
වසරක් ගෙවී නව වසරක් උදා වූයේ ය. ක්‍රීඩාව පාර්ශ්වයෙන් ද එළඹුණු නව වසර අලුත් අපෙක්ෂා පොදි බැඳ තිබේ. කල් දැමූ ඔලිම්පික් ක්‍රීඩා උළෙල පැවැත්වෙන්නට නියමිතව ඇත්තේ ද මේ වසරේ ය. පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලට තවත් වසරකින් ළං වූ බව ද නව වසර අපට සිහිපත් කරන්නේ ය. එහෙයින් නව්‍ය බලාපොරොත්තු සමුදායක් සමඟ ධනවාදීව එළැඹුණේ නව වසරට මුහුණ දිය යුතු ය.
කෙසේ නමුත් ගෙවුණු වසරේ දේශීය ක්‍රීඩාවේ අවාරය නිම කරමින් ජාතික මලල ක්‍රීඩා ශූරතාව සාර්ථකව සංවිධානය කර අවසන් වුණේ දෙසැම්බර් මාසයේ අවසන් සතියේ ය. එය ජාතික ශූරතාවක් යැයි කීවාට, සියයට අනූවක් ම යුද හමුදා මලල ක්‍රීඩා ශූරතාවයකට සමාන ය. ඒ සමස්ත තරගාවලියට සහභාගි වූ ක්‍රීඩකයන්ගෙන් අති බහුතරයක් නියෝජනය කළේ ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩා සමාජය වූ හෙයිනි.
තරගාවලිය දෙස බාහිරින් සිට බලන්නේ නම් පෙනෙන්ට ඇත්තේ, වෙනත් ක්‍රීඩා සමාජයකට, එසේ නැතහොත් අන් ආයතනයකට ශ්‍රී ලංකාව තුළ මලල ක්‍රීඩාවේ ආධිපත්‍ය දැරීමට නොහැකි බව ද? එසේ දැරීමට ඉඩනොදෙන තරමේ මලල ක්‍රීඩාව තුළ හමුදා කරණයක් නිර්මාණය වී ඇත් ද? එසේ නැතහොත් ශ්‍රී ලංකාව තුළ බිහිවන ක්‍රීඩකයන් සියලු දෙනා යුද හමුදා ක්‍රීඩා සමාජය විසින් තමන් යටතට එක්කරගන්නා හෙයින් ද? යන කුකුසය.
ජාතික මලල ක්‍රීඩා ශූරතාවය සමීපව අධ්‍යයනය කරන්නකුට තරගාවලිය සඳහා ඇතුළත්වීමට සුදුසුකම් ලැබූ කණ්ඩායමට අයත් වන අති බහුතරයක් ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩා සමාජය නියෝජනය කරන ක්‍රීඩක, ක්‍රීඩිකාවන් ය. එය මලල ක්‍රීඩාවට පමණක් පොදු සත්‍යයක් නොවේ.
රට තුළ ක්‍රීඩාව වැඩි වශයෙන් රැඳී ඇත්තේ යුද හමුදාව හේතුවෙනි. ඒ බොහෝ ක්‍රීඩාවන් සම්බන්ධයෙන් සත්‍යය කි. ක්‍රීඩකයන්ගේ ක්‍රීඩා ජීවිතයේ පුහුණුව නම් වූ කටුක සංචාරයේ ක්ෂේම භූමිය යුද හමුදාව ය. එමගින් ප්‍රකාශ වන්නේ ශ්‍රී ලංකා යුද හමුදාව ස්වකීය දෑත් විහිදා රටේ මලල ක්‍රීඩක, ක්‍රීඩිකාවන් තම සෙවණ යටතට ගෙන ඔවුන් නිරුපද්‍රිතව බලාගන්නා බව ය. දක්ෂතා දක්වන්නේ නම්, ජාතික තලයේ මුල් ක්‍රීඩකයන් අතර රැඳෙන්නේ නම් ඔවුන් අවසානයේ නවතින්නේ යුද හමුදා මලල ක්‍රීඩා කණ්ඩායමේ ය.
ඒ අතින් බලන කල ක්‍රීඩා හමුදාකරණය වර්තමාන ක්‍රීඩාව පාර්ශ්වයෙන් නම් ආශිර්වාදයකි. කොවිඩ් 19 වැනි වසංගත හේතුවෙන් අකර්මන්‍යව, ගැටලුවලට මුහුණ දී රැකියාවේ පැවැත්ම පවා අවිනිශ්චිතවී තිබිය දී ක්‍රීඩකයාගේ ආර්ථිකය ස්ථාවර වන්නේ යුද හමුදාව වැනි දැවැන්ත අනුග්‍රාහක ආයතන හේතුවෙන්ම ය.
එහෙයින් යුද හමුදාව සමාජයේ විවිධ ස්ථරයන් අතර ක්‍රීඩකයන්ගේ දක්ෂතා රඳවා තබාගන්නට සමත් සෙවණැල්ලකි. රටක මුහුණුවර ජාත්‍යන්තරයට රැගෙන යාමට කෙම් බිමක් සපයන යෝධ අත්වැලකි. ක්‍රීඩාවේ හමුදාකරණය ගැන කිසිවකුටත් අවතක්සේරු කළ නොහැක්කේ එහෙයිනි.
එහෙත් අප කියන්නේ එය යුද හමුදාවට පමණක් බාර දී අත පිසදා ගැනීමට නොහැකි බව ය. රටේ විවිධ ක්ෂේත්‍රයන් නියෝජනය කරන ආයතන ලාභය මත පමණක් පිහිටා කටයුතු කිරීම අතහැර යුද හමුදාව ආදර්ශයට ගතයුතු යැයි කියා ය. එවිට ක්‍රීඩාවේ හමුදාකරණ අධිකාරිය තරගකාරිත්වය මගින් බිඳහෙළා දැමිය හැකිය. එසේ වීමෙන් ක්‍රීඩාවේ දක්ෂතා වඩා ඔප්නංවමින් ශ්‍රී ලංකා සන්නාමය ලෝකයට රැගෙන යාමට පිටිවලක් සැපයීමට හැකිය. එළඹුණු නව වසරේ අප ඉලක්ක කළ යුත්තේ එය ය.
සංස්කාරක











