සරල ජනාධිපති‌ගේ ඉන්න හිතෙන ගේ | Page 8 | සිළුමිණ

සරල ජනාධිපති‌ගේ ඉන්න හිතෙන ගේ

ජනාධිපති ධූරයෙන් විශ්‍රාම ගත් පසුව නිස්කලංක දිවියක් ගෙවන, ඉතා සරල ජනාධිපති කෙනෙකු ලෙස ලොවට දැනෙන ලෙස ජීවත් වූ ඇමරිකාවේ හිටපු ජනාධිපති බරැක් ඔබාමා අති විශාල මුදලක් ගෙවා මහා මන්දිරයක් මිලට ගත් බවට පළ වූ පුවතකින් පසුගිය දින කිහිපයේ විදෙස් මාධ්‍ය ඇළලී ගියේය.

ඔබාමා පවුල ඉතා සරල ජීවිත ගත කරන පුද්ගලයන් ලෙස ප්‍රසිද්ධියක් උසුලාගෙන සිටි අතර ඔබාමාගේ දියණියෝ පොකට් මනී සොයා ගැනීමට අවන්හල්වල සවස් කළ සේවය කරන තරමට සරල සාමාන්‍ය ජීවිත ගෙවන බවට ලොව පුරා මාධ්‍යවල ප්‍රචාරය විය.

පාලනය කළ කාලය තුළ වංචා දූෂණ චෝදනා නොලත් ඔබාමාද ස්වකීය උපරිම ධූර කාල දෙක අවසන් වන තෙක් ඇමරිකාවේ ප්‍රබල පාලකයකු ලෙස ඉතිහාසයට එක් වෙමින් ඇමරිකාව පාලනය කළද ඔහුගෙන් පසු බලය හිමිවූයේ රිපබ්ලිකන් පක්ෂයට බව අමතක කළ නොහැකිය.

ඇතැම් විට ඒ ඔහුගේ පාලනය නිසා ඩිමොක්‍රටික් පක්ෂය ජනතාවට එපා වූ නිසාමද විය හැකිය.

කෙසේ වුවද ඔබාමා මේ මහා මන්දිරය මිලදී ගැනීම සඳහා ඩොලර් මිලියන 11.75ක් වැය කර තිබූ බව මාධ්‍ය වාර්තාවල විය. මේ නිවස අයත් වන්නේ ඉංග්‍රීසි බසින් ‘මැනාර්’ යනුවෙන් හැඳින්වෙන නිවාස වර්ගයටය. එනම් අති විශාල මන්දිරය සහ අවට අති විශාල ගෙවත්තද හේතුවෙනි. මේ නිවස හැඳින්වෙන්නේ ‘මාර්තාස් වයින් යාඩ්’ යන නමිනි.

මේ මන්දිරයේ නිදන කාමර හතක් සහ නාන කාමර නවයක් තිබෙන බව සඳහන්ය. මේ මන්දිරය පිහිටා ඇත්තේ මැසචූසෙට්ස් ප්‍රාන්තයේ එඩ්ගාර්ටවුන් නම් ප්‍රදේශයේය.

මුළු භූමි ප්‍රමාණය අක්කර 29ක් වශයෙන් සඳහන්ය. කෙසේ වුවද ඇතැම් ප්‍රවෘත්තිවල සඳහන් වූයේ ඔබාමා මේ නිවස මිලදීගෙන ඇත්තේ නියමිත මුදලට වඩා ඩොලර් මිලියන තුනක් අඩුවෙන් බවයි.

2015 වසරේදී මේ නිවස අලෙවිය සඳහා තිබූ අතර එහිදී මිල සඳහන්ව තිබුණේ ඩොලර් මිලියන 22.5ක් වශයෙනි. මෑතකාලීනව එහි මිල ඩොලර් මිලියන 14.85ක් දක්වා පහත වැටී තිබුණු අතර ඔබාමා එය මිලදී ගැනීමට ලබා දී තිබුණේ ඩොලර් මිලියන 11.75ක් පමණි.

මීට පෙර 2017 වසරේදී ඔබාමා තම නියෝජිතයකු ලවා ඩොලර් මිලියන 17ක වත්කම් මිලදී ගත් බවට පුවත් අන්තර්ජාලයේ දක්නට විය. එමෙන්ම අලුතෙන් මිලදී ගත් මන්දිරයේ මේ ග්‍රීෂ්ම කාලය ගත කිරීම සඳහා ඔබාමා පවුල ඔවුන් මේ දක්වා වාසය කළ නිවෙස කුලියට දීමට තීරණය කර ඇති බවද සඳහන්ය.

ක්ලින්ටන් පවුලද මෙසේම ජනාධිපති ධූරයෙන් විශ්‍රාම ගත් පසු සුවපහසු ජිවිතයක් කරා පිවිසි බව සඳහන්ය. කෙසේ වුවද හිටපු ජනාධිපතිවරු වූ පිය පුතු දෙදෙනෙකුගෙන් යුක්ත වූ බුෂ් පවුල සතුව ඔවුන් දේශපාලනට පැමිණීමට පෙර උපයා ගත් මහා ධනස්කන්දයක් විය. ඔවුන්ද මේ වන විට මහා මන්දිරයක තම විශ්‍රාම දිවිය ගෙවමින් සිටිති.

ඒ අනුව බරැක් ඔබාමාද තම සරල ජිවිතයට සමු දීමට තීරණය කර ඇති බවක් පෙනේ.

එසේ කිරීමට ඔහු ඩිමොක්‍රටික් පක්ෂ පාලනයක් එන තෙක්ම කල් මැරීමද පුදුම සහගත බව කිව යුතුය.

 

Comments