
STANLEY matthews
ඔබ ඔබේ අපරාජිත අනාගතය වෙනුවෙන් කොපමණ වාරයක් පරාජය වුණත් කමක් නෑ. ඒත් ඔබ දැන සිටිය යුතුයි ඔබ පරාජය වුණේ කොහොම ද කියන කාරණය.
'සපත්තු ඔප දමන්නෙක්, ප්‍රේක්ෂකාගාර පිරිසිදු කරන්නෙක් අවසානයේ එංගලන්තයේ සාමිවරයකු බවට පත්වුණා. ඔහු අභියෝගවලට පිළිතුරු සෙව්වේ හැකියාවෙන්. හැකියාව පවත්වා ගත්තේ යෝග්‍යතාවයෙන්. ඔහු යෝධයන් ලිලිපුට්ටන් කළේ එහෙම. මේ එංගලන්තය බිහි කළ අසහාය පාපන්දු ශූරයකු වන සර් ස්ටැන්ලි මැතිව්ස් ගැන සිහිපත් කිරීමක්. ඔහු අද ජීවත් වුණා නම් ඔහුගේ වයස අවුරුදු 105ක්. ඒත් ඔහුගේ මතකය එංගලන්තය තුළ තවමත් විරාජමාන මතකයක්.'
ඒ වෙම්බ්ලි ක්‍රීඩාංගනය යි. එංගලන්තය හා ආර්ජන්ටිනාව අතර සුහද පා පන්දු තරගය ආරම්භ වීමට නියමිතව තිබුණා. ඒත් ඒ හැම ක්‍රීඩකයෙක් ම පිටියට පැමිණියේ අතේ කළු පටියක් බැඳගෙන යි. හිරු ආලෝකය අතරේ ඒ කළු පටි හොඳින් ම දකින්න තිබුණා.
ඊට ඉවහල්ව තිබුණේ වසර 2000 උදාවී පළමු මාසය ගෙවී යද්දී පෙබරවාරි 23 දා සිදුවූ මරණයක්. එලෙස මියගොස් තිබුණේ සර් ස්ටැන්ලි මැතිව්ස්. ඔහු අවුරුදු 85 ක් ආයු විඳ ලොවෙන් සමුගෙන ගිහින් තිබුණා.
ශෝකය දක්වමින් කළු පටි බැඳගත් එංගලන්තයේ හා ආර්ජන්ටිනාවේ පාපන්දු ක්‍රීඩකයන් තව මොහොතකින් ස්ටැන්ලි මැතිව්ස් සමුගෙන ගිය පාපන්දු ක්‍රීඩා පිටියේ ඔහු වෙනුවෙන් පැවැත්වීමට නියමිත සුහද පාපන්දු තරගය ආරම්භ කිරීමට නියමිත වුණා.
හරියට ම ඊට අවුරුදු 85 කට පෙර ඔහු උපන්නේත් තමන් මියගිය මාසයේම, එනම් පෙබරවාරි 1 දා. අවුරුද්ද 1915. ඔහුගේ පියා ශූර බොක්සිං ක්‍රීඩකයෙක්. ඒත් ස්ටැන්ලි තමන්ගේ ප්‍රතිරූපය දකින්න කැමති වුණේ පාපන්දුව නිවැරදි පා ඉලක්කයට ගෝලයට යොමු කිරීම හරහා යි.
අවුරුදු 14 ක් වයස දරුවෙක් වශයෙන් ඔහු එංගලන්තයේ ස්ටොක් ක්‍රීඩා සමාජයේ සාමාජිකත්වය ලබාගත්තා. ආරම්භයේදී ක්‍රීඩාගාරය පිරිසිදු කරමින් සිය පාපන්දු ජීවිතය ආරම්භ කරන්න ඔහුට සිදුවුණා. ඒ විතරක් නෙවෙයි ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ගේ සපත්තු පොලිෂ් කරලා දෙන වැඩෙත් බාරවුණේ ඔහුටයි. ඔය විදිහට කාලය ගෙවීගෙන යද්දී ඉඳහිට පා පන්දු තරග වලට සහභාගි වෙන්නත් ඔහුට අවස්ථාව ලැබුණා. එසේ ක්‍රීඩා කරන විට ඔහුගේ ක්‍රීඩා හැසිරීම නිරීක්ෂණයටත්, විචාරයටත් ලක් කළ නිත්‍ය ප්‍රේක්ෂකයෙක් ප්‍රේක්ෂකාගාරයේ සිටියා. ඒ ඔහුගේ පියා.
ගෙදර වැඩ කරනවාය කියන්නේ සාර්ථකත්වය වෙනුවෙන් කළ යුතු ව ඇති වැදගත්ම දෙයට යි. ස්ටැන්ලි මැතිව්ස් කියන්නේ ඊට හොඳම උදාහරණයක්.
ඔබ ඔබේ අපරාජිත අනාගතය වෙනුවෙන් කොපමණ වාරයක් පරාජය වුණත් කමක් නෑ. ඒත් ඔබ දැන සිටිය යුතුයි ඔබ පරාජය වුණේ කොහොම ද කියන කාරණය යි.
දිනපතා ශාරීරික ව්‍යායාම්වල යෙදීම ස්ටැන්ලි මැතිව්ස් නොකඩවා සිදු කළ දෙයක්. ඔහු සිය ක්‍රීඩාව හුදු වෘත්තියක් විදිහට ම ගත් අයෙක් යැයි මා සිතන්නේ නැහැ. ඒ වගේම ඔහුගේ සියලු හැසිරීම් එක වචනයකට කැටිකළ හැකි නම් ඊට සුදුසුම වචනය තමයි 'කැපවීම'.
සාමාන්‍යයෙන් පාපන්දු ක්‍රීඩකයන් වයස අවුරුදු 35 වන විට ක්‍රීඩාව හැර යන තත්වයක් තියෙනවා. නමුත් ඔහු එහෙම කළේ නැහැ. දිගින් දිගට ම ක්‍රීඩාවේ නිරත වෙන්න ඔහුට මනා ශාරීරික යෝග්‍යතාවක් තිබීම ඊට හේතු වෙන්න ඇති. ඒ විදිහට, තමන් පාපන්දු ක්‍රීඩාවට එකතු වූ ස්ටොක් ක්‍රීඩා සමාජයට දහසය වසරක් ක්‍රීඩා කිරීමෙන් පසු ස්ටැන්ලි මැතිව්ස් බ්ලැක්ෆුල් ක්‍රීඩා සමාජයට
එකතු වෙනවා. ඉන්පසු කාලයක දී කීර්තියෙන් පිරිහී දෙවැනි පෙළ ට ඇද
වැටී තිබු ස්ටොක් ක්‍රීඩා සමාජය නැවත නගා සිටුවන්නට මේ කෘතවේදී
මිනිස් ගති ඇති ක්‍රීඩකයා කටයුතු කරනවා.
1934 දී (එතකොට ඔහුට වයස අවුරුදු 19 යි.) මැතිව්ස් එංගලන්ත පිලට එකතු වෙනවා. බ්‍රසීලයේ හා ස්විට්සර්ලන්තයේ පැවති ලෝක පාපන්දු ශූරතා තරගාවලි දෙකකටත් ඔහු සහභාගි වෙනවා. එයින් 1954 ස්විට්සර්ලන්තයේ පැවැත්වුණ ලෝක ශූරතා තරගාවලියේ දී එංගලන්ත කණ්ඩායම අවසාන පූර්ව වටය දක්වාම අපරාජිතව තබා ගැනීමට, මේ අසමත් බව නොදත් ක්‍රීඩකයා සමත් වෙනවා.
වරක් වෙම්බ්ලි ක්‍රීඩාංගණයේ දී 1956 දී මේ විශිෂ්ට මිනිසා පාපන්දු ක්‍රීඩාවේ විශිෂ්ටයින් ලෙස කවදත් විරාජමාන බ්‍රසීල කණ්ඩායම පරාජය කරන්නට කටයුතු කරනවා. ඒ අනුව එංගලන්තයට ගෝල 4-2 ක ජයග්‍රහණයක් හිමිවුණා.
1983 දී විසිවන සියවසේ විශිෂ්ටතම ක්‍රීඩකයා සම්මානයෙන් පුද ලබන ඔහු ඊට වසර නවයකට පසු එනම් 1992 දී ජාත්‍යන්තර පා න්දු සම්මේලනයේ රන් සම්මානය ද හිමි කරගන්නවා.
ස්ටැන්ලි මැතිව්ස් පාපන්දු පිටියෙන් සමු ගැනීම සිදුවන්නේ 1965 වසරේ දී. මේ විශිෂ්ට මිනිසා දෙවන එලිසබෙත් රැජින එංගලන්තයේ අසහාය ගෞරව නාමය වන 'සාමිවර පදවිය' මගින් ගෞරවයට ලක්කර ඇත්තේ ඔහුගේ මේ අනුපමේය ක්‍රීඩාශීලීත්වය නිසයි. ඒ අනුව ඔහු මිය යන්නේ සර් ස්ටැන්ලි මැතිව්ස් නමිනු යි.
'හැම දවසක් ම අලුත්
දවසක්. කොහොමටත් වාසනාව තියෙනවා නම් හොඳයි. ඒත් ඒ වාසනාව කොයි හැටි වුණත් මම කැමතියි පිළිවෙළකට වැඩ කරන්න. එතකොට වාසනාව පැමිණෙන විට එය පිළිගන්න මම සූදානම්.'
සර් ස්ටැන්ලි මැතිව්ස්ගෙන් අපට උගත හැකි පාඩම එය යි.
මොහාන් ශ්‍රියන්ත ආරියවංශ











