පැන්ඩෝරා පේපර්ස් නමින් ලොව පුරා දේශපාලනඥයන්ගේ සහ බිලියනපතියන්ගේ හොර වැඩ හෙළිදරව් කිරීමෙන් පසු හෙළිදරව් වූ සැමටම නැතත් ඇතැම් දෙනාට ඒවායේ වූ තොරතුරු පිළිබඳව නිදහසට කරුණු ඉදිරිපත් කිරීමට සිදු විය. චිලී ජනාධිපති සෙබස්තියන් පිනේරා ද ඒ අතර විය. පිනේරාගේ නම සඳහන්ව ඔහු චිලී ජනාධිපති ලෙස තම බලතල යොදමින් තම පවුලේ වත්කම් වැඩිකර ගැනීමට සිදු කළ හොරවැඩ ගෙඩි පිටින් පැන්ඩෝරා පේපර්ස්හි සඳහන්ව තිබුණේ පිනේරාට කටඋත්තර නැති කරමිනි.
ඒ සමඟින් ක්‍රියාත්මක වූ චිලී විපක්ෂය වහාම පාර්ලිමේන්තුව තුළ ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට කටයුතු කළේය. මේ දෝෂාභියෝගයට චිලී දේශය පුරා විශාල අවධානයක් යොමු වූ අතර චිලී ජනාධිපතිවරයා එරට අංක එකේ ධනවතුන් අතර සිටීම එයට ප්‍රධාන හේතුව විය. ජනාධිපතිවරයාට දෝෂාභියෝගය එල්ල කළ අවස්ථාවේදී ඔහුට එරෙහිව ඇති චෝදනා ප්‍රකාශයට පක් කරමින් පාර්ලිමේන්තුව ඇමතූ විපක්ෂ මන්ත්‍රීවරයා ජනාධිපතිවරයාට එරෙහි ඉදිරිපත් කරන සියලු චෝදනා ඉදිරිපත් කිරීම සඳහා පැය පහළොවක් වැය කර සිටියේය.
කෙසේ වුවද දෝෂාභියෝගය චිලී පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලයෙන් වැඩි ඡන්ද ලබමින් සම්මත වූ අතර ජනාධිපතිවරයාට පස් අවුරුදු සිර දඬුවම් ලැබීමේ ඉඩක් සම්බන්ධයෙන් බියක් ද පළ විය. එහෙත් චිලී කැබිනට්ටුව පසුගියදා එම බියෙන් ජනාධිපති සෙබස්තියන් පිනේරා මුදා ගත්තේය. ඒ වැඩි ඡන්දයෙන් දෝෂාභියෝගය පරාජය කිරීමට දායකත්වය ලබා දෙමිනි.
චිලී කැබිනට්ටුවේ මේ ඡන්ද ප්‍රකාශයත් සමඟ පිනේරා සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් වූවා හා සමාන සේ සැලකිය හැකිය. ඒ අනුව පිනේරා තමාම පත් කර ගත් තමාගේ කැබිනට්ටුවට ස්තුතිවන්ත විය යුතුය. ඒ අත උඩ සාක්ෂි සහිතව ඉදිරිපත් කළ දූෂණ චෝදනාවලින් තමා ගලවා ගැනීම සම්බන්ධවය.
පිනේරාට පැන්ඩෝරා පේපර්ස්හි එල්ල කළ චෝදනා අතර ප්‍රධාන වූයේ චිලී හි ‘ඩොමිංගා‘ නම් වන පතල තම පවුලේ දේපොළ ව්‍යාපාරයක් හරහා වැඩි මුදලට විකිණීමක් සම්බන්ධවය. මේ දේපොළ අලෙවි ව්‍යාපාරය පිනේරාගේ දරුවන් සතු වන අතර ඔවුන් ඩොමිංගා පතල අලෙවි කර තිබුණේ කෝටිපති ව්‍යාපාරිකයකු වන කාලෝස් ඩෙලානෝට ය. ඒ සඳහා කාලෝස් ඩෙලානෝ ලබා දුන් මුදල ඩොලර් මිලියන 152කි. පිනේරා සහ කාලෝස් සමීප මිතුරන් ලෙසින් ද ප්‍රසිද්ධිය. මෙය අත යට ගනුදෙනුවක් වූ අතර මේ ගනුදෙනුව සමඟ පිනේරාගේ තවත් බලය අයුතු ලෙස භාවිත කිරීම් පිළිබඳ චෝදනා ඔහුට පසුගිය වසර කිහිපය පුරා වරින් වර එල්ල විය. 2017 වසරේදී ද ඔහුට මෙවැනිම චෝදනා එල්ල වූ අතර 2019 වසරේදී චිලී අධිකරණය විසින් පිනේරා ඔහුට එල්ල වී තිබූ සියලුම දූෂණ චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට කටයුතු යෙදීය.
මෙවර ඔහුට එල්ල වූ දූෂණ චෝදනාවලට පිළිතුරු දෙමින් පිනේරා පැවසූවේ 2019දී ඔහු සියලුම චෝදනාවලින් නිදොස් වූ බැවින් මේ චෝදනා යළිත් ඉස්මතු කිරීම පළක් නොවන දෙයක් බවයි.
කෙසේ වුවද දැන් යළිත් පිනේරාගේ කැබිනට් මණ්ඩලය විසින් පිනේරා නිදොස් කොට නිදහස් කර ඇති බව පෙනේ. ඒ අනුව පිනේරා දැන් යළිත් අහිංසකයෙකි. තත්ත්වය එසේ වුවද පැන්ඩෝරා පේපර්ස් ප්‍රකාශයට පත් වූ පසු පිනේරාට විරුද්ධව චිලී ජනතාව මහාමාර්ගවලට බැස විරෝධතා පවත්වන්නට වූ අතර, සැලකිය යුතු පිරිසක් ඒ සඳහා එක්ව සිටි බව දක්නට තිබිණි. නොවැම්බර් 21 වැනිදා පිනේරාගේ දෝෂාභියෝගයේ අවසන් තීන්දුව දීමට නියමිත නමුත් ඒ තීන්දුව කුමක්දැයි මේ වන විටත් පැහැදිලිය. ලබන වසරේ මාර්තු මාසයේදී සෙබස්තියන් පිනේරාගේ ධූර කාලය අවසන් වීමට නියමිත බැවින් ඔහුට යළිත් වරක් ජනතාවගේ කැමැත්ත විමසීමට ජනතාව ඉදිරියට යා යුතු වනු ඇත. එබැවින් එදිනට ජනතාවගේ තීරණය කුමක්දැයි පිනේරාට පැවසීමට චිලී ජනතාවට පැහැදිලි අවස්ථාවක් උදාවනු නොඅනුමානය.