
මමත් යමක් කරනවා. මටත් යමක් කරන්න පුළුවන්.” යන ධනාත්මක සිතුවිල්ල ඔහු තුළ නිරායාසයෙන්ම රෝපණය වී මුල් අල්ලා අතු ඉති මල් ඵල ලා වැඩුණේ ය.
'අටලෝ දහම කවර මිනිසකුට ද පොදු ය. ආගමික භේදයකින් තොරව පොදු යථාර්ථයකි. මේ අටලෝ දහමේ ප්‍රශංසා හා නින්දා දෙකම හිමි කර ගත් මිනිසෙකි. අපේක්ෂා නමැති අභිප්‍රේරණයන් ශක්තියක් බවට පත් කර ගනිමින් බලාපොරොත්තු නමැති ගිරි දුර්ග තරණය කළ ඔහු අපූරු ධෛර්යවන්තයෙකි. එහි දී ඔහු කරා ආයේ ප්‍රශංසාව ය. ජීවිතයේ යම් මොහොතක අපේක්ෂා බිඳුණු කල රුදුරු වූ ඔහු සොයා ආවේ නින්දාව ය. අප උගත යුත්තේ ඔහුගේ ධෛර්යවන්ත භාවය මිස ම්ලේච්ඡත්වය නොවේ. '
අත පය හතර හොඳට තිබෙන දරුවකු ලැබීම ඕනෑම අම්මා කෙනෙකුගේ, තාත්තා කෙනෙකුගේ ලොකුම පැතුම ය. එහෙත් ඒ උරුමය අහිමි වන්නන් කොතරම් ඇත් ද? හෙන්කේ පිස්ටෝරියස් හා ශෙයිලා පිස්ටෝරියස් එවැන්නෝ ය. ඒ, තමන් ලද පුත්‍ර ලාභය උපතින්ම ආබාධිත තත්ත්වයේ පසුවූ හෙයිනි.
1986 නොවැම්බර් 22 වැනි දින දකුණු අප්‍රිකාවේ ට්‍රාන්ස්වාල් පළාතේ, ජොහැන්නස්බර්ග් හි සැන්ඩ්ටන් හි දී ශෙයිලා පිස්ටෝරියස් පුතකු බිහි කළා ය. ඔහුට ඔස්කා ලෙනාඩ් කාල් පිස්ටෝරියස් ලෙසින් නම් තැබිණි. උපතින්ම මේ දරුවාගේ පාදවල දණහිසෙන් පහළ කොටස අප්‍රාණික විය. ඊට හේතු වූයේ පාදවල අස්ථි දැඩි ලෙස දුබල වීමේ දුලබ රෝගයකින් ඔහු පීඩා විඳීම ය.
“මේ දරුවා දැකපු ගමන් අපිට දැනුණෙ ලොකු කලකිරීමක්, කම්පනයක්. ඒත් මොනවා කරන්නද? අපි ඇඬුවා, දුක් වුණා කියලා මේ දරුවා සනීප වෙනවා ද? මේ තමයි දෙවියො අපිට සලකලා තියෙන හැටි.” මවුපියෝ සිත් සනසාගත් හ.
කෙසේ වුවත් දරුවා දෙපයින් නැඟිටුවීමට වෛද්‍යවරු නොගත් උත්සාහයක් නැත. ඔවුහු ඔහු සැත්කම් කිහිපයකට ම බඳුන් කළ හ. එහෙත් කිසිදු සතුටුදායක ප්‍රතිඵලයක සේයාවකුදු නොවීය. අවසන දණහිසෙන් මඳක් පහළට වන්නට දරුවාගේ දෙපා කපා ඉවත් කෙරුණේ සිය පළමුවන උපන් දිනය සමරන්නටත් පෙරාතුව ය.
දෙපා අහිමි පුංචි ඔස්කා කොයි වේලේත් සිටියේ ලෝකයම හිමිවූවා වැනි අසීමිත සතුටිනි, සිනහමුසු මුහුණෙනි. ඒ් මවුපියෝ මේ පුංචි සිත සැනසීමට කළ හැකි හැම දෙයක්ම කර තිබූ බැවිනි. ඔවුහු දෙපා අහිමි වූවන් පා තිබූ දස්කම් විස්කම් ගැන ඔහුට කියා දුන්හ. ඉන්, “මමත් යමක් කරනවා. මටත් යමක් කරන්න පුළුවන්.” යන ධනාත්මක සිතුවිල්ල ඔහු තුළ නිරායාසයෙන්ම රෝපණය වී මුල් අල්ලා අතු ඉති මල් ඵල ලා වැඩුණේ ය.
ඔස්කාගේ බලාපො-රොත්තුව වූයේ කෙටි දුර ධාවන ශූරයකු වීමට ය. එහෙත් ඒ සඳහා සුදුසු කෘත්‍රිම පා ඔහුට තිබුණේ නැත. ඒ අඩුපාඩුව පිරිමැසුවේ ඇමරිකානු පැරාලි-ම්පික් ක්‍රීඩක බ්‍රයන් ෆ්‍රෙෂර් ය.
කෘත්‍රිම පාද යුවලක් පැළඳ ධාවනයේ යේදීම මුල් කාලයේ දී ඔස්කා අත්විඳි දැඩි වේදනාකාරී, අමිහිරි අත්දැකීමක් විය.
නමුත් උත්සාහය අත්හැර, ඉලක්කය වෙනස් කර අභියෝගවලින් පළායෑමට ඔහු කිසිසේත්ම සූදානම් වූයේ නැත. එහෙයින් නොබෝ කලකින්ම ඔහු වඩාත් දක්ෂ ධාවන ශූරයකු බවට පත්විය.
මේ හැකියාවෙන් උපරිම ඵල නෙළා ගනිමින් ඔස්කා දකුණු අප්‍රිකාවේ පැවැති ජාතික මට්ටමේ කෙටි ධාවන තරග රැසකටම සහභාගි වී ජයග්‍රහණ ගණනාවකටම උරුමකම් කීවේ ය. මේ ජයග්‍රහණයන්හි සුවිශේෂත්වයක් ඇත. ඒ, මේ ඇතැම් ජයග්රහණයන් ලබා ඇත්තේ දෙපාවල ආබාධ රහිත නිරෝගී ක්‍රීඩකයන් සමග කරට කර තරග කිරීමෙන් නිසා ය.
“මගේ ඊළඟ හීනය වුණේ ඔලිම්පික් යන්න. ඒකටත් කෙළවරක් නැති බාධා ආවා. සාධාරණත්වය කියන බලවේගය මා වෙනුවෙන් පෙනී සිටිමින් මට රැකවරණය ලබා දුන්නා.” ඔස්කා පවසන්නේ කවර බාධා අභිමුව වුව නොසැලෙන අධිෂ්ඨානයෙනි.
2004 දී ඇතෑන්ස් හි පැවැති පැරාලිම්පික් තරගාවලියේ දී ඔහු මීටර 200 ධාවන ඉසව්වෙන් රන් පදක්කම ද මීටර 100 ධාවන ඉසව්වෙන් ලෝකඩ පදක්කම ද දිනා ගත්තේ එහෙයිනි.
2008 දී බීජිං පැරාලිම්පික් තරගා-වලියේ දී මීටර 100, 200 හා 400 ධාවන ඉසව්වලින් රන් පදක්කම් තුනම තම නිජබිමට උරුම කරලීම ඔස්කා ක්‍රීඩා දිවියේ දී ලද කැපී පෙනෙන ජයග්‍රහණයක් විය.
අනතුරුව සහභාගී වූ 2012 ලන්ඩන් පැරාලිම්පික් තරගාවලියේ දී මීටර 400 ධාවන ඉසව්වෙන් රන් පදක්කම ද මීටර 4×100 සහය දිවීමේ ඉසව්වෙන් රන් පදක්කම ද මීටර 200 ධාවන ඉසව්වෙන් රිදී පදක්කම ද දිනාගත්තේ ය.
“ශාරීරික දුබලතා තිබුණ පළියට කෙනෙක් තමන් ආබාධිතයෙක් කියලා හිතන්න හොඳ නැහැ. හැකියාව, උනන්දුව, කැපවීම, විශ්වාසය තියෙනවා නම් කෙනෙකුට කරන්න බැරි දෙයක් නැහැ.” ඒ, ‘පා අහිමි වේගවත්ම මිනිසා’, ‘බ්ලේඩ් රනර්’ යන අන්වර්ථ නම්වලින් පරසිඳු ඔස්කා පිස්ටෝරියස්ගේ ක්‍රීඩා ජීවිත අන්දරයේ සාරාංශයයි.
ක්‍රීඩා ක්ෂේත්රය තුළ අතිවිශිෂ්ට ජයග්රහණයන් රැසකට උරුමකම් කියූ ඔහු අද සිර දඬුවමක උරුමකරුවකුව සිටියි. ඒ, 2013 වසරේ පෙබරවාරි 14 වැනි දා හෙවත් පෙම්වතුන්ගේ දිනය දා සිය පෙම්වතිය වූ රිබා ස්ටින්කැම්ප් වෙඩි තබා ඝාතනය කිරීමේ වරදට ය. 2023 දී ඔහුට නිදහසේ වරම හිමිවනු ඇත.
නඳුන් අමන්ද මනමේන්ද්‍ර ආරච්චි











