ජාත්‍යන්තරය ජය ගැනීමට නම් නිවැරදි මාවතට අවතීර්ණ විය යුතු බව පසක් කර ගෙන ඇති ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය ඒ සඳහා දියත් කර ඇති උත්සාහයක ප්‍රතිඵලයක් ලෙස ජාත්‍යන්තර පාපන්දු තරඟාවලියක් මෙරට දී පැවැත් වීමට පියවර ගෙන තිබේ.
ශ්‍රී ලාංකේය පාපන්දුව ඉහලට ඔසවා තැබීම මෙන්ම ජාත්‍යන්තර ආකර්ෂණය ශ්‍රී ලංකාව දෙසට යොමු කර ගැනීමේ අරමුණ ඇතිව මෙම තරගාවලිය සංවිධානය කර තිබීම විශේෂත්වයකි.
එහි ප්‍රතිඵලයක් ලෙස සංචාරක කර්මාන්තයේ දියුණුව ක්‍රීඩාව තුළන් ලබා ගැනීමද බලාපොරොත්තුවකි.
ඒ අනුව යමින් "අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අභියෝග ශූරතා කුසලාන" සිව්කොන් ජාත්‍යන්තර පාපන්දු තරගාවලිය සඳුදා (08) ආරම්භ කෙරෙන අතර එය 17 වෙනි දින දක්වා ශ්‍රී ලංකාවේ දී පැවැත්වේ. එය ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, මාලදිවයින සහ සීෂෙල්ස් යන රටවල සහභාගිත්වයෙන් යුතුව ක්‍රියාත්මක කෙරේ. ලෝක ශ්‍රේණිගත කිරීමට අනුව මෙම තරගාවලියට සහභාගීවන මාලදිවයින 156 වෙනි ස්ථානයේ ද බංග්ලාදේශය 187 වැනි ස්ථානයේද අප්‍රිකානු මහද්වීපයට අයත් සීෂෙල්ස් දූපත් 199 ස්ථානයේද ශ්‍රී ලංකාව 204 ස්ථානයේද පසුවෙති.
ලීග් ක්‍රමයට ක්‍රියාත්මක කෙරෙන මූලික වටයේදී ඉහළම ප්‍රසාද ලකුණු හිමි කර ගන්නා දෙපිල 17 දින ප:ව:07.00 ට ඇරඹෙන තීරණාත්මක අවසන් තරගය සඳහා සුදුසුකම් ලබති. මෙම අවසාන මහා තරගය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත් වේ.
මෙහි ලීග් වටයේදී එක් රටක් තරග ත්‍රිත්වයකට මුහුණ දෙති. ඒ අනුව ශ්‍රී ලංකා ජාතික පිල 08 දින මාලදිවයිනට එරෙහිවද 11 දින සීෂෙල්ස් පිලට එරෙහිව ද 14 දින බංග්ලාදේශයට එරෙහිවද තරග බිමට අවතීර්ණ වීමට නියමිතය.
පසුගිය මාසයේ මාලදිවයිනේ දී පවත්වන ලද 13 වැනි දකුණු ආසියාතික පාපන්දු ශූරතාව හෙවත් සාෆ්
තරගාවලිය සඳහා සහභාගි කරවන ලද ශ්‍රී ලංකා පිල එලෙසින්ම මෙම තරගාවලියට ද ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලන පියවර ගෙන තිබේ.
ශ්‍රී ලාංකේය පාපන්දු ඉතිහාසයේ පළමු වරට සංවිධානය කර ඇති සිව්කොන් පාපන්දු තරගාවලිය ලීග් ක්‍රමයට කොළඹ පිලිප් ගුණවර්ධන මාවතේ පිහිටි ක්‍රීඩා සංකීර්ණ ක්‍රීඩාංගණය හෙවත් පැරණි තුරඟ තරග පිටියේදී පැවැත් වීමට පියවර ගෙන ඇත්තේ ඒ අනුව යමිනි.
1990 දශකය තුළ පවත්වන ලද තුන්කොන් ජාත්‍යන්තර පාපන්දු තරග මාලාවෙන් ඉක්බිතිව මෙරට තුළ ක්‍රියාත්මක කෙරෙන ප්‍රධානතම ආරාධිත ජාත්‍යන්තර පාපන්දු තරගාවලිය මෙය බව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලන සභාපති ජස්වර් උමාර් මහතා අනාවරණය කළේය .
ශ්‍රී ලංකාව ඇතුළුව ක්‍රියාත්මක කෙරෙන මෙම සිව්කොන් තරග මාලාවේ ශූරයින් හට "අග්‍රාමාත්‍ය කුසලානය" අගමැති මහින්ද රාජපක්ෂ මහතා අතින් පිරිනැමීමට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය තීරණය කර තිබෙන්නේ එතුමන් මෙරට ක්‍රීඩාවට සිදු කර ඇති අනුපමේය සේවයට කෘතගුණ දැක්වීමක් ලෙසිනි.
තරඟ සැලසුම
2021.11.08
ප:ව: 04.00 බංග්ලාදේශය සහ සීෂෙල්ස්
ප:ව:09.00 මාලදිවයින සහ ශ්‍රී ලංකාව
2021.11.11
ප:ව:04.00 බංග්ලාදේශය සහ මාලදිවයින
ප:ව:09.00 සීෂෙල්ස් සහ ශ්‍රී ලංකාව
2021.11.14
ප:ව:04.00 මාලදිවයින සහ සීෂෙල්ස්
ප:ව:09.00 ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය
2021.11.17
ප:ව:07.00 අවසාන මහා තරගය
සපුමල් වීදිය බණ්ඩාර
---------------------
සොරිම තමයි...
කොර වූ කොරෝනා අත්සන්
ළඟදීම පවත්වන්න සූදානම් කරලා තියෙන ක්‍රීඩා සම්මේලනයක නිලවරණ කමිටුවේ එක්තරා සාමාජිකයෙක්ගෙ හතර වරං සෙල්ලමක් පිළිබඳ පුවතක් මේ දිනවල ලැව් ගින්නක් වගේ ක්‍රීඩා අමාත්‍යාංශය පැත්තේ ලහි ලහියේ ඇවිලෙනවා කියලා ආරංචියි.
වැඩේ කියන්නෙ ඔය මනුස්සයා නිලවරණය වෙනුවෙන් නිකුත් කළ ලේඛන හතරකට එකකට එකක් වෙනස් අත්සන් හතරක් යොදලලු.
අපටත් මේක දැනුණේ හතර බීරි කතාවක් වගේ තමයි. ඒත් ඉතිං මේ වගේ දෙයක් කණට වැටුණම නිකං ඉන්න බැහැනේ. අපිත් අත්සන් කොළ පරික්ෂා කරලා බැලුවා.
හත් දෙයියනේ වැඩේ ඇත්ත නේන්නම්. මේ අවුල ලිහාගන්න රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට වත් දන්වන්න වෙයිද මන්දා.?
සමහර විට ඒ මනුස්සයා මම නම් ඔය ලේඛනවලට අත්සන් කළේ නෑ. ඕව මගේ අත්සන් නෙවෙයි. ඔය ලේඛන මම දැක්කෙත් අදමයි. මම කොහොමද ඕවට අත්සන් කරන්නෙ ඔය දවස්වල මම හිටියේ කොවිඩ් 19 වැළඳිලා ප්‍රතිකාර ගනිමින්.' වගේ දෙයක් කියන්නත් බැරි නෑ.
ඒක එහෙම නම් ඔය වැඩේ කරලා ඇත්තේ නිලවරණ කමිටුවෙම කෙනෙක්. ඒ නිසා සමහර විට එක්කෙනෙකුට දික්වෙන ඇඟිල්ල සෙට් එකටම සෙට් වෙන්නත් ඉඩ තියෙනවා.
හැබැයි රජෝ නිලවරණයක් පැවැත්වීමේ වගකීම පැවරෙන්න ඕන, අපක්ෂපාතීව, නීත්‍යානුකූලව කටයුතු කරන පිරිසක් අතට. ඒත්...............
ඇත්තටම කියනවා නම් දැන් ඔය වගේ නිලවරණ කමිටුවක් විශ්වාස කරන්න පුළුවන් කාටද?
වලිවීර