චීන කොමියුනිස්ට් පක්ෂය සියවෙනි සංවත්සරය සමරයි | Page 6 | සිළුමිණ

චීන කොමියුනිස්ට් පක්ෂය සියවෙනි සංවත්සරය සමරයි

                                        පසුගියදා පැවති චීන කොමියුනිස්ට් පක්ෂයේ මහා සමුළුවේ දී                                                                      පක්ෂයේ මහා සමුළුව අමතන චීන ජනාධිපති ක්ෂි ජින්ග්පින්ග්

ජන සමාජයක් විනයවත් වීම කෙරෙහි අන් කවරදාටත් වඩා කතාබහට ලක්වන කාලයකි මේ. සමාජයක මිනිසුන් හික්මවීම, විනයවත් කිරීම කළ යුතු වන්නේ කෙසේද යන්න සම්බන්ධව කතාබහට ලක්වන කාලයකි මේ. සමාජයක් විනයවත් කිරීමට හමුදාව යොදා ගත යුතුය, මිලිටරි නීති ගෙන ආ යුතුය යන්න ඇතැම් දෙනාගේ මතයයි. එහෙත් සමාජයක් විනයවත් කිරීමට යොදා ගත යුතු වන්නේ, සමාජයක් විනයවත් කිරීමට හැකියාව ඇත්තේ අන් කිසිවකට නොව විනයවත් දේශපාලන ප්‍රවාහයකට බව නිශ්චිතව පැවසිය හැකියි. සැබවින්ම ඒ සඳහා හොඳම උදාහරණය වන්නේ චීන කොමියුනිස්ට් පක්ෂයයි.

පසුගියදා තම ශතවර්ෂ සැමරුම ගෞරවයෙන් සැමරූ චීන කොමියුනිස්ට් පක්ෂයේ ආරම්භය සිදුවී ඇත්තේ 1921 වසරේදී. ඒ සඳහා චීන සමාජවාදය ගොඩනැංවීමේ පෙරගමන්කරුවන් වශයෙන් හඳුනාගන්නා නම් ලැයිස්තු අතරට එක්ව සිටින චෙන් ඩන්ක්සු සහ ලී ඩාසෝ ඇතුළු පිරිස තම ලෙය දහදිය මුසු කළද එතැන් සිට මේ ශත වර්ෂය මුළුල්ලේ පක්ෂය ගොඩනැංවීමේ ලා කැපවුණු පුද්ගලයන් සංඛ්‍යාව අති මහත් බව සඳහන් කළ යුතුය.

චීනය සතු භූමි ප්‍රමාණය අති විශාලය. එහි භූ විෂමතාවද අති විශාලය. ජනගහනය ද අති විශාලය. මේ මහා භූමි ප්‍රමාණය කළමනාකරණය කිරීම, අති විශාල ජන සමූහය විනයවත් කිරීම සහ ඔවුන් එක් අරමුණක් වෙත යොමු කිරීම පහසු කටයුත්තක් නොවන බව පැහැදිලිය.

එහෙත් එසේ කිරීමේ ශක්තිය චීන කොමියුනිස්ට් පක්ෂය සතු වූයේ එම පක්ෂය සතු වූ විනයවත් බව නිසාවෙන්මය. තමන් නිසි පිළිවෙතෙහි නොසිටිමින් ජනතාවගෙන් විනය බලාපොරාත්තු වන බාල දුර්වල පක්ෂයක් බවට චීන කොමියුනිස්ට් පක්ෂය හෝ එහි නායකයන් කිසි දිනක පත්වූයේ නැත. ඒ වෙනුවට ඔවුන් සතුව දීර්ඝ කාලීන අරමුණු විය. එම අරමුණු කරා යෑමට අවශ්‍ය ඉවසීම සහ ශක්තිය ද ඔවුන් සතු විය. ඒ අරමුණු, ශක්තිය සහ කැපවීම චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වයෙන් යුතු චීනය ලොව විශාලතම ආර්ථිකය සතු රට බවටත්, අනාගත ලෝක නායකත්වය බවටත් ඔසවා තැබීය.

චීන කොමියුනිස්ට් පක්ෂයේ මූලාරම්භය දෙස බැලීමේදී එහි මවු ශාඛාව දක්වා මුල් විහිදී යන්නේ සෝවියට් රුසියාව දෙසටය. එහෙත් කාලානුරූපිව මවු ශාඛය වියැකී ගියද එහි අංකුරය දලුලා වැඩී ඇත්තේ වනස්පතියක් බවට පත් වෙමිනි. අදටත් ශැංහයි හි දක්නට ලැබෙන කාල් මාක්ස් සහ ෆෙඩ්රික් එංගල්ස්ගේ පිළිරුව ලොවට පෙන්වා දෙන්නෙ තමන්ටම ආවේණික වූ සමාජවාදය හා බැඳුණු දේශපාලන ක්‍රමවේදයක් ක්‍රියාත්මක කළද චීනයට මුල අමතක නැති බවය. ගෞරව කළ යුත්තන්ට ගෞරව කිරීමට, පිදිය යුත්නත් පිදීමට චීනය පසුබට නොවන බවය.

චීන කොමියුනිස්ට් පක්ෂයේ ඵල මඟින් ලොව බොහෝ රටවල තවත් අතු ශාඛා ලෙස බිහිවූ කොමියුනිස්ට් පක්ෂ බොහෝය. සමාජවාදීමය නොවූවද බිහිවූ දේශපාලන ප්‍රවාහයන්ද බොහෝය. ශ්‍රී ලංකාවේද ඇතුළුව එලෙස බිහිවූ පක්ෂවල පැවැත්ම කෙසේ වුවද සමස්ත ලෝක දේශපාලනයට චීන කොමියුනිස්ට් පක්ෂයෙන් ලැබුණු දායකත්වය මෙන්ම බලපෑමද අති විශාල බව කිව යුතුමය.

වසර සියයක් පුරා අඛණ්ඩව පැවත ඒමටත්, එමතු නොව දිනෙන් දින ශක්තිමත් වීමටත් චීන කොමියුනිස්ට් පක්ෂයට හැකියාව ලැබී ඇත්තේද ඒ නිසාවෙන්මය.

 චීන ජනාධිපති සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ නායක ක්ෂි ජින්ග්පින්ග්
 

කල්‍යාණ මිතුරන් ඇති කර ගැනීමද චීන කොමියුනිස්ට් පක්ෂයේ තවත් එක් පිළිවෙතකි. වසර සියයක ඉතිහාසය පුරා ඔවුන් ලොව පුරා ඇති කර ගත් කල්‍යාණ මිත්‍රයන් සංඛ්‍යාව බොහෝය. බෙදා වෙන් කර පාලනය කිරීමේ බටහිර ක්‍රමවේදය වෙනුවට චීනය අනුගමනය කර සිටියේ නිවා සංසිඳවීම බව පැහැදිලිය. මේ චීන පිළිවෙත සමග පෑහීමට ලොව බොහෝ රටවලට පහසු වූයෙන් මේ වන විට චීනයේ ඉදිරි ආර්ථීක දැක්ම සමග එක්වී ඇති රටවල් සංඛ්‍යාවද අති විශාලය.

චීනය තම ඉදිරි ආර්ථීක දැක්ම වන Belt and Road හෙවත් තීරයක් සහ මාවතක් ව්‍යාපෘතිය ඉදිරියට‌ ගෙන ආවේ තමන්ට පමණක් නොව තවත් රටවල් රාශියකට ඉන් ප්‍රතිලාභ ලැබෙන අන්දමිනි. මේ මහා ව්‍යාපෘති සැලැස්ම ඉදිරියේ බටහිර රටවල අන්දමන්ද වී සිටින්නේ ඔවුන් සිහිනෙන් හෝ එවැනි මහා ව්‍යාපෘති අරමුණු නොදුටු බැවිනි. චීන කොමියුනිස්ට් පක්ෂ නායකත්වය යනු ඇතැම් විට ලෝක නායකත්වය වුවද විය හැකිය.

එම ධූරය දැරූ බොහෝ පුද්ගලයෝ මේ වන විටත් ලොව අමරණීයත්වයට පත්ව ඇත්තේ නොමැකෙන සේ තම නම ලෝක ඉතිහාසයේ සනිටුහන් කරමිනි. වර්තමාන චීන ජනාධිපති ක්ෂි ජින්ග්පින්ග් මේ වන විට චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වය හෙවත් ප්‍රධාන ලේකම් ධූරය හොබවන්නේය.

ඔහු යටතේ පවතින, ඔහුගේද සාමාජිකත්වය සහිත ප්‍රධාන කමිටුව චීනයේ මීළඟ දිශානතිය තීරණය කරන්නේය.

එය බොහෝ විට ලෝකයේ දිශානතියද තීරණය කරන දිනය වැඩි ඈතක නොවීමට ද ඉඩකඩ පවතින්නේය.

Comments