලික අංශයේ මුදල් ලබාගැනීමත් අසීරු වෙනවා. කොහොම ද ඒ අභියෝගයට මුහුණ දෙන්නේ? ක්‍රීඩා අමාත්‍යාංශය දිහාම බලාගෙන ඉන්න එක ද ඔබත් කරන්න හිතා ගෙන ඉන්නේ?

ඔබ කියන එක ඇත්ත. මුදල් උවමනායි. වැඩකරන්න බෑ මුදල් නැතිව. අපිට ක්‍රීඩා අමාත්‍යාංශ ප්‍රතිපාදන වගේම පෞද්ගලික අනුග්‍රාහකයන්ගේ ප්‍රතිපාදන අවශ්‍ය වන්නේ ඒ නිසයි. එහෙම නැතිව ක්‍රීඩාව නිසි තැනට අරගෙන යන්න අසීරුයි. මොකද රජයට පමණක් ක්‍රීඩාව පවත්වාගෙන යන්න අරමුදල් දෙන්න බැහැ කියන එක මම විශ්වාස කරනවා. නමුත් වත්මන් ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතා මේ වෙනුවෙන් අපිට ගොඩාක් සහාය දක්වන බව මම දන්නවා. ඒ් වගේම පෞද්ගලික අංශයත් මේ රටේ කාන්තාව වෙනුවෙන්ම වෙන් වූ දැල්පන්දු ක්‍රීඩාවට අනුග්‍රහය දක්වන්න ඉදිරිපත් වෙනවා. ඒ්කට ඔවුන් සූදානම් බව මම දන්නවා. මට පවසා තිබෙනවා. ඒ් නිසා මගේ වැඩපිළිවෙළ දිනවන්න හැකියාව තිබෙනවා කියලා මට විශ්වාසයි.

අතීතය ගැන කතාකරන්න අකමැති වුණාට ඔබ එන්න යන තනතුරේ මීට පෙර හිටපු නිලධාරීන් ගැන මොකක්ද තක්සේරුව?

මම මෙතැනදී බොහෝම විවෘතයි. ඔවුන් හැමෝම මේ ක්‍රීඩාව නංවන්න වෙහෙසවෙලා තිබෙනවා. කිසිම සභාපති කෙනෙක් ඇවිල්ලා නෑ ක්‍රීඩාව වනසන්න සිතාගෙන. ඔවුන් කළ දේවල් වලින් ක්‍රීඩාව තවදුරටත් ජයග්‍රහණ ලබා තිබෙනවා. අපිට අවශ්‍යයි හිටපු සභාපතිවරුන්ට යන්න බැරිවුණු දුරක් මේ ක්‍රීඩාව රැගෙන යන්න.

ඒ් කියන්නේ ඔබ මේ සභාපති පුටුවට එන්න හදන්නේ දීර්ඝ කාලයකට?

නෑ. මට මෙතැන දිගටම ඉන්න උවමනා නෑ. හරි වැඩක් කරලා, නිසි පීල්ලේ ක්‍රීඩාව තියලා, සියලු පාර්ශ්ව ඒකාබද්ධ කරලා ක්‍රීඩාව දිනවන්න පෙළගස්වන්නයි මට උවමනා. මේ මගේ ආදරය දිනපු, මට දිනුම, පැරදුම ගැන කියලා දුන්නු, බාලිකාවක් විධිහට මගේ පෞරුෂය ගොඩනඟපු ක්‍රීඩාව. ඒ් ක්‍රීඩාව ඉගෙන ගෙන මම අද රටේ නීති හදන පාර්ලිමේන්තු නියෝජිතවරියක් වශයෙන් ඉන්නවා. අනාගත පරපුරටත් මට වඩා දුර ගමනක් යන්න හැකිවෙන විධිහට මේ ක්‍රීඩාව තුළින් අවස්ථාව උදාකර දීම තමයි මගේ අරමුණ. ඒ ගමන හැකි ඉක්මනින් සම්පූර්ණ කර

දීම මිස සභාපතිවරිය වශයෙන් හැකි තාක් කල් මෙතැන ඉන්න එක නෙවෙයි මගේ සැලසුම. ඒ් ගැන බය වෙන්න එපා.

ඒ් කියන්නේ ඔබ නොවැම්බර් 15 වැනිදා නිලවරණය ජයගන්නවා. මෙරට දැල්පන්දු සම්මේලනයේ අභිනව සභාපතිනිය වෙනවා සිකුරුයි?

ඔව්. ඒ් ගැන සැකයක් තියා ගන්න එපා. මට පැහැදිලි ජයග්‍රහණයක් තිබෙනවා. ප්‍රකාශිත ඡන්දවලින් හතරෙන් තුනකට වැඩිය වැටෙන්නේ මගේ නම ඉදිරියෙනුයි.

ඒ්ත් නිලවරණ කමිටුව සංගම් නවයක පමණ ඡන්ද බලය අහිමි කරලා තිබෙනවා?

ඔව්. අපි ඒ ගැන ක්‍රීඩා ඇමැතිතුමාවත්, ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් තුමාවත් දැනුවත් කරලා තිබෙනවා. දැන් නුවර සංගමයට යළි ඡන්ද බලය ලැබිලා තිබෙනවා.

දැල්පන්දු නිලවරණය වෙනුවෙන් නිලවරණ කමිටු දෙකක් පත් කෙරුණා. මේ දෙවැනි කමිටුව තමයි බො‌හෝ සංගම්වල ඡන්ද බලය අහිමි කළේ?

ඔව්. කොවිඩ් තත්ත්වය නිසා එක නිලවරණයක් අවලංගු කළා. යළි නාමයෝජනා කැඳවද්දී නව නිලවරණ කමිටුවක් පත්කළා. ඔවුන් තමයි ඡන්ද බලය අහිමි කළේ.

එහෙම ඡන්ද බලය නැති කළේ ඇයි?

තරගාවලි පවත්වා නෑ කියන චෝදනාව යටතේ තමයි ඔවුන්ව තහනම් කළේ.

ඒක සාධාරණයි කියා සිතනවා ද?

මෙහෙමයි. කොවිඩ් වගේ තත්ත්වයක් නොතිබුණා නම් එහෙම කියන්න තිබුණා. ඒත් 2019 පෙබරවාරි මාසයේ තිබුණු දැල්පන්දු මහ සභා රැස්වීමේ දී තීරණය කරලා තිබුණා වාර්ෂික සාමාජික මුදල් ගෙවා තිබූ සියලු සංගම් සඳහා ඊළඟ නිලවරණයේ දී ඡන්ද හිමිකම දෙන්න. මහා සභා රැස්වීමේ තීන්දුවක් ප්‍රතික්ෂේප වෙන එක නීතිවිරෝධීයි.

මේ ගැන තවදුරටත් හඬ නගන්න ඔබේ උත්සාහයක් තිබෙනවා ද?

නෑ. නිලවරණ කමිටුවේ අයිතිවාසිකම් ගැන මම ප්‍රශ්න කරන්න යන්නේ නෑ. කොහොම කළත් මගේ ජයග්‍රහණය පැහැලියි. මට කියන්න තිබෙන්නේ එපමණයි. රටේ දැල්පන්දු ක්‍රීඩාව විරසකයකින් තොරව සියලු පාර්ශ්ව එක්කර ගෙන මම ඉදිරියට යන්න කැමතියි.

ඡායාරූප - එස්.ආර්.කුමරේෂා

කසුන් ඉරුගල්බණ්ඩාර

Comments