වෙසක් සඳ රැස් මැද කුඩා කුරුමිණියා සහ සුපිරි ව්‍යාපාරිකයා | සිළුමිණ

වෙසක් සඳ රැස් මැද කුඩා කුරුමිණියා සහ සුපිරි ව්‍යාපාරිකයා

 

මේ ප්‍රශ්නය හමුවේ දැන් ඔබ පසුවනු ඇත්තේ තක්කු මුක්කු වෙමිනි. එහෙත් මෙතැන දී අලුතින් ම හඳුනාගත යුතු කාරණයක් ද තිබේ. ඒ සොබාදහමේ හෝ දෙවියන්ගේ හෝ අත්වැරදීමකින් එළිදකින අහඹු සවිඥානකත්වයක් මෙන් ම සාක්ෂරතාවක් ද ලබා ඇති කරුමක්කාර තිරිසන් සතුන්, කෘමි සතුන් ද බිලියනයකට එකක් වශයෙන් හෝ මේ මිහිමඩලේ කොතැනක දී හෝ උත්පාදනය වන බව ය. මේ කුරුමිණියා ද එවැනි ය.

පොත් පිටුවකට, පත්තර පිටුවකට ඉඳහිට කඩා වදින කුරුමිණීයකු ගසා බසා දැමීමට බොහෝ විට ඔබ යොමුවන්නේ කුරුමිණියාගේ ආගමනය අහේතුකව සිදුවන්නකියි සිතන නිසා ය. එහෙත් ඔබ නිවැරදි නැත. මේ කුරුමිණියා පත්තර පොත් හරහා හීන්සීරුවේ ඇදී යමින් මහත් වූ උනන්දුවකින් යුතුව යෙදී සිටින්නේ එක්තරා සෝදිසි මෙහෙයුමක ය. සෝදිසි මෙහෙයුමේ අරමුණ වන්නේ කුරුමිණීයන් ඇතුළු කෘමී සතුන් මුහුණ පා සිටින ඒ ඓතිහාසික අසාධාරණය ගැන එක අකුරක්, එක වචනයක් ලියන්නට, එකම එක විදග්ධයකු හෝ එකම එක වතාවකදී හෝ එකම එක පෑන් පාරක් හෝ ගසා ඇද්දැයි නිරීක්ෂණය කිරීමය: සොයාබැලීම ය.

මානව හිමිකම් උත්කර්ෂයට නගන, ඉදහිට සත්ත්ව හිමිකම් ගැන ද නෑසෙන සුලු හඬක් අවදිකරන කිසිවකු කිසිවිටෙකත් කටේ කෙළ බිඳක් පිට නොකරන්නේ, කෘමි හිමිකම් ගැන හෝ කෘමි සතුන්ගේ ජීවිත අයිතිය ගැන ය. සුපිරි ව්‍යාපාරිකයකු අමතන්නට කුරුමිණියා මේ මෙහොතේ යොමුවන්නේ ඒ කෘමි හිමිකම පිළිබඳ හඬක් නැඟීම සඳහා ය.

කුඩා කෘමියාගේ පටන් සද්දන්තයා දක්වා තිරිසන් සතුන් විෂයයෙහි ‘මිනිසා’ නමැති මහබලවතා විසින් මුදාහරිනු ලබන සාහසිකත්වය සම්බන්ධයෙන් ගොනු කළ හැකි චෝදනා පත්‍ර අසීමිත ය. එහෙත් කුරුමිණියා මේ වෙසක් සමයේ මේ ආයාචනය, මේ දුක්ගැනවිල්ල, මේ අවනඬුව කියා සිටින්නේ ධර්මාධිකරණයකට නොව, වසවිස සහිත කෘමිනාශක නිෂ්පාදනයේ හෝ ආනයනය කිරීමේ හෝ යෙදී සිටින සුපිරි ව්‍යාපාරිකයකු වෙත ය.

මල් සුවඳ, හඳුන්කූරු සුවඳ සුළඟට මුසු වෙමින් ඇති මේ සිහිකටයුතු මෙහොතේ කිසියම් වූ මුදුහැඟුමක් වගාදිගා කරගැනීමේ හැකියාව සුපිරි ව්‍යාපාරික මහතුන්ට ද හිමිවනු ඇතැයි කුරුමිණියාට හැගෙයි. මේ වකවාණූවේ අගනුවර ප්‍රසිද්ධ මංමාවත්, වටරවුම්, පහන් කණු, නන්විධ වූ සැරසිලිවලින් විදුලි පහන්වලින් ශෝභමාන කරමින් සිටින්නේ සුපිරි ව්‍යාපාරික මහතුන් වන ඔබම ය. මේ සැරසිලි අතරේ මෛත්‍රීය කරුණාව, මුදිතාව, උපේක්ෂාව ගැන මෙන්ම පාණාතිපාතා විරමණ ශික්ෂා පදය ගැන ද ආලවට්ටම් සහිතව ලියැවුණු ආකර්ෂණීය දහම් පාඨ ද චාරු අකුරින් ඇදී තිබේ. ඉතින් මේ සිහිකටයුතු අවස්ථාව කුරුමිණීයා විසින් යොදා ගනු ලබන්නේ ඔබ නිෂ්පාදනය කරන, නැතහොත් ආනයනය කරන කෘමිනාශකයන්හි සිදුකළ යුතු වෙනස්කමක් ගැන යෝජනාවක් ඉදිරිපත් කිරීම සඳහා ය.

උකුණු හිසකට නොවැඩි මේ කුරුමිණි මොළයට හැගෙන දැනෙන ආකාරයට නම් ‘වෙසක්’ යැයි කියන්නේ බුදුන්වහන්සේ ගේ උත්පත්තිය, බුද්ධත්වය හා පරිනිර්වාණය යන තෙමගුල සැමරීමට ය.

තෙමගුල අතරිනුත් අතිවිශේෂ වන්නේ ‘බුද්ධත්වය’ යැයි මේ කුරුමිණි මොළයට ද හැගෙයි. ඒ උන්වහන්සේගේ උත්පත්තියට හා පරිනිර්වාණයට වඩා වැදගත් වන්නේ උන්වහන්සේ දෙසූ සර්වකාලීන, සාර්වභෞමික ධර්මයම යැයි කුරුමිණීයාට සිතෙන නිසා ය.

‘යමෙක් ධර්මය දකී ද හේමා දකී’ යන බුදු වදන මුද්‍රණය කළ බැනර රාශියක් මං සන්ධියක් ගානේ එසවී ඇත්තේ ද සුපිරි ව්‍යාපාරිකයකු වූ ඔබගේ අනුග්‍රහයෙනියි කුරුමිණියා දැන සිටියි. කෙසේ වුව ද මැනවින් ම පෙනීයන සුපැහැදිලි කරුණ වන්නේ මේ කුඩා දිවයිනට වචනවලින් නම් කිසි අඩුවක් නැති බව ය. අඩුව පවතින්නේ සිතුවිලිවල ය. ක්‍රියාවන්හි ය.

කුරුමිණියකුට, කුරුමිණි අඬුවලින්, කුරුමිණි අත්අකුරින් පාණාතිපාතා විරමණ ශික්ෂාපදය ගැන ලියන්නට සිදුවීම දෛවයේ සරමදක් දැයි සිතෙයි. එය ඛෙදජනක කරුණකට ද වැඩියෙන් හාස්‍යජනක කරුණකියි ද හැඟෙයි.

බුදුදහම පරපණ නැසීමට සම්පුර්ණයෙන් විරුද්ධ බව ප්‍රකට කරුණකි. ‘පාණ’ ශබ්දයෙන් මනුෂ්‍ය ප්‍රාණයත්, සත්ත්ව ප්‍රාණයත් යන ප්‍රාණ දෙකක් අදහස් කොට ඇති බවත්, පණ ඇති අය හැඳින්වීම සඳහා පාලි ත්‍රිපිටකය තුළ උපයෝගි කරගෙන ඇති ‘පාණ’ ‘භූත’ සහ ‘සත්ත’ යන පද තුන පිළිබඳවත් කුරුමිණියාට වඩා හොඳින් දැන සිටින්නේ මනුෂ්‍යයන් වන ඔබ ය. ඒ මේවා නිරතුරුවම ගිලිහී යන්නේ ඔබේ දෙතොලතරින් වන නිසා ය. සුත්ත නිපාතයේ මෙත්ත සූත්‍රය ඔබට ඉතා හොඳින් කටපාඩම් වූවකි.

එහෙත් ....? පුදුම සහගත කාරණය වන්නේ නිතර දෙවෙලේ මෙත්ත සූත්‍රය සජ්ඣායනය කරන ඔබ, කුඩා කෘමියාගේ පටන් සද්දන්තයා දක්වා වන සියලු තිරිසන් සතුන් කෙරෙහි සිතා හෝ නොසිතා මුදාහරින සාහසික කෲරත්වයයි.

ලෝක නිර්මාණය ස්වයංසිද්ධ වුවක් වේවා දෙවියකුගේ නිර්මාණයක්ම වේවා මු`ඵමහත් ලෝකයම සිය බුක්තියට සවිකර ගෙන සිටින්නේ ඔබ ය. ලෝකයේ ජීවීඅජීවි සැමදෙයක්ම නිර්මාණය වී ඇත්තේ ඔබ සඳහා ය- ඔබගේ පරිභෝජනය සඳහා යැයි ඔබ සිතයි.

ඒ අනුව සියලු තිරිසන් සතුන්, කෘමි සතුන් උත්පාදනය වී ඇත්තේ එක්කෝ ඔබගේ රසදිව පිනවීම සඳහා ය. නැතහොත් ඔබේ සුව පහසුව සඳහා බුරුතු පිටින් ඝාතනය වීමට ය.

කෙසේ වුවත් අනුන්ගේ මස් කන්දක් කුස දරා සිටියදී ද ඔබ කුඩා සතුන්ට, සද්දන්තයන්ට මෙන්ම උපන්, නූපන් පෙනෙන නොපෙනෙන සියලු සතුනටම මෙත් වඩයි. වචනවලින් නම් ඔබ ළඟාවි සිටින්නේ දේවත්වයට ය. එහෙත් සිතුවිල්ලට අරා සිටින්නේ යක්ෂයෙකි.

කෙසේ හෝ මේ ලෝකයේ කෘමිසතුන් යැයි කියන්නේ කුකුළන්, ගවයන්, ඌරන් එළුවන් තරමටම, ඇතැම් විට ඊට ද වැඩියෙන් මරණය නැතහොත් ඝාතනය උරුම කරගෙන උත්පාදනය වූවනට ය. ‘ඝාතනය එපා’ යැයි අප උද්ඝෝෂණය නොකරන්නේ එය පුස් වෙඩිල්ලක් තරමේ හෝ හඬක් නොනගන බව අපට නිසැක නිසා ය.

මරණය නරක නැත. ඝාතනය ද නරක නැතැයි සිතන්නට දැන් දැන් අපි හුරුව සිටිමු. එහෙත් විඳවීමකින් තොරව ඝාතනය වීමේ හැකියාවක් අවකාශයක් අපට විවර විය යුතු යැයි ද අපි විශ්වාස කරමු.

කෘමිනාශක නිෂ්පාදනයේ, ආනයනයේ යෙදී සිටින ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික මහතකු ඇමතීමට අප යොමුවන්නේ මේ ගැන යම් මතක් කරදීමක් කිරීමට ය.

කුරුමිණීයාගේ මේ වුවමනාව, වන්නේ කෘමිනාශකයන්හි සැර බාල කරගැනීම යැයි දැන් ඇතැම්විට ඔබ උපකල්පනය කරනු විය හැකි ය. එහෙත් කුරුමිණියා ඉල්ලා සිටින්නේ එහි අනිත් පැත්ත ය. එනම් කෘමිනාශකයන්හි විෂ මාත්‍රාව තීව්‍ර කරදෙන ලෙස ය. සුවදායී ක්ෂණික මරණයක් පිළිබඳ මේ බැගෑපත් ඉල්ලිම මුලින්ම හැඬුකඳුළින් යුතුව ඉදිරිපත් කළේ කුරුමිණියාගේ සන්මිත්‍ර කැරපොත්තා ය. කෘමිනාශක ප්‍රහාරයකින් දැවී යමින් සිටි කැරපොත්තාගේ අන්තිම වචන එලෙසින්ම සටහන් කර තබන්නේ ඔබේ අවබෝධය පිණිස ය.

අනේ, ඉතිං අපට හිතහදාගෙන මැරිල ගියහැකි අපේ පොඩි උනුත් එකසැරේට මැරිලයනව නං. පොඩිඋන්ගෙ මළසිරුරු අපිව මේ තරම් කම්පාවට පත් කරන්නෙ නෑ. අපට දරාගන්නට බැරි උන්ගේ දැවිල්ල. වේදනාව. කිරි සප්පයො එහේ දුවනවා. මෙහේ දුවනවා. ඒ දැවිල්ල ඒ ගින්න අපට දැනෙන්නෙ දෙගුණ වෙලා. උං මොනතරමක් නං දඟලනවයි කියලද? කොච්චර වෙලාවකට පස්සෙ ද උන්ට මරණයේ සැනසීම ලැබෙන්නෙ?

‘පින්’ ‘පව්’ නැතහොත් ‘පුණ්‍ය කර්ම’ හා පාප කර්ම ඔබ හඳුනා සිටින ආකාරය ද කුරුමිණියාට නම් තරමක් අමුතු ය. ක්ෂණික ඝාතනයක් සිදු කිරීමේදී ලැබෙන පලවිපාකවලට වඩා අඩුවෙන් පලදෙන්නේ ටිකෙන් ටික, අනුක්‍රමිකව මරාදැමීම යැයි ඔබ සිතා සිටියි. යටත් විජිත යුගයේ මේ දිවයිනට පැමිණ සිටි ඇතැම් සුදු ජාතික දඩයක්කරුවන් අලි ඇතුන් ඝාතනය කළ ආකාරය ඔබ හඳුනා සිටින්නේ බරපතළ පාපක්‍රියාවක් ලෙසිනි. දඩයමේදී ඔවුන් මුලින්ම කරන්නේ ගලක් ගසා හෝ වෙනත් ආකාරයකට හෝ සත්ත්වයාගේ මුහුණ තමා දෙසට හරවාගැනීම යැයි කුරුමිණීයා අසා තිබේ. ඉනික්බිතිව ඔව්හු හරියටම, ඍජුවම එල්ලය අල්ලා එක උණ්ඩයකින්ම සත්ත්වයා බිම හෙළති. මේ දඩයක්කරුවන්ට තවමත් ඔබ කියන්නේ ‘පව්කාරයා’ යි කියා ය. ඉතින් දැන් පව්කාරයින් නොවන්නෝ ද ඝාතනයේ යෙදෙති.

උගුරට හොරා බෙහෙත් කෑමක් වැනි වූ මේ ක්‍රමෝපාය සඳහා ඇතැම්විට ඔවුන් භාවිතයට ගන්නේ මන්දකි: නැතහොත් හක්කපටස් උගුලකි: එසේත් නැතහොත් විදුලිය කාන්දුවකි. මේ හැම ප්‍රවේශයක්ම සතුනට පමුණුවන්නේ දැඩි වේදනා ය. තුවාලවීමෙන්, තුවාල කුණුවීමෙන් සතුන් මියැදෙන්නේ දින ගණනක් මු`ඵල්ලේ අපා දුක් විදීමෙන් පසුව ය.

පින් පව් ගැන මිනිසුන්ට අලුතින් කියාදෙන්නට කුරුමිණියෙකුට බැරි ය. කුරුමිණියා මේ අදහස් දක්වන්නේ පොතේ හැටියට ද නොවේ. හිතේ හැටියට ය. කෙසේ වුවද මනො පුබ්බංගමා ධමමා - මනෝ සෙට්ඨා මනොමයා යනුවෙන් ධමම පදය, යමක වර්ගයේ ආරම්භක ගාථාව කියන්නේ සිතේ ඇති වන ගතීන් සිත පෙරටුකොට පවතින බව ය. මේවා ඇත්තේ සිතා බලන්නට විමසා බලන්නට මිස සජ්ඣායනා කරමින් එක තැන රැදී හිස් බැල්මෙන් බලාසිටින්නට නොවේ.

ඔබේ සැපත ඔබේ සුවසහනය ඔබේ පහසුව සඳහා කෘමිසතුන් ඝාතනය කළ යුතුම යැයි ඔබ සිතන්නේ නම් ඉතා අඩු තරමින් ක්ෂණික, සුවදායී මරණයක් හෝ ඔවුනට අත්පත් විය යුතු බව තේරුම් ගන්නට ඔබට සිදුවෙයි.

රථරෝදය යන්නේ ගැල අදින ගොනාගේ පය අනුව ය. මෙය බුදුන් වහන්සේගේ නීතියක්, නියමයක් හෝ විධානයක් නෙවේ. ඒ වූ කලී සොබාදහමේ නීතියයි.

බුදුදහම කියන්නේ සොබාදහම විනිවිද දැකිය හැකි අන්වීක්ෂයකටය යන්න කුරුමිණියාගේ නිගමනයයි.

කෙසේ වුවද මෙහි ප්‍රස්තුත කාරණය හෙවත් සුවදායක ‘ක්ෂණික මරණය’ සම්බන්ධයෙන් බුදුදහමේ ස්ථාවරය ගැන කුරුමිණීයා ටක්කෙටම දැන සිටින්නේ නැත. එහෙත් බුදුන් වහන්සේ යැයි කියන්නේ නීති සම්පාදකයකුට වත් නීති පනවන්නෙකුට වත් අණ දෙන්නකුට වත් නොවන බව නම් කුරුමිණියාට විශ්වාස ය.

සුවදායී ක්ෂණික මරණයක් ගෙන එන ඝාතනයක් ඉල්ලා සිටීම සම්බන්ධයෙන් වුවද කවර ආකාරයේ හෝ බලපෑමක් කිරීමට බුදුන්වහන්සේ ට කිසිදු වුවමනාවක් නොවන බව කුරුමිණියා තරයේ විශ්වාස කරයි. රූං ගා පියාඹගෙන යන කුරුමිණියාගේ දුර ගමන් අතරතුර ක`ඵතර බෝධියට හෝ මාතර බෝධියට හෝ වෙන කුමන බෝධියකට හෝ පඬුරක් දමන්නට බැරිවීම ගැන බියක්, සැකයක්, පශ්චාත්තාපයක් කුරුමිණියා තුළ හටනොගන්නේ ද ඒ නිසා ය. මෙය ඉල්ලාගෙන කෑමක් ලෙස මෙන්ම පාපකර්මයක් ලෙස ද හැඟීයනු ඇත්තේ මනුෂ්‍යයන් වන ඔබට ය.

එහෙත් මෙහි ආශිර්වාදාත්මක බව, සුව සහනය ඒත්තුගෙන සිටින්නේ කෘමි සතුන් වන අපම ය. පුණ්‍යකර්මය හා පාපකර්මය තීරණය වන්නේ ඒ ඒ සත්වයා රැඳී සිටින තලයට අනුකූලව ය. මේවා වචනයෙන් පැහැදිලි කිරීම පහසු ද නැත.

ඇතැම් විට ඔබ කෘමිනාශක වෙළෙන්දකු විය හැකි ය. කෘමිනාශක ආනයනය කරන්නෙක් විය හැකි ය.

මහ පරිමාණයෙන් කෘමිනාශක ලොව පුරා බෙදාහරින බහුජාතික සමාගමක නියෝජිතයෙක් හෝ කෘමිනාශක ප්‍රවර්ධනය කරන්නෙක් හෝ විය හැකි ය. එසේ නම් මේ ඇමතුමේ ඉලක්කගත පුද්ගලයා වන්නේ ඔබ ය, මෙය ඔබ වෙත යොමුකෙරෙන්නේ පොදු වශයෙන් කිසිවකුගේ දයානුකම්පාව කෙසේ වෙතත් අවධානය හෝ නොලබන අවාසනාවන්ත කෘමි සතුන්ගේ පොදු ගැටලුවක් අරබයා ය. විශේෂයෙන් ඒ කැරපොත්තාගේ ආයාචනය සලකා බැලීම සඳහා ය.

මෙයට,

විශ්වාසී

කුරුමිණියා

 

Comments