
මහාචාර්ය අසංග විජේරත්න එක්සත් රාජාධානියේ රාජකීය වෛද්‍ය සභාවේ වෛද්‍ය ලියාපදිංචි වෛද්‍යවරයෙකි. ඔහු මෙරටට හඳුන්වා දුන් අයවලුන් අතර ප්‍රමුඛයා එවකට ක්‍රීඩා විද්‍යායතනයේ අධ්‍යක්ෂ දිවංගත යෝගානන්ද විජේසුන්දර මහතාය. එතැන් සිට දසක දෙකකට ආසන්න කාලයක් තිස්සේ දේශීය ක්‍රීඩාව හා යාවජීව සම්බන්ධයක් පවත්වන අසංග විජේරත්නයන් කලක් එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ යෝග්‍යතා පුහුණු උපදේශකයකු වශයෙන් කටයුතු කිරීමේ ගෞරවයද හිමිකරගෙන සිටියෙකි. පසුගිය කාලයේ එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ සංචාරය කරද්දී මෙරට ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හා ඊට අනුබද්ධ සහය සේවා සැපයීම් (වෛද්‍ය සේවා ඇතුළු) කාර්ය මණ්ඩලයන්හි විනය මෙන්ම සභ්‍යත්ව සීමා ඉක්මවා යාමේ සංසිද්ධි සම්බන්ධයෙන් වන සංවාද ගොඩනැගුණේය. 'ක්‍රීඩා' මහාචාර්ය වෛද්‍ය අසංග විජේරත්න සමඟ ගනුදෙනු කරන්නේ වෘත්තීය ආචාර ධර්ම අභියෝගයට ලක්ව ඇති මොහොතකය.
'ක්‍රීඩකයන් සමඟ, ක්‍රීඩා කණ්ඩායම් එක්ක ගනුදෙනු කරද්දී අපි මුලින්ම වෘත්තීයත්වය නැත්නම් ප්‍රොපෙසනලිසම් කියන කාරණය ගැන දැනගත යුතුයි. ඒ වගේම සැමවිටම එය ආරක්ෂා කරගන්නත් ක්‍රියාකළ යුතු වෙනවා. මම මෙතැනදී කතාකරන්නේ වෛද්‍යවරු, භෞතචිකිත්සක, මනෝ උපදේශකයෝ, සම්භාහකවරු දැනගත යුතු, උපයෝගීකරගත යුතු ආචාරධාර්මික කාරණා සම්බන්ධයෙනුයි. 'එතික්ස්' නැතහොත් ආචාරධර්ම සම්බන්ධයෙන් එංගලන්තයේ භාවිතවන ක්‍රමවේද අපි මෙතැනදී නිදර්ශනයක් වශයෙන් සලකලා බලනවා.
ඕනෑම කණ්ඩායමක ක්‍රීඩකයන් කියන්නේ කළමනාකරු, පුහුණුකරු යටතේ සිටින පිරිසකට. එහෙම නැතිව ඔවුන් වෛද්‍යවරු හෝ පෙරකී ආකාරයට පුහුණු හා කළමනාකාරිත්වයට අයත් නොවන නිලධාරීන් යටතේ ක්‍රීඩකයන් පාලනය වන්නේ නැහැ. ඒ නිසා වෛද්‍යවරුන් ඇතුළු ක්‍රීඩක සහාය කාර්ය මණ්ඩලය දැනගත යුතු ප්‍රධාන දේ තමයි ක්‍රීඩකයන් පාලනය වන්නේ තමන් යටතේ නොවන බව. ඒ වගේම තම සේවාදායකයින් වන ක්‍රීඩකයන් හමුවේ තම වෘත්තීය භාවය ඉතා ඉහළින් ආරක්ෂා කරගත යුතු බව ඔවුන් අවබෝධ කරගත යුතුයි. මොකද වෛද්‍යකාර්ය මණ්ඩලය සේවයට එන්නේ තාවකාලික කොන්ත්‍රාත්තුවකට අනුවයි. එහෙම නැතිව ඔවුන් කිසිවිටකත් එම ක්‍රීඩාවේ දීර්ඝ කාලීනව සම්බන්ධතා පවත්වන, කණ්ඩායමක් නොවෙයි.
වරක් මම දුටුවා එක්තරා ක්‍රීඩා කණ්ඩායමක වෛද්‍ය උපදේශකයකු වශයෙන් කටයුතු කළ පුද්ගලයකු ශ්‍රී ලංකා කණ්ඩායම ජාත්‍යන්තර පිටියේ තරගවදිද්දී තම කණ්ඩායම වෙනුවෙන් ජයඝෝෂා නගමින් දිරිගන්වන්නෙක් ලෙස ක්‍රියා කරන ආකාරය. එය වෘත්තීයත්වයෙන් ඔබ්බට ගොස් රට සම්බන්ධයෙන් සංවේදී වීමක් ලෙස දැකිය යුතුයි. එහෙත් එය වෘත්තීය වෛද්‍යවරයෙක් වශයෙන් සිදුකළ හැකි හෝ සිදුකළ යුතු එසේත් නැතහොත් අනුමත කරන්න පිළිවන් හැසිරීමක් නොවෙයි.
ක්‍රීඩා කණ්ඩායමක් සමඟ කටයුතු කරන වෛද්‍යවරයෙක් සම්පූර්ණයෙන්ම සිදුකළ යුත්තේ කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ ශාරීරික, මානසික හා සමාජයීය සෞඛ්‍ය, ගොඩනැංවීමට විද්‍යාත්මක වශයෙන් දායකත්වය දැක්වීම පමණයි. එතැනින් ඔබ්බට ගිය කාර්ය භාරයක් ඔවුන්ගේ රාජකාරියට අයත්වන්නේ නෑ.
එංගලන්තය තුළ යම් කිසි වෛද්‍යවරයෙක් හෝ ඉහත දැක්වූ අංශයකට අයත්වන පුද්ගලයෙක් ක්‍රීඩා කණ්ඩායමක සේවා සැපයුම්කරුවෙක් වනවා නම් එතැනදී ගිවිසුමක් අත්සන් තබනවා. එම ගිවිසුම මූලික වශයෙන් 'ඒ' අකුරු තුනකින් සමන්විත අනුල්ලංඝනීය වගකීමක්. ඒ 'ඒ' අක්ෂර තුන වෙනුවෙන් අප දිවුරමක් ලබාදෙනවා.
මොකක්ද මේ 'ත්‍රී ඒ' ස් නැතහොත් 'ඒ' අක්ෂර තුන
පළමුවැන්න තමයි 'ඇඩල්ට්‍රි' කියා කියන්නේ. ඒ කියන්නේ අපි අපේ වෘත්තීය හැකියාවන් යොදාගනිමින් ක්‍රීඩකයන්, ක්‍රීිඩිකාවන් කිසියම් අපයෝජනයකට, අපගේ මානසික අවශ්‍යතාවයක් සනසා ගන්නට, ලිංගික ඇසුරකට යොදවා නොගත යුතුයි. ක්‍රීඩක කණ්ඩායම හා වෘත්තීය ගනුදෙනුව සිදුකරන කාලය තුළ තමන්ගේ ආශාවන්, අවශ්‍යතාවයන් වෙනුවෙන් ඔවුන් හා සම්බන්ධතා පැවැත්වීම තහනම්.
එය බිඳ දැමූ අවස්ථා ගණනාවක් ඉතිහාසය තුළ වාර්තා නොවෙනවා යැයි කිවනොහැකියි. නමුත් ක්‍රීඩක කණ්ඩායමක සහය සේවා සපයන්නකු මේ ආකාරයෙන් තමන්ගේ දිවුරුම බිඳහෙළන්නේ නම් ඔවුන් නීතිය යටතේ දඬුවමට ලක්වුණු අවස්ථා පවතින බව සඳහන් කළ යුතුයි.
මීට කදිම උදාහරණයක් වශයෙන් ඇමෙරිකාවේ හිටපු ජිම්නාස්ටික් කණ්ඩායම භාර වෛද්‍යවරයා ගේ සිදුවීම දක්වන්න පිළිවන්. කණ්ඩායමේ ක්‍රීඩිකාවන්ට ලිංගික අඩන්තෙට්ටම් සිදුකළ බවට ඔහුට එරෙහිව සාධාරණ සැකයෙන් ඔබ්බට කරුණු තහවුරු වූ හෙයින් එහි ප්‍රතිඵලය ලෙස ඔහු වසර දහයක සිර දඬුවමකට යටත් කෙරුණේ මේ නිසයි.
දැන් අපි දෙවැනි 'ඒ' අක්ෂරය සම්බන්ධයෙන් සලකා බලමු. එය තමයි'ඇල්කොහොලිසම්'. එයින් කියැවෙන්නේ කවුරුන් කවරක් පැවසුවද ප්‍රසිද්ධියේ සමාජය තුළ වෛද්‍යවරුන්ට මධ්‍යසාර භාවිත කළ නොහැකියි කියන කාරණය. නමුත් ආසියානු කලාපය තුළ එය නිවැරදිව තේරුම්ගෙන ඇත්දැයි අප දන්නේ නැහැ. නමුත් ක්‍රීඩාවට පෙර, ක්‍රීඩාව සිදුකරනවිට මෙන්ම ක්‍රීඩාවේ ජයග්‍රහණය හා පරාජය භුක්ති විඳිනවිට කියා වෙනසකින් තොරව අප අයත්වන්නේ ක්‍රීඩක කණ්ඩායමේ වෛද්‍යකාර්ය මණ්ඩලයට නම් එය ගිවිසුම අවසන් වනතුරු අපට ක්‍රීඩකයන් සමඟ හෝ ක්‍රීඩා කණ්ඩායමේ අනුබද්ධ කාර්ය මණ්ඩලය සමඟ මධ්‍යසාර උපයෝගී කරගනිමින් සව්දිය පුරන්න නොහැකියි. ක්‍රීඩකයන් විනෝද වුවද වෛද්‍ය කාර්ය මණ්ඩලය සිටිය යුත්තේ ඔවුන්ගෙන් දුරස්වයි. යම් හෙයකින් ඔවුන්ගේ සාදයකදී සිදුවන අනතුරකට, යෝග්‍යතාව බිඳවැටීමකට විසඳුම් ලබාදිය යුත්තේ කණ්ඩායමේ වෛද්‍ය කාර්ය මණ්ඩලය වශයෙන් පත්වීම් ලැබ සිටින අප විසින්මයි. එවිට වෛද්‍ය කාර්ය මණ්ඩලයද ක්‍රීඩකයන් සමඟ ඔවුන්ද මධ්‍යසාර භාවිත කරමින් හෝ විනෝදවෙමින් සිටියේ නම් ක්‍රීඩකයන් මුහුණදුන් අකරතැබ්බයකදී ප්‍රතිකාර කරන්නට, වෛද්‍යමය මැදිහත්වීම් සිදුකරන්නට හැකියාව නොලැබී යනවා. එහෙයින් මධ්‍යසාර භාවිත කිරීමේදී කණ්ඩායම සමඟ සව්දිය පුරමින් සතුටුවීමට වෛද්‍ය කාර්ය මණ්ඩලයට සදාචාරමය හිමිකම් නැත්තේ.
අංක තුන වන්නේ 'ඇඩ්වර්ටයිසිං' හෙවත් ප්‍රචාරණය යි. වෛද්‍යවරුන්ට ප්‍රචාරණය වෙනුවෙන් පෙනී සිටීමට නොහැකිය. එය යම් යම් ආකාරයකින් වෛද්‍යවරයකු වශයෙන් බිඳවැටුණු අවස්ථාවන් මා තුළද අත්දැක ඇතිබව අවංකව පිළිගැනීමට පසුබට වන්නේ නැත. නමුත් ක්‍රීඩකයන්ට ඖෂධ නිර්දේශ කිරීමේදී තමන්ට වාසි, කොමිස්, සම්බන්ධතා පවතින සමාගමක ඖෂධයක් හෝ පෝෂණ අතිරේකයක් ලබාගැනීමට යෝජනා කිරීම හෝ ප්‍රවර්ධනය කිරීමට සදාචාරාත්මක අයිතියක් නෑ.
ඊට අමතරව අපට ඇඳුම් පැළඳුම් සම්බන්ධයෙන් යම් යම් නිර්නායක පවතිනවා. ක්‍රීඩකයන් අඳින ඇඳුම් පැළඳුම් හැඳීමට අවස්ථාවක් හිමි වන්නේ නෑ. වෛද්‍ය කාර්යමණ්ඩලයේ නියෝජිතයෙක් බව ප්‍රදර්ශනය වන ආකාරයට නිල ඇඳුම් ආයිත්තම් පැළඳ සිටීමට අප බැඳී සිටින අතරම ක්‍රීඩකයන්ගේ විවේක කාමරය තුළ රැඳී සිටීමේ අවසර අහිමිවන බව කිවයුතුයි. කණ්ඩායම් කළමනාකරු සමඟ සැමවිටම සම්බන්ධතාවය පවත්වාගත යුතුවන්නේ ඒ නිසයි. අපේ සහායකයන්, වෛද්‍යවරු හෝ පවුලේ සාමාජිකයන් රැගෙනවිත් කණ්ඩායම සමඟ සම්බන්ධතා ඇති නොකළ යුතු සේම 'සෝෂල් ඩිස්ටන්ස්' හෙවත් ක්‍රීඩකයන් හා පැවැතිය යුතු සාමාන්‍ය දුරස්ථ භාවය ආරක්ෂා කිරීමද මූලික වගකීමක්. එහිදී යාළුවකු සේ ක්‍රීඩකයන් ඇසුරු කිරීමට නොහැකියි.
ප්‍රතිකාර ලබාදීමේදී ක්‍රීඩකයන් ස්පර්ශ කරන්නේ නම්, ශරීර පරීක්ෂණයක් කරන්නේ නම් තවත් පුද්ගලයෙක් ඒ අසළ සිටිය යුතුයි. වෛද්‍යවරයා අසළ හෙදියක් රැඳී සිටින්නේ ඒ සදාචාරාත්මක භාවය රැකගැනීමටයි. එය ක්‍රීඩා පිටියේදීද වෙනසකට ලක්නොවිය යුතු අතර වර්තමානයේ යම් යම් ගැටලු මතුව ඇත්තේ එකී වෘත්තීය සදාචාර සීමාව ඉක්මවා ගිය බවට ප්‍රකාශ නිකුත්වන බැවිණුයි.











