සිංහරාජය ගැන භාග්‍යා කියන කතා ඇත්තද? | සිළුමිණ

සිංහරාජය ගැන භාග්‍යා කියන කතා ඇත්තද?

 

ගෙවීගිය දින කීපය තිස්සේම රට පුරා කවුරුත් වැඩි අවධානයක් යොමු කළේ සිංහරාජ වනාන්තරය විනාශ කරන බවට පැතිර කතාවටයි. සැබවින් ම එවැන්නක් සිදු වන්නේ නම් එය බලවත් අපරාධයකි. සියලු සත්වයන්ගේ ජීවන පැවැත් ම උදෙසාත් පරිසරයේ සුන්දරත්වය සඳහාත් වනාන්තරයකින් සිදුවන්නේ සුවිශාල දායකත්වයකි. සිංහරාජය යනු ලෝක උරුම වනාන්තරයකි. එහි සුන්දරත්වය දැකීමට දෙස් විදෙස් ජනයා මහත් ප්‍රියතාවක් දක්වයි. ජෛව විවිධත්වයෙන් පිරුණ, ශ්‍රී ලංකාවට ආවේණික ශාඛ හා ඖෂධ වර්ග මෙන්ම සතා සිව්පාවුන් පවා ගහණ ප්‍රදේශයක් ලෙස සිංහරාජය සලකයි. ඒ විතරක් නොව අනුබුදු මිහිඳු මාහිමියන් ද පරිසරය සුරැකීමේ වැදගත්කම පෙන්වා දුණි.

අපේ රටේ පරිසර සුන්දරත්වය වනසාලමින් වනාන්තර එළි කරමින් සංවර්ධනයේ මිරිඟුවක් පසුපස දුවන බවට විවිධ පරිසර සංවිධාන චෝදනා නඟයි. මෙවැනි වටපිටාවක් පසුගිය කාලය පුරාවට එවැනි මාතෘකා රැසක් කරලියට පැමිණියේය. එවන් ජනප්‍රිය කතාවකට මෑතක දීම මාවත විවර වන්නේ රක්වාන කජුගස්වත්ත පදිංචි තරුණියක් වන භාග්‍යා අබේරත්න රූපවාහිනී වැඩ සටහනක් අතරතුර සිදු කළ ප්‍රකාශයත් සමඟිනි. සිංහරාජ වනාන්තර මායිමේ අලිමංකඩ අවහිර වන පරිදි පරිසර පද්ධතියට හානි කරමින් හෝටලයක් ඉදි කරනවා යැයි ඇය මෙහිදී ප්‍රකාශ කරයි. ගස්වැල් කපා දමමින් දිය පහර අවහිර කරමින් සිංහරාජ මායිම සාහසික ලෙස වනසන අයුරක් ඉන් ගම්‍ය විය. අප ද එයින් මහත් කම්පනයට පත් වූයේ පරිසරය ආරක්ෂා කිරීම ජාතික වගකීමක් වන හෙයිනි. මේ ප්‍රකාශය ඔස්සේ සමාජ මාධ්‍ය මගින් විවිධ පුද්ගලයන් ඉලක්ක කර වාග් ප්‍රහාර එල්ලකර ගැනුනි.

එය සංවේදී ප්‍රකාශයක් ද විය. ඇගේ ඇස්වල පිරුණු කඳුළු සංවේදී හදවත් වැලඳ ගත්තේය. අනුකම්පා කළේය; ආදරය කළේය. මේ නිසා ම ඇත්ත දැන හෝ නොදැන ඇයව සුරැකීමේ මුවාවෙන් පෙනී සිටි සමාජ මාධ්‍ය වීරයන් රැසකගේද රැඟුම් දැක ගත හැකි විය. කොළඹ කේන්ද්‍රීය ජනප්‍රිය විරෝධතා සංස්කෘතියට පණ ලැබීද ගමේ උදවිය මේ ගැන වචනයක්වත් කීවේ නැත. ඒ ඔවුන් මෙහි යථා තත්ත්වය හොඳින් දන්නා හෙයිනි.

සිංහරාජය දැක නැති රත්නපුරයට පය ගසා නැති සමහරුන් අතරමං විය. මන්ද සිංහරාජ මායිම් හරි හැටි නොදන්නාකම විය යුතුය. මුවින් ගිලිහෙන සෑම වචනයකටම යම් අර්ථවත් බවක් පවතී. එහෙත් භාග්‍යා කළ ප්‍රකාශය එතරම් ම ගැඹුරින් ඇයට නොදැනෙන්නට ඇත. අප තව දුරටත් බෝටියතැන්න කතාවේ ඇත්ත නැත්ත සොයා යන්නට අදහස් කළෙමු. භාග්‍යා අබේරත්න පෙන්වා දෙන මේ ඉඩම පිහිටියේ රක්වාන පොතුපිටිය මාර්ගයේ රක්වාන දෙසින් පොතුපිටිය ට කිලෝමීටර් පහක් පමණ ගිය තැනයි.

" මෙය පුද්ගලික ඉඩමකි- අනවසරයෙන් ඇතුල්වීම තහනම් " යනුවෙන් සඳහන් දැන්වීමක් ඉඩමට ඇතුළු වන ස්ථානයේ සවිකර ඇත. එහි වූ ගේට්ටුව අසලට පැමිණි මා ඉඩම හිමිකරු සිටීදැයි ඇසුවේ ගේට්ටුව අසල සිටි ආරක්ෂකයාගෙනි. ඔහු ඉඩම මධ්‍යයේ ඇවිදිමින් සිටි තරුණයකු පෙන්වා මේ ඉන්නේ ඔහු යැයි පෙන්වීය.

" මේ ඉඩමේ අයිතිකරු ඔබද".. ඔව් මහත්තයා. එන්න ඇතුළට. ඒ අවසරයෙන්ම මා හට ඉඩමට ඇතුළු වීමට හැකි විය. මගේ ඊළඟ අභිප්‍රාය වූයේ මේ ඉඩමේ හිමිකාරත්වයේ නිරවද්‍යතාව පසක් කර ගැනීමයි.

ඒ අනුව ඉඩම හිමි ගයාන් ගුරුගේ සමඟ කෙළින්ම කතා බහට යෙමුවිය. ගයාන් කියන්නේ මෙම ඉඩම ඔහු මිලදී ගත්තේ 2020 ජූනි මාසයේ බවත් ඒ වන විට මෙහි මානම් සහ ඉළුක් වැනි තණකොළ වැවී තිබූ බවයි.

ඇයි මෙහෙම තැනක ඉඩමක් මිලදී ගන්න හිතුවෙ." පසුගිය වසරේ කොරෝනා වසංගතය හේතුවෙන් අපි ගෙදරටම කොටුවුණා. යන්න එන්න ජීවිතය විඳින්න තැනක් තිබුණෙ නෑ. ඒ නිසා අපි කල්පනා කළා මේ වගේ නිස්කලංක පරිසරයක විවේකීව ඉන්න තැනක් හදාගන්න. ඒ අනුව මගේ පවුලේ අක්කලා දෙන්නත් එක්ක පැරණි තේ වගාව සහිත මේ ඉඩම ගත්තා. ඊට පස්සේ අපි නියමිත අවසර ලබාගෙන කුඩා නිවාස තුනක් ඉදිකිරීම ආරම්භ කළා. අපි මේ ඉඩමේ එකම ගසක්වත් කැපුවෙ නෑ. අපි පරිසරය ට ආදරෙයි. ගස් නැති නිසා පැළ විශාල ප්‍රමාණයක් රජයේ පැළ තවාන් වලින් ගෙනැවිත් රෝපණය කළා. ඒ නිසා අපි ඉඩම හදන ගමන් ම ලස්සන ට ගස් වැල් වවලා මේ ඉඩම ගස්වලින් ම වහනවා. තව මාස කීපයකින් ආවොත් ඔබලාට බලාගන්න පුළුවන් වෙයි මෙහි සැබෑ තත්ත්වය. අපිට පුද්ගලිකව දොස් කිව්වාට අපි කලබල වුණේ නෑ. සත්‍යය ජයගනියි.

⁣එහෙත් ඉඩමේ අයිතිය සම්බන්ධයෙන් සමාජයේ පළ වූ අදහස් අනුව එහි ඇත්ත නැත්ත සොයා බැලීම සඳහා අප මුණගැහුණේ දොලේකන්ද වසමේ ග්‍රාම නිලධාරී අමිත ධර්මසිරියි.

මොකක් ද මේ ප්‍රශ්නගත ඉඩම..?

මේක කලවාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දොලේකන්ද වසමේ පිහිටි බෝටියාතැන්න වත්ත කියන්නෙ මේකට. මේ ඉඩම 1961. මැයි මස 19 දින නිකුත් කර ඇති අංක 933 අවසන් ගම් සිතියමට අනුව අංක 84 බෝටියතැන්න මූකලාන බෙරගල කන්දෙපැනැල්ල මූකලාන බෝටියතැන්න එස්ටේට් ගෝල්ඩන් ග්‍රෝ බෙරගල මූකලාන වශයෙන් මෙම ඉඩම හඳුන්වා තිබෙනවා. මීට අයත් භූමිය අක්කර 501 රූඩ් 1පර්චස් 17 ක් විශාලත්වයෙන් යුක්තයි. දැනට මේ කතා කරන කොටස හරියටම අක්කර හතයි රූඩ් තුනයි පර්චස් විසි විසිතුනයි දශම තුනයි දෙකක් විශාලය. මෙම ඉඩමට අයත් ප්‍රමාණය කොටස් කරුවන් තිදෙනකු ට අයිතියි.

මේ ඉඩම් කොටස සම්බන්ධයෙන් ඔබ දන්නා කරුණු ? මේක පැහැදිලිවම පුද්ගලික ඉඩමක්. ඒ ගැන තර්කයක් නෑ. මේ ඉඩමේ මායිමටත් එහායින් තවත් පුද්ගලික ඉඩම් කීපයක් ම පිහිටා තිබෙනවා. ⁣දැනට අවුරුදු තුනකට ඉස්සෙල්ලා එදා මේ ඉඩමේ හිමිකරු භූගත ජලය උඩට ගෙන ජලය බෝතල් කිරිමේ ව්‍යාපෘතියක් සඳහා අවසර ඉල්ලා තිබුණා. මෙහි තිබූ ගස් කපා දමා තියෙන්නෙ ඒ අවස්ථාවෙ. මෙයට විරුද්ධව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහ ගමේ උදවිය ගෙන ගිය සටන නිසා ඔහු ඉඩමත් විකුණලා යන්න ගියා. ඔවුන්ගෙන් වර්තමාන හිමිකරුවන් ඉඩම ලබා ගෙන තිබෙන්නෙ 2020 ජූනි මාසයේ. ඒ වන විට ඉඩමේ තිබුණේ විනාශ වී ගිය තේ සහ ඉළුක් සහිත කුඩා කැලෑවක්. එහි වටිනා ගස් කිසිවක් තිබුණේ නැහැ. එදා ඉඳලා ම ඉඩම සංවර්ධන කටයුතු කෙරෙනවා. පැළ වර්ග සිටුවා තිබෙනවා. තේ නැවත වගාව ආරම්භ කරලා. නමුත් එදා වතුර බෝතල් කර්මාන්තය පටන් ගත්තා නම් අද විශාල ජල ප්‍රශ්නයක්. එය නතර කර ගැනීමට ගමේම ජනතාව එකට එකතු වුණා. මේ ඉඩම සංවර්ධනය කරනවාට කවුරුත් විරුද්ධව ආවේ නෑ.

අප ඊළඟට ගියේ කලවාන ප්‍රාදේශීය ලේකම් සංජීවනී කන්ඩම්බි මුණ ගැසීමටයි. මොකක් ද මේ සිංහරාජ වනාන්තරය අයිනේ හෝටල් තුනක් හදන කතාව..?

ඔබ අහන්නෙ බෝටියතැන්න ඉඩම ගැනද..? ඔව්.

මෙම ස්ථානය මම පරීක්ෂා කළා. මෙහි ගස් කැපීමක් සිදුව ඇත්තේ මීට වසර කීපයකට පෙර ඉඩමේ හිමිකරුවන් අතින් බවයි තොරතුරු තිබෙන්නෙ. මෙහි කුඩා දිය පහරක් අවහිර කොට අක්කර කාලක විතර කුඩා පොකුණක් සාදා තිබුණා. මම උපදෙස් දුන්නා; එය ඉවත් කරන ලෙස. මේ වන විට එය සිදුවී තිබෙනවා. මෙකී දිය පාර මීට අවුරුදු දහයකට පෙර වෙනත් පැත්තකින් ගලා ගෙන ගිහින් තිබෙන්නෙ. වර්තමාන හිමිකරුවන් ඉඩම මිලදී ගනිද්දී දියපහර මෙම ඉඩම හරහා ගලා යාමට සලස්වා තිබෙනවා. නමුත් මේ ඉඩම මේ වන විට පැරණි තේ වගාව විනාශ වූ කොටස් නැවත වගා කටයුතු ආරම්භ කර තිබෙනවා.

පරිසර සංවේදී කලාප වල පිහිටි ඉඩම් සංවර්ධනය කිරීමේ දී නිශ්චිත ක්‍රමවේදයක් අනුගමනය කළ යුතුව තිබෙනවා නේද ?

ඔව්. නමුත් මෙම ඉඩම විනාශ වී ගිය පැරණි තේ වගාවක්. පාරිසරික වාර්තාවක අවශ්‍යතාව මතු වන්නේ අලුතෙන් ම කැලය කපා ඉවත් කරන අවස්ථාවකදි. පස ආරක්ෂා කිරීමට ගල්වැටි යොදමින් තිබෙනවා. මතුපිටින් පෙනෙන මට්ටමේ හානිදායක තත්ත්වයක් දැනට නැහැ. මේ පිළිබඳව අපි අවධානයෙන් සිටින අතර පරිසරය ට අහිතකර යමක් වේ නම් අවශ්‍ය නීතිමය පියවර ගැනීමට අපි පසුබට වෙන්නෙ නැහැ. භාග්‍යා අබේරත්න වැනි දරුවන් පරිසරය ගැන අවදියෙන් සිටීම හුඟක් වැදගත්. මේ නිසා අලුත් පරිසර ආරක්ෂණ සංස්කෘතියක් රටේ බිහිවේවී. ඉතිරිව ඇති රජයට අයත් ඉඩම් හා වටිනා පරිසරය ආරක්ෂා කර ගැනීමට මේ අවස්ථාව ප්‍රයෝජනයට ගැනීම සුදුසුයි.

වනාන්තරයකට වග කියන රාජ්‍ය ආයතන කිහිපය අතරින් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රධාන තැනක් උසුලනු ලබයි. රත්නපුර අතිරේක අඩවි වන නිලධාරී සම්පත් වනිගසේකර පවසන්නේ භාග්‍යා දියණිය ඉදිරිපත් කළ ඉඩම බෝටියතැන්න නැමති ඉඩම නම් එය වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව ට අයත් ඉඩමක් නොවන බවයි. බොහෝ දෙනෙක් කතා කරනවා හෙක්ටයාර එකකට වඩා විශාල ඉඩමක් එළ පෙහෙළි කරනවා නම් ඊට වලංගු පාරිසරික බලපත්‍රයක් ලබා ගත යුතු බවට. නමුත් ගැටලුව වෙන්නෙ මෙම ඉඩම විනාශ වී ගිය පැරණි තේ වගා ඉඩමක් නිසා එවැනි අවශ්‍යතාවක් මතු වෙන්නේ නැහැ. මේ වන විට අයිතිකරුවන් තුන්දෙනෙක් විසින් නිවාස තුනක් ඉදිකරනවා. හුඟ දෙනෙක් මෙය සිංහරාජ වනාන්තරය යැයි කියා කරන අර්ථකථනය සාවද්‍යයි. නමුත් අපි සිංහරාජ පරිවාර වනාන්තර ආරක්ෂා කළ යුතුයි. දැනට පවතින අණපනත් සමඟ මෙසේ තර්ජනයකට ලක්ව ඇති ඉඩම් හඳුනා ගැනීමට අවශ්‍ය පියවර ගෙන තිබෙනවා.

රටේ මෙච්චර සංවාදයට ලක්වූ බෝටියතැන්න ඇත්තටම ගමේ මිනිස්සුන්ට ප්‍රශ්නයක් නැද්ද..?

අප විමසුවේ ගම්වැසියකු වන රඔුක කෝපිකෑල්ල රක්වාන පදිංචි එස්.කරුණාදාස (60) ගෙනි.

කලවාන ප්‍රාදේශීය සභාවේ උඩපත්තුව දොලේකන්ද වසම බෝටියතැන්න ඉඩම අක්කර තිස්හයක්. මෙහි තේ වගා කර තිබුණේ වසර තිහකටත් පෙර. අපේ ආතලා මුත්තලා තමයි ඒව කරල තියෙන්නෙ. අක්කර හතහමාරක් පුද්ගලයන් තිදෙනෙකු විසින් අරගෙන තිබෙන බවයි ආරංචිය. මෙහි නිවාස තුනක් ඉදි වෙමින් පවතිනවා. නමුත් ඔවුන් පරිසරය ට හානියක් නොවන ලෙස අදාළ ඉඩම් සංවර්ධනය කිරීම සතුටට කරුණක්. කුකුල් කෝරලය සහ අටකලන්කෝරලය වෙන් වෙන්නෙත් මෙම ප්‍රදේශයෙන්.

සිංහරාජ වනාන්තරය ආශ්‍රිතව සැරිසරන අලියකු මේ ප්‍රදේශයේ ආසන්නයේ රැඳී සිටින්නෙ නැහැ. ප්‍රධාන මාර්ගයේ ගොස් ටික දුරකින් නැවත වනයට යනවා. මම ගමේ කෙනෙක් හැටියට මේ ඉඩම තුළ පරිසරය ට හානියක් වෙනව නම් ඒකට එකෙන්ම අකමැතියි. නමුත් දැනට මෙම ඉඩම් වල අයිතිකරුවන්ට මෙම ඉඩම ලැබීමත් පරිසරයට වෙච්චි ආශීර්වාදයක්.

මෙම ඉඩමටත් එහා කැලය පැත්තට වෙන්න තවත් පුද්ගලයන් සතු පුද්ගලික ඉඩම් තියෙනවා. ඒවත් සංවර්ධනය වෙනවා. නමුත් කිසිවකු ඒ ගැන කතා කරන්නෙ නෑ.අපේ රටටම වෙලා තියෙන දේ මේ කාරණයෙන්වෙලා තියෙන එක පැහැදිලියි.කොතනකින් හරිඅහුල ගත්ත සටන් පාඨයක් එක්ක රට ගිනි තියන එක එදත් වුණා .අදත් අපූරුවට ඒක සිදු වෙනවා.නමුත් පරිසරය ට හානියක් වෙනවනම් ඉස්සෙල්ලා ම පාරට බහින්නෙ මම.මොකද මීට පෙර අයිතිකරුවන් කරන්න ගිය අපරාධය වැළැක්වීම ට අපි දිවිහිමියෙන් කැපවුණා. හමුදාවෙ කර්නල් කෙනෙක් ඇවිත් මේ ඉඩමේ තිබුණු කුඩා ගස්ටික ඔක්කොම කැපුවා. ජල බෝතල් කිරීමේ ව්‍යාපෘතියක් කරන්න. ගම්මුන් ඒකට විරුද්ධව කටයුතු කළා. රාජ්‍ය ආයතනවල නිලධාරීන්ටත් විරුද්ධව අපි කතා කළා. නමුත් දැන් කරන්නෙ ඉඩම සංවර්ධනය කිරීමක්.

වන විනාශය පිළිබඳව දියණියක් ලෙස භාග්‍යා නැගූ හඬ නිසා රට අවදි විය. මේ දියණිය බිහිකළේ රත්නපුර ගොඩකවෙල රාහුල ජාතික පාසලයි. පාසලේ විදුහල්පති ඉන්ද්‍රාණි විජේලතා මේ ප්‍රශ්නය ගැන මෙසේ පැවසීය.

"භාග්‍යා අබේරත්න දියණිය 2020 වසරේ අපොස උසස්පෙළ විභාගයට ගණිත අංශයෙන් පෙනී සිටියා. ඇය අපේ පාසලට පැමිණෙන්නේ පහ වසර ශිෂ්‍යත්ව විභාගය සමත් වීමෙන්. පාසලේ හොඳින් කැපී පෙනෙන දරුවෙක්. අනාගතයේ මෙවැනි දරුවන් රටට අවශ්‍ය වෙයි.ඒ වගේ ම ඇය හරිම සංවේදී දරුවෙක්. එදා ඒ දරුවා රූපවාහිනී වැඩ සටහනේ දී කළ ප්‍රකාශයේ දිග පළල හෝ බරපතළකම සම්බන්ධයෙන් මම අදහස් කතා කරන්නෙ නැහැ. අපි මුවින් පිට කරන සෑම වචනයක් ම වගකීමෙන් කියන්න පුරුදු වෙන්නත් ඕන.

එහෙත් දැන් භාග්‍යා අබේරත්න දියණිය පවසන්නේ මෙවැනි කතාවකි.

" එදා ගමේ තමන් සමඟ කතා කළ පිරිස අද ගොඩක් ඈත් වී ඇති බව ඇය කියයි. බලනකොට මේ කැලෑ විනාශය පිළිබඳ ප්‍රශ්නය තිබිල තියෙන්නෙ මට විතරයි, මගේ පැත්තට ගමේ කවුරුත් කතා කරන්නෙ නෑ. මට දැන් නම් බාහිර ආයතන වල නිලධාරීන් ගෙන් කිසිම බලපෑමක් එන්නෙ නෑ. පොලිසියේ මහත්වරු ඇවිත් තර්ජනය කළා කියලා ප්‍රචාරය වුණා. රක්වාන පොලීසියේ මහත්වරු දෙදෙනෙක් ඇවිත් විස්තර ඇහුවා. මට කිසි තර්ජනයක් කළේ නෑ. කළු වඳුරා අපේ වත්තට කෑම කන්න එනවා. කළු කොටියා ඉන්නවා කියලා ගමේ අය කියනවා. මම නම් දැකලා නෑ. ඒත් ගෝනුන්, මුවන්, ඕළුවා, ඉත්තෑවා වගේ සත්තු ගොඩක් ඉන්නවා. ඒක දේශික සත්වයන් වන හඳපාන්ඇල්ල මැඬියා සහ අංකටුස්සා මේ කැලේ ඉන්නෙ. ඉඩම කාගෙද කියලා මම දන්නෙ නෑ. අදාළ බලධාරීන් ඒවා බලා ගනියි‘

දැන් තත්ත්වය මෙසේ වන අතර භාග්‍යා ගේ වචන කිහිපයට රටේ මහා කලබැගෑනියක් ඇති වී හමාරය. කවුරුන් කෙසේ කීවත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතු බව පමණක් අපි අවධාරණය කරමු.

 

 

 

Comments