සක්වළගල | සිළුමිණ

සක්වළගල

ලංකාවේ 4ක් අළු කළ ලන්ඩන් ගින්න ඇවිළුණේ කොහොමද?

පසුගිය නොවැම්බර් 18 වැනිදා රාත්‍රී 8.30ට පමණ ගිනිකොණ දිග ලන්ඩනයේ බ්‍රෙක්ස්ලීත්හි නිවෙසකින් අහස උසට බුර බුරා නැඟි මහා ගිනි කඳකි. අසල්වැසියන් මේ ගින්න දුටු වහාම ඒ පිළිබඳව හදිසි ඇමතුම් ලබා දෙමින් අදාළ නාගරික බලධාරීන් දැනුම්වත් කළ අතර අදාළ ස්ථානයට වහා පැමිණි නාගරික ගිනි නිවන බලධාරීන් ඇතුළු වගකිව යුතු පිරිස් ගින්න පාලනය කිරිමට කටයුතු කළහ. එබැවින් ඉතා ආසන්නයේ පැවති සෙසු නිවාසවලට ගින්න පැතිර යෑමට ඉඩ නොතබා එය වළක්වා ගැනීමට බලධාරීන්ට හැකියාව ලැබිණි.

පසුව ලන්ඩන් මාධ්‍ය වාර්තා කළ පරිදි මේ නිවෙසේ වාසය කර ඇත්තේ ලන්ඩනයට සංක්‍රමණය වූ ශ්‍රී ලාංකිකයන් පිරිසකි. මියගොස් ඇත්තේ කාන්තාවන් දෙදෙනෙක් සහ කුඩා දරුවන් දෙදෙනෙකි. එක් කාන්තාවක් මේ කුඩා දරුවන් දෙදෙනාගේ මව ලෙස හඳුනාගෙන ඇති අතර අනෙක් කාන්තාව මේ දරු දෙදෙනාගේ පියාගේ මවයි. ඇය තම කුඩා මුනුපුරන් දැක ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ සිට ලන්ඩනයට පැමිණ ඇති අතර පසුදා ඇය පෙරළා ශ්‍රී ලංකාවට යෑමට නියමිතව තිබී ඇත. මේ පිරිස මේ නව නිවෙසේ පදිංචියට පැමිණ ඇත්තේ මීට මාස තුනකට පමණ පෙර බව ප්‍රකාශිතය.

මියගිය කුඩා දරුවන් දෙදෙනා අවුරුදු හතර සහ මාස දහඅට යන වයස් කාණ්ඩවලට අයත්ය. මේ සිවු දෙනාට අමතරව මේ නිවෙසේ මියගිය කාන්තාවගේ සැමියාගේ සහෝදරයා ද රැඳී සිට ඇති අතර ඔහු තම දිවි බේරා ගැනීමට ඉහළ මහලේ සිට බිමට පැන තිබේ. ඒ හේතුවෙන් ඔහුගේ පාදය බිඳී ගොස් ඇති අතර ඔහු මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වේ.

මේ මිය ගිය කාන්තාව නිරුබා ලෙස හඳුනාගෙන ඇති අතර ඇයගේ සැමියා යෝගන් තංගවඩිවේල් නම් වේ. ඔහු තම දෛනික සේවය නිම කර නිවසට පැමිණෙන විට නිවෙස ගිනි ගෙන දැවෙමින් පැවති අතර ඔහු ද තම පවුලේ සාමාජිකයන් බේරා ගැනීමට දැඩි සේ උත්සාහ දරා ඇතැයි වාර්තා වේ. අසල්වැසියන් පවසා ඇති අන්දමට ඔවුන්ට ප්‍රථමයෙන් ඇසී ඇත්තේ දරුවන් භීතියෙන් මර හඬ නඟන අන්දමයි. ඒ සමඟම ගිනි දලුවලින් නිවෙස වැසී යන අන්දම දැක ගන්නට ලැබී තිබේ. ගිනි නිවීම් කටයුතු සඳහා ගිනි නිවන රථ හයක් සහ ගිනි භටයන් 40කට අධික සංඛ්‍යාවක් යෙදවීමට ප්‍රදේශයේ බලධාරින් කටයුතු කර තිබේ. කෙසේ වුවද ඔවුන් නිවැසියන් වෙත ළඟා වන විටද ඔවුන් කිසිවකු හෝ ජීවතුන් අතර සිට නැත.

ජීවිත හතරක් දවා හළු කළ මේ ගින්න ඇතිවූයේ කෙසේ දැයි නිශ්චිත හේතුව සොයා ගැනීමට බලධාරීන් මේ දක්වා අසමත් වී ඇත. කෙසේ වුවද ගින්න නිවෙස අභ්‍යන්තරයෙන් හටගෙන ඇති බව නම් අනුමාන කළ හැකි අතර නිවෙසේ ජනෙල්වලින් හැර නිවසින් ඉවතට ගින්න පැතිරීමක් ද සිදුවී නොමැත. එසේ නම් නිවැසියන්ගේ යම් ක්‍රියාකාරකමක් ගින්න හට ගැනීමට හේතු වී ඇති බවක් අනුමාන කළ හැකිය. මේ වන විට තම මව, බිරිය සහ කුඩා දරුවන් දෙදෙනාද අහිමි වූ යොගන් නම් වන පියා සිදුවීම සිදුවූ නිවෙසට සැතපුම් දෙකක් පමණ ඈතින් පිහිටා ඇති ඔවුන්ගේ ඥාති නිවෙසක නතර වී සිටින බව ලන්ඩන් මාධ්‍ය වාර්තා කර තිබේ. මේ සිදුවීමේ තවත් තතු සොයා ලන්ඩන් පොලීසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.

 

 

 මෝදි දණ ගැහුවට අපි රැවටෙන්නේ නෑ

ඉන්දීය ගොවියෝ කියති

 

වසරකට ආසන්න කාලයක් පුරා අවු වැසි නොතකා, මහ මඟ රැඳී සිටිමින්, කොවිඩ් වැලඳී එකා පිට එකා මියයද්දීත් සටන අත නොහරිමින්, දිගින් දිගටම තම අයිතිවාසිකම් වෙනුවෙන් කැපවූ ඉන්දීය ගොවිජනතාවගේ ධෛර්යය හමුවේ තම තීරණ වෙනස් කිරීමට ඉන්දීය අගමැතිවරයා පසුගියදා කටයුතු කළේය. ඒ අනුව ඔහු දැනුම් දුන්නේ ගොවීන්ට බලපාන සේ පනවා තිබූ නීති තුනක් අහෝසි කිරීමට තමන් තීරණය කළ බවයි.

මේ නීති පනවනු ලැබුවේ පසුගිය වසරේ අගොස්තු මාසයේදීය. එම නීති අනුව එතෙක් රජය විසින් පනවා තිබූ ගොවි නිෂ්පාදනවල මිල තීරණය කිරීම, ගොවි නිෂ්පාදන ගබඩා කිරීම සහ අලෙවිය සම්බන්ධ එතෙක් පැවති නීති ලිහිල් කිරීමක් සිදු විය. මෝදි රජය පවසා සිටියේ තමන් මේ තීරණ ගනු ලැබුවේ සුළු පරිමාණ ගොවීන්ගේ යහපත පිණිස බවයි.

එහෙත් ආණ්ඩුවේ මේ තීරණය සම්බන්ධව සුළු පරිමාණ හෝ මහ පරිමාණ බේදයක් නොමැතිව ඉන්දියාවේ සියලුම ගොවීහු මහා මාර්ගවලට පැමිණ විරෝධතා දැක්වූහ. ඉන්දියාවේ සෑම ප්‍රධාන ප්‍රාන්තයකම පාහේ ගොවීහු ප්‍රධාන නගරවලට පැමිණියේ තම ගොවි යන්ත්‍රෝපකරණද සමඟිනි. ප්‍රාන්තවල ප්‍රධාන නගරවල මේ උද්ඝෝෂණ ක්‍රියාත්මක වූ අතර එම නගරවල මාර්ග අවහිර කිරීමට ගොවීහු තම ගොවි බිම්වල භාවිත කරන ට්‍රැක්ටර් යනාදිය යොදා ගත්හ. ඇතැම් ගොවීහු මේ උද්ඝෝෂණ සඳහා සහභාගී වීම පිණිස දින ගණන් ප්‍රධාන නගරවලට පැමිණියේ පා ගමනින්ය.

මෙ අතර පසුගිය වසරේ අවසාන භාගය වන විට ඉන්දියාවේ ඉතා දරුණු ලෙස කොවිඩ් රෝගය පැතිර ගිය අතර ඒ වන විට එන්නත්කරණය ද රට තුළ විධිමත් අන්දමින් සිදු වී තිබුණේ නැත. මහා මාර්ගවල ජනතාව මිය යන්නට වූ අතර සෞඛ්‍ය පුරුදු නිසි ලෙස පිළි නොපැදීම ද එසේ වීමට ප්‍රධාන හේතුවක් විය. එමෙන්ම එසේ කොවිඩ් පැතිර යෑමට කිසිදු සෞඛ්‍ය නීතියකට අනුගත නොවෙමින් සිදුකරන ගොවි උද්ඝෝෂණය ප්‍රබල හේතුවක් වූ බව ඉන්දීය බලධාරීන් පුන පුනා පැවසුවද ගොවීන් පෙරළා තම ගම්බිම් කරා නොගියේ කොවිඩ් ආසාදනය වී මිය නොගියද උද්ඝෝෂණය අතහැර ගමට ගියහොත් තමන්ට බඩගින්නේ මිය යන්නට සිදු වන බව හොඳින්ම දැන සිටි නිසා විය යුතුය. කොවිඩ් ආසාදනය වීම සහ තවත් හේතු මත උද්ඝෝෂණවලට සහභාගී වූ ගොවීන් 700ක් පමණ පසුගිය වසර තුළදී මියගොස් ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබිණි.

අවසානයේ උද්ඝෝෂණ ආරම්භ කර වසරක් සපිරෙන විටදී අගමැති නරේන්ද්‍ර මෝදි තමන් ඉදිරියට තැබූ පය ආපස්සට ගැනීමට තීරණය කළ අතර තමන් ගොවි නිෂ්පාදන අදාළ කර ගනිමින් පැනවූ නීති තුනක් අහෝසි කරන බව ඔහු ප්‍රකාශ කර සිටියේය.

අගමැතිවරයා මේ හදිසියේ ගොවීන්ට පක්ෂ තීන්දුවකට පැමිණීමට හේතු වූ කරුණු කුමක්දැයි විමසා බැලිය යුතුය.

මේ වන විට වත්මන් අගමැති මෝදිගේ දෙවැනි ධූර කාලය ද ගෙවී යමින් තිබේ. ඉදිරියේදී ප්‍රාන්ත මැතිවරණ කිහිපයක්ම පැවැත්වීමට ද නියමිතය. ගොවි උද්ඝෝෂණ ඇරඹීමෙන් මෙන්ම කොවිඩ් ව්‍යාප්තියෙන් පසුව පැවති ප්‍රාන්ත මැතිවරණ කිහිපයකදීම භාරතීය ජනතා පක්ෂයට පසුබැසීමට සිදුවිය. එවැනි අනාගතයක් ඇස් පනා පිට තිබියදී අගමැති මෝදි පයක් පසුපසට තැබීම පුදුමයට කරුණක් නොවේ.

සැබවින්ම මෝදිගේ ආණ්ඩුව පරාජය අබියස සිටියේ 2019 මැතිවරණ සමයේදීමය. ඒ වන විට ජනතාවට භාරතීය ජනතා පක්ෂ ආණ්ඩුව එපා වී පැවති අතර 2014දී කොංග්‍රසය බාර ගත් රාහුල් ගාන්ධි ජයග්‍රහණය අබියස සිටියේය. එහෙත් මැතිවරණයට පැය කිහිපයක් තිබියදී මෝදි ගැසුවේ කිසිවකුත් නොසිතූ තුරුම්පුවකි. ජාතිවාදය නම් ව එම තුරුම්පු සෙල්ලමට අනුව කොහේවත් සිටි පකිස්තානය ඈදාගෙන කාශ්මීරයේ නැති යුද්ධයක් මවා ගත් මෝදි ආණ්ඩුව ඉක්මනින් හැඟීම්බර වන්නාවූ දකුණු ආසියානු ජන විඥානයෙන් උපරිම ප්‍රයෝජන ලබා ගත්තේය. එහි ප්‍රතිඵලය වූයේ ජයග්‍රහණය අත උඩ තබාගෙන සිටි රාහුල් ගාන්ධි ආසන 52ක් ලබා ගනිද්දී, මෝදි ආසන 303ක් ලබා ගනිමින් අති විශිෂ්ට ජයක් ලබා ගැනීමය.

එහෙත් පසුගිය අගෝස්තුව වන විට ඉන්දීය ජනතාව සුපුරුදු පරිදි භාරතීය ජනතා පක්ෂ නායකයන්ට සෙරෙප්පුවෙන් ගහන තැනට පත්ව සිටියේ අගමැති මෝදිගේ පඹයන් ද පුලුස්සමිනි. මේ තට්ටු මාරු දේශපාලනය ඉන්දියාවට නුපුරුදු අත්දැකීමක් නොවේ. මෙවර මෝදි මෙලෙස තම පනත් අකුලමින් ජනතාව සන්සුන් කර ගැනීමට උත්සාහ දැරුවද 2019 දී මෙන් කස්තිරමක් නොගැසුවහොත් භාරතීය ජනතා පක්ෂ පාලනය 2024න් යළිත් වරක් අවසන් වීමට ඇති අවස්ථාව විශාලය. එසේ වුවහොත් නිසැකයෙන් බලයට එනු ඇත්තේ රාහුල් ගාන්ධි ප්‍රමුඛ කොංග්‍රස් නඩයයි. මේ හිසේ අමාරුවට කොට්ට මාරු කිරීමේ ප්‍රතිපත්තිය ඉන්දීය ජනතාව දැන් සියවසකට ආසන්න කාලයක් තිස්සේ සිදු කරන මෝඩකමකි. එම මෝඩකමට පිළියම් සෙවීමට දිල්ලි අගමැති අරවින්ද් කෙජ්රිවාල් වැනි පුද්ගලයන් උත්සාහ කළද එය පහසු ක්‍රියාවක් නොවේ.

එබැවින් ගොවි පනත මෝදි ගෙදර යැවීමේ පළමු වෙඩි මුරය ලෙස හැඳින්වුවද එහි වරදක් පැවසිය නොහැකිය. එය එසේ වීමට බොහෝ දුරට ඉඩ ඇති බව පෙනෙන්නේ මේ වන විට ඉන්දීය ගොවීන්ගෙන් ලැබෙන ප්‍රතිචාර දෙස බැලූ විටය. ඔවුන් පවසන්නේ නීති අකුලා ගනිමින් ආණ්ඩුව දණ නැමූවද තමන් තම සටන නොනවත්වන බවයි. මේ වන විට ගොවීන් වී ඇතුළු ධාන්‍ය වර්ග සඳහා සහතික මිලක් ඉල්ලමින් නව සටන් පාඨයක් ඉදිරිපත් කර තිබේ. ඒ සඳහා මෝදි රජයේ ප්‍රතිචාරය කෙසේදැයි ඉදිරියේදී විමසා බැලිය යුතු වන්නේ අගමැති මෝදි ද පහසුවෙන් දිනුම අන්සතු කරන අන්දමේ පුද්ගලයකු නොවන නිසාවෙනි.

 

ලංකාවෙන් ඉන්දියාවට හොරෙන් යන රත්තරන්

රත්තරන් ලොව මිල අධිකතම ලෝහයන් අතරින් එකකි. රත්තරන් ආයෝජනය කිරීමට බොහෝ ධනවතුන් පෙලඹෙන අතර ලොව රටරටවල රාජ්‍ය වත්කම් රත්තරන් වශයෙන් තබා ගනී. එහෙත් බොහෝ රටවල, විශේෂයෙන් යුරෝපා සහ ඇමෙරිකා මහාද්වීපවල ජනතාව ආභරණ ලෙස රත්තරන් භාවිත කරන්නේ ඉතා අවමයෙනි. එහෙත් ආසියාතික රටවල, විශේෂයෙන් දකුණු ආසියානු රටවල ජනතාව අතර රත්තරන්වලට ඇත්තේ අති විශාල ඉල්ලුමකි. ඔවුන් තම සමාජ තත්ත්වය ප්‍රදර්ශනය කිරීමේ මෙවලමක් ලෙස රත්තරන් භාවිත කරති. ඒ හේතුවෙන් ද දකුණු ආසියානු කලාපයේ රටවල රත්තරන් සඳහා ඇත්තේ අති විශාල ඉල්ලුමකි.

මේ හේතුවෙන් රත්තරන් අදාළ කර ගනිමින් මේ කලාපය ආශ්‍රිතව සිදුවන දුෂණ, වංචා ද බොහොමයකි.

විශේෂයෙන් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර රත්තරන් ජාවාරම සඳහා ඇත්තේ අනාදිමත් ඉතිහාසයකි. පසුගියදා ඉන්දියාවේ බෙංගාලූරු ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයන් දස දෙනා අයත් වන්නේ ද එකී කුප්‍රකට රන් ජාවාරම් ඉතිහාස පොතටය. රත්රන් ආභරණ වශයෙන් යොදා ගන්නා ජනතාව අතර ද්‍රවිඩ ජනතාව සිටින්නේ ඉදිරියෙනි. ද්‍රවිඩ ජනතාව තම සමාජ තත්ත්වය පෙන්නුම් කිරීම සඳහා තම සිරුරේ පැලඳ සිටින රන් ආභරණ ප්‍රමාණය කෙරෙහි විශාල සැලකිල්ලක් යොමු කරති. මුස්ලිම් ජනතාව තම දියණියක් විවාහ කර දීමේදී රන් පවුම්වලින් දායාද දෙන අතර සිංහල ජනතාව ද රත්රන් තම වත්කම් පෙන්නුම් කිරීමේ ක්‍රමයක් ලෙස සලකති. එබැවින් ද්‍රවිඩ බහුතර ජනතාවක් වෙසෙන ඉන්දියාවේ සිට රත්රන් වංචනික ලෙස ශ්‍රී ලංකාවට ගෙන ඒමේ අති සංවිධානාත්මක ජාවාරම් ක්‍රියාත්මක වූයේ දශක ගණනාවකට ඉහත සිටය. එකට ශ්‍රී ලංකාව උතුරු නැඟෙනහිර ප්‍රදේශවල පැවති සිවිල් යුද්ධය මේ ජාවාරම්වලට තෝ තැන්නක් විය. අනික් අතට ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර හොරබඩු ජාවාරම් බොහෝ දුරට ක්‍රියාත්මක වන්නේ දකුණු ඉන්දියාව සහ යාපනය, මන්නාරම් ප්‍රදේශවල බෝට්ටු මාර්ගයෙනි. අනෙක් ප්‍රධාන මාර්ගය වන්නේ මිනිසුන්ගේ සිරුරු තුළ සඟවා ගුවන් මාර්ගයෙන් ගෙන ඒමයි. පසුගියදා බෙංගාලුරු ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයන් දස දෙනා ද තම සිරුරු තුළ සඟවා දියර රත්රන් ඉන්දියාවට ගෙන ඒමට උත්සාහ දරා තිබිණි.

ඔවුන් ඉන්දියාව වෙත පැමිණ තිබුණේ කටුනායක ගුවන් තොටුපොළේ සිට ගුවන් ගතවූ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූඑල් 171 ගුවන් යානයෙනි. මේ ජාවාරම පිළිබඳව දෙරටේම ආරක්ෂක අංශ හොඳින් දැනුම්වත්ව සිටින බැවින් බුද්ධි අංශ සහයෝගය ද මේ අත්අඩංගුවට ගැනීම සඳහා හිමිවිය.

මේ අත්අඩංගුවට ගත් දස දෙනා අතර කාන්තාවන් අට දෙනෙකු වන බව පැවසේ. කෙසේ වුවද ඔවුන් තම සිරුරු තුළ සඟවා ගෙන එන ලද රත්රන් ප්‍රමාණයේ වටිනාකම ඉන්දීය රුපියල් කෝටියක් පමණ බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබිණි.

මේ අත්අඩංගුවට ගැනීම් සිදුවවද යළි යළිත් මේ ජාවාරම ක්‍රියාත්මක වීම නම් වැළැක්වීමට කිසිවකුට නොහැකි වනු ඇත. මෙහිදී මේ රත්රන් ගෙන යෑමට ඉදිරිපත් වන්නේ ඉතාම දුගී පුද්ගලයන් වන අතර ඔවුන් සුළු මුදලකට තම ජීවිත අනතුරේ දමා ගනිති. රත්රන් සමඟ අත්අඩංගුවට පත්වන මේ පුද්ගලයන් සිරගත කෙරෙන අතර ජාවාරමට සම්බන්ධ වගකිවයුත්තන් කිසිදා නීතිය හමුවීමට ගෙන ඒමක් සිදු නොවේ. එක් අත්අඩංගුවට පත්වීමක උණුසුම මැකීයනවාත් සමඟ තවත් දුගී පුද්ගලයන් යොදා ගනිමින් රත්රන් ජාවාරම දිගින් දිගටම කරගෙන යෑමට ජාවාරම්කරුවෝ වගබලා ගනිති. මේ විෂම චක්‍රය නවත්වනතාක් මෙවැනි අත්අඩංගුවට ගැනීම් පිළිබඳ පුවත් ද නොඅඩුව අසන්නට ලැබෙනවාට සැකයක් නැත.

 

කිර්පාල්ගේ පත්වීම ගැන මෙතරම් කතාබහ ඇයි?

ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ධුරයක් සඳහා ප්‍රථම වරට සමලිංගික පුද්ගලයකු යෝජනා වී ඇති බවත් ඉදිරියේදී මෝදි රජයේ අනුමැතිය ලැබේ නම් ඔහු එරට ප්‍රථම සමලිංගික විනිසුරුවරයා බවට පත් වනු ඇති බවත් පසුගිය සතියේ ලොව පුරා මාධ්‍ය වාර්තාවල දක්නට ලැබිණි. එසේ වන්නට හේතුව වූයේ මේ කතාබහට ලක් වන මාධ්‍යවේදියා වන සෞරබ් කිර්පාල් තමා සමලිංගිකයකු බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමය.

කෙසේ වුවද මේ වන විට ඔහුගේ නම විනිසුරු ධූරය සඳහා යෝජනා වී ඇති අතර එය ඉන්දියාවේ සමලිංගික ප්‍රජාවගේ අමන්දානන්දයට හේතු වී ඇත.

2018 වසරේදී ඉන්දියාව තුළ සමලිංගික සේවනය නීතිගත කෙරුණු අතර ඒ අනුව සමලිංගික සේවනය ඉන්දියාව තුළ තවදුරටත් දඬුවම් ලැබිය යුතු වරදක් නොවේ. එම තීන්දුව ලබා දුන් නඩුවේ පැමිණිලි පාර්ශ්වයේ නීතීඥයා වශයෙන් පෙනී සිටියේද සෞරබ් කිර්පාල් ය. කෙසේ වුවද ඉන්දියාව යනු අති විශාල ජනගහනයක් සහිත රටකි. එහි ජනවර්ග ද රාශියක් වේ. එම ජනතාව අතර පවතින විෂමතා සමනය කර ගනිමින් ගැටලු අවම කර ගනිමින් ඉදිරියට යෑමට නම් ජනතා අයිතිවාසිකම් සම්බන්ධව නම්‍යශීලි ලෙස කටයුතු කිරීම අනිවාර්ය වේ.

අනික් අතට සමලිංගික සේවනය යනු තවදුරටත් දඬුවම් දීමට තරම් වරදක් නොවන බවත් එයද බොහෝ සාමාන්‍ය මිනිස් චර්යා රටාවක් බවත් ලෝකය මේ වන විට පිළිගනිමින් සිටී. කළ යුතු වන්නේ තව දුරටත් එවැනි රුචිකත්වයන් සහිත මිනිසුන්ට වෙනස් ලෙස හෝ අමුතු ලෙස සැලකීමකින් තොරව ඔවුන් ද සාමාන්‍ය මිනිසුන් බව පිළිගැනීමය. එබැවින්ම සෞරබ් කිර්පාල්ට විනිසුරු ධූරය ලබා දීමට යෝජනා වීම සම්බන්ධව මෙතරම් කතා බහට ලක් විය යුතු නැත.

මේ වන විට යුරෝපා රටවල් රාශියක් සමලිංගිකයන් ද සාමාන්‍ය මිනිසුන් බව සමාජයට තහවුරු කිරීමට සමත් වී ඇත. නෙදර්ලන්ත පාර්ලිමේන්තුව පසුගියදා පනතක් සම්මත කර ගත්තේ එරට රජ පවුලේ සාමාජිකයන්ට ද සමලිංගික විවාහ සඳහා අවසර ලබා දෙමිනි. මෙය විප්ලවීය අවස්ථාවක් ලෙස සඳහන් කළ හැකි වන්නේ අප දන්නා අන්දමට ලෝකයේ බොහෝ රජ පවුල් සම්ප්‍රදායන්හි සිරකරුවන් බවට පත්වී සිටින බැවිනි.

 

ලෝකයම යළිත් කොවිඩ් රැල්ලක

මේ වන විට යළිත් ලොව පුරා කොවිඩ් රැල්ලක් ඇති වෙමින් තිබෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පසුගියදා ප්‍රකාශ කළේය. ප්‍රංශය සහ ජර්මනිය ඇතුළු යුරෝපා රටවල් රැසකින් ඉතා වේගයෙන් ආසාදිතයන් වාර්තා වෙමින් තිබෙන අතර ඔස්ට්‍රියාව යළිත් වරක් වසා දැමීමට සිදුවී ඇත. ඇමෙරිකාව තම රටවැසියන්ට ප්‍රංශයේ සහ ජර්මනියේ සංචාරය කිරීම තහනම් කර තිබේ. මේ අතර ඉන්දියාව ඉතා කනගාටුදායක ලෙස කොවිඩ් ආසාදිතයන්ගේ වර්ධනයක් වාර්තා කරමින් සිටින බව එරට බලධාරීන් පසුගියදා ප්‍රකාශ කර තිබුණි. එක් දිනක වාර්තා වූ කොවිඩ් 537න් අතරින් 370ක්ම කේරළ ප්‍රාන්තයෙන් වාර්තා වීම ඉතා භයානක තත්ත්වයක් බව ද බලධාරීන් පෙන්වා දෙයි. ඉරාකය ද මේ වන විට තවත් කොවිඩ් රැල්ලකට මුහුණ දෙමින් සිටින අතර ඇමරිකාව එරටට සහාය දැක්වීමක් ලෙස ෆයිසර් එන්නත් තොගයක් පරිත්‍යාග කර ඇත්තේ කොවැක්ස් වැඩපිළිවෙළට අනුගත වෙමිනි.

 

ඉම්රාන් ඛාන්ගෙන් ඇෆ්ගනිස්තානයට තෑගි

ඇෆ්ගන් ජනතාවට අත්‍යවශ්‍ය මානුෂීය ආධාර වශයෙන් ඩොලර් බිලියන පහක වටිනාකමින් යුත් භාණ්ඩ හදිසි නැව්ගත කිරීමක් ලෙස එරටට යැවීමට පකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් කටයුතු කර ඇතැයි වාර්තා වේ. පසුගියදා අගමැති ඉම්රාන් ඇෆ්ගනිස්ථානයේ අන්තර් අමාත්‍යාංශ සම්බන්ධීකරණ කමිටු රැස්වීමට ද සහභාගී වූ අතර ඔහු එහිදී ඇෆ්ගන් ජනතාවගේ ජීවිත පහසු කිරීමට ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධව අවධානය යොමු කර ඇත. ඒ අනුව ඇෆ්ගනිස්තානයෙන් සිදු කරන ආනයන සඳහා සියයට පහක බදු සහනයක් ලබා දීමට ද අගමැතිවරයා කැමැත්ත පළ කර ඇත. අමතරව කොවිඩ් එන්නත් තොගයක් ද අඛණ්ඩව ඇෆ්ගනිස්තානය වෙත ලබා දීමට මීට පෙර ඇති කරගත් එකඟතාව ද අගමැතිවරයා යළි සිහි කැඳවා ඇත.

මේ වන විට හදිසි ආණ්ඩු පෙරළියෙන් පසු ඇෆ්ගනිස්තානයේ ඉතා දැඩි මුල්‍ය අර්බුදයක් මතු වී ඇති අතර ඊට අමතරව කොවිඩ් වසංගතය ද එරට ජනතාවට තදින් පහර දෙමින් සිටින අතර ජනතාව කුසගින්නේ මියයන තරමට අර්බූදය උග්‍ර විය හැකි බවට ඉඟි පළවී ඇත.

 

1978ට පසු චීනයෙන් අඩුම උපත්

චීනය 1978 වසරට පසු අඩුම දරු උපත් අනුපාතය පසුගිය වසරේදී වාර්තා කර ඇත. චීනය අධික ජනගහනය දරා ගැනීමට නොහැකි බවට පළවූ අනාවැකි සමඟින් ජනගහනය පාලනය සඳහා නීති පැනවූයේ අනාදිමත් කාලයක සිටය. එහෙත් එම නීතිවල යම් ලිහිල් කිරීමක් පසුගිය දශකයේදී සිදු කළද දිගින් දිගටම ඉහළ යන ජිවන වියදම හමුවේ ජනතාව දැඩි ලෙස උපත් පාලනය කිරීම මෙලෙස උපත් අනුපාතය වාර්තාගත ලෙස ඉහළ යෑමට හේතු වී ඇති බව චීන බලධාරීන්ගේ අදහසයි. එමෙන්ම කාන්තාවන් විවාහ වන වයස පසුවනතෙක් තම මවුපියන්ගේ පවුල් නඩත්තු කිරීමට සහාය දීම ද මෙලෙස උපත් අනුපාතය පහත වැටීමට වක්‍රාකාරයෙන් හේතු වී ඇතැයි ප්‍රකාශිතය.

 

 

ඇමෙරිකාවේ ප්‍රථම ජනාධිපතිනිය

පසුගියදා ඇමෙරිකාවේ ප්‍රථම ජනාධිපතිනිය ලෙස කමලා හැරිස් ඉතිහාස ගත වූවාය. ඒ පැය එකයි විනාඩි තිස්පහක් සඳහා වැඩබලන ජනාධිපති ලෙස කටයුතු කිරීමේ අවස්ථාව එරට වත්මන් උපජනාධිපතිනි කමලා හැරිස් හට හිමිවීමත් සමඟිනි.

කමලා හැරිස් ඇමෙරිකාවේ ප්‍රථම උප ජනාධීපතිනිය ලෙසින් ද ඉතිහාසයට එක්වීමට සමත් වූවාය. තමා නිතිපතා ලබන ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ජනාධීපති ජෝ බයිඩ්න් රෝහල්ගත වූ අවස්ථාවේදී රාජ්‍ය බලය මෙසේ උප ජනාධීපතිනිය වෙත පවරනු ලැබුවේ එරට ව්‍යවස්ථාවට අනුකූලවය. කෙසේ වුවද ප්‍රතිකාර ලැබීමෙන් පසු යළිත් රාජ්‍ය බලය කමලා හැරිස් විසින් ජෝ බයිඩ්න් වෙත පවරනු ලැබීය.

Comments