ලෝකය පුරා සිව් දිගින් ගලන සංගා ගේ කිතු ගංගාව | Page 3 | සිළුමිණ

ලෝකය පුරා සිව් දිගින් ගලන සංගා ගේ කිතු ගංගාව

'ගෞරවය පෞද්ගලික වුව ද එහි හිමිකම අදාළ පුද්ගලයා ජීවත් වන ජන සමාජයට බැර කෙරෙන්නේ ය. ඒ ජන සමාජය බොහෝ විට ලෝකය තුළ හැඳින්වෙන්නේ රාජ්‍යයන් වශයෙනි. ගෞරවනීය භාවය අතිශය වැදගත් වන්නේ ඒ හේතුවෙනි. ඔහු රටකට ණය නැති මිනිසෙකි. ආදරයට කාගෙත් සංගා වූ ඔහු කුමාර සංගක්කාර ය. මේ ඔහු ලැබූ කිතුගොස සම්බන්ධ කෙටි සටහනකි.'

තමන් ජීවත් වන රට මව්බිම ය. එම මව්බිම ලෝකය තුළ බබළවන්නට යමකුට අවසරය හිමි වන්නේ ද එය මහා වාසනාවකි. ශ්‍රී ලාංකිකයන් අතර ලෝකය තුළ තම මව්බිම බැබළවීමට සමත් වූවන් අතර ක්‍රිකට් ක්‍රීඩකයනට ලැබී ඇත්තේ ඉහළ අවස්ථාවකි.

එලෙස බිහිවූ ක්‍රිකට් ක්‍රීඩකයන් අතර කුමාර සංගක්කාරට හිමි වන්නේ අද්විතීය ස්ථානයකි. ක්‍රිකට් ක්‍රීඩාවේ දක්ෂතා නිසා පමණක් නොව නිහතමානීත්වය, මහත්මා ලක්ෂණ ආදි මානුෂීය ගුණාංග හේතුවෙන් ද සංගක්කාරට ලෝකය තුළ ඇත්තේ ඉහළ පිළිගැනීමකි. ඔහු අවස්ථා කිහිපයකදීම දෙස් විදෙස් ගෞරවාදරයට ලක් වූයේ එහෙයිනි. ඔහු පසුගිය දා ජාත්‍යන්තර වශයෙන් ලැබූ තවත් ජයග්‍රහණයක් හේතුවෙන් වැඩි දෙනකුගේ අවධානයට යොමුවිය.

ජාත්‍යන්තර සම්මාන

වසරේ ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි වන ගාර්ෆීල්ඩ් සෝබර්ස් ජාත්‍යන්තර සම්මානයේ 2012 වසරට හිමි සම්මානය හිමි කර ගත්තේ කුමාර සංගක්කාර ය. 2007, 2009, 2010, 2013, 2014 සහ 2012 ආදි ලෙස වසර හයක දී ම එම සම්මානයේ නාම යෝජනා අතරට සංගාගේ නම යෝජනා වී තිබිණි.

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය මඟින් පිරිනමන වසරේ හොඳම එක්දින පිතිකරුවා සම්මානයෙන් දෙවරක් ම පිදුම් ලැබීමට ද ඔහු භාග්‍යවන්ත විය. 2011, 2012 සහ 2013 වසරවල දී සංගක්කාරගේ නාමය එම සම්මානයට යෝජනා වී තිබූ අතර 2011 සහ 2013 වසරවල දී ‍හෙතෙම සම්මානයට පාත්‍ර විය. එපමණක් නොව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රදානය කරන වසරේ හොඳම ටෙස්ට් පිතිකරුවා සම්මානය 2012 වසරේ දී හිමි කර ගත්තේ ද ඔහුම ය.

ජාත්‍යන්තර ලෝකයේ ප්‍රමුඛ පෙළේ ක්‍රිකට් සමාගමක් වන විස්ඩන් ආයතනය විසින් 2011, 2012 සහ 2014 යන වසරවල දී ලොව හොඳම ක්‍රීඩකයා සහ වසරේ විශිෂ්ටත ම ක්‍රීඩකයා යන සම්මානවලින්ද කුමාර් සංගක්කාර පිදුම් ලැබු‍වේ ය.

 

මුද්දරයට ගිය සංගා

කුමාර් සංගක්කාර ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් සිදු කර ඇති සේවාව වෙනුවෙන් ලෝකයේ රටවල් කිහිපයක්ම තැපැල් මුද්දර නිකුත් කර තිබේ. සොලමන් දිවයින සහ ගිනි බිසව් රාජ්‍යය, ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර වෙනුවෙන් මෙලෙස තැපැල් මුද්දර නිකුත් කර ඇති රාජ්‍යයන් ය. ගිනි බිසව් රාජ්‍යය සංගක්කාර වෙනුවෙන් මුද්දරයක් නිකුත් කර තිබෙන්නේ 2012 වසරේ දී වන අතර එහි වටිනාකම පෙසෝ 3000 කි. ඔහු ගේ පිතිකරණය දැක්වෙන සිතුවමකින් මෙන්ම ඔහුගේ කඩුලු රැකීමේ දක්ෂතාවය දැක්වෙන සිතුවමකින් එම මුද්දරය සිත්තම් වී ඇත.

මුද්දරයට අමතරව සිහිවටන පත්‍රිකාවක් ද නිකුත් කර ඇති අතර සිහිවටන පත්‍රිකාව හැඩ වී තිබෙන්නේ සංගක්කාරගේ පිතිකරණය දැක්වෙන සිතුවමකිනි. සොලමන් දූපත් රාජ්‍යය විසින් ද සංගක්කාර ගේ රුව සහිත ව මුද්දරයක් නිකුත් කර තිබේ. ඩොලර් 7 ක වටිනාකමකින් යුක්ත එම මුද්දරය නිකුත් කර තිබෙන්නේ 2013 වසරේ දී ය..

 

ජාත්‍යන්තර තනතුරු

අයි.පී.එල්. යනු ඉන්දියාව විසින් සංවිධානය කරනු ලබන ලොව ප්‍රමුඛ ‍පෙළේ ජාත්‍යන්තර ක්‍රිකට් ප්‍රිමියර් ලීග් තරගාවලිය ය. එහි ප්‍රධාන ක්‍රිකට් කණ්ඩායමක් වන රාජාස්තාන් රෝයල් කණ්ඩා‍යමේ ක්‍රිකට් අධ්‍යක්ෂ තනතුරට සංගක්කාරව පත්කෙරුණේ මේ වසරේ ජනවාරි මාසයේ දී ය. එපමණක් නොව 2019 වසරේ දී ලෝක පූජිත ක්‍රිකට් සමාජයක් වන මාර්ලිබෝර්න් ක්‍රිකට් සමාජයේ සභාපති ධුරයට පත් වන්නට ද සංගක්කාර භාග්‍යවන්ත විය. 1787 වසරේ මාර්ලිබෝර්න් ක්‍රිකට් සමාජය ආරම්භ කළ දිනයේ සිට මේ දක්වාම එහි සභාපති ධූරයට පත් බ්‍රිතාන්‍ය ජාතිකයකු නොවන එක ම පුද්ගලයා ලෙස සංගක්කාර එහි දී ඉතිහාසයට එක් විය.

 

විශේෂ අවස්ථා රැසක්

මාර්ලිබෝර්න් ක්‍රිකට් සමාජයේ ආරාධිත දේශනයක් පැවැත්වීමට 2011 වසරේ දී සංගක්කාරට අවස්ථාව උදා විය. කවුඩ්‍රි දේශනය යනුවෙන් නම් කර ඇති එකී දේශනය ක්‍රිකට් ඉතිහාසයේ වැදගත් ම ‍දේශනයක් ලෙසින් සැලකේ.

2019 – 2021 පළමු වැනි ලෝක ටෙස්ට් ශූරතාවයේ අවසන් තරගයේ විස්තර විචාරකයෙක් ලෙස එක් වීමට ද කුමාර් සංගක්කාරට අවස්ථාව උදාවී ඇත. එපමණක් නොව ලොව සුප්‍රකට ක්‍රීඩාංගණයක් වන ලෝඩ්ස් පිටියේ, පවුම් මිලියන 53ක වියදමින් ඉදි ‍කෙරුණු කොම්ප්ටොන් සහ එඩ්රිච් යන ප්‍රේක්ෂකාගාර ද්විත්වය විවෘත කරන ලද්දේ ද කුමාර් සංගක්කාර විසිනි.

පසුගිය දා සිදු වුණු එම විවෘත කිරීමේ උත්සවයේ දී කෙටි දේශනයක් පවත්වන්නට ද ඔහුට අවස්ථාව හිමි විය.

එහි ඇති සුවිශේෂත්වය වනුයේ මීට පෙර ලෝඩ්ස් පිටියේ ඉදි කෙරුණු ප්‍රේක්ෂකාගාර විවෘත කර තිබුණේ බ්‍රිතාන්‍ය රජ පවුලේ සාමාජිකයන් ඇතුළු බ්‍රිතාන්‍ය ප්‍රභූවරුන් අතින් වීම ය. එවැනි තත්ත්වයක් යටතේ කුමාර සංගක්කාර ට එවන් අවස්ථාවක් හිමි වීම තුළින් ඔහු ‍කෙරෙහි ලොවක් දක්වන ගෞරවය මනාව ඉස්මතු වන බව පැවසිය යුතු ය.

Comments