මීට පෙරද සාකච්ඡා කළ පරිදි දියෙස්පෝරාව ගොඩනැඟෙන්නේ ජාතියක සංස්කෘතියක් හා බැඳුණු පිරිස් විදේශයක එක්රැස් වීමෙනි. එහෙත් ඒ විදෙස් රාජ්‍යයේ සංස්කෘතිය කොයි ආකාරයෙන් එකී දියෙස්පෝරාව පිළිගන්නේද යන්න රටින් රටට විවිධාකාරය. දියෙස්පෝරාව තම අනන්‍යතාව රැකගන්න උත්සාහ ගනිද්දී, ඒ විදෙස් රටේ සංස්කෘතිය එවැනි විශේෂ ප්‍රභේදනයක් නොකරයි; එසේ නැති නම් එය වෙනස්ම ආකාරයේ කුලකයකට ගොනු කරයි. වෙනත් ආකාරයෙන් කිව හොත් අප ශ්‍රී ලාංකික දියෙස්පෝරාව ලෙස ලඝු වන්න උත්සාහ දරද්දී විදෙස් සංස්කෘතිය අප ගොනු කරන්නේ ‘නැඟෙනහිර ආසියාතික’ (East Indian) යන කුලකයටය.
කැනඩාවේ සංස්කෘතිය අද බහු-සංස්කෘතිකත්වයක් (Multi Culturalism) ලෙස වර්ධනය වී තිබේ. ඒ අනුව සියලු ලෝක සංස්කෘතීන් කැනඩාවේ සංස්කෘතිය බව දේශපාලකයෝ ප්‍රකාශ කරති. ඡන්දය ලබාගැනීමට දේශපාලකයන් එසේ කීවද එය හැමවිටම එසේ නොවීය.
මා මෙරටට පැමිණි මුල් අවදියේ සුදු ජාතිකයන් විසින් දුඹුරු සම ඇති සියලු දෙනා හඳුන්වනු ලැබූයේ ‘පාකීස්’ යනුවෙනි. සාමාන්‍යයෙන් පාකීස් යනුවෙන් හඳුන්වනු ලබන්නේ පාකිස්තානීන් වූවත් වර්ගවාදී ආමන්ත්‍රණයක් ලෙස සියලු දුඹුරු සම ඇත්තෝ ඉන්දීයයන් ලෙස සලකා ‘පාකීස්’ ලෙස හඳුන්වනු ලැබූහ. ඒ නිසා සියලු දුඹුරු සම ඇත්තෝ ‘තමා කුමන වර්ගට අයත් ඉන්දීයයෙක්ද?’ යන අනන්‍යතා ගැටලුවට මුහුණ දුන්හ.
ඒ අනුව සුද්දන්ට කරදරයක් වූ ඉන්දීයයෝ වර්ග ගණනාවක් වෙති. කැනේඩීය භුමියේ නියම උරුමකරුවන් වන රතු ඉන්දීයයෝ ඉන් මූලික වෙති. ඔවුන් වෙනුවෙන්ම වෙන් කොට ඇති ප්‍රදේශවල ජීවත් වන රතු ඉන්දීයයන් එසේ නොවුවද, නගරාශ්‍රිතව වෙසෙන රතු ඉන්දීයයෝ බහුල ලෙස මතට ඇබ්බැහිව සිටිති. වීදි කොන්වල වෙරි මතින් වැනි වැනී සිඟා කන ඔවුහු සුද්දන්ගේ පිළිකුලට ලක් වෙති (ඔවුන් පිළිබඳ වඩා සවිස්තරාත්මකව ඉදිරියේදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙමි).
ඊට අමතරව හතර වටේම තුනපහ සුවඳ වගුරුවමින් බස් රථවලට ගොඩ වන නැඟෙනහිර ඉන්දීයයන් සහ පාකිස්තානීන් හෙවත් ‘curry smelling injiyans’ ළඟින් යන විට නාසය වසාගන්නා සුද්දෝ ඒ ඉන්දීයයන්ද පිළිකුල් කරති (නගරාශ්‍රිත සුද්දන් ‘Indian’ යන්න ශබ්ද නගන්නේ ‘ඉන්ජියන්’ යනුවෙනි).
රැකියා ස්ථානවල අනෙක් සේවකයන් පිළිබඳ වැරදි කියමින් ආයතන ප්‍රධානීන්ගේ සිත දිනාගෙන සිටින, බොහෝ ආයතනවල සුද්දන් පරයා ‘සුපර්වයිසර්’ කම දරන ගයනා, බබෙඩෝස් වැනි රටවලින් පැමිණි ඉන්දීය සම්භවයක් සහිත බටහිර ඉන්දීයයෝ සුද්දන්ගේ උදහසට ලක් වූ තවත් ඉන්දියානුවන් වර්ගයකි.
මේ හැරුණු කොට, ක්‍රෙඩිට් කාඩ් වංචාව, මත්ද්‍රව්‍ය වෙළෙඳාම ඇතුළු විවිධ වංචා පිළිබඳ නිතර පුවත්පත්වල තොරතුරු පළ වන, තම වර්ගයාගෙන්ම කප්පම් ගන්නා, හන්දියක් ගානේ තුවක්කු සහිත කොටියෙකුගේ කොඩි වනමින් මාර්ග අවහිර කරන ‘ටැමිල් ඊළාම්’ යනුවෙන් හඳුන්වනු ලබන රටකින් පැමිණියේයැයි කියන දෙමළ ඉන්දීයයෝද සුද්දන්ට හිසරදයකි. මේ අය අතුරින් මා කුමන වර්ගයේ ඉන්දීයයකුදැයි සුද්දන්ට පැහැදිලි කිරීම තරමක් අසීරු කාරණයකි.
කැනඩාවට පැමිණි මුල් අවදියේ මගේ ගජයා වූ ‘ගජන්’ දිනක් “බම්බක්ලාට්” ගාමින් මගේ කාමරයට ඇතුළු විය. ‘බම්බක්ලාට්’ යනු ජැමෙයිකානු භාෂාවෙන් අමු තිත්ත කුණුහරුපයකි. ජැමෙයිකානුවෝ විශාල පිරිසක් ටොරොන්ටෝවේ වෙසෙති. එහෙයින් සමහර ජැමෙයිකානු වචන ටොරොන්ටෝ වැසියන්ගේ වචන ගොන්නට එකතු වී තිබේ. “මොකෝ මේ?” මම ඇසුවෙමි. “නෑ... මම දැන් බස් එකේ එනකොට මගේ ළඟ හිටපු සුදු ගෑනියෙක් නහය වහගත්ත නේ කරි ගඳයි කියල. මේ වැඩේ හරියන්නෙ නෑ. මීට පස්සේ ජැකට්එක වෙනම ලොකර්එකක දාල වහන්න ඕනෑ...” ඔහු කියාගෙන ගියේය. පසුව ඔහුගේ කබාය අසල තිබුණු කබඩ්එකකට දමා සුවඳ විලවුන් බෝතලයක් ගෙන විදගෙන විදගෙන ගියේය. එලෙස සුද්දන්ගේ වර්ගීකරණයෙන් විතැන් වීමට උත්සාහ කරන ගජන් යාපනයේ සිට පැමිණි දෙමළ තරුණයෙකි. ගජන්ට එල්ටීටීඊය අරහංය. ශ්‍රී ලංකාව පිළිබඳ විවාදවලදී හැම විටම සිංහලයන්ගේ පැත්තේ සිටගන්නා ගජන් ටොරොන්ටෝවට එන සියලු සිංහල සංගීත සන්දර්ශන, චිත්‍රපට එකක් නෑර නරඹයි. එකල පැවති එල්ටීටීඊ විරෝධී ‘තෙඩගම්’ නම් වූ ටොරොන්ටෝ ද්‍රවිඩ සංවිධානයේ ක්‍රියාකාරි සාමාජිකයෙකි.
ක්‍රිෂාන්ත අද කොහි සිටීදැයි මම නොදනිමි. සිය මිත්තණිය අසනීපව සිටින බැවින්ද, ශ්‍රී ලංකාවේ පවුලේ කිසිවකු නොවූ හෙයින් ඇයට උපස්ථාන කිරීමේ අරමුණින්ද මීට වසර දහයකට පමණ පෙර ඔහු ලංකාවට ගිය අතර, ඉන් පසු ඔහු පිළිබඳ කිසිවක් අසන්නට නොලැබිණි. මේ ලිපිය ලිවීමට මත්තෙන් ඔහු ඉන්නා ඉසවුවක් සොයාගත යුතුයැයි හැඟුණු හෙයින් ඒ සඳහා සාමාන්‍යයෙන් උපකාරි වන google සෙවුමක් කළෙමි. මා අවබෝධ කරගෙන සිටි පරිදි ඔහුගේ චරිතයට සාධාරණයක් ඉටු කරමින් ගූගුල් මඟින් ඔහු පිළිබඳ සෙවීමට කළ උත්සාහය කිසිදු සලකුණක් හෝ නැතිව අසාර්ථක විය. ඒ අයුරින්ම ඔහු හුදෙකලා සටන්කරුවෙකි.
තවත් දිනයක සුද්දෙක් ක්‍රිෂාන්තගෙන් “උඹ කොයි සිට පැමිණියේදැ?”යි ඇසුවේය. ඔහුගේ පිළිතුර වූයේ “Spadina and Bloor” යන්නයි. ‘ස්පඩයිනා සහ බ්ලෝ’ යනු ටොරොන්ටෝවේ එකට කැපෙන ප්‍රධාන මාර්ග දෙකකි. ඔහුගේ නවාතැන පිහිටා තිබුණේ ඒ මංසන්ධිය අසලය. ක්‍රිෂාන්තට වැරදී ඇතැයි සිතූ සුද්දා තමා ඇසුවේ මොන රටින් පැමිණි කෙනෙක්ද යන්න බව කියා සිටියේය. ක්‍රිෂාන්තට යකා ආරූඪ විය. “I have been living here over 30 years. You keep asking me this question, because my skin is brown. But you never ask the same question from a white man who migrated to this country two days ago!” ඔහුගේ පිළිතුර විය (මම මේ රටට ඇවිත් අවුරුදු තිහකට වැඩියි. උඹල මගෙන් මේ ප්‍රශ්නෙ අහන්නෙ මගේ හම දුඹුරු නිසා. ඒත් දවස් දෙකකට කලින් මේ රටේ පදිංචි වෙන්න ආපු සුදු හම තියෙන එකෙක්ගෙන් උඹල ඔය ප්‍රශ්න අහන්නේ නැත්තේ ඇයි?) සුද්දා නිරුත්තර විය. එක් පැත්තකින් සුද්දන්ගේ වර්ගවාදි මානසිකත්වයට පහර ගසමින් අපට මෙහි සිටීමට ඇති අයිතිය ආරක්ෂා කරන ක්‍රිෂාන්ත අනෙක් පැත්තෙන් වෙනම සංස්කෘතියක් ලෙස නැඟී සිටීමේ අයිතිය වෙනුවෙන්ද පෙනී සිටියි.
සුද්දන්ගේ මේ වර්ගවාදි මානසිකත්වයට පිළිතුරු දෙමින් ක්‍රිෂාන්ත ඉංග්‍රීසි භාෂාවෙන් දිගු කවිපොතක් ලිවුවේය. එහි නම ‘What kind of Injian am I?’ (මම කුමන වර්ගයේ ඉන්දීයයෙක් වෙම්ද?) ඒ හුදෙකලා දියෙස්පෝරා සටන්කරුවාට උපහාරයක් ලෙස අද මේ ලිපියේ මාතෘකාව ලෙස එනම යොදාගතිමි. ඉදිරි සතියේදී අපි තව දුරටත් ක්‍රිෂාන්ත ගැන කතා කරමු.
ඔබගේ යෝජනා සහ අදහස් ලියා එවන්න: