
ජපාන ක්‍රීඩා අමාත්‍යාංශයට පුළුවන් නම් මගේ රටටත් එය පුළුවන් වෙයි
ජපාන ඔලිම්පික් උලෙළට අදියර තුනකින් ශ්‍රී ලංකාවේ නම බබළාවි
මම ඔලිම්පික් තරගාවලිය සංවිධානය තුළින් බොහෝ දේ උකහාගෙන තිබෙනවා
දවසක ඒ අත්දාකීම් මගේ රටේ දැනුමවිදිහට යොදවන්න සූදානම්
ටෝකියෝ ඔලිම්පික් උෙලළේදී සිහියට නැඟෙන චරිතයක් ලෙස ආර්.ජේ.කේ. කරුණානන්ද හැඳින්විය හැකිය. ඒ 1964 වසරේ පැවැති ටෝකියෝ ඔලිම්පික් උලෙළේ ය. ඊට වසර පනස් හතකට පසු ශ්‍රී ලංකාව යළි ජපානයේ ටෝකියෝ ඔලිම්පික් උලෙළේදී ලෝකයේ සම්භාවනාවට පාත්‍රවීමට නියමිතව තිබේ. ඒ තරගකාරි ක්‍රීඩා අංශයෙන් නොව තරගාවලියේ සංවිධායක මට්ටමිනි. එය එසේ වන්නේ සුජීව විජයනායක නමැති ලෝක ප්‍රසිද්ධ ජාත්‍යන්තර බේස්බෝල් විනිසුරුවා හේතුවෙනි. ‘ක්‍රීඩා’ ඔහු හා සංවාදයට එළැඹුණේ එවැනි පරිසරයක් තුළය.
ඔබ ඔලිම්පික් සංවිධාන කමිටුවේ ඉන්නවා. ඒ වැඩකටයුතුවල යෙදෙද්දී මේ දවස්වල මොනවද කරන්නෙ?
ඇත්තෙන්ම ගොඩාක් වැඩ කරනවා. මොකද ඔලිම්පික් ක්‍රීඩා උලෙළ ජපානයේ පැවැත්වෙන්න තිබෙන්නේ තවත් මාස පහකටත් අඩු කාලයකුයි. ඒ වෙනුවෙන් තමයි මේ දවස්වල අපිත් වැඩි වශයෙන් කටයුතු කරන්නෙ. ඒ යටතේ සැලසුම්ගත වැඩමුළුවලට සහභාගි වෙනවා.
කොරෝනා නිසා පසුගිය කාලයේ තරගාවලියේ සංවිධාන වැඩකටයුතු අඩපණව තිබුණා. නමුත් පසුව යළි ඇනහිටි සංවිධාන කටයුතු ආරම්භ කළා. ඒ අනුව අපි දැනට ඔලිම්පික් සංවිධාන කමිටු කාර්යාලයට ඇවිත් දින දෙකක් සේවය කරමිනුයි වැඩ පටන් ගත්තෙ. දැන් සතියට දින තුනක් ප්‍රධාන කාර්යාලයට පැමිණ වැඩ කරනවා. සෙසු දිනවල ඔන්ලයින් ක්‍රමය යටතේ තමයි සංවිධාන වැඩ කටයුතුවලට සහභාගි වෙන්නේ.
මොනවද දැන් ඒ සංවිධාන කටයුතු යටතේ සිදුකරන්නෙ?
ජාත්‍යන්තර බේස්බෝල් සංගමය සමඟ තාක්ෂණ කටයුතු, නවාතැන් පහසුකම් පිළිබඳ, ලෝක සෞඛ්‍ය සංවිධානය හා ජගත් ඔලිම්පික් කමිටුව සමඟ, කොන්ත්‍රාත්කරුවන් සමඟ, ක්‍රීඩාංගණ සූදානම් කිරීම ගැන, ස්වේච්ඡා සේවකයන් පිළිබඳ, බඩු භාණ්ඩ මිලදී ගැනීම් ඇතුළු කාර්යයන් ගැන මේ වද්දී අපි කටයුතු කරමින් සිටිනවා. ඒවායෙන් වැඩි ප්‍රතිශතයක් වැඩ අවසන් කරලා තිබෙන්නේ.
මෙවර ඔලිම්පික් තරගාවලියේදී ශ්‍රී ලංකාවෙ නම අදියර කීපයක් යටතේ ප්‍රකට වෙන්න නියමිතයි කියලත් රාවයක් තිබෙනවා?
සත්තකින්ම. එවැනි සාකච්ඡාවකුත් අපි අතර තිබෙනවා. මට හිතෙන්නේ ඒක බොහෝවිට සාර්ථක වෙයි කියලා. මොකද දැනටමත් ක්‍රීඩකයන් කීපදෙනෙක් හෝ මෙවර ඔලිම්පික් තරගාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කරයි. ඒ වගේම නියෝජ්‍ය තාක්ෂණ නිලධාරියෙක් වශයෙන් මමත් ශ්‍රී ලාංකිකයෙක් වශයෙන් ඔලිම්පික් සංවිධාන කමිටුව නියෝජනය කරනවා. ඊට අමතරව ‘Made in Sri Lanka’ සන්නාමය යටතේ ටෝකියෝ ඔලිම්පික් උලෙළේදී අපේ රටේ නම කියැවෙන්න විශාල අවකාශයක් තිබෙනවා.
ඇයි ඔබ ඒ ගැන කතා කරන්න අකමැති. ඇත්තටම ඊට ඔබේ මැදිහත්වීමක් තිබෙනවා ද?
තවම සාකච්ඡා මට්ටමේ තිබෙන නිසා මට ඒක ප්‍රකාශ කරන්න බෑ. මොකද ඔලිම්පික් වගේ තරගාවලියක සංවිධායක මණ්ඩලය තුළ ඉන්න කෙනෙක් වශයෙන් මට වගකීම් මාලාවකට මුහුණ දෙන්න සිදුවෙලා තිබෙනවානෙ. එතැනින් පිටට යන්න මට අසීරුයි. ඔබ අහපු දෙවැනි ප්‍රශ්නයට මට කියන්න තියෙන් ඔව් කියායි. ඇත්තටම මමත් ඒ සඳහා මැදිහත්වීමක් කරලා තිබෙනවා. තවදුරටත් මැදිහත් වෙනවා. මේ වෙද්දී අපි මූලික වශයෙන් සියලු සාකච්ඡා පවත්වලා අවසන්. එය මගේ මව්බිම පාර්ශ්වයෙන් විශාල ජයග්‍රහණයක් වේවි.
කොපමණ මුදලක් මේ වෙනුවෙන් ආයෝජනය කරනවා ද කියලාවත් කියන්න අසීරුද?
ඒකත් අමාරුයිනෙ. හැබැයි සැලකිය යුතු ආයෝජනයක් වේවි. හැබැයි දැනට මට මුකුත්ම කියන්න බෑ. කුතු-හලය ඇවිස්සුවට සමාවෙන්න. ඔබ එය තේරුම් ගනීවි යැයි මම හිතනවා.
සංවිධායක මණ්ඩලයේ වැඩකට-යුතුවලට ඔබට සෘජුව සම්බන්ධවීමට අවස්ථාවක් ලැබිලා තිබෙනවා. ඒ ගැන කතා කරමු?
සත්තකින්ම ඔව්. මට තාක්ෂණික සංවිධාන කටයුතු වගේම රාජ තාන්ත්‍රික මැදිහත්වීම් සිදුවන අවස්-ථාවේදීත් සංවිධාන කටයුතුවලට සහභාගි වෙන්න අවස්ථාව උදාවෙලා තිබෙනවා. මම නියෝජ්‍ය තාක්ෂණික කළමනාකරුවෙක් වශයෙන් ඔලිම්පික් සංවිධාන කටයුතු සම්බන්ධව ඉන්න අතරේ බොහෝ අවස්ථාවල එවැනි කටයුතුවලටත් මැදිහත් වෙන්න අවස්-ථාවක් ලැබුණා. ඒ හැම සාකච්ඡාවකදීම වගේ මම සහභාගි වෙනවා.
එතැනදී ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව, ජපාන ඔලිම්පික් කමිටුව හා ජපන් රජය, ටෝකියෝ සත්කාරක නගරයේ පාලන අධිකාරිය වගේම ලෝකයේ සෙසු රාජ්‍යයන්හි ක්‍රීඩා බලධාරීන් සමඟත් අපිට සාකච්ඡා කරන්න ලැබෙනවා. ඒක ලොකු වාසියක්. ශ්‍රී ලාංකිකයකු වශයෙන් මම ලබපු හොඳ අවස්ථාවක්. එය මගේ රටටත් අභිමානයක්.
කොවිඩ් තර්ජනය හමුවේ ඔලිම්පික් සංවි-ධානය කිරීමට ගන්නා උත්සාහය කියන්නේ ලොකු වැඩක්. මොකද ලෝකයේ පැවැත්වෙන ලොකුම ක්‍රීඩා උලෙළ තමයි ඔලිම්පික් ක්‍රීඩා උළෙල?
ඇත්තෙන්ම. ඒක අතිශය වැදගත් අත්දැකීමක්. කොටින්ම කියනවා නම් පසුගිය වසරේ පැවැත්වීමට නියමිතවූ තරගාවලිය කල්දැමීමට තීරණ ගැනීම, එය සිදුකළ ආකාරය, යළි පැවැත්වීමට සැලසුම් කිරීම, එතැනදී වියදම් පාර්ශ්වයේ සීමා කිරීම් සිදුකළයුතු අයුරු වගේ සියලු දේ ගැන කටයුතු කරන්නේ කෙසේද කියලා මම ඉගෙන ගත්තා. එතැනදී අත්‍යවශ්‍ය, අවශ්‍ය හා අනවශ්‍ය වශයෙන් වියදම් කළමනාකරණය කරමින්, කාලය කළමනාකරණය කරමින් මේවගේ වැඩකටයුත්ත සිදුකරන්න කටයුතු කරන්නේ කෙසේද වගේ දේවල් ගැන මට හොඳ අත්දැකීමක් ලැබුණා. ඒක ලොකු අත්දැකීමක්. යම් දවසක මට මගේ රට වෙනුවෙන් ඒ අත්දැකීම් උපයෝගී කරගන්න අවස්ථාවක් උදාවෙයි.
දැන් ඔබ ඔතැනට ආවේ මොන සුදුසුකමකට ද?
වාසනාව වගේම මගේ සුදුසුකම් නිසා තමයි මට ඒ දේවල් ලැබුණේ.
ජපානයේ හිටියේ නැත්නම් ඒ දේ ලැබෙන්නේ නෑනෙ නේද?
නෑ. ඔබ හරි. මම ජපානය තුළ විශේෂ සුදුසුකම් ලාභියෙක් ලෙස ඉඳපු එක නිසා තමයි මට මේ වගේ අවස්ථාවක් ලැබුණේ. ඒක පූර්ණ කාලීන වෘත්තියක්. තරගාවලිය පැවැත්වෙන කාලයේ මම ඒ වෙනුවෙන් පූර්ණ කාලීනව සේවය කළ යුතුයි. මේක ස්වේච්ඡා සේවාවක් නොවෙයි.
ඒ කියන්නේ වැටුපක් ලැබෙන රැකියාවක් ද?
ඔව්. නියෝජ්‍ය තාක්ෂණික කළමනාකරු වශයෙන් 2020 අප්‍රේල් මාසයේ සිට මට හොඳ වේතනයක් ලැබෙනවා. ඒක ඇත්තටම ජපාන රජය විසින් මට ලබාදුන් ගෞරවයක්. ඒක මගේ රටටත් පණිවුඩයක්. වර්තමාන ක්‍රීඩා ඇමැතිතුමාගේ අවධානයට එය යොමුවේවි යැයි මම හිතනවා.
ඔබට ගෙවලා ලංකාවත් වැඩ ගන්න උවමනායි කියල ද ඔබ කියන්නෙ?
නෑ. මගේ රටට සේවය කරන්න මට ගෙවන්න ඕනෑ කියලා නෙවෙයි කියන්නේ. ඔබ දන්නවා මම සල්ලි බලාගෙන මගේ රටට වැඩ කරන කෙනෙක් නෙවෙයි කියලා. ඒක ජපානය ගෙවන විධිහට, ඒ තරමට කරන්න කියලත් මම කියන්නේ නෑ. මම කියන්නේ මගේ රටත් මේක ආදර්ශයක් කරගන්නවා නම් මට ලංකාවේ ක්‍රීඩාව වෙනුවෙනුත් යම් භාරදූර කාර්යයක් සිදුකරන්න හැකිවෙනවා.
මොනවද දැන් ඔබට තිබෙන දැනුම?
මගේ තාක්ෂණික දැනුම, බේස්බෝල් විනිසුරුවෙක් වශයෙන් මට තිබෙන දැනුම වගේම මම ජපානයේ ලබා තිබෙන අධ්‍යාපනය තුළින් ගොඩනංවාගෙන තිබෙන කළමනාකරණ දැනුමත් තමයි. ජපානයේ සංචාරක ප්‍රවර්ධකයකු ලෙස මම ජපන් රජයට වැඩකරලා තිබෙනවා. මම ඔබට එකක් කියන්නම්. ඔලිම්පික් සංවිධාන කටයුතුවලදී බේස්බෝල් ක්‍රීඩාවේ සංවිධාන කමිටුවේ ඉන්න ජපානයේ නොවන පුද්ගලයන් දෙන්නා මමයි තවත් ඇමෙරිකානු ජාතිකයකුයි පමණයි. ලොකුකමකට කියනවා නොවෙයි. ඒ අමෙරිකානුවාත් ඉන්නේ මගේ යටතේයි. හැබැයි අපි බේස්බෝල් ශ්‍රේණිගත කිරීම්හි 37 වැනියා. අමෙරිකාව අංක දෙක ස්ථානයේ ඉන්නේ. ජපානය ඉන්නේ අංක එකේ.
හොඳයි ඔබ ජාත්‍යන්තර විනිසුරුවෙක් වුණේ කොහොමද?
ඒක උඩින් පාත්වෙච්චි දෙයක් නොවෙයි. අතිශය දුෂ්කර ගමනක අවසානයේ මම ලබාගත්තු ජය-ග්‍රහණයක්. ලංකාවෙන් මම බේස්බෝල් විනිසුරුවෙක් විධිහට කටයුතු කළා. ජපානය තුළදී පාඨමාලාවලට සහභාගිවෙලා තමයි මම ජාත්‍යන්තර විනිසුරු විභාගය සමත් වුණේ. ජපානයට ඇවිත් 2007 ඉඳලා මම විනිසුරු පාඨමාලාවක් හැදෑරුවා. වසර පහළොවක පමණ දීර්ඝ ගමනකින් පසුව තමයි මම ජාත්‍යන්තර විනිසුරුවෙක් වෙන්නේ. ඒක අහම්බෙන් ලැබුණු දෙයක් නොවෙයි. මහන්සි වෙලා, ප්‍රායෝගික වගේම ලිඛිත පරීක්ෂණවලට සහභාගි වෙලා ලැබූ දෙයක්.
බේස්බෝල් නිසා ඔබ ජපානයට ගියා ද නැත්නම් කොහොමද මේ ගමන ආවේ?
මම බේස්බෝල් නිසා ජපානයට ආවා නෙවෙයි. මගේ අක්කා විශ්ව විද්‍යාල සිසුවියක් විධිහට හිටියේ ජපානයේ. ඇය මාර්ගයෙන් තමයි මම ජපානයට ආවේ. ඇවිත් එහේදී මගේ බේස්බෝල් හැකියාව තවදුරටත් සම්පූර්ණ කළා. මම ජපන් පුහුණුකරු මාර්ගයෙන් ලංකාවට ආවා කියලත් ඇතමුන් කියලා තිබුණා. නමුත් ඒක සම්පූර්ණයෙන්ම අසත්‍ය ප්‍රචාරයක්.
එතකොට මේ දේවල් සඳහා පෙලඹුණේ ජපානයේ රැඳී ඉන්න පාරක් හදාගන්න ද?
සත්තකින්ම නෑ. මේක මගේ ස්වාභාවික ආදරය නිසා ඇතිවුණු දෙයක්. සමහරෙක් ඒ විදිහට හිතන්න ඇති. නමුත් ඇත්ත ඒක නොවෙයි. අතින් සල්ලි වියදම් කරලා තමයි මම මේ හැම දෙයක්ම කරන්නෙ. මම මේ වැඩ කිසිවකට අපේ රටේ සල්ලි අරගෙන නෑ. මගේ රටේ බේස්බෝල් ක්‍රීඩාංගණයක් හදන්න මුදල් සොයද්දී මම වැඩ කරපු ආයතනයෙන් රුපියල් ලක්ෂ අසූ පහක් ලබාදුන්නා. මම රටට දේවල් කළා මිසක් රටෙන් මම යම් යම් විදිහට මුදල් ලබාගෙන නෑ. අනෙක මම එකතුකරන්නේ සල්ලි නෙවෙයි මිනිස්සු. මගේ ඉතිහාසය දිහා හැරිලා බලන කෙනෙකුට ඒක පැහැදිලි වෙනවා. අනික ඒක මට මගේ මව්පියන්ගෙන් ලැබුණු දායාදයක්.
දැන් බේස්බෝල් ක්‍රීඩාවෙන් අපට ගමනක් තියෙනවා කියලා ඔබ හිතනවා ද?
ඇයි නැත්තේ. අපිට ඉදිරියට එන්න පුළුවන්. දැන් බටහිර ආසියාවේ බේස්බෝල් ශූරයොත් අපි යි. අපේ කොල්ලන්ට මේ ක්‍රීඩාවෙන් ලොකු ගමනක් යන්න පිළිවන්. අනෙක බේස්බෝල් කියන්නේ ලෝකයේ බලවත් රාජ්‍යයන් තරග වදින ක්‍රීඩාවක්. මේ ක්‍රීඩාවේ නියැලීම මගින් ජාත්‍යන්තරයේ පිළිගත් ස්ථානයකට යන්නත් ක්‍රීඩකයන්ට හැකියි.
ඔබ ලංකාවට බේස්බෝල් උපකරණ එවනවා. ඇත්තටම පරණ බෝල බැට් ටිකක් එවලා රටේ ක්‍රීඩාවට යම් දෙයක් කරන්න පුළුවන් කියලා හිතනවා ද?
පරණ ඒවා විතරක් නෙවෙයි අලුත් බඩුත් මම එවලා තිබෙනවා. ඒවා කරන්නේ අපේ රට ඇතුළේ මේ ක්‍රීඩාව ස්ථාපනය කරන්නයි. මට මේ දේ මුලින්ම හිතුණේ මම බේස්බෝල් ක්‍රීඩා කරද්දී මුහුණු දුන් දේවල් නිසයි. ඉස්සර අපි ක්‍රීඩා කරන බෝලය නැතිවුණොත් ඒක ලැබෙනකම් ක්‍රීඩා කරන්න විදිහක් නෑ. එතකොට අපි ශාරීරික ව්‍යායාම් කරනවා. ඒ දුක කැක්කුම මට දැනෙනවා. ඒ නිසයි මම ජපානයේ ඉඳලා බඩු එවන්නෙ. ඇතැමුන්ට ඒක අවඥාවට කාරණයක් වෙන්න ඇති. ඒත් මටනම් එය එහෙම දෙයක් නෙවෙයි. අපේ ක්‍රීඩා ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙක් මේ ගැන සතුටුයි. සුජීව විජයනායක කියන්නේ තව කෙනකුව සතුටු කරලා සතුටු වෙන්න වගේම තව කෙනෙක්ගේ සතුට දැකලා සතුටු වෙන්න කැමති කෙනෙක්. මොකද සතුට සල්ලිවලට ගන්න බෑ.
මොනවද දැන් ඔබ අනාගතයෙදි කරන්න යන්නෙ. ජපානයේ බේස්බෝල් විනිසුරුවෙක් විදිහට ඉන්නවද ලංකාවට එන්නද?
මෙහෙමයි මම කොතැන හිටියත් හදවතින්ම ශ්‍රී ලාංකිකයෙක්. ඒක මම මෙතෙක් කළ වැඩවලින් පෙනෙනවා ඇති. ඉස්සරහටත් ඒකේ කිසි වෙනසක් සිද්ධ වෙන්නේ නෑ. මම කොයි රටක වැඩකළත් මගේ හිසට ඉහළින් ළෙලදෙන්නේ මගේ රටේ ධජය තමයි. කොතැන හිටියත් මගේ ආදරය, ගෞරවය හිමිවෙලා තිබෙන්නේ මගේ උපන් දේශයටමයි. ඒ වගේම මම ශ්‍රී ලංකාවට යළි එන්න ආසයි. මම ඒ වෙනුවෙන් සැදී පැහැදී සිටිනවා.
අඩු වයසෙන් ජාත්‍යන්තරය තුළ ආපු මේ ගමන ගැන ආඩම්බරයක් ඇති?
ඇත්තෙන්ම ආඩම්බරයි. මේ ආපු ගමන ලෙහෙසි ගමනක් නොවෙයි. නමුත් ඉදිරියටත් මම මේ ගමන යනවා. ඒ යන හැම පියවරක් පාසාම මගේ මව්බිම, ශ්‍රී ලංකා ධජය තමයි මම ඔසවාගෙන යන්නේ. මෙමගින් මම ලෝකයට කියන්නේ ශ්‍රී ලාංකිකයෙක් කියන්නේ දැවැන්ත දක්ෂතා සපිරි, අධිෂ්ඨාන ප්‍රතිබද්ධ මිනිස් කැළක් කියන එකයි.
අවසන් වශයෙන් ඔබ ජපානයේ ප්‍රබලම අගමැතිවරුන් කීපදෙනෙක් සමඟ ගනුදෙනු කරලා තිබෙනවා?
ඔව්. මට ඒ වාසනාව ලැබුණා. මේ වෙද්දී මම ජපානයේ ප්‍රබල අගමැතිවරු තිදෙනෙක් ඇසුරු කරලා තිබෙනවා. ඒ වගේම වත්මන් අගමැතිවරයා අගමැතිවීමට පෙරත් ශ්‍රී ලංකාවේ බේස්බෝල් ක්‍රීඩාංගණයක් හදන්න මුදල් සොයාගන්න ගොඩාක් උපකාර කළා. එවකට ජපානයේ ශ්‍රී ලංකා තානාපති වසන්ත කරන්නාගොඩ මැතිතුමා සමඟ මෑතකදී කතාකරද්දී මට එතුමා උපදෙස් දුන්නේ නව අගමැතිතුමාවත් මුණ ගැහෙන්න කියායි. එවිට අපේ රටට තවත් උපකාර ලබාගන්න හැකිබව එතුමා මට කිව්වා. මොකද එතුමා දන්නවා මා සමඟ වත්මන් අගමැතිතුමාගේ ඇති සමීපභාවය.
කසුන් ඉරුගල්බණ්ඩාර
Piv by - Yoshichika Utsumi











