
කළු පැහැ සමක් පැවතීම තවදුරටත් විරූපී යැයි පිළිගැනීමට හේතුවක් නොවන බව ප්‍රත්‍යක්ෂ කරමින් මෙවර විශ්ව රූ රැජන ලෙස දකුණු අප්රිකාවේ සොසිබිනි ටුන්සි පසුගියදා කිරුළු පැලඳුවාය.
ලෝක රූ රැජන තේරීමේ ඉතිහාසයේ වැඩිම ජයග්රාහිකාවන් පිරිසක් සුදු පැහැ සම ඇත්තියන් වූ අතර කළු පැහැ සමක් සහිත තරගකාරියන් ඉදිරිපත් වුවද ඔවුන් අතරින් ඉතා සුළුතරයක් හැර ජයග්රහාහිකාවන් වාර්තා වූයේ නැත. එහෙත් මේ වන විට අඳුරුවන් සම කෙරෙහි එතෙක් පැවති මත වෙනස් වෙමින් පවතින අතර අඳුරු පැහැ සම සුදු පැහැයට වඩා ආකර්ෂණීය බවට මතයක් ඇති වී තිබේ. ඒ බව සනාථ කරවන රූ රැජින තරගාවලි ජයග්රහණ කිහිපයක්ම පසුගියදා වාර්තා විය. ඒ අතරින් එක ජයග්රහණයක් අප රටටද හිමි වූ අතර ඒ ලෝක විවාහක රූ රැජන කිරුළයි.
විශ්ව රූ රැජන තේරීම වෙනුවෙන් අමෙරිකාවේ පැවති තරඟයේදී දකුණු අප්රිකාවේ සොසිබිනි ටුන්සිගේ ජයග්රහණයත් සමග අඳුරු පැහැ සම වඩාත් සුන්දර බවට වන මතය සනාථ වී තිබේ. මේ වසරේදී අමෙරිකාවේ පැවති රූ රුජින තරගාවලි සියල්ලනේම ජයග්රහණය කර ඇත්තේ අඳුරු පැහැ සම ඇති යුවතියන් වේ. 2019 අමෙරිකා රූ රැජන වූ නියා ෆ්රෑන්ක්ලින්ද කළු පැහැ සමක් ඇත්තියකි. වයස අවුරුදු 19ට අඩු තරුණියන් වෙනුවෙන් පැවැත්වෙන මිස් ටීන් තරගය ජයග්රහණය කළ කෙලිෆා ගාරිස් ද මිස් යූඑස්ඒ තරඟය ජයග්රහණය කළ චෙස්ලි ක්‍රිස්ටිද කළු පැහැ සමින් යුතු තරුණියෝ වෙති. ඒ අනුව තවදුරටත් කළු පැහැ සම විරූපී ලෙසින් නොව වඩාත් සුන්දර ලෙසින් මිනිස් ඇසට ගෝචර වනු ඇත. සුදු ජාතිකයන් විසින්ම තම හමේ පැහැය උත්කර්ෂයට නැංවීම වෙනුවෙන් වෙනස් කරන ලද ලෝක ඉතිහාසය සහ මිනිස් චින්තනය සියවස් කිහිපයකට පසු මිනිසා විසින්ම යළි නිවැරැදිව ස්ථානගත කරගෙන ඇති බව පැවසිය හැකිය.