අඬුවෙන් ගැලවිය යුතු කල්ලිවාදය | Page 3 | සිළුමිණ

අඬුවෙන් ගැලවිය යුතු කල්ලිවාදය

 

‘බොහෝ ක්‍රීඩා තුළ කල්ලි වාදය තිබෙනවා. ඒ කල්ලිවාදය ක්‍රිකට් ක්‍රීඩාවට පමණක් පොදු වූ දෙයකුත් නොවෙයි. ඒත් ක්‍රීඩාවට අත තියන්න දේශපාලනඥයන් වශයෙන් අප ඉදිරිපත් වන්නේ නෑ.’ ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ පසුගියදා පාර්ලිමේන්තුවේදී මෙලෙස ප්‍රකාශ කළේය. ඒ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු විසින් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙනි.

එම ප්‍රකාශයේ කිසිදු වරදක් අප දකින්නේ නැත. ඇමැතිවරයා දරණ මතය නිවැරැදිය. සැබැවින්ම රටක ක්‍රීඩාව යනු නිර්දේශපාලනික ප්‍රපංචයකි. එයට දේශපාලන ඇඟිලි ගැසීම් අනවශ්‍ය ය. එවැනි දේශපාලන අතපෙවිම් අනවශ්‍ය බව අවබෝධ කරගනිමින් කටයුතු කිරීම ම ඉතා ප්‍රශස්ත ය. එහෙත් එය එසේ යැයි කියා ක්‍රීඩා ඇමැතිවරයාට ඉවත බලාගන්නටද නොහැකි ය.

අප එසේ කියන්නේ ක්‍රීඩාව තුළ කල්ලිවාදය ඇති බව අමාත්‍යවරයාම අනුදත් හෙයිනි. එවැනි කල්ලි නිර්මාණය වන්නේ දිගුකාලීන බල අරමුණු සඳහා ය. එවැනි අරමුණු ජයගැනීමට යාමේදී නිර්මාණය වන කල්ලි ක්‍රීඩාවේ මුඛ්‍ය අරමුණු අමතක කරදැමීම ස්වභාවිකය. එය ගැටලුවකි.

අද වනවිට අර්බූද හටගෙන ඇති බොහෝ ක්‍රීඩා සම්මේලන තුළ මෙවැනි උග්‍ර කල්ලි, කණ්ඩායම් දැකිය හැකිය. එසේ වීමෙන් රටේ ක්‍රීඩාවට දීර්ඝ කාලීන වශයෙන් අත්වන අනිසි බලපෑම් සීමා රහිතය.මේ හේතුවෙන් එලෙස ක්‍රීඩාව තුළ ගොඩනැගෙන ‘කල්ලි’ නමැති අශුද්ධ සන්ධාන වහා මැඬලිය යුතුය. ඊට ක්‍රීඩා අමාත්‍යාංශය කිසිවිටෙකත් පසුබට නොවිය යුතුය. එසේ කල්ලිවාදීන්ට එරෙහිවීම හා ඒ සම්බන්ධයෙන් සොයාබැලීම කිසිසේත්ම දේශපාලන අතපෙවීමක් නොවේ.

එය සිදුකළ හැක්කේ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවටය. එහි ක්‍රීඩා සම්මේලන බාර අංශයටය. කලකට පෙර නම් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ, සම්මේලන අංශය සම්බන්ධයෙන් කතාකළ පිරිස් කීවේ,‘වැටත් නියරත් ගොයම් කානම් කාට පවසන් ඒ අමාරුව’ යැයි කියාය. ඒ විවිධ අල්ලස් වෙනුවෙන් සංවේදී වූ පරිපාලනයක් ක්‍රීඩා අමාත්‍යාංශය තුළ පැවැති වකවානුවක් අප පසුකර පැමිණ ඇති හෙයිනි. එලෙස ලැබුණු අල්ලස් විවිධාකාරය. ත්‍යාග, මුදල්, සංචාර එසේත් නැතහොත් ඊටත් වඩා ඔබ්බට ඔඩුදිවූ පෞද්ගලික මට්ටමේ තිළිණපත් බවට ද කටකතා පැවතිණි. එහෙත් අද තත්ත්වය ඊට වඩා වෙනස්ය.

මේ අතර ඇතැම් ක්‍රීඩා සංගම් සඳහා වාර්ෂිකව ඇමෙරිකානු ඩොලර් මිලියන ගණනින් මුදල් ලැබුණ ද ඉන් සියයට හැටකට ආසන්න ප්‍රමාණයක් වැය කරනුයේ තමන්ගේ කාර්යාලය හා එහි කටයුතු කරන සේවක මණ්ඩලය නඩත්තු කිරීමට ය. ජාත්‍යන්තර සංගමය විසින් ලබාදෙන වාර්ෂික ප්‍රතිපාදනයන්ගෙන් සැබැවින්ම ක්‍රීඩාව වෙනුවෙන් යොදවන්නේ සියයට හතළිහකටත් අඩු මුදලකි. එහෙත් ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන ඇතැම් ක්‍රීඩා සංගම් බලධාරීහු‘මේවා ශ්‍රී ලංකා රජය දෙන මුදල් නොවේයැයි’ කියා වහසි බස් දොඩති. එවැනි වහසි බස් දෙඩැවීමට ක්‍රීඩා සංගම් පරිපාලනයට කිසිසේත් ඉඩ නොතැබිය යුතුය.

ඇතැම් ක්‍රීඩා සංගමයක විනිසුරුවරුනට තරග විනිශ්චය කිරීමට අවස්ථාව සලසන්නේ විනිසුරු අංශයේ ප්‍රධානීන්ට ප්‍රදානය කරන කොමිස් මුදල් අනුවය. කොමිස් මුදල් ලබාදෙන්නට එකඟ නොවන්නේ නම් විනිශ්චයට තරග නොලැබේ. එහෙයින් අකමැත්තෙන් වුව ද ක්‍රමයට අනුගත වනු මිස අන් මඟක් නොමැත. එසේත් නැතහොත් තෝරාගත් කීපදෙනෙක් පමණක් තරග විනිශ්චය වෙනුවෙන් පිටත්ව යති. ඒ වෙනුවෙන් සංවිධායකයන්ගෙන් ලැබෙන මුදල් බෙදා හදා ගනිති.

මේවා සම්බන්ධයෙන් ප්‍රශ්න කිරිමට, සොයා බැලීමට ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව පීඩනයක් ලබාදීම යනු ක්‍රීඩාවට දේශපාලන අතපෙවීමක් නොවේ. එය විදේශයෙන් ලැබෙන වාර්ෂික ප්‍රතිපාදන නිවැරැදිව ක්‍රීඩාව තුළට ගලනය වීමට අවස්ථාව සලසා දීමකි.

අප ක්‍රීඩා ඇමැතිවරයාට යෝජනා කරන්නේ මෙවැනි ක්‍රීඩා සංගම්හි නිලධාරී බලවතුන් සම්බන්ධයෙන් අවධානය යොමුකිරීමය. කල්ලි ගොඩනගමින් ඒ සඳහා දිගින් දිගටම බලයේ ඉන්නට උත්සාහ ගන්නා නිලධාරීන් ගැන ගැඹුරින් සොයා බලා ඊට පිළියම් යෙදීම අවශ්‍ය බවය. එහෙත් එය සිදුකිරිමේදී අමාත්‍යවරයාට අඬුව යොදාගත හැකිය. එසේ නොමැතිව බොහොමයක් ක්‍රීඩා ඇමැතිවරුන් සිදු කළ ආකාරයට අත පුච්චා නොගත යුතුය. අප දන්නා තරමට නම් වත්මන් ක්‍රීඩා ඇමැතිවරයා එසේ අතපුච්චා නොගැනීමට තරම් සබුද්ධිකය. එය ක්‍රීඩාවේ අනාගතය සම්බන්ධයෙන් සුබදායීය.

සංස්කාරක

Comments