වසංගත මැද ලොව ඔලිම්පික් සැණකෙළි තෙද | Page 3 | සිළුමිණ

වසංගත මැද ලොව ඔලිම්පික් සැණකෙළි තෙද

 

'පසුගිය දා නිමාව දුටු ටෝකියෝ ඔලිම්පික් උළෙලට කොවිඩ් වසංගතයෙන් පුළුල් බලපෑමක් එල්ල වුණේ ය. ඒ හේතුවෙන් තරගාවලිය පැවැත්වුණේ වසරක ප්‍රමාදයකින් පසුව ය. එහෙත් එවැනි අභියෝගාත්මක වසංගතයක් ඉදිරියේ පැවැති එකම ඔලිම්පික් ක්‍රීඩා උළෙල එය යැයි ඔබ සිතන්නේ ද? මේ ඒ සම්බන්ධයෙන් සොයා බැලීමකි. '

මෙවර ඔලිම්පික් උළෙල පැවැත්වීමට වසර සියයකට පෙර එනම්, 1920 වසරේ ලෝකය ම විශාල වසංගතයකට මුහුණ දී උන්හ. ඒ ස්පාඤ්ඤ උණ හෙවත් ස්පැනිෂ් ෆ්ලු නම් වසංගතයට ය. ලොව සත් වැනි ඔලිම්පික් උළෙල පැවැත්වීමට නියමිත ව තිබුණේ ද මෙම වසරේ දී ය.

එවර ඔලිම්පික් උළෙල පැවැත්වුණේ බෙල්ජියමේ ඇන්ට්වර්ප් හි දී ය. එම කාලයේ ස්පාඤ්ඤ උණ ලොව පුරා ඉතා ශීඝ්‍රයෙන් පැතිර ගොස් තිබිණි. එය 1918 සිට 1920 දක්වා, වසර දෙකක කාලයක් ලොව තුළ බලවත්ව පැවතුණේ ය.

එම වසංගතයෙන් ලෝකය පුරා මිලියන 17 ත් මිලියන 100 ත් අතර මිනිසුන් ප්‍රමාණයක ගේ දිවි අහිමි විය. එවන් තත්ත්වයක් තුළ බෙල්ජියම් ඔලිම්පික් උළෙල පිළිබඳ බලාපොරොත්තු බොහෝ දෙනකු විසින් අත්හැර දමා තිබිණි. වසංගතය ඇරඹෙන කාලයේ ලොව ගිනි අවුළවමින් තිබූ පළමු වැනි ලෝක යුද්ධය ද ඔලිම්පික් පිළිබඳ විශ්වාසය තවත් අඩු කරන්නට හේතුවක් විය.

නමුත් 1919 වසරේ දී ලෝක යුද්ධය අවසන් වීමත් ඔලිම්පික් උළෙලට මාස කිහිපයකට පෙර ස්පාඤ්ඤ උණ තත්ත්වය පහ වන ලකුණු පහළ වීමත් නිසා ඔලිම්පික් තරගාවලිය පවත්වන්නට ඉඩහසර එළිපෙහෙළි විය. 1920 මාර්තු මාසය වන විට වසංගත තත්ත්වය පහව ගියේ ය. ඉන් අනතුරුව 1920 අගෝස්තුවේ බෙල්ජියම් ඔලිම්පික් උළෙල ආරම්භ විණි.

ඉන් වසර අනූවක් ගතවද්දී තවත් අමුතු උණකින් ලෝකය කැළඹිණි. ඒ 2010 වසරේ ලෝකයට වැලඳුණු සූකර උණ හේතුවෙනි. 2010 ශීත ඔලිම්පික් උළෙල පැවැත්වුණේ කැනඩාවේ වැන්කූවර් හි දී ය. එම කාලයේ ද ලොව පුරා සූකර උණ වසංගත තත්ත්වයක් උද්ගතව පැවතුණි. කැනඩාවේ ද සූකර උණ පැතිර ගිය අතර, දැඩි සෞඛ්‍යාරක්ෂිත නීතින්ට අනුව ඔලිම්පික් උළෙල පැවැත්වීමට කටයුතු කෙරුණේ ය.

පසුගිය රියෝ ඔලිම්පික් උළෙල ද එවැනි ම වයිරස තර්ජනයකට මැදිව පැවැත්වූ තරගාවලියක් විණි. ඒ අනුව 2016 වසරේ ලොවට බලපෑම් කළ වයිරසය වූයේ සිකා වයිරසය ය.

2016 බ්‍රසීලයේ රියෝ ද ජැනයිරෝ ඔලිම්පික් වසන්තයට එල්ල වූ දරුණු වසංගතයක බලපෑම එය විණි.

රියෝ ඔලිම්පික් උළෙල පවත්වන්නට දින කිහිපයකට පෙර බ්‍රසීලය තුළ සිකා වයිරස් රෝගී තත්ත්වය පැතිර යන්නට විය. වසංගතයක් පැතිර යන අතරතුර ඔලිම්පික් උළෙල පැවැත්වීමෙන් පැන නැඟිය හැකි අනතුරුදායක තත්ත්වය සංවාදයට බඳුන් විණි. ඒ පිළිබඳ ව ලොව පුරා සෞඛ්‍ය විශේෂඥයෝ විවිධ අදහස් පළ කළ හ.

බ්‍රසීලයේ මෙන් ම ‍ලොව නන් දෙසින් පැමිණෙන ක්‍රීඩකයන්ට, ප්‍රේක්ෂකයෙන්ට, මාධ්‍යවේදීන් ඇතුළු උළෙලට සහභාගී වන්නන්ගේ සිරුරු තුළට සිකා වයිරසය ඇතුළු වුව හොත් එම වයිරසය වසංගතයක් ව ලොව පුරා ම ව්‍යාප්ත විය හැකි බවට මත පළ විණි. කෙසේ නමුත් වසංගත උවදුරු මධ්‍යයේ රියෝ ඔලිම්පික් උළෙල පමණක් නොව රියෝ පැරාලිම්පික් උළෙල ද සාර්ථක ව නිමා කෙරුණේ ය. අවසානයේ 2016 නොවැම්බර් මාසයේ දී ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රකාශ කළේ සිකා වයිරසය ගෝලීය වශයෙන් පැතිර ගොස් නොමැති බවයි.

ශීත ඔලිම්පික් උළෙලක් 2018 වසරේ දකුණු කොරියාවේ පැවැත්වුණේ ය. එයට නොරො නමැති වයිරස තර්ජනයක් එල්ල වී තිබිණි. දකුණු කොරියාවේ පියොන්චැන්ග් නගරයෙහි මෙම ශීත ඔලිම්පික් උළෙල සංවිධානය කෙරුණු අතර, නොරො වයිරසය ලොව ම ආක්‍රමණය කරමින් තිබුණේ ය. අමෙරිකා, යුරෝපා මහද්වීප තුළ එම වයිරසය උග්‍ර ලෙස පැතිර යමින් තිබුණේ ය.

දකුණු ‍කොරියාවේ පවත්වන ඔලිම්පික් උළෙලට වයිරසය රැගෙන රෝගය පැතිර පවතින රටවල ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇතුළු වෙතැයි බියක් ඇතිවී තිබුණේ මේ අතරේ ය. ඒ හේතුවෙන් ලොව පුරා එකී වයිරසය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය විශේෂඥයන්ගේ මතය විණි. දැඩි සෞඛ්‍යාරක්ෂිත නීතිරිති යටතේ පියොන්චැන්ග් ඔලිම්පික් උළෙල පැවැත්වුණත් නොරො වයිරසය වැලඳුණු ක්‍රීඩික ක්‍රීඩිකාවන් කිහිපදෙනෙක් ඔලිම්පික් උළෙලේ දී වාර්තා වූයේ ය.

පෙර කී අභියෝගාත්මක අත්දැකීම් සියල්ල සම්පිණ්ඩනය කර ගනිමින් සමස්ත ලෝකය ම කොවිඩ් වයිරසයේ අනතුරට මැදි ව සිටිය දී වසරක පමාවකින් අනතුරු ව මෙවර ඔලිම්පික් උළෙල පැවැත්විණි.

2019 අග භාගයේ දී චීනය කේන්ද්‍ර කර ගෙන ලොව පුරා ව්‍යාප්තව ගිය කොවිඩ් 19 වයිරසය හේතුවෙන් ටෝකියෝ ඔලිම්පික් උළෙල පැවැත්වූයේ දැඩි සෞඛ්‍ය නීතිරිතින්ට අනුකූලව ය. එය සංවිධානය කරනවාට ඇතැම් ජාත්‍යන්තර සෞඛ්‍ය විශේෂඥයන් ‍මෙන් ම විවිධ පාර්ශ්වයන්ගෙන් ඔලිම්පික් උළෙලට විරෝධයන් එල්ල විය. ප්‍රේක්ෂක සහභාගීත්වයකින් තොරව පැවැත්වුණු ටෝකියෝ ඔලිම්පික් උළෙල පසුගිය දා නිමාව දකිද් දී ඔලිම්පික් ගම්මානය තුළින් ද කොවිඩ් ආසාදිතයන් කිහිපදෙනකු හමු විය.

එහෙත් තවත් නොබෝ දිනකින් ටෝකියෝ නගරය ම කේන්ද්‍ර කර ගෙන පැරාලිම්පික් ක්‍රීඩා උළෙල ද පවත්වන්නට නියමිත ය.

 

Comments