
වසර අවසානයේ එන්නතක් සොයා ගත හැකියි. එහෙත් එයට පෙර අමෙරිකානුවන් ලක්ෂයක් මිය යනු ඇති අමෙරිකා ජනාධිපති කියයි
කොවිඩ් මරණ සංඛ්‍යාව දිනෙන් දින වැඩිවත්ම අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් චීනයට එල්ල කරන චෝදනා සංඛ්‍යාවද ඉහළ යමින් තිබේ. මීට පෙර අවස්ථා කිහිපයකදීම කොවිඩ් ආසාදනය වීමට හේතුවන කොරෝනා වයිරසය චීනයේ වූහාන්හි පර්යේෂණාගාරයකින් මුදාහරින ලදැයි ට්‍රම්ප් ජනාධිපතිවරයා චෝදනා කර සිටියේය. තවත්අවස්ථාවකදී ජාතිය අමතමින් අමෙරිකා ජනාධිපතිවරයා පවසා සිටියේ කොවිඩ් ලෝකය පුරා පැතිරවීම වෙනුවෙන් චීනයට වන්දි ගෙවීමට සිදු වනු ඇති බවයි.
පසුගියදා යළිත් වරක් ඔහු එවැනිම දැවැන්ත චෝදනාවක් චීනයට එරෙහිව සිදුකරමින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා සිටියේ කොවිඩ් ජනතාව අතර පැතිරීමට හේතුව ‘චීනයේ දැවැන්ත අත්වැරදීමක්’ බවයි. ඔහු එසේ පැවසීමට පැය කිහිපයකට පෙර අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මාධ්‍ය හමුවේ පවසා සිටියේ කොවිඩ් වයිරසය චීනයේ වූහාන් හි පර්යේෂණාගාරයකින් නිකුත් වූ බවට සාක්ෂි රාශියක් පවතින බවයි.
පසුගිය ඉරිදා දින උදෑසන රාජ්‍ය ලේකම්වරයා මේ අදහස් පළ කර අතර පසුව දහවල් කාලයේ ‘ෆොක්ස් නිවුස් වර්චුවල් ටවුල්හෝල්’ වැඩසටහන හා එක්වෙමින් ජනාධිපති ට්‍රම්ප් චීනයට යළිත් වරක් චෝදනා එල්ල කළේය. ඔහු එහිදී වැඩිදුරටත් පවසා සිටියේ මෙම වයිරසය සමාජ ගතවීම චීනයේ අත්වැරදීමක් බවත්, එහෙත් එම වැරැද්ද පිළිගැනීමට චීනය කටයුතු නොකරන බවත්ය. මේ වන විට කොවිඩ් වයිරසයේ ප්‍රථම සමාජගතවීම සම්බන්ධව අමෙරිකානු රජය තීරණාත්මක වාර්තාවක් සකස් කරමින් සිටින බවද ජනාධිපතිවරයා එහිදී පවසා සිටියේය.
මෙහිදී අමෙරිකා ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා සිටියේ මේ වසර අවසාන වන විට කොවිඩ් සඳහා එන්නතක් සොයා ගත හැකි වනු ඇති බවත් එහෙත් ඒ වන විට අමෙරිකානුවන් ලක්ෂයක් පමණ මිය යනු ඇති බවත්ය.
අමෙරිකා ජනාධීපතිවරයාගේ අනාවැකි සම්බන්ධව මේ වන විට අමෙරිකානුවන් තුළ පමණක් නොව ලෝකයේ වැඩිදෙනා අතර විශ්වාසයක් නොමැත්තේ ඔහු මීට පෙර පැවසූ අනාවැකි රාශියක් බිඳ වැටී ඇති බැවිනි. පසුගිය පෙබරවාරි මාසයේදී චීනයේ වයිරසය දැඩිව පැතිර යන අවස්ථාවේදී ජනාධිපති ට්‍රම්ප් පවසා සිටියේ අප්‍රේල් වන විට වයිරසය පාලනය කිරීමට චීනයට හැකි වනු ඇති බවයි. එහෙත් ඔහුගේ එම අනාවැකිය බොරු කරමින් මාර්තු මස වන විට වයිරසය පාලනය කිරීමට චීනයට හැකිවූ අතර අමෙරිකාව හෝ යුරෝපය කිසිදා නොසිතූ ලෙස වයිරසයේ දැඩි ප්‍රහාරයට මුහුණ දීමට සිදුවිය. ඒ අනුව ජනාධිපති ට්‍රම්ප් මේ පවසන අනාවැකිද සැබෑ වීමෙන් බොහෝ දුර පවතින බව සිතිය හැකිය.
කෙසේවුවද චීනයට මෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානයටද අමෙරිකානු ජනාධිපතිවරයා දිගින් දිගටම දොස් පවරමින් සිටින අතර ඔහුගේ චෝදනාව වන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය වයිසරයේ පාලනයට ප්‍රමාණවත් යමක් නොකළ බවයි. මේ චෝදනාවන්ට පිළිතුරු ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා පසුගියදා පවසා සිටියේ ජනවාරි මස අවසානයේදී ලෝක සෞඛ්‍ය සංවිධානය ලෝට මට්ටමින් හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කළ බවත්, ඒ අවස්ථාවේ සිට ක්‍රියාත්මක වූයේ නම් වයිරසය පාලනය කිරීමට සෑම රටකටම ප්‍රමාණවත් කාලයක් තිබූ බවත්ය. සැබවින්ම ආසන්න ඉතිහාසය විමසීමේදී පෙනී යන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය එවැනි අනතුරු ඇඟවීම් රාශියක්ම සිදු කර ඇති බවයි. එහෙත් අමෙරිකාව සය යුරෝපා රටවල් එම අනතුරු ඇඟවීම් සඳහා ප්‍රමාණවත් අවධානයක් ලබා නොදුන් බවද පැහැදිලිය.
කොවඩ් රෝගය ලොව පුරා පැතිරවූ කොරෝනා වයිරසය චීනයේ නිෂ්පාදනයක්ද? එමෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයට පක්ෂපාතීව ක්‍රියා කළේද යන්න තීරණය කිරීමට තවමත් කාලය ප්‍රමාණවත් නැත. එහෙත් නියත වශයෙන්ම මේ සියලු ප්‍රශ්න, අනුමාන සහ චෝදනාවලට අනාගතයේදී පිළිතුරු ලැබෙනු ඇත.