
වෛද්‍ය විද්‍යාවේ කැළඹීම් ඇති කිරීමට සමත් වූ සිදුවීම් ජපාන විද්‍යාඥයන් විසින් සිදුකරණු ලැබුවේ වරක් හෝ දෙවරක් නොවේ. ඒ සඳහා පෙර උදාහරණ රැසකි. මෙවර මුළු ලොවම පුදුමයට පත් කිරීමට සමත්, එහෙත් සාර්ථක පර්යේෂණ ප්‍රතිඵලයක් සමග පෙරට ඒමට ජපාන විද්‍යාඥයකුට හැකි වී තිබේ. ඔහු හිරෝමිට්සු නකුචිය. දැන් ඔහු මිනිසුන්ට බද්ධ කිරීම සඳහා අවයව සතුන් තුළ නිෂ්පාදනය කරමින් සිටී.
මිනිසුන්ට අවයව බද්ධ කිරීමේ තාක්ෂණය සොයා ගත් පසු ඒ සඳහා ඉතා දීර්ඝ පොරොත්තු පෝලිම් ඇති වූ අතර ප්‍රමාණවත් දායකයන් ඉතා දුර්ලභ විය. ඉන්දියාව වැනි රටවල වකුගඩු ජාවාරම් දක්වා මේ අවයව බද්ධ කිරීම් පැතිර ගියේය. අවයව ලබා ගැනීම වෙනුවෙන් මිනිසුන් ඝාතනය කිරීම් ද සිදුවිය හැකි යැයි අනතුරු ඇඟවීම් සිදු කෙරිණි. ජපානයේ හිරෝමිට්සු නකුචි තම විසඳුම සමඟ පැමිණෙන්නේ මේ අතරටය. ඔහු මේ වන විටත් මීයන් වැනි සතුන්ගේ සිරුරු අභ්‍යන්තරයේ මිනිස් අවයව වර්ධනය කිරීමේ ක්‍රියාව සාර්ථකව සිදු කර තිබේ. ඔහුගේ මීළඟ අරමුණ වන්නේ මෙලෙස වර්ධනය කරන අවයව මිනිසුන්ට බද්ධ කිරීමයි. එම පියවරද සාර්ථක වන්නේ එය නම් මිනිස් ඉතිහාසයේ සංධිස්ථානයක් වන බවට සැක නැත.
හිරෝමිට්සු නකුචි ජපානයේ ටෝකියෝ විශ්ව විද්‍යාලයේ පියවි සෛල පිළිබඳ විද්‍යාඥයෙකි. මීයන්ගේ කළල තුළ මිනිස් සෛල වර්ධනය කිරීම සඳහා පර්යේෂණ පැවැත්වීම සම්බන්ධයෙන් අවසර ලැබූ ලොව ප්‍රථම විද්‍යාඥයා වන්නේද නකුචිය. ඇතැම් දෙනා ඔහු ලැබූ මේ අවස්ථාව විග්‍රහ කර තිබුණේ දෙවියන් වහන්සේ ලෙස කටයුතු කිරීම යනුවෙනි. එනම් මේ පර්යේෂණ යම් හෙයකින් සාර්ථක වන්නේ නම් ඔහුට ‘මිනිසුන් මැවීමේ‘ හැකියාව හා සමාන හැකියාවක් ලැබෙන බැවිනි. මෙලෙස මිනිස් සෛල යොදාගනිමින් සතුන්ගේ සිරුරු තුළ මිනිස් අවයව වර්ධනය කිරීම යනු සැබෑම මිනිස් අවයව නිෂ්පාදනයකි. එය සැබවින්ම මානව වෛද්‍ය විද්‍යාවේ අද්විතීය සංධිස්ථානයකි.
මේ සම්බන්ධව අදහස් දක්වමින් විද්‍යාඥ නකුචි පවසා ඇත්තේ තමන් තම පර්යේෂණ ප්‍රතිඵල පැවසීමට ඉක්මන් නොවන බවයි. එමෙන්ම සිතන තරම් ඉක්මනින් අවයව නිෂ්පාදනය නොවනු ඇතැයිද ඔහු පවසා තිබේ.
එහෙත් නකුචිගේ මේ පර්යේෂණ සම්බන්ධව ජපානයේම ඇතැම් විද්‍යාඥයන් සැක පහළ කර තිබේ. ඔවුන් පවසා ඇත්තේ යම් හෙයකින් මෙලෙස මිනිස් සිරුරකින් බැහැරව මිනිස් අවයව වර්ධනය කිරීමට හැකියාව ලැබුණද ඒවා බද්ධ කළ යුතු මිනිස් සිරුරට සම්පූර්ණයෙන් ගැළපෙන ලෙස සකස් කරන්නේ කෙසේද යන ගැටලුවටද පිළිතුරු සෙවිය යුතු වන බවයි. මේ දෙමුහුම් අවයව තාක්ෂණය තවත් වසර ගණනාවක් පුරාවට වැඩි දියුණු කළ යුතු බව ඔවුන්ගේ මතය වී තිබේ.