සිරිතෙකි දහස් පිටු යුතු පොතකට වටින | සිළුමිණ

සිරිතෙකි දහස් පිටු යුතු පොතකට වටින

ක් බසක් වත් හරි හැටි වහරන්න සමත් මිනිසුන් හිඟ සමාජයක අටළොස් බසක් වැහැරීමේ සමත්කම් පෑ මිනිසකු වුසූ බව ඇසීමත් විමතියට කරුණකි. කිසිදු සරසවියකට වත් පිරිවෙනකට වත් නොවැද, සිය සවියෙන්ම අටළොස් බසක නිපුණත්වය ලැබ, විශ්ව සාහිත්‍යයේ නන් වන් මිණි රුවන් හෙළයටද හෙළයේ බස් විස්කම් ඉංගිරිසියටද නඟමින් සාහිත්‍ය ක්ෂේත්‍රයට නොමඳ මෙහෙයක් කළ මේ විද්වතාණෝ නම් ශ්‍රී චාල්ස් ද සිල්වාණෝය.

වර්ෂ 1903 පෙබරවාරි මස 28 දින ගාල්ලේදී මෙලොව එළිය දුටු චාල්ස් සිල්වා ගාල්ල මහින්ද විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබ ලන්ඩන් මැට්‍රිකියුලේෂන් විභාගය සමත්ව 1920දී ගාල්ල මහින්ද විද්‍යාලයෙහිම ගුරුවරයකු ලෙස වෘත්තීය ජීවිතය ආරම්භ කළේය. වැටුප් භක්ෂක කුසීත ගුරු නිකමකු නොවී, ගුරු තරුවක්ව අඳුරු ලෝකය එළිය කිරීමට සිය දිවි කැප කිරීම ශ්‍රී චාල්ස් සිල්වා දිවි සැරියේ වැදගත්ම අරුතයි. බස, රැස, දෙස නඟනු වස් ගොනු වූ හෙළ හවුලට බැඳී, කුමාරතුංග මුනිදාස ඇසුර ලැබ, භාෂා ශාස්ත්‍ර ඥානය වර්ධනය කොට ප්‍රචලිත කිරීම සඳහා හෙතෙම මුළු ජීවිත කාලයම කැප කළේය. ඔහුගේ පා සෙවණෙහි ශිල්ප හැදෑරූ සිසු පිරිස අතර භාෂා ශාස්ත්‍ර පිළිබඳ පමණක් නොව, විවිධ ක්ෂේත්‍රවල පතළ විද්වතුන්ගේ සංඛ්‍යාව අපමණය. ඒ පිළිබඳ දිවමන් නිදසුනක් දක්වනු රිසියෙමි.

මින් වසර තුනකට පමණ පෙර සුනිල් සාන්ත ඇගයුම් උලෙළකදී රුවන් ඒකනායක වෙද වෙසරදුන් විසින් සුනිල් සාන්ත සගයු නිමැවුම් පිළිබඳ කෙරුණු දෙස්මක් අවසන ඒ දෙස්මෙහි ලා උපයුක්ත වියත් බස් වහර කෙසේ තනාගත්තේදැයි මා විතාළ කල්හි ඔවුන්ගෙන් පැවසුණේ මහනුවර ත්‍රිත්ව විදුහලේ ඉගෙනුම ලබන සමයෙහි ආසන්න කාලයක ගුරු සේවයන් ඉසුඹු ලද ශ්‍රී චාල්ස් සිල්වා ගුරුතුමන්ගේ පොත-පත හැදෑරීම මඟින් තමාට හෙළ බසෙහි නෛපුණ්‍යයක් ලැබීමට පදනම සැකසුණු බවයි.

චාල්ස් සිල්වා දිවයිනේ නොයෙක් පළාත්වල පාසල් රැසක ගුරු සේවයෙහි යෙදුණු බැවින් ගාල්ල මහින්ද, බලපිටිය සිද්ධාර්ථ, අම්බන්ගොඩ ධර්මාශෝක, පාණදුර සුමංගල, ගල්කිස්ස සන්ත තොමසු, මහනුවර ත්‍රිත්ව යනාදි විදුහල් රැසකදී ඔවුන් වෙතින් ශිල්ප හැදෑරීමේ දුලබ වරම බොහෝ සිසු පිරිසකට හිමි විය. නවසිය පනහ-හැත්තෑව දසකවල විවිධ ක්ෂේත්‍රවල බැබළුණු වියතුන්ගෙන් හා සමතුන්ගෙන් වැඩි දෙනකුට චාල්ස් සිල්වා ගුරු ඇසුර ලැබිණි. සරත් අමුණුගම, විමල් දිසානායක, සුසිල් සිරිවර්ධන, ගාමිණී ෆොන්සේකා ඒ අතුරින් කිහිප දෙනෙකි.

ගුරු වෘත්තියෙහි නියැළෙන අතරේම ශ්‍රී චාල්ස් සිල්වාණන් ග්‍රන්ථකරණයට ප්‍රවේශ වූයේ ‘ආර්යවංශ චරිතය’ නමැති සංස්කෘත ශ්ලෝක කාව්‍යය රචනා කරමිනි. එතැන් පටන් ඔවුන් අතින් ඉටු වුණු සාහිත්‍ය සේවය අන්තර්-සංස්කෘතික සම්භාෂණයකට මඟ පාදන්නක් විය. දහනව වන සියවසේ මැද භාගයේදී ජේම්ස් ද අල්විස් පඬිතුමන්ගෙන් ඇරඹෙන සිංහල සාහිත්‍ය හා ව්‍යාකරණ ග්‍රන්ථ ඉංග්‍රීසියට පරිවර්තනය කිරීමේ වැදගත් කර්තව්‍යය විසිවැනි සියවසේදී අඛණ්ඩව කර ගෙන යෑමේ මෙහෙවරට ශ්‍රී චාල්ස් සිල්වාණෝ දායක වූහ. සුභාෂිතය, ගුත්තිල කාව්‍යය, විදුර ජාතකය යන කෘති පෙරවදන් සහ විස්තර සටහන් සහිතව ඉංග්‍රීසියට පරිවර්තිතව ප්‍රකාශයට පත් කර ඇති අතර, සිදත් සඟරා පරිවර්තනය මේ තාක් අප්‍රකාශිතය. 

රබින්ද්‍රනාත් තාගෝර් විසින් වංග බසින් රචිත නාටක පිටපතක් ‘තැපැල් කම්දොරුව’ නමින් වංග බසින් සිංහලයට පරිවර්තිතය. එමෙන්ම තාගෝර්ගේ ‘සන්‍යාසිය’ නමැති නාටක පෙළ සහ ‘ගීතාංජලිය’ වංග බසින් සිංහලයට පරිවර්තනය කර ඇතත් මේ තාක් ඒ කෘතිද අප්‍රකාශිතය.

දෙමළ බස පිළිබඳ ලද පරිචය හේතු කොට ගෙන ශ්‍රී චාල්ස් සිල්වාණෝ වැදගත් දෙමළ කෘති දෙකක් සිංහලයට පරිවර්තනය කළෝය. 1965 වර්ෂයේ ‘තිරුක්කුරල්’ කෘතිය ‘සිරි ගීය’ නමින් සිංහලයට පරිවර්තනය කෙරුණු අතර, එයට රාජ්‍ය සාහිත්‍ය සම්මානය හිමි විය. ‘නාලඩියර්’ නමැති දෙමළ කෘතියද ‘සිවු පද සිවු සිය‘ නමින් ඔහු අතින් සිංහලයට නැඟුණද ඒ කෘතියද මේ තාක් අප්‍රකාශිතව පැවතීම ගැන සංස්කෘතික බලධරයෝ ලජ්ජා විය යුත්තාහ. ඒ හැරුණු කොට සිංහල-දෙමළ, දෙමළ-සිංහල ශබ්දකෝෂ දෙකක්ද එතුමන් විසින් සම්පාදිතව මේ තාක් අමුද්‍රිතවම තිබේ. මේ කෘති සම්පාදනය ඔවුන් විසින් අරඹන ලද්දේ සිංහල-දෙමළ වාර්ගික සහජීවනය දෙදරා යෑම ඇරඹීමට බොහෝ කලකට පෙර සිටය. සිංහල-දෙමළ සමාජ-සංස්කෘතික සහජීවනය ගොඩනැංවිය හැක්කේ මෙබඳු බැරෑරුම් පරිශ්‍රම ඔස්සේ මිස, ජාතික ධනය නිකරුණේ නාස්ති කෙරෙන ව්‍යාජ සන්දර්ශනවලින් නොවේ.

කෝට්ටේ සහ සෙංකඩගල රාජධානි සමයවලට අයත් සිංහල සාහිත්‍ය ග්‍රන්ථ කිහිපයක් ශ්‍රී චාල්ස් සිල්වාණන් අතින් දීර්ඝ පෙරවදන් සහිතව සංස්කරණයට බඳුන් විය. ප්‍රථම සිංහල ප්‍රශස්ති කාව්‍යය වන ‘පැරකුම්බා සිරිත’, මුංකොටුවේ රාල විසින් රචිත සරණංකර සංඝරාජ හිමියන්ගේ දිවි පවත - ‘සඟ රජ වත’, මොරතොට ධම්මක්ඛන්ධ හිමියන්ගේ දිවි පවත - ‘මොරතොට වත’, දුනුවිල ගජනායක නිලමේ විසින් රචිත ‘දුනුවිල හටන’, ‘සිරි ලක කඩ ඉම් පොත’ යන කෘති ශ්‍රී චාල්ස් සිල්වාණන් විසින් වත්මන් පාඨක ලෝකයට සංස්කරණ ලෙස ප්‍රදානය කරනු ලැබිණි; මේ හැරුණු කොට සම්භාව්‍ය සිංහල සාහිත්‍ය අධ්‍යයනයට මඟ පෙන්වීමේ අටියෙන් උම්මග්ග ජාතකයෙන් තෝරාගත් කොටස් ඇතුළත් කොට පාසල් සිසුන් සඳහා ‘උමංදා කියවනය’ නමින් කෘතියක්ද සම්පාදනය කැරුණේය.

ශ්‍රී චාල්ස් සිල්වා විද්වතාණන් අතින් සිංහලයට පරිවර්තනය කෙරුණු තවත් සුවිශේෂ වැදගත්කමක් උසුලන ග්‍රන්ථයක්ද මේ තාක් අමුද්‍රිතව පවතී. එය නම් එකොළොස් වන සියවසේ විසූ පර්සියානු ජාතික ඕමාර් ඛයියම්ගේ ‘රුබයියත්’ කෘතියට ඔවුන් විසින් කරන ලද ‘ඔමරු ශතකය’ නමැති පරිවර්තනයයි.

අටළොස් බසක පරිචය ලද වියතකුගේ පරිවර්තන කෘති සහෘදය සම්පර්කය නොලැබ තවමත් අත්පිටපතක් සේ පැවතීම මෙතෙක් කලක් සංස්කෘතික බලධාරීන්ගේ අවධානයට ලක් නොවීම බලවත් ඛේදයකි! සංස්කෘතික කටයුතු නාමයෙන් මෙතෙක් කලක් නිකරුණේ කාබාසිනියා කෙරුණු ජාතික ධනය ඉදිරි කාලයේදී මෙවන් පඬිවරුන්ගේ අප්‍රකාශිත ග්‍රන්ථ පළ කිරීමට යෙදවීම ඔවුන්ට ජාතියේ ප්‍රණාමය පිදීමට නිසි මාර්ගයක්ම වනු ඇත.

Comments