‘යුටියුබ්’ ගුරුවරයා කරගත් ජාතික සර්ෆින් ශූරයා ලක්ෂිත මධුෂාන් | Page 3 | සිළුමිණ

‘යුටියුබ්’ ගුරුවරයා කරගත් ජාතික සර්ෆින් ශූරයා ලක්ෂිත මධුෂාන්

ලා කේයන්ට ආවේණික නොවුවත් මෙරට ඉතාමත් සාර්ථකව කළ හැකි ක්‍රීඩාවක් ලෙස රළ මත ලිස්සා යෑමේ (සර්ෆීන්) ක්‍රීඩාව හැඳින්විය හැකිය. ආකර්ෂණිය වෙරළ තිරයක් හිමි ලොව ඇති රටවල් අතරින් සංචාරක ආකර්ෂණය ඉතාමත් ඉහළින් දිනා ඇති ශ්‍රී ලංකාව රළ මත ලිස්සා යෑමේ (සර්ෆීන්) ක්‍රිඩාවෙන් විදේශිය සංචාරක ආකර්ෂණයද ඉතාමත් ඉහළින්ම දිනා ගැනීමට සමත්ව ඇත.

වාර්ෂිකව මෙරටට පුහුණුවිම් උදෙසා පැමිණෙන සංචාරක රළ මත ලිස්සා යෑමේ (සර්ෆීන්) ක්‍රිඩක ක්‍රිඩිකාවන් හට අාරුගම්බේ, හික්කඩුව හා මාතර මඩිහේ වෙරළ තීර විශේෂ වෙයි. එහි දී යටිතල පහසුකම් ලබා දෙමින් සිටින ලාංකේය නව යොවුන් තරුණයන් මේ ක්‍රිඩාවට නිතැතින් යොමුවෙමින් සිටියි. එසේම මේ ක්‍රිඩාව සඳහා අවැසි කරන තාක්ෂණය, ක්‍රිඩා උපකරණ හා දක්ෂතාවය ප්‍රගුණ කිරීමට නොමඳ උත්සහයක නිරත වෙමින් සිටියි. කෙසේ වෙතත් කෙමෙන් කෙමෙන් මෙම ක්‍රීඩාව තමන් සතුකරගත් ලාංකේය ක්‍රිඩකයන් ලොව නන් දෙසින් මෙර‍ටට පැමිණෙන ක්‍රිඩකයන්ගෙන් රළ මත ලිස්සා යෑමේ (සර්ෆීන්) ක්‍රිඩාව ප්‍රගුණ කරමින් අධුනිකයන් හට ක්‍රිඩාව උගන්නමින් තම දක්ෂතාවය වර්ධන කරගැනීමේ අරගලයක නිරතව සිටීයි.

එසේම මෙරටට ආවේණික නොවුවත් ඉතාමත් ආකර්ෂණිය රළ බීඳීමක නිරන්තරව මුසු වන ශ්‍රී ලංකා වෙරළ තීරයේදි අපේ ක්‍රිඩකයන් ජාත්‍යන්තර ක්‍රිඩක ක්‍රීඩිකාවන් සමඟ උරෙන් උර ගැටී තරග කරන්නේ කිසිඳු ජාත්‍යන්තර පුහුණුකරුවෙකුගේ හෝ උපදේශකයෙකුගේ මඟ පෙන්විම මත නොවෙයි. ඒ කෙසේ වෙතත් අපේ ක්‍රිඩකයන් විදේශිය තරගකරුවන් පරාජය කරමින් ජයගත් අවස්ථාද නැතුවා නොවෙයි. 

වෙරළ ක්‍රිඩා සමාජ හරහා ජාතික තරගාවලියක් කරා රැගෙන එන රළ මත ලිස්සා යෑමේ (සර්ෆීන්) ක්‍රිඩාව 2018 වසරේදී ක්‍රිඩා අමාත්‍යාංශයේ සර්ෆීන් ක්‍රිඩා සම්මේලනය ලෙස ලියා පදිංචි ජාතික තරගාවලියකින් සමන්විත ක්‍රිඩාවක් ලෙස සාධනීය ලක්ෂණ සමඟ වර්ධනය විය. මෙලෙස ආරම්භ වු රළ මත ලිස්සා යෑමේ (සර්ෆීන්) ක්‍රිඩාවේ වත්මන් ජාතික ශූරයා ලෙස අභිසෙස් ලබන්නේ වැලිගම සර්ෆර්ස් ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් තරග කළ වැලිගම පැලැනේ ලක්ෂිත මධුෂාන්ය.විවෘත අංශයේන් අසංක සංජිව ශූරතාව දිනා ගත් අතර කාන්තා අංශයේ ශූරතාව දිනාගැනීමට දකුණු අප්‍රිකානූ ක්‍රිඩිකා නිකිතා රොබ් සමත් වුවාය.

අදියර තුනකින් සමන්විත වු 2020 ජාතික සර්ෆීන් තරගාවලියේ සමස්ත ප්‍රසාද ලකුණු 3000ක් ලබාගනිමින් ජාතික ශුරතා රළ මත ලිස්සා යෑමේ (සර්ෆීන්) තරගාවලියේ අදියර තුනම ජයගනිමින් සමස්ත තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ඔහු සමත් විය.

වැලිගම පැලැනේ සිද්ධාර්ථ විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරන ලක්ෂිත මධුෂාන් වෘත්තියෙන් ධීවර කර්මාන්තයේ යෙදෙන පවුලක සහෝදර සහෝදරියන් සිවුදෙනෙකුගෙන් යුත් පවුලේ තුන්වන පිරිමි දරුවා ලෙස මෙලොව එළිය දුටුවේ 1999 වසරේ මාර්තු 11 වැනිදාය.

ධීවර කර්මාන්තයේ නියැළෙන තිලක් ශාන්ත තම පියාගේ නොමද උත්සහය නිසි ලෙස කළමනාකරණය කර ගනිමින් ගෘහණියක් ලෙස තම දූ දරුවන් සිවු දෙනා උස්මහත් කරන ලක්ෂිතගේ මව ටී.වී.කේ. නිලන්ති නිතරම අවවාද දෙමින් උසස් අධ්‍යාපනයේ ඇති වැදගත්කම තම පුතුන්ට පහදාදෙයි. නමුත් වැලිගම වෙරළ තීරය සංචාරක පාරාදිසයක් ලෙස ආකර්ෂණීය වන පසුබිමක ඔවුන් නිතරම මුසුවන්නේ වෙරළ සමඟින්ය.

වැඩිමහල් බාප්පා උපුල් ශාන්ත වන අතර මද්දුම බප්පා අජිත් ශාන්ත වෙයි. ලොකු බාප්පා‍ සමඟ හාදවන සංචාරක එංගලන්ත පෙම්වතිය. බාප්පාට සර්ෆීන් ක්‍රිඩාවේ මිල අධික ක්‍රිඩා භාණ්ඩ ලබාදෙමින් රළ මත ලිස්සා යෑමේ ක්‍රිඩාවට සහයෝගය දෙයි. ඒ වගේම බාප්පාගෙන්ද සහයෝගය ලබාගනිමින් ඇයද පුරුදු පුහුණු වෙයි. ‍මද්දුම බාප්පා අපට ගුරුහරුකම් ලබාදෙමින් සර්ෆීන් ක්‍රිඩාවේ අවධානම මෙන්ම ක්‍රිඩා කළයුතු රටාව පහදා දෙමින් උද්‍යෝගිමත් කරදිදී එම අවස්ථාවට මුහුණ දෙමින් පසකට වී නිසි ඵල ලබන ලක්ෂිත හා වැඩිමල් සහෝදරයා වන බුද්ධික මධුෂාන් රළ මත ලිස්සා යාමේ ක්‍රිඩාව ප්‍රගුණ කරති. නමුත් සුනාමී ඛෙදවාචකය මත‍කයේ රැදී දෙමාපියන් තම දරුවන්ට මුහුද සමඟ කරන ක්‍රිඩාවට වැටකඩුලු බඳියි. නමුත් බාප්පාගේ අඩි පාරේ යන දරුවන් නතර කර ගැනීමට ඔවුන්ට නොහැකි වෙයි.

බාප්පා‍ලා දෙදෙනාගෙන් ලබන දැනුම වැඩි දියුණු කරන ලක්ෂිත හා බුද්ධික වැඩිමල් සොහොයුරා වැලිගම වෙරළ තීරයට සර්ෆීන් ක්‍රිඩාව පුහුණු විම් සඳහා එන සංචාරකයන් පුහුණු කිරීමට හා ඔවුන්ට පහසුකම් ලබාදිමට උක්සුක වෙති. අද සර්ෆීන් ක්‍රිඩා පුහුණු ආයතනයක් පවත්වා ගනිමින් බුද්ධික වෘත්තීය මට්ටමින් සර්ෆීන් ක්‍රිඩාවේ නියැළෙයි.

සිද්ධාර්ථ විද්‍යාලය හා තෙලිජ්ජවිල මධ්‍ය මහා විද්‍යාලය අතර පැවැත්වෙන මහා ක්‍රිකට් ගැටුමට එක්වන ලක්ෂිත වසර දෙකකදීම සිද්ධාර්ථ විද්‍යාලයේ කණ්ඩායම් නායකයා ලෙසද කටයුතු කළ ක්‍රීඩකයෙකී. සිද්ධාර්ථ විද්‍යාලයෙන් උසස් පෙළ දක්වා අධ්‍යාපනය හදාරන ලක්ෂිත මධුෂාන් උසස් පෙළ අතර මඟ නවතා ආදායම් මාර්ගයක් හා ආකර්ෂණිය ක්‍රිඩාවක් වන සර්ෆීන් ක්‍රීඩාව තෝරාගනීයි. සංචාරකයන් පුහුණු කරමින් ආදායමක් උපයමින් ක්‍රීඩාව කරගෙන යන ලක්ෂිත 2016 දී රටවල් 15ක සහභාගීත්‍ව‍යෙන් පැවැත් වුණු ‘රේඩ්බුල් රයිඩ් මයිවේව්’ තරගයෙන් ජය හිමිකර ගන්නේය. එම තරගයෙන් දෙවන හා තෙවන ස්ථානයන් හිමිවන්නේ විදේශී ක්‍රීඩකයන් දෙදෙනෙකුටය.

2015 වසර වන තෙක්ම සර්ෆීන් ක්‍රිඩාවේ නිරත වුණත් හරියාකාරව පිහිනිමද ප්‍රගුණ කර නැති ලක්ෂිත 2016 වසරේදී ‘රේඩ්බුල් රයිඩ් මයිවේව්’ තරගයෙන් ජයගත් විට දෙමාපියන්ද ඔහුට අවැසි මඟ යාමට දී පසකට වි බලාසිටී. එතැන් පටන් සර්ෆින් ක්‍රීඩාව විදේශිකයන් හට පුහුණු කරමින් ක්‍රීඩාවක් ලෙස ප්‍රගුණ කරන ලක්ෂිත 2017 දි පැවැත් වු විවෘත රැව්ස්, ස්ට්‍රීන්ස් අහංගම හා සයින් සර්ෆ් යන දේශිය තරගාවලි ත්‍රිත්වයෙන්ම ජයගෙන ශූරතා ත්‍රිත්වයම තමන් සතු කරගැනීමට සමත් වෙයි.

ජාත්‍යන්තර ක්‍රිඩකයන් ක්‍රිඩා කරමින් අන්තර් ජාලයට එක් කර ඇති ක්‍රිඩා තරග දර්ශන හා ලෝක ස්ර්ෆීන් ශූරතා තරග දර්ශන නරඹමින් ‘යු ට්යුබ්’ තම ගුරුවරයෙකු ලෙස පරිහරණය කරමින් අඩුපාඩු සකසා ගනිමින් විද්‍යානුකුලව ප්‍රගුණ කළ ක්‍රීඩා ගුරුවරයෙකු නොමැතිව ක්‍රීඩා කරන ලක්ෂිත ඉන්දියාව, චීනය හා ජපානය යන රටවල්වලද සංචාරය කරමින් ශ්‍රී ලංකාව නියෝජනය කර ඇත. නමුත් කිසිඳු රාජ්‍ය අනුග්‍රහයක් නොමැතිව පුද්ගලික ආධාර උපකාර ඇතිව ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඉන්දියාවේදී ‘කෝලම් පොයින්ට්’ තරගාවලියෙන් දෙවන ස්ථානයත් චීනයේ පැවැති තරගාවලියෙන් අර්ධ අවසන් පුර්ව හා අවසන් වටය දක්වා පැමිණීමත්, ජපානයේ ඔලිම්පික් නියෝජනය වෙනුවෙන් පැවැති තරගයෙන් තුන්වන ස්ථානය දක්වා ද පැමිණිමත් ඔහු ලද ජාත්‍යන්තර ජයග්‍රහණ අතර වෙයි.

හිරාන් උක්වත්ත, හා තුෂාන් සම්පත් (තම්බෝ- අයියා) ඇතුළු පිරිසක් එක්ව 2018 වසරේදී සර්ෆීන් ක්‍රිඩා සම්මේලනය පිහිටුවිම නිසා වත්මන් සර්ෆීන් ක්‍රිඩක ක්‍රිඩිකාවන්හට තම ක්‍රිඩාව ප්‍රගුණ කිරිමේ මංපෙත් විවරව ඇති බව විශ්වාස කරන ලක්ෂිත. ඔවුන්ව පසසන්නේ හෘදයාංගමවය. ඔවුන් විසින් එසේ අරඹන සම්මේලනයේ අනුග්‍රහයෙන් පැවැත් වු පළමු ජාතික තරගාවලියෙන් ලසිත් ප්‍රභාත් ජාතික ශුරතාව හිමිකරගනිද්දී ලක්ෂිතට හිමිවුනේ දෙවන ස්ථානයයි.

මෙම ක්‍රිඩාව නිසි ලෙස පුරුදු පුහුණු වුනොත් ලංකාවට සර්ෆීන් ක්‍රිඩාවෙන් ලෝකය දිනන එක සිහිනයක් නොවන බව පවසන ලක්ෂිත. මෙම ක්‍රිඩාවේ නියැළීමට අවශ්‍ය ත්‍රීඩා භාණ්ඩයන්ගේ මිල ගණන් අධික විම නිසා ක්‍රිඩාව ප්‍රගුණ කිරිමට බාධාවක් බවද පවසයි. සර්ෆීන් බෝඩ් එකක මිල රුපියල් 130,000ක් පමණ වන බව පවසන ලක්ෂික ‍ස්භාව සෞන්දර්යයේ පාරිසරික හේතුන් මත වෙනස් වන රළට ගැළැපෙන සර්ෆීන් බෝඩ්වල මිල ගණන් ඊටත් වඩා අධික බවද පවසයි.

දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුව දක්වා ශ්‍රී ලංකා වෙරළ තීරය මෙම ක්‍රිඩාව වෙනුවෙන්ම වෙන් වු තොතැන්නක් බව පවසන ලක්ෂිත අපට ස්භාව ධර්මයෙන්ම උරුම මුහුදු රළෙන් නිසි ‍ප්‍රයෝජන ගත නොහැකි ක්‍රිඩක ක්‍රිඩිකාවන් සමුහයක් සිටින බව බවසයි. ඒ වෘත්තිය මට්ටමින් මෙම ක්‍රිඩාවට නියැළීමට ඇති බාධාව මෙන්ම මිල අධික ක්‍රිඩා භාණ්ඩ නිසා බව ඔහු අවධාරණය කරයි. සර්ෆින් ක්‍රිඩකයෙක් වන වත්මන් ක්‍රිඩා හා තරුණ කටයුතු ඇමැති නාමල් රාජපක්ෂ මහතා වෙත අවධානය යොමුකරන ලක්ෂිත මධුෂාන්, සර්ෆීන් ක්‍රිඩාවට ක්‍රීඩා අමාත්‍යාංශයෙන් මෙන්ම පුද්ගලික අනුග්‍රහකයන්ද උනන්දු කර ජාත්‍යන්තර පුහුණුකරුවෙකුගේ සහාය ලබාදීමට කටයුතු සලසා දි ජාත්‍යන්තරය ජයගත හැකි ක්‍රිඩකයන් දිරිගන්වන්නේ නම් එය සර්ෆීන් ක්‍රිඩකයන්හට කරන දිරිගැන්විමක් ලෙස ඔහු දකීයි.

ඡායාරූප - සුලෝචන ගමගේ

Comments